SciTech Publishing Corporation (Pvt) Ltd.
ලංකාවේ මේ සඳහා කළ හැක්කේ කුමක්ද?
විදු වැකිය

රැකියා විරහිත උපාධිධාරීන්ට අපූරු විසඳුමක්!

කොටුව දුම්රියපළ ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුම අසල නිතර නෙත ගැටෙන දසුනක් නම් උද්ඝෝෂණයි. ඕනෑම උද්ඝෝෂණයක් පිළිබිඹු කරන්නේ රටෙහි පවතින අසාර්ථකභාවයකි. එයිනුත් මෙතෙක් පැවති සහ පවතින ක්‍රමයේ වඩාත්ම අනුවේදනීය කතා පුවත පවසන්නේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයි.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ ලංකාවේ ඇසෙන්නේ අද ඊයෙක සිට නොවේ. එහෙත් වර්තමානය වනවිට මෙම තත්වය ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයක් බිහිවන තත්වයකට පත්ව ඇත. සමහර දේශපාලකයින්ට එය හිඟන්නාගේ තුවාලය බවට පත්ව ඇති සෙයකි.

පළමු වැනි වසරේ සිට සරසවියෙන් පිටවන තෙක් නොමිලේ අධ්‍යාපනය ලබා දී සරසවි දිවිය පුරාවට මාසය අග සිසුවාගේ අතට මුදලක් ද ලබා දෙන තවත් රටවල් ලොව ඇත්නම් එය ඉතා අල්ප විය යුතු ය. මෙම නොමිලේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව සමාජයට ප්‍රවිෂ්ඨ වන පුරවැසියා රජයෙන් රැකියාවක් ද බලාපොරොත්තුවේ නම් යම් කිසි තැනක විශාල වරදක් සිදු වී ඇත.

“විශ්ව විද්‍යාල තිබිය යුත්තේ රැකියා අපේක්ෂකයන් බිහි කිරීමට වඩා රැකියා දායකයන් බිහිකිරීමට ය”. අපි මේ අදහස නියමු පාඨයක් ලෙස පසුගිය පස් වසර පුරා රටවල් කිහිපයක ම සරසවිවලට ඉදිරිපත් කළෙමු. එය බොහෝ සරසවි ප්‍රධානීන්ගේ ආකර්ෂණය දිනාගැනීමට හේතු විය. එහෙත් ලංකාව අපගේ රටවල් ගොනුවේ නොමැති විය. එයට හේතුව, සමස්තයක් ලෙස ලාංකික ප්‍රජාව තුළ මෙවැනි ආකල්පයක් රෝපණය කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බව අප නිගමනය කිරීමයි. සමහර විට අපගේ නිගමනය වැරැදි වීමට ද පුළුවන.

රටක යම් ක්ෂේත්‍රයක් තුළ ව්‍යවසායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා එම ක්ෂේත්‍රයේ හැදෑරීම් කළ උපාධිධාරියා ය. මන්ද, ඔහුට එම විෂයය පිළිබඳව ප්‍රයෝගිකව මෙන්ම න්‍යායාත්මකව ද පුහුණුව ලැබෙන බැවිනි. එබැවින් උපාධිධාරියා රැකියා අපේක්ෂකයෙකු නොකර රැකියා උත්පාදකයෙකු බවට පත්කිරීම අපහසු කාර්යයක් නොවන අතර එය රටක සංවර්ධනය කෙරේ ද ඍජුවම බලපායි.

පසුගිය වසර තුළ මැලේසියාවේ, චීනයේ සහ ඉන්දියාවේ අප කළ සමීක්ෂණ තුළින් හෙළි වුයේ මේ රටවල ඉහළ අංකනයන් සහිත සරසවිවලින් පිටවෙන සිසුන් රැකියාව සඳහා බඳවා ගැනීම එම රටවල පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශය ටද බලවත් ගැටලුවක් වී ඇති බවයි. ඊට හේතුව රැකියා සඳහා මෙම උපාධිධාරීන් අයදුම් නො කිරීමයි. ඔවුන්ගෙන් සමහර දෙනෙක් ඉහළ වැටුපකට විදේශ ගතවන අතර බොහෝ පිරිසක් තමාගේම ව්‍යාපාර අරඹයි. මෙහි දී තනි තනිව කටයුතු කරනවා වෙනුවට ඔවුන් තම සරසවි සගයයන් කිහිප දෙනෙකු සමග එකතු වී ව්‍යාපාරය ගොඩනැගීම සුලබව දක්නට ලැබේ. මෙසේ අරඹන ව්‍යාපාරයට ඔවුන් බොහෝ විට පහළ වසරවල සිටිනා සිසු සිසුවියන් අර්ධ කාලීන සේවකයන් ලෙස සම්බන්ධ කරගනියි. සමහර සරසවි මේ ව්‍යාපාරවලට සිසුන් සම්බන්ධ කරගැනීම සඳහා දැන්වීම් සහ ප්‍රවර්ධන පහසුකම් ද තම සරසවියෙන් පිට වූ ව්‍යාපාර නියමුවන්ට ලබා දෙයි.

ලංකාවේ මේ සඳහා කළ හැක්කේ කුමක්ද?

උපාධිධාරියෙක් ව්‍යවසායකයෙකු බවට පත්කිරීම සඳහා කාරණා කිහිපයක් මුල්වේ. අධ්‍යාපන ක්‍රමවේදය තුළට ව්‍යවසායකත්වය අනුබද්ධ කිරීම, ව්‍යවසායක මානසිකත්වයක් උපාධිධාරියා තුළ රෝපණය කිරීම සහ ව්‍යවසායකත්වයට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සොයා ගැනීම සඳහා පහසුකම් සැලසීම මෙම කාරණා වේ.

ලංකාවේ සරසවි අධ්‍යාපන පද්ධතිය තුළ ව්‍යවසායකත්වය, ව්‍යාපාර කළමනාකරණය ආදී විෂයයන් එක විෂය ධාරාවකට හෝ පිඨයකට පමණක් සීමා වීම තදබල අවාසියකි. මෙම විෂයයන් සියලුම ක්ෂේත්‍රවලට ඇතුළත් කළ යුතු ය. විශේෂයෙන්ම විද්‍යා විෂය ධාරාවන්හි නිරතවන සිසුන්ට ව්‍යවසායකත්වය පිළිබඳව දැනුමක් හෝ හැඟීමක් නොමැති වීම විශාල අඩුපාඩුවකි. සරල උදාහරණයක් ගත හොත් පසු ගිය වසර කිහිපය තුළ ලංකාවේ නව නිපැයුම්වල යම් වර්ධනයක් අපි දුටුවෙමු. ශ්‍රී ලංකා නව නිමැවුම්කරුවන්ගේ කොමිසම හරහා මේ සඳහා හොඳ සහයෝගයක් ලැබෙන බව පෙනෙන්නට තිබේ. එහෙත් මෙහි දී මතුවන ගැටලු දෙකකි. ලංකාවේ සරසවි සිසුන් සහ පශ්චාත් උපාධිධාරීන් කී දෙනෙක් නව නිපැයුම් ආශ්‍රයෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගන්නවා ද? අප සිතන ආකාරයට මෙය ඉතා කුඩා සංඛ්‍යාවකි. එහෙත් ඇත්තටම වැදගත් වන්නේ ඊළඟ පැනයයි. එනම් ලබා ගන්නා පේටන්ට් බලපත්‍ර කීයක් වාණිජකරණය (commercialize) කෙරෙනවා ද යන්නයි. මැලේසියාව වැනි රටක සරසවි සිසුවෙකු හෝ ආචාර්යවරයෙකු පේටන්ට් බලපත්‍රයක් ලබාගන්න විටම ඔහුට විශ්වවිද්‍යාල පරිපාලනයෙන් උපදෙස් මාලාවක් ලැබේ. ඒ තම නව නිපැයුම වාණිජකරණය කිරීමට ගත යුතු පියවර පිළිබඳවයි. පේටන්ට් බලපත්‍රය යනු පර්යේෂණ සහ සංවර්ධන මාවතේ එක් මංසන්ධියක් පමණි. එය ගමනාන්තය නොවේ.

ලංකාවේ පවතින නොමිලේ අධ්‍යාපන ක්‍රමය සමාජයේ බොහෝ ස්ථරවලට අතිශයින් සෙත සලසයි. ඒ සමගම මෙම නොමිලේ අධ්‍යාපන සැපයුම කුඩා කල සිටම පුරවැසියා තුළ රජය විසින් සියලුම දේ දිය යුතුය යන හැඟීම ඇතිකරවයි. වෙනත් බොහෝ රටවල සිසුන් ද්විතියික අධ්‍යාපනයෙන් පසු සරසවි අධ්‍යාපනය තොර ගන්නේ උපාධියට ගතවන කාලය සහ ධනය, එමගින් ලැබෙන ප්‍රතිලාභ හා සංසන්දනය කිරීමෙන් අනතුරුවයි. එහෙත් ලංකාවේ සිසුවෙකු සරසවි අධ්‍යාපනය තෝරාගන්නේ අතිශය තරගකාරී විභාගයකින් සමත් වූ පසු සරසවියට පිවිසීම තම අයිතිවාසිකමක් ලෙස සලකන බැවිනි. මේ නිසා උපාධියෙන් පසු රජය විසින් රැකියාවක් ද සැපයිය යුතුය යන හැඟීම ඔහු තවදුරටත් ස්ථාපිත කරගනියි. පවතින සරසවි දේශපාලනය ද මෙම අදහස සිසුවා මත පැටවීමට ඉවහල්වන බව පෙනෙන්නට තිබේ.

දැනට සිටින උපාධිධාරී රැකියා වියුක්තිකයන් වෙනුවෙන් අපි පහත දැක්වෙන ක්‍රමවේදය යෝජනා කරමු. තෝරාගත් උපාධිධාරීන් සමුහයකට ඔවුන්ගේ ක්ෂේත්‍රවලට අදාළව ව්‍යවසායකත්ව පුහුණුවක් ලබාදිය යුතු ය. මෙය වසරක හෝ සය මසක වැඩමුළුවක් ලෙස සකස් කළ හැක. ලෝකයේ දියුණු සහ මෑතක දී කාර්මීකරණය වී ඇති රටවල් දෙස බලන විට පෙනෙන්නේ ස්වභාවික විද්‍යා, සමාජ විද්‍යා, සෞන්දර්ය ආදී සියලු අංශවල ව්‍යවසායකත්ව අවස්ථා රාශියක් සෑම රටකම තිබෙන බවයි. කළ යුත්තේ රටේ පවතින අවශ්‍යතා නිවැරැදිව හඳුනා ගැනීමයි. ලංකාවේ දැනට පවතින මෙවැනි ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යවසායක අවස්ථා පිළිබඳව අපි වෙනත් ලිපියකින් සාකච්චා කරමු.

පුහුණු කාලය තුළ උපාධිධාරී අනාගත ව්‍යවසායකයාට පෞරුෂත්ව සහ මානසික වර්ධනය සඳහා මනෝවිද්‍යාත්මක වැඩමුළු පැවැත්වීම ද ඉතා වැදගත් ය. වෙනෙකෙකු යටතේ සේවය කිරීමට වඩා තමාගේ දැනුමෙන් සහ ශ්‍රමයෙන් ව්‍යාපාරයක් බිහිකිරීමේ අභිමානය ඔහුට පසක් කළ යුතු ය.

පුහුණුවෙන් පසු ව්‍යාපාරය ඇරඹීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගැනීමට සහය වීම රජයේ යුතුකමකි. මෙය බැංකු ණයක් ලෙස ලබා දිය හැක. එම ණය මුදල ලබාදීමේ දී ව්‍යාපාරය තුළින් තව කොපමණ උපාධිධාරීන් පිරිසකට රැකියා උත්පාදනය කළ හැකි දැයි යන කාරණය නිර්ණායකයක් ලෙස සැලකිය හැක.

රැකියා ගැටලුව විසඳීමට රජයේ රැකියා මවා දී උපාධිධාරියා පුටුවක හිඳුවා තැබීමේ පැරණි ක්‍රමයට වඩා මේ ක්‍රමවේදයට මුදල් ආයෝජනය කිරීම උපාධිධාරියාට මෙන්ම රටට ද ඉමහත් යහපතක්වනු ඇත.

 

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *