SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

කොළඹ කළඹන කිඹුල්ලු!

සති කිහිපයකට පෙර අපගේ මිත්‍ර ආචාර්ය මහේෂ් එදිරිසිංහ තම වතපොතෙහි පළ කර තිබූ ඡායාරූපයක් වෙත බොහෝ දෙනෙකුගේ නෙත් ඇදී ගියේ ය. ඒ විශාල කිඹුලකුගේ සමීප දසුනකි.  ඔහු පවසා තිබුණේ එදින උදාසන දියවන්නා ඔය අසබඩ ඇවිදින මං තීරුවේ ශාරීරික අභ්‍යාසවල යෙදෙන විට මේ අමුත්තා දුටු බවයි. යාල වනෝද්‍යානයේ පවා කිඹුලෙක් දැක ගැනීමට කිලෝමීටර ගණනාවක් ගොස් ඈතින් ඇති වැවක් දෙස සුපරික්ෂාකාරිව බලා සිටිය යුතු ය. එහෙත් ශ්‍රී ලංකාවේ අගනගර මධ්‍යයේ මිනිසුන් නිතර ගැවසෙන පෙදෙසක යාර කිහිපයක් ඔබ්බෙන් දැවැත්ත කිඹුලෙකු ඡායාරූපයට නැගීමට හැකියාව ඇත. මෙබඳු ප්‍රවෘතියක් අප අසන පළමු අවස්තාව මෙය නොවේ. පසුගිය සමයේ කිහිප වරක්ම අත්තිඩිය, බෙල්ලන්විල සහ ශ්‍රී ජයවර්ධනපුර ආදී ප්‍රදේශවල මාර්ගාශ්‍රිතව කිඹුලන් සිටිනු සාමාන්‍ය ජනතාව ඡායාරූප ගතකර තිබුණි.

ලංකාවේ ඈත පළාත්වල, විශේෂයෙන්ම දකුණේ නිල්වලා ගඟ ආශ්‍රිතව, කිඹුල් ගහනය පසුගිය දශක කිහිපය තුළ වේගයෙන් ඉහළ ගිය බව අසන්නට ලැබිණි. එහෙත් ජනාකීර්ණ අගනගරය හදිසියේම කිඹුල් පාරාදීසයක් වීම තරමක් විශ්මය ජනක ය. අප කුඩා අවධියේ කොළඹ අවටින් කිඹුල් පුවතක් අසන්න ලැබුණේ කලාතුරකිනි. ඒ ද බොහෝ විට අත්තිඩිය වෙල අවට ප්‍රදේශයේ වසු පැටියෙකු හෝ බල්ලෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට ලැබෙන තහවුරු නොවූ ප්‍රවෘතියකි. එහෙත් දැන් තත්වය වෙනස් ය.

කොළඹ නගරයේ කිඹුලන් ගැන සඳහන් වන්නේ 16 වන ශතවර්ශයේ දී ය. අදටත් කයිමන් දොරකඩ නමින් හඳුන්වන කොළඹ හෙට්ටිවිදිය ආසන්නයේ ඇති ප්‍රදේශය කිඹුලන් ගහන ආරක්ෂක ඇලකින් වට වූ කොළඹ කොටුවට පිවිසෙන දොරටුව විය. මෙහි කයිමන් යනු එවකට පෘතුගීසි බසින් කිඹුලා හැඳින් වූ නාමයයි. වර්තමානයේ ද කේමන් හෝ කයිමන් යනුවෙන් හැඳින්වෙන කිඹුල් විශේෂයක් මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ සිටී.

ලොව පහළ වූ දරුණුතම විලෝපියයා ලෙස හැඳින්වෙන ජුරාසික යුගයේ විසු T-Rex ඩයිනොසරයාට පෙර කිඹුලා පෘතුවියෙහි රජ කරන්නට ඇති බව නවතම විද්‍යාත්මක සොයා ගැනීම් අනාවරණය කරයි. මේ අනුව කිඹුලාට මහ පොළවෙහි අයිතිය ඇත්තේ මිනිසා බිහිවීමට වසර මිලියන 200කට පමණ පෙර සිට ය. ඩයිනෝසරයන් පමණක් නොව ඊට පසුව බිහි වූ බොහෝ සත්‍ත්ව ප්‍රභේද පවා මිහිමතින් තුරන් වෙත් දී කිඹුලා පාරිසරික සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වෙමින් මේ සා විශාල කාලයක් පැවත එන බව අප මතක තබා ගත යුතු ය.

ගැට කිඹුලා සහ හැල කිඹුලා

දැනට ලංකාවේ දක්නට ලැබෙන ප්‍රධාන කිඹුල් වර්ග දෙකකි. එනම් ගැට කිඹුලා (Crocodylus porosus) සහ හැල කිඹුලා (Crocodylus palustris) වේ. ගැට කිඹුලා මිහිමත වෙසෙන විශාලම කිඹුල් විශේෂයයි. සාමාන්‍යයෙන් වැඩුණු කිඹුලෙක් අඩි 17ක් පමණ දිගින් යුතු අතර බර රාත්තල් 1000 ඉක්මවයි. සමහර අවස්ථාවල දිගෙන් අඩි 20ක් සහ බරෙන් රාත්තල් 2000ක් ඉක්මවන ගැට කිඹුලන් ද හමු වී ඇත.

ගැට කිඹුල් විශේෂයට සාගර පරිසරවල ජීවත්විය හැකි ය. එහෙත් සාමාන්‍යයෙන් උන්  දකින්නට ලැබෙන්නේ කරදිය සහ ලවණ මිශ්‍ර වූ ජලය සහිත කඩොලාන, මෝය කට, ඩෙල්ටා, කළපු සහ ගංගාවල සාගරයට යාබද ප්‍රදේශවල ය. උන්ගේ ව්‍යාප්තිය දකුණු ආසියාවේ සිට උතුරු ඕස්ට්රේලියාවෙහි නැගෙනහිර වෙරළ තීරය දක්වා විශාල බිම් තීරයක් පුරා පැතිර පවතියි. උන් තම ආධිපත්‍ය සහිත ප්‍රදේශයට ඇතුළු වන මිනිසා ඇතුළු ඕනෑම සතෙකු හදිසියේ පහර දී අඩපණ කර තම ආහාරය සඳහා ගොදුරු කරගනියි. ලොවපුරා වසරකට දහසකට වැඩි මිනිසුන් පිරිසක් ගැට කිඹුලාගේ ගොදුරු බවට පත්වෙයි.

හැල කිඹුලා මධ්‍යම ප්‍රමාණයේ කිඹුල් විශේෂයක් වන අතර මිරිදිය ජලාශ, පොකුණු, හෙමින් ගලා බසින කුඩා ගංගා සහ වගුරු බිම්වල වාසය කරයි. සමහර අවස්ථාවල උන් කුඹුරු සහ වක්කඩ අවට ද දක්නට ලැබී ඇත. හැල කිඹුලාට මිරිදියෙහි පමණක් නොව යම් ප්‍රමාණයකට ලවණ සාන්ද්‍රණය පවතින කරදිය මිශ්‍ර ජලයේද ජිවත් විය හැක. පිරිමි සතුන් අඩි 13-16 දක්වා දිගු වන අතර ගැහැණු සතුන් ශරීර ප්‍රමාණයෙන් කුඩා ය. ඉතා පළල මුව ප්‍රදේශයක් සහ ශක්තිමත් හනු සහිත වගුරු කිඹුලා මිනිසාට පහර දෙන්නේ කළාතුරකිනි. ඔවුන්ගේ ආහාරය කුරුල්ලන්, මසුන්, කුඩා මුවන්, වසු පැටවුන් සහ බල්ලන් බළලුන් වැනි සතුන් ය. වගුරු කිඹුලාට බොහෝ පරිසර තත්ත්ව කෙරේ අනුගත වීමට හැකියාව තිබේ. එසේම එක් වාස භූමියක සිට ඈතින් වූ තවත් භූමියක් කරා සංක්‍රමණය වීමට ද මෙම කිඹුල් විශේෂයට හැකියාව ඇත. කරදිය කිඹුලා බොහෝ විට ආහාර සොයා ගන්නේ ජලයට බසින සතුන් ගොදුරු කරගැනීමෙනි. එහෙත් වගුරු කිඹුලාට ගොඩබිමෙහි කෙටි දුරක් එලවා සතෙකු දඩයම් කරගැනීමේ හැකියාව තිබේ.

ලංකාවේ නගරයෙන් ඈත ජලාශවලට සිමා වූ මෙම කිඹුල් දෙවර්ගයම නගරයට සම්ප්‍රාප්ත වන්නේ පසුගිය දශකය තුළ ඇති වූ දරුණු ගංවතුරත් සමග බව අනුමාන කළ හැකි ය. පිටිසරබදව නොමැති හිතකර තත්වයක් කිඹුල් වර්ධනය සඳහා නගරබදව ඇත. එනම් ඔවුන්ට අවශ්‍ය ආහාර සැපයුම සතුටුදායක වීමයි. නගරබදව පවතින මස් මාංශ කර්මාන්තයෙන් ඉවතලන අපද්‍රව්‍ය ද නාගරික අපද්‍රව්‍යවල ඇති මාංශමය කොටස් ද ජලාශ අවට එකතුවීමට ඇති ඉඩකඩ වැඩිය. මේවා කිඹුලාගේ ආහාරයේ කොටසක් බවට පත්වෙයි. එසේම කොළඹ අවට සිටින අයාලේ යන බල්ලන් සහ පූසන් විශාල ප්‍රමාණය ද ඔවුනට ජීව ආහාර සපයයි.

ඕනෑම සත්ත්ව ප්‍රජාවක අනාගත පැවැත්ම සහ එමගින් මිනිසාට සහ පරිසර පද්ධතියට ඇතිවන බලපෑම නිර්ණය කිරීම සඳහා අවම දත්ත සමූහයක් රැස් කළ යුතු ය. ඒ, වර්තමානයේ සිටින සත්ත්ව ගහනය, ඔවුන්ගේ අභිජනන ස්ථානවල පැතිරීම, බෝවීමේ ශිග්‍රතාවය, ගහනයේ අවකාශ ව්‍යාප්ති රටාව ආදී කරුණු ය. මීට අදාළව කිඹුලන් සම්බන්ධයෙන් ලංකාවේ මෙතෙක් යම් අධ්‍යනයක් සිදු කර ඇත්දැයි අපි නො දනිමු.

මෙම කිඹුල් ගහනයේ වර්ධනයත් සමගම ලංකාවේ පවතින අනේක වූ අර්බුධ ගොන්න අතරට තවත් එකක් එකතු වෙයි. කිඹුලන් ගණන වැඩි වීමත් සමගම ඔවුන් අතර ආහාර සහ ආධිපත්‍ය ප්‍රදේශ සඳහා තරගයක් ඇති වෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ කිඹුලන් දැනට ජීවත්වන සීමා ඉක්මවා මිනිස් වාසය ආක්‍රමණය කිරීම ය. ජලාශ ආශ්‍රිතව ඇති ඇවිදින මං තීරු ජලාශයෙන් වෙන්කරන, දැනට පවතින වැට ඔරොත්තු දෙන්නේ උන් සීමාවන් ඉක්මවීමට කැමැත්තක් නොදක්වන තාක් කල් පමණි. කුසගිනි නොනිවුන දාට ඔවුන් මෙම වැට යටින් රිංගා හෝ ඒවා කඩාගෙන ගොදුරු සොයා ඉවතට පැමිණෙනු ඇත. මිනිස් අවදානමට අමතරව කිඹුල් ගහනයේ හදිසි ව්‍යාප්තිය නිසා ලංකාවේ නාගරික මෙන්ම ග්‍රාමීය පරිසර පද්ධතිවල සමතුලිතතාවයට සිදුවන හානිය ද කෙතෙක් දැයි කියා කඩිනමින් අධ්‍යනය කළ යුතුව ඇත.

ඊළඟ තර්ජනය වන්නේ දැන් නිතර කොළඹ ප්‍රදේශයට ඇතිවන ජල ගැලිම් ය. මෙතෙක් ජල ගැලීමක දී අපදා කළමනාකරණ අංශයට අවධානය යොමු කළ යුතු වුයේ අවතැන් වූ ජනතාව ගේ ආහාරපාන සහ අනෙකුත් අවශ්‍යතාවයන් සැපයීමත්, ජලයෙන් කොටු වී සිටින පිරිස ඉන් ඉවත් කිරීමත් ය. ඊළඟ ගං වතුරේ දී මීට අමතරව කිඹුලන් ඇල්ලීමත්, කිඹුල් ප්‍රහාරයන්ගෙන් අවතැන් වුවන් මුදා ගැනීමත් ප්‍රධාන කාර්යයක් වනු ඇත.

කිඹුලා අයිති කාට ද?

මේ තත්වය පිළිබඳව සැළකිල්ල යොමු කිරීමට සුදුසුම කාලය මෙයයි. අප දකින්නේ එළැඹෙන තර්ජනයයි. එයට මුහුණ දිය හැකි ආකාරය පිළිබඳව කටයුතු කිරීමට සුදුසුකම් සහ වගකීම් සහිත පුද්ගලයන් මෙන්ම ආයතන ද රාශියක් ලංකාවේ ඇත. එබැවින් කළයුතු දේ පිළිබඳව ක්‍රමවේද යෝජනා කිරීමට අපි ඉදිරිපත් නොවෙමු. සාමාන්‍යයෙන් මේ රටේ යම් වැදගත් කාර්යභාරයක්, විශේෂයෙන්ම ජාතික ව්‍යසන තත්වයක්, හමුවේ වගකීම් සඳහා සංගීත පුටු තරග පැවැත්වීම අපි අතීතයේ සිට දැක ඇත්තෙමු. 2004 සුනාමි අවස්ථාවේ සිදු වූ, වළක්වා ගැනීමට පැහැදිලිව ම ඉඩකඩ තිබූ ශෝකජනක ඛේදවාචකවලට වගකිව යුත්තේ කවුදැයි තවමත් ජනතාවට වැටහීමක් නැත. මෙම වගකීම හඳුනා ගත යුත්තේ දඬුවම් දීම සඳහාම නොව ඊළඟ ඛේදවාචකය වළක්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සහ ක්‍රමවේදයක් සකස් කිරීමට ය. බලධරයන් ඊළඟ ගං වතුර පැමිණෙන තෙක් කිඹුලා අයිති කුමන අමාත්‍යාංශයට ද නැත්නම් ආයතනයට දැයි තර්ක කරමින් සිටිය හොත්, සිදුවන ව්‍යසනයට වගකිව යුත්තේ කවුරු දැයි ජනතාව විසින් දැන්ම ම තීරණය කළ යුතු ය.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර අපි ලංකාවේ අනාගතයට ගුණදායක නොවන පර්යේෂණ ප්‍රතිඵලයක් පිළිබඳව සටහනක් එකතු කරමු. පසුගිය වසර කිහිපයේ දී මෙක්සිකෝවේ සහ බේලිස් රාජ්‍යයේ කරන ලද පර්යේෂණ මාලාවක දී විද්‍යාඥයන් නිරීක්ෂණය කළේ, එකම ප්‍රදේශයකට කොටු වූ විට කිඹුලන් අතර අන්තර් බෝවීමක් (cross-breeding) ඇතිවිය හැකි බවයි. එනම් දෙවර්ගයක කිඹුල් විශේෂ සංවාසයේ යෙදීමෙන් නව වර්ගයන් ඇතිවීමට ඉඩකඩ තිබෙන බවයි. මෙහි ඇති අයහපත් තත්වය නම් මිනීමසට ගිජු වූ ගැට කිඹුලෙකුගේ එම ගති ලක්ෂණ සහිත එමෙන්ම ගොඩබිම වේගයෙන් ගමන් කර ගොදුර අල්ලා ගත හැකි හැල කිඹුලෙකුගේ ගති ලක්ෂණ ද එකතු වූ නව කිඹුලෙක් බිහි වුව හොත් ය.

කොළඹ කිඹුලන්ට පවරා ගමට යන්න සිදුවන කාලයක් පැමිණෙයි ද? අපි විමසිල්ලෙන් බලා සිටිමු.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *