SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

දෙවියන් බුදුන් ගේ දෙසුම වැරැදි ද?

 

“අපේ රට දියුණු වෙන්න නම් මිනිස්සු ඔය මිත්‍යා මතවලින් ඈත්වෙලා විද්‍යානුකූලව හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපේ අය තාම හිතන්නේ දහ අටවැනි ශතවර්ෂයේ ඉඳන් නම් ඒ ගොල්ලන්ට කවදාවත්ම විසිවැනි ශතවර්ෂයේ ජිවත් වෙන්න බැහැ”.

මේ, වසර 40කට පමණ පෙර අපගේ ඥාති වන උපාධිධාරී විද්‍යා ගුරුවරයෙක් පවුලේ කෙනෙකුගේ දානේ ගෙදරක දී දැක් වූ අදහස් ය. එවකට කුඩා දරුවන් වූ අපි නෙත් අයා ඔහුගේ කතාවට සවන් දීගෙන සිටියෙමු. අපට මෙන්ම එතැන සිටි තරුණයන් බොහෝ දෙනෙකුට ඔහු වීරයකු සේ පෙනුන බව නම් ප්‍රත්‍යක්ෂ ය.

මීට කලකට පෙර අපගේ සාම්ප්‍රදායික මත සහ සිතිවිලි රටාවට විද්‍යාව අනුසාරයෙන් බැට දීම සමාජයේ කැපී පෙනිය හැකි කලාවක් විය. මේ “විද්‍යාව”, නවීන විද්‍යාව, නූතන විද්‍යාව හෝ බටහිර විද්‍යාව ආදී විශේෂණ පද යොදා අලංකාරවත් කැරුණි. මෙම “විද්‍යානුකුලව සිතීම” ජනප්‍රිය රැල්ලක්ව සමාජයේ සම්මත කරගෙන ඇති උගත්කම නැමැති හිනිමගේ පහළම ස්ථර (ග්‍රාමීය බස් වහරින් ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටන්) අතරට පත්වන්න වූ විට එහි තිබූ “අභිමානවත් ගතිය” වියැකී ගියේ ය.

අප සරසවියේ අධ්‍යාපනය ලබන 80 දශකයේ අවසාන කාර්තුවේ දී විද්‍යාවට බැටදෙන යුගය තීව්‍රව ඇරඹෙන්නේ ය. ඒ වන විට විද්‍යාව “බටහිර විද්‍යාව” බවට ලේබල් කර තිබුණි. බටහිර විද්‍යාව බොරුවක් හෝ පට්ටපල් බොරුවක් බවට මෙම මතවාදය සඳහන් කරද්දී අපි නැවතත් උද්දාමයට පත් වුනෙමු. සරසවියේ මෙම මතවාදයට නැඹුරු වූ බොහෝ දෙනෙකුට එහි ගැඹුර තේරුම් ගැනීමට වඩා එමගින් ලැබුණු නව අභිමානවත් ගතිය ආකර්ශනීය වූ බව පෙනෙන්නට තිබුණි. පසුගිය වසර කිහිපය තුළ මෙම පට්ටපල් බොරු වාදය සරසවියෙන් ඔබ්බට පැමිණ, දැන් වතපොත හරහා ගමේ ගොඩේ කුරුට්ටන් අතරට ගමන් කරමින් තිබේ. මේ අනුව තව දුරටත් එම මතවාදය දැරීම සමාජයේ කැපී පෙනීමේ යන්ත්‍රණයක් නොවන තත්වයට පත්වෙමින් පවතී.

යම් ශාස්ත්‍රීය මතවාදයක් බිහිවන විට ඒ පිළිබඳව පුළුල් සාමාජීය පදනමක් තුළ ඵලදායි සංවාදයක් බිහිවනවා වෙනුවට එම මතය දැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පුද්ගල ප්‍රතිරූප නගා සිටුවීමේ කලාවක් බවට පත් වීම අවාසනාවන්ත තත්වයකි. එය ලංකාවේ පමණක් නොව තව බොහෝ රටවල අපි දකින්නෙමු.

කුමන විශේෂණ හෝ උපසර්ග පද යෙදුවත් අප වර්තමානයේ විද්‍යාව යයි හඳුන්වන ක්‍රමවේදයෙහි එක් සුවිශේෂී ගති ලක්ෂණයක් තිබේ. එය සුවිශේෂී වන්නේ දැනට පවතින සියලු ම ආගම් සහ ආගමික දර්ශනවල එම ගති ලක්ෂණය නො තිබෙන බැවිනි. එනම් විද්‍යාවෙහි “වැරැදීමට සහ වෙනස්වීමට” ලබා දී ඇති පුළුල් ඉඩකඩයි. විද්‍යාව තුළින් යම් සංකල්පයක්, දර්ශනයක් හෝ නිපැයුමක් එළි දකින විටම එයට අනිවාර්යයෙන්ම ඇලවෙන ලේබලය නම් “මෙය වැරැදීමට හෝ වෙනස් වීමට ඉඩ ඇත” යන්නයි.

එහෙත් කිසිදු ආගමක මෙම වැරැදීමට හෝ වෙනස් වීමට ඉඩ ලබා දී නැත.
“දෙවියන් වහන්සේ පැවසූ දේ වැරැදි වීමටත් පුළුවන” හෝ
“බුදුරජාණන් වහන්සේ පැවසූ දේ වැරැදි වීමටත් පුළුවන” හෝ
“දෙවියන්වහන්සේ/බුදුරජාණන් වහන්සේ පැවසූ දෙය වර්තමානයට සරිලන ආකාරයට නවීකරණය කිරීමට කාලය එළඹ ඇත” යැයි අප පැවසුවහොත් එය සිතීමටවත් නොහැකි තරම් ලොකු කැළඹීමක් සමාජය තුළ සිදු කරනු ඇත. මෙයට සාධාරණ හේතුවක් ඇත. ආගමික දර්ශනයක මූලය (දෙවියන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, ජෛන මහාවීර ආදී) ඉදිරිපත් කළ කරුණුවලට වැරැදීමට සම්භාවිතාවක් ඇතැයි අනුමාන කළ පමණින්ම එම ආගමෙහි පදනම කඩා වැටෙයි. ආගමක ඇති ඇදහීම යනු මෙම “වැරදීමට හෝ වෙනස්වීමට” කිසිඳු ඉඩක් නැතැයි කෙනෙකු කරනා නිගමනය ලෙස අපි දකිමු. මේ අනුව සියලුම ආගමිකයෝ අදහති.

ලියනාඩෝ ඩාවින්චි ඉදිරිපත් කළ පියාඹන මැෂිමේ ආකෘතියේ සිට එයාර්බස් A380-800 ගුවන් යානය දක්වා විද්‍යාව වෙනස් වෙත් දී සියලු ආගම් කාල යාත්‍රයේ එක් එක් මංසන්ධිවල සිර වී සිටින්නේ විද්‍යාවේ සහ ආගමෙහි ඇති මේ වෙනස නිසාවෙනි. අප දකින ආකාරයට බොහෝ ආගම් පදනම් වන්නේ එම ආගම බිහිවන කාලය හා දේශයට අදාළ දැනුම් සම්භාරය මත ය. එබැවින් ආගම සර්ව-නිරවද්‍ය යැයි අදහන විට කාල-අවකාශ ව්‍යාප්තියේ එක් ලක්‍ෂයක අදහන්නා සිරවෙයි.

බොහෝ ආගම් සහ වර්තමානයේ පවතින ගතික ඥාන සම්භාරය අතර අනේකවිධ ගැටුම් ඇතිවන්නේ සෑම ආගමකම පාහේ පවතින මෙම ඇදහීම හේතුවෙනි. තම ආගම නවීන විද්‍යාවට අනුකූළ බව සනාථ කිරීමට විද්වතුන් දැඩි උත්සහයක් ගන්නේ මේ පටලැවිල්ලෙන් මිදීමට ය. එහෙත් අප දකින ආකාරයට කිසිදු ආගමක් අප දැනට භාවිත කරන විද්‍යාවට අනුකූළ නොවේ. මන්ද මේ කිසිදු ආගමක් තම මූලය පැවසු කරුණු වැරැදීමට හැකි බව හෝ වෙනස් කිරීමට සිදුවිය හැකි බව නො පිළිගන්නා බැවිනි.

බටහිර විද්‍යාව සරළ ය. එය දැනට කරුණු පහක් මත පදනම් වූ ක්‍රමවේදයක් ඉදිරිපත් කරයි. මෙම ක්‍රමවේදය ද අනිත්‍ය වේ. එනම් පසු කාලීනව මෙම ක්‍රමවේදය වෙනස් විය හැක. නැතිනම් නිශේධ විය හැක. පර්යේෂණ ගැටලුවක් තිබීම, පසුබිම් දැනුම හැදෑරීම, නව දැනුම ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් ගොඩනැගීම, ප්‍රතිඵල විශ්ලේෂණය සහ එමගින් නව දැනුම් සම්භාරය ගොඩනැගීම, ගොඩනැගූ දැනුම ලෝකය සමග බෙදා ගැනීම මෙම පියවර පහයි. ඔබ බෞද්ධයෙකු නම් සමහර විට මෙම ක්‍රමවේදයෙහි යම් හුරු බවක් ඔබේ විඥානයට හසුවනු ඇත.

විද්‍යාව එතෙකින් නොනවතී. අමතක නොකරන්න මේ විද්‍යාවට අනුව “දැනුම” නිරවද්‍ය වන්නේ වර්තමානය නමැති කාල පරාසය තුළයි. එය වෙනත් කාල පරාසයක දී නිවැරැදි නො වීමට ඉඩ ඇත. මේ නිසා ලබාගත් දැනුම නැවත නැවතත් පරීක්ෂණයට භාජනය කෙරෙයි. අප විද්‍යාව යොදා ගන්නේ අපට ගැටලුවක් ඇති විට එයට විසඳුමක් සෙවීමට ය. එබැවින් විද්‍යාත්මක ක්‍රමවේදය සඳහා පර්යේෂණ ගැටලුවක් තිබීම අනිවාර්ය වෙයි. එම ගැටලුවට අපි පවතින දැනුම් සහ ඥාන සම්භාරය මත පදනම්ව පිළිතුරු සොයන්නෙමු.

ඉහත පියවර දෙස බලන විට ඔබට යම් වැදගත් කරුණක් ප්‍රත්‍යක්ෂ වනු ඇත. එනම් මෙම ක්‍රමවේදය තුළ දැනුම ලබාගැනීමේ ආකාරය පිළිබඳව හෝ දැනුම භාවිත කිරීම පිළිබඳව සීමා පැනවීමක් නොමැති බවයි. උදාහරණයක් ලෙස ඇල්බර්ට් අයින්ස්ටයින් තම කල්පිත ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා දැනුම ලබාගත් ආකාරය ගැන පැහැදිලි විග්‍රහයක් සිදු කළේ නැත. එසේම එම සිද්ධාන්ත ඔප්පු කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් ඉදිරිපත් කළේ ද නැත. එවකට පැවති ඥාන සම්භාරය තුළ ඔහුගේ අදහස් තාර්කික වූ බැවින් (වාද විවාද බොහොමයකින් පසු) එම කරුණු පිළිගැනීමට සහ ඒ මත පදනම්ව තව තවත් දැනුම ගොඩ නැගීමට විද්‍යාඥයෝ පෙළඹුන හ. එහෙත් මෙහිදී ද අප සැලකිය යුතු වැදගත් කරුණ නම් විද්‍යාව විසින් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සිද්ධාන්ත පිළිගන්නේ ම එය වැරැදීමට ඉඩකඩ ඇති බවට ලේබල් කරමිනි. මේ නිසා ඔහුගේ ඉදිරිපත්කිරීම් මෙන්ම ඒ මත ගොඩ නැගුනු දැනුම ද නිරන්තර පරික්ෂාවට ලක් වුණු අතර සමහර සිද්ධාන්ත සාර්ථකව ඔප්පු කිරීමට සියවසක් ඉක්මවීය. සමහර විට ඉදිරියේ දී එම සිද්ධාන්ත බිඳ වැටෙනු ඇත.

ඉහත කරුණු තුළින් දැන් අපි පසුගිය සමයේ ලංකාවේ සාකච්ඡාවට භාජනය වූ කරුණක් පිළිබඳව නෙත් යොමු කරමු. එනම් දෙවියන්ගෙන් හෝ වෙනයම් භෞතික ලෝකයට ගෝචර නොවන මාධ්‍යයක් මගින් දැනුම ලබා ගැනීමයි. අප සිතන ආකාරයට මෙලෙස දැනුම ලබා ගැනීම විද්‍යා විරෝධී හෝ විද්‍යාව මගින් ප්‍රතික්ෂේප කරන ක්‍රමවේදයක් නොවේ. ඔබට ඕනෑම ආකාරයකින් දැනුම ලබා ගත හැක. එහෙත් ඒ දැනුම ප්‍රඥා ගෝචර විය යුතු ය. එසේම ඒ දැනුම වැරැදීමට හෝ වෙනස් කිරීමකට ඉඩ ඇති බව සැලකිය යුතු ය.

උදාහරණයක් ලෙස නාථ දෙවියන්ගෙන් ලබා ගත් දැනුම ආශ්‍රයෙන් රජරට පවතින වකුගඩු රෝගයට හේතුව පසෙහි හෝ ජලයෙහි ඇති ආසනික් බවට විද්‍යාඥයන් පිරිසක් මෑතක දී පළකළ අදහස සලකමු. අප මීට පෙර ද පෙන්වා දී ඇති පරිදි එවකට ප්‍රකාශයට පත්ව තිබූ පර්යේෂණ පත්‍රිකා ආශ්‍රයෙන් මෙම රෝගයට එක් හේතුවක් ආසනික් විය හැකි බවත් ආසනික් ආහාර පානවලට ඇතුළු වීමට ඇති එක් මාර්ගයක් කෘමිනාශක බවත් අනුමාන කළ හැකිව තිබුණි. ඒ කෙසේ වෙතත් මෙම විද්‍යාඥයන් පිරිස ඊළඟට කළ යුතුව තිබුණේ ලබාගත් දැනුම ඔස්සේ පර්යේෂණ කර තම මතය තහවුරු කිරීම සහ එතුළින් ඇති වී තිබෙන ගැටලුවට පිළිතුරු සෙවීමයි. එහෙත් මෙහිදී සිදු වුණේ සියලු සාකච්ඡා සහ නියැදි පරීක්ෂණ පවා දැනුම ලබා ගත් මූලය තහවුරු කිරීම අරඹයා සිදු කිරීම මිස රෝගී තත්වයට පිලියමක් සොයා පර්යේෂණ ඉදිරියට ගෙනයෑම නොවේ. සමාජයට වැදගත් වන්නේ තම ගැටලුවට පිළියමක් මිස දැනුම් මූලය විශ්ලේෂණය කිරීමක් නොවන බව අමතක නො කළ යුතු ය.

මෙම මුළු සංසිද්ධියේම තිබූ ප්‍රඥා ගෝචර නොවන කාරණය නම් දෙවියන්ට හැකියාව ඇත්තේ ආසනික් පිළිබඳව ප්‍රකාශ කිරීමට පමණ ද යන්නයි. වර්තමානයේ ලංකාවේ මෙන්ම මුළු ලෝකයේම බොහෝ සමාජීය සහ භෞතික ගැටලු පවතී. ඒවායින් යම් ප්‍රමාණයකටවත් විසඳුම් ලබාදීමට නාථ දෙවියන්ගෙන් (හෝ වෙනයම් දෙවි කෙනෙකුගෙන්) දැනුම ලබාගත හැකි නම් අප කලින් පැවසූ පර්යේෂණ ක්‍රමවේදය පවා නවීකරණය කිරීමට ජාත්‍යන්තර මට්ටමින් අපට යෝජනා කළ හැකි ය. එහෙත් එවැන්නක් සිදුවන බවක් නොපෙනේ.

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන චීනය, ජපානය, කොරියාව වැනි පෙරදිග රටවල් බටහිර විද්‍යාව උපයෝගී කරගනිමින් තම ජනතාවට හොඳ ජීවන තත්වයක් ලබා දී ඇත. ඒ ඔවුන් “විද්‍යාව” තම භෞතික ගැටලුවලට විසඳුම් දිය හැකි උපාංගයක් ලෙස තෝරාගෙන ඇති නිසා ය. ඉන්දියාව අද එම මාර්ගයේ වේගයෙන් ඉදිරියට ඇදෙමින් සිටියි. චීනයේ සහ ඉන්දියාවේ වසර 5000-6000 පමණ කාලයකට පෙර සිට ඉතා දියුණු දේශීය තාක්‍ෂණයක් තිබූ බවට හොඳින් සංරක්ෂණය වූ පුරා විද්‍යාත්මක සොයාගැනීම් පෙන්වා දෙයි. මෙම රටවල උසස් දැනුම් සහ ඥාන සම්භාරයක් ද තිබුණු බවට පැහැදිලි සාක්ෂි ඇත. එහෙත් බටහිර විද්‍යාවේ හිනි පෙත්තට නැගීම සඳහා ඔවුන් මෙම “ප්‍රෞඩ අතීතය” බාධාවක් කරගෙන නැත.

සම්මත විද්‍යාත්මක ක්‍රමවලට පරිබාහිරව දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇත්නම් කළ යුත්තේ එම දැනුම උපරිමයෙන් ලබා ගෙන ලෝකය ඉදිරියේ තැබීමයි. එය ලෝකයට මහත් යහපතක් වනු ඇත. එවිට ලෝකයේ සම්මතයන් පවා වෙනස් වනු ඇත. මන්ද විද්‍යාවේ කිසිවක් සදා නො වරදින හෝ සදා නො වෙනස්ව පවතින භූතාර්ථ නොවන බැවිනි. මෙය පසෙක තබා දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනුවෙන් සටන් කරමින්, අන්‍යන්ට දෙස් දෙවොල් තබමින් සිටීමෙන් කිසිවෙකුටත් අර්ථවත් යමක් ලැබෙන්නේ නැත.

අපේම කියා, පවතිනවාට වඩා වෙනස් විද්‍යාවක් ගොඩනගා ගත හැකි නම් සහ එමගින් රටේ ජනතාවට (සහ ඉන් මතු සියලු සත්වයන්ට) සෙතක් සැලසිය හැකි නම් එය ඉතා යහපත් ය. එය එසේ වන තෙක් අනුන්ගෙන් ලබා ගත් විද්‍යාවකින් හෝ හරියට වැඩක් ගැනීමට අප කටයුතු නො කරන්නේ නම් වැඩ බැරි ජාතියක් බවට ලෝකයා අපව ලේබල් කිරීම වැළක්විය නො හැකි ය.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *