SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

අපේ විද්‍යා උගතුන්ගෙන් ජනතාවට වැඩක් තියේ ද?

“කැළණි ගඟ පිටාර ගලනකොට අපි සබ්බ සකලමනාවම අරගෙන පාළම උඩට එනවා
වතුර බහින කොට ආයෙත් පහළට යනවා….
යන්තම් වැස්සොත් ගේ ඇතුලේ අඩි දෙක තුනක් උඩට වතුර ගලනවා
එදාට අපි කොයි කෙරුවාව කරන්නෙත් හිටගෙන ….”

මේ බස් කණ්ඩය ඔබ හොඳින් අසා ඇතිවාට සැක නැත.

70-80 දශකවල පටන් කැළණි ගං නිම්නයේ දිවි ගෙවූ අසරණ ජනතාවගේ දුක අද වන විට කොළඹ නගරයේ “පොෂ්” ප්‍රදේශවලට ද පැතිර ගොස් ඇත. එමතු නොව, ලංකාවේ ගම් නියම් ගම් දක්වා ජල ගැලීම්, නියග, නාය යෑම්, දැඩි සුළං ආදී විවිධ වේශයෙන් ස්වභාව ධර්මයාගේ අභියෝග ගමන් කරමින් පවතී. අතීතයේ ස්වභාවික ආන්තික සිදුවීම් (Natural Extreme Events) ලෙසින් පැමිණ යම් ප්‍රදර්ශනයක් බවට පත් වී නිමා වූ තත්ව අද බොහෝ විට කෙලවර වන්නේ අවාසනාවන්ත මානුෂිය ව්‍යසනයකිනි (Human Hazard). මීට ප්‍රධානම හේතුව ජනගහන වර්ධනයත් සමගම සිදුවන ජනාවාස ව්‍යාප්තියයි. එය නොවැළැක්විය හැකි තත්වයකි.

එදා කැලණි පාළම වේදිකා නාට්‍ය රූපවාහිනී තිරයෙන් නරඹමින් විනෝද වූ මීතොටමුල්ලේ, කොළොන්නාවේ ජනතාව අද ඒ වේදිකා නාට්‍යයේ නළු නිලියන් බවට පත් වී ඇත. එදා මෙදා තුර ලංකාවේ පාලකයන් සහ බලධරයන් මේ සම්බන්ධයෙන් කුමක් කර ඇත් දැයි විමසා බැලීම වටියි. එහෙත් ඒ සඳහා කාලය මිඩංගු කිරීමෙන් ඵලක් නැත.

අනෙක් අතට මේ රටේ වියතුන්ගෙන් මේ ව්‍යසනකාරී තත්වයෙන් ජනතාව මුදා ගැනීමට සිදු වී ඇති දායකත්වය ප්‍රමාණවත් දැයි සොයා බැලිය යුතුය. යම් යම් ආකාරයෙන් ස්වභාවික සිදුවීම්වලින් ඇතිවන මානුෂිය විපත් සඳහා විසදුම් ඉදිරිපත් වුවත් රටේ සැබෑවටම පවතින ගැටලුවකින් පටන්ගෙන ඊට විසඳුම් සොයා විද්‍යාඥයන් යන ගමන් අප දකින්නේ බොහෝ දුර්ලභවය. අප රටේ බොහෝ පර්යේෂකයන්ගේ අවසන් අරමුණ ඉහළ තත්වයේ විද්‍යා සඟරාවක පර්යේෂණ පත්‍රිකාවක් පළ කිරීමයි. වායුගෝලීය ආන්තික සිදුවීම් සම්බන්ධයෙන් වසර 40ට වඩා කටයුතු කර ඇති මෙරට එක් පර්යේෂණ කණ්ඩායමක් අදවන තෙක් මොනයම්ම ආකාරයෙන් වත් ආරක්ෂණ නිර්මාණයක් හෝ ක්‍රමවේදයක් ලාංකික ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර නැති බව අපි පැහැදිලිවම දනිමු. එහෙත් ඔවුන් වසරකට ජාත්‍යන්තර මට්ටමෙන් පර්යේෂණ පත්‍රිකා දෙක තුනක් පළ කරයි. මෙය ලංකාවේ බොහෝ පර්යේෂණ කණ්ඩායම්වල සාමාන්‍ය තත්වයයි. ඇත්තෙම්ම ඔවුන්ගේ සොයාගැනීම්වලින් ආර්ථික ප්‍රයෝජන ලබාගන්නේ දියුණු රටවල ව්‍යාපාරික ප්‍රජාවයි. මෙම තත්වය වෙනස් කිරීමට දැන් කාලය එළඹ ඇත.

ස්වභාවික ආන්තික සිදුවීම්වලින් ඇතිවිය හැකි විපත් අවම කරගැනීම සඳහා තාක්ෂණය යොදාගත හැකි ආකාර දෙකකි. එනම් වෙනත් රටවල මේ වන විටත් දියුණු කර ඇති තාක්‍ෂණය ලංකාවට ගැලපෙන පරිදි සකස් කර ආදේශනය කිරීම සහ නව තාක්ෂණ ක්‍රමවේද බිහි කිරීමයි.

විපත් අඩු කරගැනීමේ ක්‍රියාවලිය ද පියවර දෙකකි. එනම් ආන්තික සිදුවීම් පිළිබඳව කෙටි සහ දිගු කාලීන අනාවැකි ගොඩනැගීම සහ එම අනාවැකි අනුව පරිසරයට අනුගත වීමයි. මේ සඳහා අපි එක් උදාහරණයක් ගනිමු.

රත්නපුරයට නුදුරු කිරිඇල්ල සහ අවට ප්‍රදේශය නිතර ජල ගැලීම්වලට මුහුණ දෙන කලාපයකි. මෙබඳු ප්‍රදේශයක ජිවත්වන ජනතාව නිරන්තර අවිනිශ්චිතභාවයකින් කල් ගෙවිය යුතු ය. මෙම ප්‍රදේශයට ඉදිරි වසර, පස් වසර, දස වසර, විසි වසර වැනි කාල පරාසවල දී කෙදිනක කොපමණ මට්ටමකට ගංවතුර ගලාවි දැයි අනාවැකි පළ කළ හැකි නම් එය ඉතා අගනේ ය. මෙහිදී කෙලින්ම විසි වසරක් යැයි නො කියා ඊට වඩා කෙටි කාල ද සඳහන් කලේ සහේතුකව ය. ඊළඟ වසර 20 දී ඇතිවන ජල ගැලීම් පිළිබඳව පවසනවාට වඩා වැඩි නිරවද්‍යතාවයකින් සහ සවිස්තරත්මක භාවයකින් ඊළඟ වසර සඳහා අනාවැකි පළ කළ හැක.

මේ සඳහා ප්‍රථමයෙන් අවශ්‍යවන්නේ අදාළ අනාගත කාලය තුළ එම ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතන රටාව හා වර්ෂාපතනය ලැබීමේ සීඝ්‍රතාවය පිළිබඳව අනාවැකි පළකළ හැකි ආකෘතියකි. මේ සඳහා දැනට පවතින ගෝලීය සහ කලාපීය ආකෘති අවශ්‍ය වෙනස්කම් සිදුකොට යොදා ගත හැක. මෙම කිරිඇල්ල ප්‍රදේශයට යාබදව කළු ගඟ සහ කුරු ගඟ ගලා බසී. මේ නිසා මෙම ගංගාවල ජල මට්ටම ඉහළ යෑමේ ප්‍රවනතාව පිළිබඳව ද අනාවැකි පළ කළ යුතුය. මේ සඳහා එම ගංගාවල ජල පෝෂක ප්‍රදේශවල වර්ෂාපතන රටාව අදාළ කාල පරාසයට ඇස්තමේන්තු කළ යුතු ය.

ඊළඟට ලබා ගත යුතු දත්ත බොහෝ ඇත. ප්‍රදේශයේ භූ විෂමතාවය (topography), ගස් වියන් ව්‍යාප්තිය (tree canopy distribution), ගොඩනැගිලි ඉදිකළ ප්‍රදේශ (built area) සහ ජලය බැස යන මාර්ග (water egresses) ප්‍රථමයෙන් සොයා ගත යුතු ය. මේ සඳහා ලයිඩර් (LIDAR) තාක්‍ෂණය සහ චන්ද්‍රිකා තාක්‍ෂණය යොදා ගත හැක. මීට අමතරව පසෙහි ජලය අවශෝෂණය කරගැනීමේ හැකියාව, භූගත ජල ස්ථරයේ ස්වභාවය ආදී කරුණු කිහිපයක් හැදෑරිය යුතු ය. ප්‍රදේශයේ ගංවතුර ඇතිවීමේ හැකියාව පිළිබඳව සවිස්තරාත්මක අනාවැකි පළ කිරීමේ හැකියාව ඇති ආකෘතියක් තැනිය හැක්කේ මේ සියලු දත්ත හා විශ්ලේෂණ සොයාගත් පසුව ය. මෙය පහසු කටයුත්තක් නොවේ. එසේම කළ නො හැකි කටයුත්තක් ද නොවේ. මැලේසියාවේ ගං වතුර තර්ජන සහිත ප්‍රදේශ ගණනාවකටම මෙබඳු ආකෘති ගොඩනගා ඇත.

අනාවැකි පළකළ හැකි ආකෘති ගොඩනැගීමේ කතා වස්තුව මෙතෙකින් අවසන් නොවේ. යම් භූමි කලාපයක ඉදිකළ ප්‍රදේශ, ගස් වියන් ව්‍යාප්තිය, ජලය බැස යන මාර්ග ආදී කරුණු කාලයත් සමග වෙනස් විය හැක. අප තනන ආකෘතිය මෙම කරුණු සලකා අනාගතයේ දී තම අනාවැකි වඩා නිවැරැදි ලෙස සකසා ගත යුතු ය. මෙලෙස ගොඩනගන ආකෘතියක් බුද්ධිමත් ආකෘතියක් (intelligent model) ලෙස හැඳින් වේ.

ගංවතුර මෙන්ම නාය යෑම් සඳහා ද මෙවැනි අනාවැකි පලකිරීමේ ආකෘති තැනිය හැක. මේ සඳහා ක්ෂේත්‍ර ගණනාවක විශේෂඥයන්ගේ දායකත්වය මෙන්ම සුපිරි පරිගණකවල සහය ද අවශ්‍ය වෙයි. චීන විද්‍යා ඇකඩමිය (Chinese Academy of Science), ඉතාලියේ ඇති ICTP මධ්‍යස්ථානය සහ තවත් ජාත්‍යන්තර ආයතන කිහිපයක්ම වසරකට මෙම විෂය සඳහා නොමිලේ පාඨමාලා ගණනාවක් පවත්වයි. මේ බොහෝ පාඨමාලා සඳහා ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලින් අයදුම් කරන සුදුසුකම්ලාභීන්ට ගුවන් බලපත්‍ර සහ ඉදුම්හිටුම් පහසුකම් ද මෙම ආයතන මගින් නොමිළේම ලබා දෙති. එහෙත් බොහෝ විට අප දකින්නේ ලංකාවෙන් මේ සඳහා අයදුම් කරන පිරිස ඉතා අල්ප බවයි.

ආන්තික සිදුවීම් පිළිබඳව අනාවැකි පළ කිරීමෙන් පසු, ජනහිත සුව පිණිස, තාක්ෂණයේ දෙවන වටය පැමිණේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආන්තික සිදුවීමක් පිළිබඳව යම් අනාවැකියක් පළ කළ විට, මෙතුවක් ලංකාවේ ගත් හොඳම ක්‍රියා මාර්ගය නම් අදාළ අන්තරාකාරී ස්ථානයෙන් ජනතාව ඉවත්කිරීමයි. මෙය කැළණි පාලම නාටකයෙන් ඔබ්බට නොගිය ක්‍රමවේදයකි. එහෙත් කළ යුතුව තිබෙන්නේ ගංවතුර ඇතිවීමේ තර්ජන සහිත බිම් තීරුවල ජිවත්වන ජනතාවට ගංවතුරට ඔරොත්තු දෙන නිවාස (amphibious houses) ඉදි කර දිමයි. නොඑසේ නම් එසේ තමන්ගේම නිවාස ඉදිකර ගැනීමට උපදේශණ සහ පහසුකම් සැපයීමයි. මේ වන විට මැලේසියාව, තායිලන්තය, ජපානය, කොරියාව ආදී රටවල් ගණනාවක නොයෙකුත් මාදිලියේ උභයචාරි නිවාස තනා ඇත. මේ වන විට අප මැලේසියාවේ පර්යේෂණ කරමින් සිටින්නේ සාමාන්‍ය පවුලකට හදිසි අවස්ථාවක් යටතේ පිටතින් ආධාර නොලබා දින 3ක් පමණ සුවසේ සිටීමට හැකි නිවසක් තැනිමට ය. ගංවතුර තලයක (floodplain) ස්ථාපිත කළ හැකි මෙය පෙනුමෙන් සාමාන්‍ය නිවසක් බඳු ය. ජල මට්ටම ඉහළ යාමත් සමගම එය දම්වැල්වලින් සම්බන්ධ කර ඇති කොන්ක්‍රීට් වේදිකාවක් මත පාවීමට පටන් ගනී. මේ සමගම නිවසට මෙතෙක් සම්බන්ධ වූ විදුලි සහ ජල සැපයුම් පද්ධති ද, සනීපාරක්ෂක බැහැර කිරීම් පද්ධතිය ද පාවීමට පටන් ගනී. මෙම එක් පද්ධතියක් හෝ ක්‍රියාවිරහිත වුව හොත් එය ඉබේටම නිවසින් විසන්ධි වන අතර ඒ වෙනුවට අදාළ අවශ්‍යතාවය (විදුලිය, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් ආදිය) නිවෙස තුළ සවිකර ඇති විශේෂ උපාංග මගින් ලබාදීම ඇරඹෙයි. උදාහරණ ලෙස හයිබ්‍රිඩ් විදුලි සැපයුමක්, ජලය පිරිසිඳු කිරීමේ උපකරණයක්, දිගහැරෙන වැසිකිලියක් (inflating toilet) මීට ඇතුළත් වෙයි.

ඉහත ආකාරයේ තාක්‍ෂණික උපක්‍රම වෙනත් බොහෝ ආන්තික සිදුවීම් සඳහා යොදා ගත හැක. එමගින් අන්තරායකර අවස්ථාවන් පිළිබඳව අනාවැකි පළවන සෑම විටකම ජනතාව තම නිජබිම් හෝ වාසස්ථානවලින් ඉවත් කිරීම වළකා ගත හැක.

අප දන්නා ඉතිහාසයට අනුව ස්වභාව ධර්මයේ ඇතිවන ආන්තික සිදුවීම් නිසා මිනිස් විපත් සිදු වී ඇත්තේ අනාදිමත් කාලයක සිට ය. එහෙත් එකල මේ සඳහා ගෙන ඇති පියවර කෙතරම් ප්‍රඥා ගෝචර දැයි කල්පනාකර බැලීම සුදුසු ය. අතීතයේ දී ලංකාවේ මුහුද ගොඩගලන විට විසඳුම වුයේ රජතුමාගේ දියණිය නැවක දමා මුහුදට දියත් කිරීම බව පත පොතෙහි සඳහන් වේ. අද සුනාමියක් ඇතිවන විට එය කල් තබා දැන ගැනීමට දියුණු ක්‍රම ඇත. 2004 වසරේ දී අපේ රටේ ඉමහත් විනාශයක් සිදු වුයේ ඊට සෑහෙන කලකට පෙර පටන් ලෝකයේ තිබූ දැනුම සමග අප අත්වැල් බැඳන් නොසිටි නිසා ය. අඩුම ගණනේ විද්‍යුත් සන්නිවේදන මාර්ග හරහා නොමිලේ ලැබුණු දැනුම ග්‍රහණය කරගැනිමටවත් එදින කිසිඳු ලාංකිකයෙකුට නොහැකි විය.

තාක්‍ෂණය අද වන විට කෙතරම් දියුණු වුවත්, දැනට පවතින දැනුම තුළින් ආන්තික සිදුවීම්වල ප්‍රමාණාත්මක සීමාවන් පිළිබඳව නිවැරැදි නිගමනවලට එළඹීම උගහට ය. මෙයට හොඳම පණිවිඩය ලැබෙන්නේ පසුගිය දා ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය හරහා හමා ගිය සුළි කුණාටුවලිනි. දියුණු කාලගුණ අනාවැකි පල කිරීමේ ක්‍රමවේදයන් සහිත, ඉහළ තාක්‍ෂණික මෙවලම් සඳහා පහසුකම් ඇති ඇමරිකාවේ පවා ඉර්මා කුණාටුවට ජිවිත සියයකට ආසන්න ප්‍රමාණයක් බිලිවිය. මේ ප්‍රතිඵල අපට ඉඟි කරන්නේ විද්‍යා සහ තාක්‍ෂණික වර්ධනය තව තවත් වේගවත් කරන ලෙසයි. අප මෙහිදී සිතිය යුත්තේ මෙම සුළි කුනාටු ප්‍රහාරය ලංකාව වෙත පැමිණිය හොත් සිදුවිය හැකි හානිය පිළිබඳවයි.

ලංකාවට බලපාන ස්වභාවික ආන්තික සිදුවීම් හා සම්බන්ධ මානුෂිය විපත් අවම කරගැනීම සඳහා කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීම මේ වන විට රටේ දැඩි අවශ්‍යතාවයක් වී ඇත. අප දකින්නේ දැනටමත් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අප පමා වී ඇති බවයි. පවතින විද්‍යාවට පරිබාහිර දැනුම සොයා යන්නන්ට එසේ කරන්නට ඉඩදී, පහසුවෙන් සහ ඉක්මනින් ලඟා විය හැකි තාක්‍ෂණික විසඳුම් වෙත මෙම කාර්ය සාධක බලකාය අවධානය යොමු කිරීම යුගයේ අවශ්‍යතාවයයි.

අප පත්තර පිටු පුරා කෙතරම් තර්ක විතර්ක කළ ද අවසානයේ දී ජනතාව වෙනුවෙන් යමක් ලබා දීමට නොහැකි නම් ඒ විද්‍යාව කුමට දැයි ඔබ ඔබගෙන්ම ඇසිය යුතු කාලය එළඹ ඇත.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *