SciTech Publishing Corporation (Pvt) Ltd.
Technology

ඔබ ගැන දන්නා ෆේස්බුක් ගැන ඔබත් දැන ගන්න!

වසර 2004 පෙබරවාරි 04 වැනි දා ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ දී එළිදැක්වුණු, ලෝකය වෙනතකට ගමන් කරවන Facebook නම් සමාජ ජාල වෙබ් අඩවිය ලෝකවාසී මිනිසුන්ගේ සිත් සතන්, ජීවන රටාව, දැන් සුසමාදර්ශීය වෙනසකට ලක් කර හමාරයි.

The Facebook යනු ඇමරිකානු සරසවිවල සිසුන්ගේ පින්තූර එකතු කොට සැකසුන නාමාවලියක්. හාවඩ් හි දෙවන වසර සරසවි සිසුවකුව සිටිය දී මාක් සකර්බර්ග් මුලින්ම Facemash නම් වෙබ් අඩවිය නිර්මාණය කළේ එකල තිබූ Hot or Not නම් වෙබ් අඩවියට සමාන කරමින්. එහි දී සිදු කළේ හාවඩ් වෙබ් ජාලයේ තිබූ සිසුන්ගේ පින්තූර තෝරාගෙන දෙදෙනෙකුගේ පින්තූර දෙකක් සසඳා දෙදෙනාගෙන් කවුරු වඩා සරාගී ද යන්න තේරීමයි. ප්‍රසිද්ධ කර මුල් පැය 4 ඇතුළත, Facemash වෙබ් අඩවිය 450ක් නරඹා තිබු අතර එහි වූ ඡායාරූප 22,000 වතාවක් පරිශීලනය කර තිබුණා. මේ නිසාම ඔහුට හාවඩ් සරසවියෙන් දඬුවම් ලැබුණේ වෙබ් ජාලයේ ආරක්‍ෂක උපක්‍රම අවදානමට ලක් කිරීම නිසයි. පසුව ඔහු එම ව්‍යාපෘතිය කලාවේ ඉතිහාසය යන විෂයානුබද්ධ ව්‍යාපෘතියක් ලෙස සකසා ඉදිරිපත් කළා. එහි දී විවිධ කලාකෘතිවල පින්තූර වෙබ් අඩවියකට ඇතුළත් කර ඒවාට Comment කිරීමේ පහසුකම ඇති කළා. එය ඉතා ඉක්මනින්ම සිසුන් අතර ප්‍රචලිත වුණා.

අනෙක් සෑම නව නිර්මාණයකටම වාගේ මෙයටත් ප්‍රශ්න නොතිබුණා නොවෙයි. මෙය එළිදක්වා දින හයකට පසුව හාවඩ් විශ්වවිද්‍යාලයේම Cameron Winklevoss, Tyler Winklevoss, සහ Divya Narendra තිදෙනා  සකර්බර්ග්ට විරුද්ධව පැමිණිලි කළේ ඔවුන්ව රවටා ඔවුන්ගේ දැනුම ලබාගෙන HarvardConnection.com නම් වෙබ් අඩවියට තරඟකාරී වෙබ් අඩවියක් නිර්මාණය කළා යැයි පවසමින්. කෙසේ හෝ මේ පැමිණිල්ල 2008 නඩු මාර්ගයට ගොස් 2012 දී කොටස් වෙළෙඳපොලේ ඩොලර් මිලියන 300ක් වටිනා කොටස් ප්‍රමාණයක් ඔවුනට ලබාදීමට එකඟවීමෙන් සමථයකට පත් කෙරුණා.

Facebook  නිර්මාතෘ මාක් සකර්බර්ග්

මුලින් සරසවි සිසුන්ට පමණක් විවෘතව ක්‍රම ක්‍රමයෙන් වැඩුණු Facebook වෙබ් අඩවිය 2006 සැප්තැම්බර් 26 වන දින අවුරුදු 13ට ඉහළ සාමාන්‍ය ජනතාවට සාමාජිකත්‍වය ලැබිය හැකි වන සේ විවෘත වූ අතර 2007 අග භාගය වන විට ව්‍යාපාරික ප්‍රජාව අතර ද බෙහෙවින් ජනප්‍රිය වුණා. ඒ අනුව ඒ කාලය වන විට ව්‍යාපාරික පිටු 100,000 ඉක්මවා එකතු වූවා. එපමණක් නොවෙයි, ව්‍යාපාරික දැවැන්තයන් වන මයික්‍රොසොෆ්ට් සමාගම පවා Facebook හි ආයෝජනයට එකතු වුණා. 2007 ඔක්තෝබර් වන විට Facebook හි පූර්ණ වටිනාකමින් 1.6% ක කොටස් ඩොලර් මිලියන 240 ක් මුදලක් ලබා දී මයික්‍රොසොෆ්ට් සමාගම මිල දී ගත්තේ ෆේස්බුක්හි මුළු වටිනාකම ඩොලර් බිලියන 15 ක් බවට ඉහළ නංවමින්. මේ සමගම අන්තර්ජාතිකව වෙළෙඳ දැන්වීම් Facebook හි පළ කිරීමේ අයිතියත් ඔවුනට ලැබුණා.

2008 දී සිය ජාත්‍යන්තර මූලස්ථානය අයර්ලන්තයේ ඩබ්ලින් හි පිහිටවූ Facebook ආයතනය 2009 වන විට ලාභ ලබන තත්ත්‍වයට පත් වූයේ වඩාත්ම වැඩිපුර පරිශීලනය වන සමාජ වෙබ් අඩවිය ලෙස කිරුළු පළඳමින්. 2010 වනවිට මිලියන 500ක සාමාජිකත්‍වයක් ඇතිකරගත් මෙය සත්තකින්ම නිහඬ විප්ලවයක් කළා යැයි පැවසුව හොත් එය අසත්‍යයක් නොවන්නේ ලොව පුරා විවිධ අවස්ථාවන්හි දී රාජ්‍යබලය සොලවාලීමට පවා ෆේස්බුක් දායක වූ නිසා.

2010 නොවැම්බර් වන විට ඇමරිකාවේ තුන්වන විශාලතම සමාගම බවට පත් වන්නට Facebook ආයතනයට හැකි වූයේ එහි අගය ඩොලර් බිලියන 41 ක් බවට පත් කරගනිමින් ඒ වනවිට ඉහළින්ම වැජඹුනේ ගූගල් සහ ඇමසොන් සමාගම් දෙකයි.  2011 වසර වනවිට ඇමරිකාවේ වැඩියෙන්ම පරිශීලනය කරන වෙබ් අඩවිය බවට Facebook  පත් වූයේ මසකට ට්‍රිලියනයක වෙබ්ගත වීම් සනිටුහන් කරමින්.

Facebook  නිර්මාතෘ මාක් සකර්බර්ග් රතු – කොළ වර්ණ අන්ධතාවයෙන් පෙළෙන නිසා ඔහු Facebook  අඩවිය නිල්පැහැයෙන් වර්ණ ගැන්වුවා. එය ඔහු ප්‍රසිද්ධියේම පවසා සිටි දෙයක්. විවිධාකාර එළිදැක්වීම් සමගින් වැඩිදියුණු වූ වෙබ් අඩවිය, ඇරඹුමෙන් පස් වසරකට පසු Like බොත්තම හඳුන්වාදුන් පසු සාමාජිකයන්ගේ අන්තර් සබඳතා වැඩි වුණා. පින්තූරයකට හෝ සටහනකට Like දැමීම මගින් එහි වටිනාකම සහ ආකර්ෂණය වැඩි කර ගන්නට බොහෝ දෙනා සමත් වූ අතර විවිධ පිටු එලිදැක් වූ සාමාජිකයින් සිය ජනප්‍රියත්වය Like වලින් මනින්නට වුණා. ලංකාවේ ද සමහර පිටු Like හිඟාකන්නේ සිය වෙබ්පිටුව පරිශීලනය කරන පිරිස වැඩි කර ගැනීමට. මෙසේ පරිශීලකයන් වැඩි වන විට එම පිටුවලට එකතු වන වෙ‍ෙළඳ දැන්වීම් ප්‍රමාණය ද වැඩි වනවා. Facebook හි ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ වෙ‍ෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය හරහා ලැබෙන ආදායමයි. මේ සඳහා විවිධ සමාගම් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගත් පරිගණක ක්‍රමලේඛ උපයෝගී කරගෙන එක් එක් වයස් කාණ්ඩ සහ එකිනෙකාගේ රුචිකත්‍වය මත පදනම් වූ වෙ‍ෙළඳ දැන්වීම් ඒ අයගේ Facebook  පිටුවල පළ කරනු ලබනවා. කෙසේ වුවත් වෙනත් වෙබ් අඩවිවලට වඩා අඩු සාර්ථකත්‍වයක් තමයි Facebook  හි පළ කරන දැන්වීම්වල තිබෙන්නේ. එනම් වෙළඳ දැන්වීම් වෙත ගොස් Click කිරීමේ ප්‍රතිශතය වෙනත් වෙබ් අඩවිවලට වඩා අඩුයි. 2015 පෙබරවාරි වන විට Facebook හි සක්‍රීය වෙළෙඳ දැන්වීම් අනුග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ගියා. මෙයින් වඩාත්ම වැඩි ප්‍රමාණයක් දැන්වීම් ලැබුණේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන්. එය කෙතරම් ඉක්මනින් වැඩිවූයේ දැයි කියතොත් 2016 මාර්තු වනවිට මිලියන තුනක සක්‍රීය වෙළෙඳ දැන්වීම් අනුග්‍රාහකයින් සංඛ්‍යාවක් Facebook  සමඟ රැඳී සිටියා. ඔවුන්ගෙන් 70%ක්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත ව්‍යාපාරිකයන් වීමත් විශේෂත්‍වයක්.

Facebook හි මුහුණත එය වුවත්, ඒ හා සබැඳි ව්‍යාපාර කිහිපයක් තිබෙනවා. Whatsapp, Instagram, Messenger, සහ Oculus VR නම් Virtual Reality  සමාගමක් ද මේ හා එකතුව තිබෙනවා.

දිනෙන් දින Facebook  ආයතනය නව ප්‍රවණතා ලෝකයට හඳුන්වා දෙනවා. මෑතකදී එක් වූ  විවිධ හැඟීම් දනවන ඉමෝජී නිසා සාමාජිකයන්ට Like එකක් වෙනුවට ආදරය, සිනහව, විශ්මය, දුක සහ තරහ යන හැඟීම් දැක්වීමේ අවස්ථාව ලැබී තිබෙනවා. මෙයට අමතරව දැන් දැන් Facebook  ආයතනය සිය කටයුතුවලට කෘත්‍රීම බුද්ධිය ද එකතු කරගන්නා අවස්ථාවත් පැමිණිලා තිබෙනවා. මෙයට සමගාමීව ඔවුන් ස්වයංක්‍රීයව පාලනය වන රොබෝ ක්‍රමලේඛ හඳුන්වා දුන්නේ සති කිහිපයකට පෙර. එහෙත් ඔවුන් නො සිතූ විරූ අත්දැකීමකට ලෝකයම මුහුණ දුන්නේ මේ ස්වයංක්‍රීය රොබෝ ක්‍රමලේඛ විසින් ඔවුන්ට දෙනු ලබන විධාන පසෙක ලා, ඔවුන්ටම ආවේණික භාෂාවකින් සන්නිවේදනය ඇරඹීමත් සමගයි. එවිටයි ලෝකයටම වැටහුණේ, කෘත්‍රීම බුද්ධිය ඇත්තෙන්ම භයානක බව. මේ සිද්ධියත් සමගම ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් විසින් ලොවටම අනතුරු හැඟවීමක් කළා. එසේම Facebook  විසින් මෙය ඉදිරිපත් කිරීමත් නිර්දය ලෙස විවේචනය කළා. මේ නිසාම ඉලොන් මස්ක් සහ මාක් සකර්බර්ග් අතර දැඩි අදහස් හුවමාරුවක් ද සිදු වුණා. කෙසේ වෙතත් Facebook  ඉංජිනේරුවන් නව ක්‍රමලේඛයක් රොබෝ ක්‍රමලේඛ වෙත හඳුන්වා දී ස්වයං සන්නිවේදන හැකියාව අවසන් කළා. එහෙත් මෙය භයානක තත්ත්‍වයක්. කවදා හෝ අනාගතයේ දී කවුරුන් හෝ රොබෝ හමුදාවක් වුණත් තනන්නට හැකි බව මෙයින් ඔප්පු වුණා.

මෙපමණක් නොවෙයි, ආරංචියේ හැටියට කිසියම් කෙනෙකුගේ චිත්ත රටාවන් පවා හඳුනාගත හැකි වන ආකාරයේ කෘත්‍රීම බුද්ධිය සහිත ක්‍රමලේඛ Facebook  විසින් සකසා අවසන්. සරළ ම උදාහරණය වන්නේ ඔබට ලැබෙන මිතුරු යෝජනා (Friend Requests). ඔබේ පරිගණකයේ ඇති ඊමේල් ලිපින සහ නිතර නිතර ලිපි හුවමාරු වන අයගේ Facebook  පිටු ඔබ වෙත ගෙනහැර පෑම, යම් යම් වෙළෙඳ දැන්වීම් ඔබ වෙත වැඩියෙන් ගෙන ඒම දක්වන්නට පුළුවන්. එහෙත් වඩාත්ම ප්‍රබල උදාහරණයක් ලෙස සැලනේනේ ඉදිරියේ දී පැමිණීමට නියමිත මෙවැනි ක්‍රමලේඛයි. ඔබ නිතර නිතර දුක්වන බව සහ සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් ඇති පුවත්, පෝස්ට්, ආදිය පළ කරන්නේ නම්, ඒ බව Facebook හි කෘත්‍රීම බුද්ධිය විසින් හඳුනාගෙන ඔබේ ආදරණීයයන්ට දන්වන්නට පුළුවනි. එවිට ඔවුන් ක්‍රියාකාරී වී ඔබ ඒ තත්ත්‍වයෙන් මුදවා ගන්නට හැකි වේවි.

Facebook හුදෙක් සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්නක් පමණක්ම නොවෙයි. එය රටක හෘද ස්පන්දනය වෙනස් කිරීමට සමත්. Facebook  විප්ලව යනුවෙන් හඳුන්වන්නේ ඒවා. රටේ තරුණ පරම්පරාව නිතරම Facebook  සමගම සිටින නිසා, ඔවුන්ට කිසියම් පණිවුඩයක් යැවීම සහ ඔවුන් ක්‍රියකාරී කර ගැනීම මේ හරහා කරගත හැකියි. බොහෝ දේශපාලන ව්‍යාපාරවලට දැන් දැන් Facebook  යොදා ගන්නේ එහි ඇති මේ ප්‍රබලතාවය නිසයි.

Facebook හි ප්‍රධාන විධායක සහ සභාපති මාක් සකර්බර්ග් (Mark Zuckerberg ) වන අතර ශෙරිල් සැන්ඩ්බර්ග් (Sheryl Sandberg ) ප්‍රධාන මෙහෙයුම් නිළධාරිණිය වශයෙන් කටයුතු කරනවා. ඩේවිඩ් වෙනර් (David Wehner ) ප්‍රධාන මූල්‍ය විධායක ද, මයික් ශ්රෝෆර් (Mike Schroepfer ) විසින් ප්‍රධාන තාක්‍ෂණික විධායක කටයුත්ත ද සිදුකරනවා. 2017 ජුනි මස 30 වැනි දා වන විට Facebook හි සේවය කරන සේවක සංඛ්‍යාව 20,658ක්.

Facebookහි ප්‍රධානතම ශක්තිය වන්නේ එය සතු දත්ත ගබඩාවයි. ලෝකයේ බිලියන දෙකක ජනතාවකගේ පෞද්ගලික විස්තර, පින්තූර, පවුල් දත්ත ආදී සියල්ල මෙන්ම ඔවුන්ගේ රුචි අරුචිකම් පවා හොඳින් දන්නා මේ සමාගම ඉදිරියේ දී අප සියලු ම දෙනා බොහොම හොඳින් පාලනය කරන්නට පටන් ගනීවි. අප බොහෝ දෙනෙකු අවම වශයෙන් දවසකට පැයක්වත් Facebook හි ගත කරනවා. මේ කාලය ඇතුළත අපේ සිත් සතන් වෙනස් වන අවස්ථා බොහොමයි. බොහොමයක් ආදර සම්බන්ධතා ඇරඹෙන්නෙත්, අවසන් වන්නෙත් Facebook එකෙන්. වෙනකක් තියා යෝජිත විවාහයක දී කේන්දර ගලපන්නටත් පෙර දෙපාර්ශවය අහන්නේ මනාලයාගේ හෝ මනාලියගේ Facebook  ප්‍රොෆයිල් එකේ ලිපිනයයි.. එසේමයි, බොහෝ රටවල රැකියාවකට තෝරාගැනීමේ දී අදාළ පුද්ගලයාගේ Facebook පිටුව හොඳින් පරීක්‍ෂා කර බලනවා. ඒ ඔවුන් සිය සමාගමට ගැලපෙන ආකාරයේ පුද්ගලයින්ද කියා සොයා ගැනීමට. එමෙන්ම සිය Facebook  පිටුවේ පළ කළ දෑ නිසා රැකියාව අහිමි වූ බොහෝ දෙනෙකු ලොව සිටිනවා. ලංකාවේ නම් තවමත් ඒ තත්ත්‍වය නැහැ. එහෙත් ඉදිරියේ දී ඒ තත්ත්‍වය ඇතිවීමට පුළුවනි.

දැන් ඔබ ඇමරිකානු වීසා අයදුම් කිරීමේ දී වසර පහක් තුළ භාවිත කළ සියලුම Facebook ප්‍රොෆයිලවල ලිපින සඳහන් කිරීමට සිදු වනවා. මේ මගින් ඔබේ හැසිරීම, කල්ක්‍රියාව, දේශපාලනික සහ සමාජයීය අදහස් සියල්ල පරීක්‍ෂාකර බැලෙනවා. ඒ නිසා ඔබ ඇමරිකාවට යෑමට අදහසක් තිබේ නම් ඔබේ Facebook කල්ක්‍රියාව හොඳින් තිබිය යුතු වෙනවා. මේ තත්ත්‍වය අනෙකුත් දේවලටත් එකතු වන දිනය වැඩි ඈතක නොවෙයි.

Facebook නිසාම එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර පස්වන ස්ථානයේ වැජඹෙන්නේ ඩොලර් බිලියන 71.5ක් සතු කරගෙන. එහෙත් ඔහු නිල වේතනය වශයෙන් ලබා ගන්නේ මසකට ඩොලර් එකක් පමණයි. ඒ වගේමයි ඔහු සහ ඔහුගේ බිරිය ප්‍රසිලා සකර්බර්ග් විසින් බොහෝ පුණ්‍යකටයුතු සිදු කරනවා. ඔවුන් සිය Facebook කොටස් අයිතියෙන් සියයට 99ක් සිය පුණ්‍යායතනය වෙත ප්‍රදානය කරන බවට පොරොන්දු වී තිබෙනවා. එනම් ඩොලර් බිලියන 43ක මුදලක්. මේ නිසාම මාක් සකර්බර්ග් ලෝකයේ ඉතාම බලවත් පුද්ගලයෙකු බවට පත් වී තිබෙනවා. ධනවත්කමින් ආඪ්‍ය වුවත්, ඔහු බොහොම සරළ පුද්ගලයෙක්. වෙනකක් තබා සිය ඇඳුම් පැළඳුම් පවා එකම වර්ණයකින් තබා ගන්නේ කාලය ඉතිරි කිරීමට ඉතා සරළව සහ පහසුව තෝරා ගැනීමට හැකි වන ආකාරයෙන් බවයි ඔහුම පවසන්නෙ. ඔහුගේ ජීවිත කතාව සහ මෙතෙක් පැමිණි ගමන තරුණ පරපුරට පූර්වාදර්ශයක්. Facebook ආයතනය ගොඩනැඟීම සහ පැවැත්ම පිළිබඳ කතාව චිත්‍රපටයකටත් නැංවුණා…

මේ නිසා Facebook  දත්ත ලෝකයට හරි වැදගත්, ඉදිරියේ දී ලෝකයේ සියල්ල දත්ත මත පාලනය වන නිසා දත්ත ලෝකයේ දෙවියා වන Facebook  දෙවියාගේ බලපරාක්‍රමය ඉතා ඉහළ නැංවෙනවා. මේ නිසා Facebook  දේවාලයේ මනා ලෙස හැසිරෙන එක කාගෙ කාගෙත් ශරීරවලට බොහොම වැදගත්.

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *