SciTech Publishing Corporation (Pvt) Ltd.
Astronomy

දකුණේ පෙනුණු අකුණේ අරුමය

පසුගිය දා දකුණු අහසේ දිස් වූ අද්භූත එළියක් ගැන මහත් කතාබහක් ඇති විය. රෑ අඳුරේ අහස ආලෝකවත් කළ මේ සැනෙක දුටු එළිය ගැන මාතර අකුරැස්ස ආදී දකුණු ලක ගම්වල ජනයා ඇසින් දුටු විස්තර පවසා තිබිණි. ඒ සියල්ලකම පාහේ විස්තර වූයේ, සැනෙකින් අහසේ පෙනී නො පෙනී ඇදී ගිය විසල් ආලෝකයක් ගැන ය. ඉන්පසු අහසේ දුමාරයක් ජනිත වූ බව ද ඇතමුන් සිද්ධිය වාර්තා කිරීමට ගිය රූපවාහිනී කැමරා ඉදිරියේ පවසනු අසන්නට දකින්නට ලැබිණි.

ඉදිරිපත් වූ තොරතුරු අනුව එය උල්කාපාතයක් බව අනුමාන කිරීමට හැකි ය. මෙවැනි ස්වභාවික සංසිද්ධියකට අප වික්ෂිප්තවැ, අන්දුන් කුන්දුන්වැ, සිටින කල්හි අනෙකුත් දියණු රටවල ඇත්තෝ පොළොවට ඇදී එන ග්‍රහකයක් විතැන් කරන්නට කැස කවති. එතෙකුදු, අපේ බොහෝ දනා ට තවමත් මේවා ‘දේවතා එළි‘ ය.

ඔරියොනිඩ් උල්කාපාත වර්ෂාව ඔක්තෝබර් 21-22 හිමිදිරියේ දී උපරිමයට ළඟා වනු ඇත. උල්කාපාත පැමිණෙන්නා සේ පෙනෙන්නේ ඔරයන් තාරකා රාශිය අසල ඊසාන දෙසිනි.

උල්කා යනුවෙන් හැඳින්වෙන්නේ අභ්‍යවකාශයේ පාවී එන විවිධ ප්‍රමාණයේ ඝන ද්‍රව්‍යයයෙන් සුසැදි කැබැලි ය. වැලි කැට සිට බොරළු කැට ප්‍රමාණයේ මෙන්ම විසල් පාෂාණ කුට්ටි දක්වා ද මේවා විවිධ ප්‍රමාණයෙන් හා සංයුතිවලින් යුක්ත විය හැකි ය. අභ්‍යවකාශයේ පාවී එන මෙවැනි කැබැල්ලක් පෘථිවියේ ගුරුත්වයට හසුව වායුගෝලයට ඇතුළු වූ පසුව එය ‘උල්කාපාතයක්‘ බවට පත් වේ. පැයට කිලෝමීටර් ලක්ෂයකටත් වැඩි වේගයකින් වායුගෝලය හරහා ඇදී එන මේවා වායුගෝලයේ අංශු හා ගැටී මහත් දීප්තියක් විහිදුවයි. ක්ෂණික ආලෝකයක් අහසේ ඇදී යන්නා සේ අපට දිස් වනුයේ එවිට ය.

යම් හෙයකින් උල්කාපාතයක් වායුගෝලයේ දී සම්පූර්ණයෙන් නො දැවී ඉතිරි වුව හොත්, එය පොළොවට වැටේ. එවැන්නක් අප හඳුන්වනුයේ ‘උල්කාශ්මයක්‘ ලෙස ය.

සඳ නැති පැහැදිලි අහසක් ඇති ඕනෑම රැයෙක දී, පැයක් ඇතුළත සාමාන්‍යයෙන් උල්කාපාත හය හතක් දැකගැනීමට අසීරු නොවේ. මෙසේ අපට දිස් වන්නේ අපෙන් කිලෝමීටර් සියයක් එකසිය පනහක් පමණ සීමාවේ ඇදී යන උල්කාපාත ය. සාගර, කාන්තාර, වනාන්තර ආදී, මිනිස් වාසයෙන් තොර පෙදෙස් වැඩි බැවින් පොළොව දෙසට ඇදෙන උල්කාපාතවලින් මිනිස් ඇසට හසු වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. ගණනය කිරීම් අනුව, දිනකට මිලියන 25කටත් වැඩියෙන් උල්කාපාත ප්‍රමාණයක් පොළොව දෙසට ඇදී එයි.

පොළොවට නිරතුරුවට පතිතවන උල්කාපාතවලින් වෙසෙස්වැ, ඇතැම් කාලවල දී වැඩිපුර උල්කාපාත ප්‍රමාණයක් දක්නට ලැබේ. ‘උල්කාපාත වැසි‘ යනුවෙන් හඳුන්වනුයේ එලෙස වැඩිපුර උල්කාපාත දැකගත හැකි අවස්ථා ය. උල්කාපාත වැස්සක් ඇති වන්නේ, අභ්‍යවකාශයේ ඇති උල්කා සමූහයක් හරහා පෘථිවියේ ගමන් පථය වැටී ඇති අවස්ථාවක ය.

ගිනිබෝල

‘ගිනිබෝල‘ ලෙසින් හැඳින්වෙන්නේ අසාමාන්‍ය ලෙසින් එළිය විහිදුවන උල්කාපාතයකි. පසුගිය දා දකුණු දෙස අහසේ ද දිස්වන්නට ඇත්තේ එවැන්නකි. මෙසේ පතිතවන ඇතැම් ගිනිබෝල දිවා කාලයේ දී පවා එළිය විහිදුවන තරම් දීප්තිමත් ය. ඇතැම් විට එවැන්නක් පුන් සඳේ ආලෝකය පරයා දීප්තිමත් වන අවස්ථාවන් ද දක්නට ලැබේ. එක් දිනක් ඇතුළත මෙවැනි ගිනිබෝල දහස් ගණනක් පොළොව වෙත ඇදී ආවත්, ඉන් බොහෝමයක් මිනිස් වාසයෙන් තොර සාගර, කාන්තාරවල පතිත වීම නිසා මිනිස් ඇසින් වහං වේ.

සාමාන්‍ය උල්කාපාතයක් මෙන් නොව මෙවැන්නක් ඇදී යෑමෙන් අනතුරුව, සුළුවේලාවක් යන තුරු ආලෝක රේඛාවක් ඇදී ගිය මග ඔස්සේ දිස් විය හැකි අතර ඉන් ඇති කෙරෙන දුමාරය, ජෙට් යානයකින් ඇති කෙරෙන ධූම රේඛාවක් සේ අඩ පැයක කාලයක් පමණ පුරා වුව අහසේ රැදී තිබීමට පුළුවන.

මෙවැනි ස්වභාවික සංසිද්ධියක විද්‍යාත්මක සත්‍යතාව මෙය වුව ද, පසුගිය දා වාර්තා වූ උල්කාපාතය අරබයා මිත්‍යා කතා තටු ලැබී, පැතිරී යනු වෙසෙසින් ම දැකිය හැකි වූයේ සාමාජ මාධ්‍ය ඔස්සේ ය. නාසා ආයතනයේ ද නම හුවා දක්වන එක් කතාවක පැවසෙන්නේ, මෙය තරු දෙකක ගැටුමකින් පැමිණි කැබැල්ලක් බව ය. එය කුමන විහිළුවක් දැයි කුඩා දරුවෙකුට පවා සිතෙනු ඇත.

නියුට්‍රෝන තරු එකිනෙක ගැටෙන අයුරු සිත්තරකුගේ ඇසින්. (Credit: NASA/Swift/Dana Berry)

නාසා විද්‍යාඥයන් අනාවරණය කරගෙන තිබුණේ, පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 130ක් ඈතින්, හයිඩ්රා තාරකා රාශිය දෙසින් පිහිටි මන්දාකිණියක (NGC 4993) සිදු වූ තරු ගැටුමකි. අගෝස්තු 17 වැනි දා නාසා හි ෆර්මි ගැමා කිරණ අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ග්‍රහණය කර ගත් එම අධිශක්ති ආලෝක ස්පන්ධය පිළිබඳ පුවත ගැමාකිරණ පිපිරුමක් ලෙසින් ලොව පුරා තාරකා විද්‍යාඥයින් වෙත පැතිරී ගියේ ය. ඉන් ගුරුත්ව තරංග නිකුත්වන බව අනාවරණය කර ගැනීමට ද විද්‍යාඥයන්ට හැකි විය. මෙහි දී සිදු වී ඇත්තේ කලකට ඉහත, පුපුරා ගිය ස්කන්ධාධික තාරකා දෙකකින් ඉතිරි වූ නියුට්‍රෝන තරු දෙකක් එකිනෙක ගැටීමයි.  https://www.ligo.caltech.edu/news/ligo20171016

වෙනත් මන්දාකිණියක සිදු වූ මෙවන් ගැටුමකින් කැබැල්ලක් මෙහි පතිත වනු තබා, ඉන් නිකුත්වන ආලෝකයට පවා එහි සිට මෙහි ලඟා වීමට වසර මිලියන 130කට වැඩි කාලයක් ගත වේ.

කෙසේ වුව ද, දිස් වූවා යැයි පැවසෙන ගිනිබෝල ය, අහඹු උල්කාපාතයක් වන්නට පුළුවන. ඉන් සමාජය තුළ ජනිත වු කුතුහලය හා උනන්දුව, ඵලදායී ලෙස යොදා ගත හැකි නම්, අගනේ ය. ඒ සඳහා හොඳ අවස්ථාවක් මේ සති අන්තයේ උදා වේ. ඒ, වාර්ෂිකව දිස් වන ඔරියොනිඩිස් උල්කාපාත වර්ෂාව මේ ඉරිදා අළුයම් කාලයේ හොඳින්ම දර්ශනය වනු ඇති නිසා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *