SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

නොමිලේ අධ්‍යාපනයෙන් කෙළියේ කාටද?

ඒ 70 දශකයේ අග භාගයයි. අපේ පුංචි අම්මා තම ප්‍රථම ගුරු පත්වීම ලැබී ය. ඒ කුරුණෑගල නගරයෙන් තරමක් ඈත පිහිටි තඹගල්ල ප්‍රදේශයේ පාසලකට ය. ඒ වන විට කුඩා කොලු ගැටයකු වූ මට දෙමව්පියන් සමග කිහිප වතාවක් මේ පාසලට යෑමේ අවස්ථාව හිමි විය. එය ලංකාවේ සැබෑ තත්වය වටහා ගැනීමට කදිම අවස්ථාවක් විය. බදාම ගැලවී වැටුණු කොට තාප්පවලින් වට වූ පෞරාණික පෙනුමකින් යුත් පන්ති කාමර, කඩා වැටෙන්න ඔන්න මෙන්න වූ මේස පුටු, යටිපතුල අඩක් පොළොවේ ගැටෙන, අන්තයටම ගෙවී ගිය රබර් සෙරෙප්පු පැළැඳි සිසු සිසුවියන්. පාංකඩ වන තරමට දිය වූ ඔවුන්ගේ පාසල් නිල ඇඳුම් ආදී සියල්ල පැවසුවේ ඔවුන්ගේ ජීවන තත්වයේ ඇති කටුක බව ය.

“මේ ළමයි හුඟ දෙනෙක් දවසට කන්නේ එක වේලයි. සමහර ළමයි ඉස්කෝලෙට එන්නේ විවේක කාලයේ දී දෙන බිස්කට් දෙක කන්න” පාසලේ විදුහල්පතිතුමා මගේ දෙමව්පියන් සමග පවසනු මට තාම මතක ය.

පසු කාලයක මගේ පුංචි අම්මා පැවසුවේ මෙය පළාතේ ඇති හොඳ මට්ටමේ පාසලක් බවත්, මීටත් වඩා පහළ මට්ටමේ පාසල් එම ප්‍රදේශයේ තිබෙන බවත් ය.

මේ අතීත පුවත මට සිහි වූයේ මීට සති කිහිපයකට පෙර රිවිර පුවත් පතේ පළ වූ ලිපියක් කියවීමෙන් පසුව ය. එහි සඳහන් කරුණු අනුව වයඹ පළාතේ පිටිසර පාසල්වල තත්වය වසර 40කට පසුව ද වෙනස් වී නැති සෙයකි. කුරුණෑගල යනු ලංකාවේ අති දුෂ්කර දිස්ත්‍රික්කයක් නොවේ. එසේ නම් මොණරාගල, බදුල්ල, අම්පාර ආදී ප්‍රදේශවල පාසල්වල තත්වය කෙසේ ඇත්ද?

මගේ පාසල් දිවිය මට සිහිවෙයි. අප කිහිප දෙනෙක් අකුරු කළේ ඉතා අරපරිස්සමෙනි. ඒ අපේ දෙමව්පියන් වෙහෙසී හරි හම්බ කරගන්නා මුදලේ වටිනාකම හොඳින් දන්නා නිසා ය. ඒ අතරම තඹගල්ල විදුහලේ දරුවෙක් වසර දහයකටවත් තම පාසල් කටයුතු සඳහා වියදම් නොකරන තරමේ මුදලක් ගෙවා මිළ දී ගත් පාවහන් පැළැඳ පාසල් පැමිණෙන දරුවන් අනේකවත් අප අතර විය. වරක් මගේ එක් සගයෙක් පැවසූ ආකාරයට ඔහු පළඳින මේස් යුගලක් මා පාසල් ගෙන ගිය පොත් බෑගයේ මිල මෙන් පස් ගුණයක් පමණ විය. මේ දරුවන් එක වේලකට වියදම් කරන මුදලින් දුෂ්කර ගමක පවුලක් දින තුන හතරක් යැපෙනු ඇත.

මේ අන්ත දෙකේ පන්ති දෙකම තම අධ්‍යාපනය ලබන්නේ නොමිලයේ ය. ඒ මීට දශක හතකට පෙර සිදු වූ වරදක ප්‍රතිඵලයක් ලෙස ය. ඒ වරද “නිදහස් අධ්‍යාපනය” යන දෝෂ සහගත පරිවර්තනයෙන් අපි හඳුන්වමු. මේ වරද ගැන කතා කරන්න තබා සිතන්නවත් ලංකාවේ දේශපාලකයන් සහ වියතුන් අකමැති ය. ඒ ඔවුන් කෙරේ මහජන උදහස ඇතිවේ යැයි ඇති බිය නිසා ය. එහෙත් වරද වරද ම ය. එය කෙදිනක හෝ විවෘතව සාකච්ඡා කළ යුතු ය.

ඉංග්‍රීසියෙන් “freedom of education” සහ “free education” යනුවෙන් යෙදුම් දෙකක් නිතර භාවිත වෙයි. මෙහි පළමු පදයෙහි අර්ථය අධ්‍යාපනයේ නිදහසයි. අදටත් ලොව සමහර රටවල සහ සමහර සමාජ ව්‍යුහ තුළ අධ්‍යාපනයේ නිදහස සීමා වී ඇත. කාන්තාවක වීම, අඩු කුලයේ ඉපදීම, ජාතිය හෝ ආගම අනුව බාධා පැනවීම, මුදල් නොමැතිකම, අධ්‍යාපන පහසුකම් හෝ ගුරුවරුන් නොමැති වීම, විෂම දේශපාලන මත දැරීම ආදී කරුණු රාශියක් මත තමාට අවශ්‍ය හෝ තමා කැමති අධ්‍යාපනයක් ලැබීමට ඇති නිදහස අහුරා දමනු ලැබූවන් අපි දකින්නෙමු. මෙය අධ්‍යාපනයේ නිදහස මරා දැමීමකි.

ශිෂ්ට සම්පන්න සමාජ ක්‍රමයක් බිහි කිරීමට නම් අධ්‍යාපනයේ නිදහස අනිවාර්ය අංගයක් විය යුතු ය.

දෙවන පදයෙන් කියැවෙන්නේ මුදලක් අය නො කර අධ්‍යාපනය ලබා දීමයි. මෙය සිංහලට පරිවර්තනය විය යුත්තේ “නොමිලයේ අධ්‍යාපනය” ලෙසටයි. ලංකාවේ රජය මගින් ක්‍රියාත්මක කරන්නේ මේ නොමිලයේ අධ්‍යාපනයයි. මෙයට නිදහස් අධ්‍යාපනය යැයි පැවසීම දේශපාලන වුවමනාවක් බව අපගේ වැටහීමයි. “නොමිලේ අධ්‍යාපනයට අත නොතබව්” යනු ලජ්ජා සහගත සටන් පාඨයකි. “නොමිලේ” යන්න “නිදහස්” වූ විට සටන් පාඨයට යම් ගැම්මක් ඇති වේ. මේ හැරෙන්නට නිදහස් අධ්‍යාපනය යනු කිසිදු අර්ථයක් නැති බෝල් පාඨයකි.

වසර 70ක නොමිලයේ අධ්‍යාපන සැපයුමකින් පසු අප අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ මොනවා ද? රටේ බහුතරයක් පාසල් තවමත් ඇත්තේ පහසුකම් අතින් මැලේසියාව වැනි (මීට වසර 30-40 කට පෙර අපට වඩා ඉතා පසුගාමිව සිටි) රටකට සාපේක්ෂව ඉතා ප්‍රාථමික මට්ටමක ය. ඉඳහිට දුෂ්කර පළාතක පාසලකින් උගෙන ඉහළින් විභාග සමත්වන සිසුවෙකු ගැන පත්තර පිටු පුරා විස්තර පළ වුවත්, යතාර්ථය නම් ඔවුන් බොහෝ දෙනෙක් ඉතා අඩු වයසින් පාසල් අධ්‍යාපනය නිමා කරන බව ය. දුෂ්කර පැතිවල පාසල් පමණක් නොව කොළඹ අහස සිඹින යෝධ ගොඩනැගිලි පෙනෙන මානයේ වූ කොටුවිල ගාමිණි විද්‍යාලය වැනි පාසලක පවා තත්වය එතරම් වෙනස් නොවන බව අපගේ හැඟීමයි.

සිදුවිය යුතුව තිබුණේ කුමක්ද?

ක්‍රමවේදය සකස් විය යුතුව තිබුණේ ආදායම් ප්‍රමාණය මත පදනම් වූ ගාස්තු අයකිරිමකිනි. එවිට සම්පුර්ණයෙන්ම නොමිලයේ අධ්‍යාපනයේ සිට සෑහෙන ඉහළ ගාස්තුවක් දක්වා පුළුල් පරාසයක මෙම අයකිරීම ව්‍යාප්ත වන්නට තිබුණි. කළමනාකරණ පහසුව සඳහා මෙය ගාස්තු තල කිහිපයකට සීමා කළ හැකි ය. ඇතුළුවීමේ විභාග පදනමකින් තොරව දිවයිනේ ඉහළ පෙළේ විදුහල් ලෙස වර්ගීකරණය කළ පාසල්වලට ඇතුළලත් වූ සිසුන්ගෙන් අමතර අය කිරීමක් කිරීමෙන් ඒ පාසල්වලට ඇතිවන ඉල්ලුම අඩු කරගත හැක.

මෙහි දී සමහරුන් ආදායම් මට්ටම අඩු කර පෙන්වීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කිරීම නොවළැක්විය හැක. ඒ අප සමාජයේ ඇති වගකීම් විරහිත ස්වභාවය නිසාවෙනි. එහෙත් එම අඩුපාඩුකම් මධ්‍යයේ වුව ද රජයට සැලකිය යුතු ආදායමක් මෙයින් ලැබේ. ඊළඟට කළ යුතුව තිබුණේ මෙම ආදායම භාණ්ඩාගාරයේ වෙනම ම ගිණුමකට බැර කර එය අධ්‍යපනයේම උන්නතිය උදෙසා යෙදවිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීමයි.

මෙමගින් ලංකාවේ දුෂ්කර පැතිවල පාසල් බොහෝ සෙයින් ඉහළට නගා සිටුවිය හැකිව තිබුණි. එසේනම් අද “දුෂ්කර පාසල්” යන යෙදුම අතීතයට පමණක් වලංගු පදයක් වන්නට තිබුණි. එහෙත් එය එසේ වූයේ නැත.

නොමිලයේ අධ්‍යාපනය නිසා සමාජයේ පහළ ම ස්ථර අන්ත අසරණ වන විට මධ්‍යම පන්තිය තුළ තවත් අනිසි විකෘති ගමනක් ආරම්භ විය.

සීමිත වූ සරසවි පිවිසුම් අවස්ථා ගණනට තරග කිරීමට නම් තම දූ දරුවන් අශ්වයන් බවට පත්කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවට දෙමාපියන් තුළ හැඟීමක් ඇති විය. බොහෝ මධ්‍යම පාන්තික දෙමව්පියන්ට පාසල් ගාස්තුවක් ගෙවීමේ හැකියාව තිබේ. එහෙත් අධ්‍යාපනය නොමිලයේ ය. මේ නිසා ඔවුහු තම දරුවන්ට මුදල් වියදම් කර අමතර අධ්‍යාපනයක් ලබා දී තරගය දිනවීමට හැකි බව අවබෝධ කර ගත්හ. ඒ වෙනුවෙන් ටියුෂන් ව්‍යාපාරය බිහි විය. මේ තරගයට මුහුණ දීම උදෙසා පහළ මධ්‍යම පාන්තිකයන් ද ඉතා අසීරුවෙන් කෙසේ හෝ තම දරුවන් ද ටියුෂන් රැල්ලට එකතු කරන්න විය. අද වන විට තම දරුවන් ටියුෂන් පන්තිවලට නො යවන දෙමව්පියන් ඇත්නම් ඒ ඉතාම අතලොස්සකි. සමහරුන් මේ සඳහා ඉතා විශාල මුදලක් නො මසුරුව වැය කරන අතර සමහර දෙමව්පියන් මේ වෙනුවෙන් සතියට වේල් කිහිපයක් නිරාහාරව සිටින බව අපි පෞද්ගලිකව දනිමු. මේ පිරිසට නොමිලයේ අධ්‍යාපනය වෙනුවට මුදල් ගෙවා ලබන පාසල් අධ්‍යාපනයක් හඳුන්වා දීමට ගියහොත් එයට එරෙහිව රජය පෙරළෙන තරමට විශාල ජන රැල්ලක් බිහිවනු ඇත. එහෙත් තමා දැනටත් ලබන්නේ මුදල් ගෙවා ලබන අධ්‍යාපනයක් බව ඔවුන් නො සිතති. ඔවුන් මුදල් ගෙවා නො විධිමත් ලෙස අධ්‍යාපනය ලබන්නේ ය.

ටියුෂන් ක්‍රමය තුළ නැවතත් බැට කන්නේ සමාජයේ පහළ ම කොටසයි. එදිනෙදා වේල සරිකර ගැනීමත් විශාල අභියෝගයක් වන මේ පන්තිය තුළ තම දරුවාට අමතර ඉගැන්වීම් සඳහා වියදම් කිරීම සිහිනයක් පමණි. පාසලේ අධ්‍යාපනය ද ඉතා පහළ මට්ටමක පවතී. මේ නිසා අවසානයේ දී සමස්ත දුප්පත් පන්තියම සදා දුප්පතුන් ලෙස කාල අවකාශයේ ඉදිරියට පිය තබයි. බොහෝ දේශපාලුවන්ගේ පැවැත්ම රඳා පවතින්නේ මේ දුප්පත් සමාජ පන්තිය දුප්පතුන් ලෙසම සිටිනා තාක් ය. එබැවින් ඔවුන් නිරන්තරයෙන් දුප්පත්කම උත්කර්ෂයට නංවයි.

“නිදහස් අධ්‍යාපනයට අත නො තබව්”. නොමිලයේ අධ්‍යාපනය ඉල්ලා හරයක් නැති ඉහත පාඨය පෙරටු කොටගෙන උද්ඝෝෂණයේ යෙදෙන සරසවි සිසුන් කී දෙනෙක් ටියුෂන් පන්තියකට නො ගොස් විභාග සමත් වන්නට ඇද්ද? ඒ කී දෙනෙක් අද ටියුෂන් පන්ති පවත්වා මුදල් උපයනවා ද? ඔබේ අරගලය කා වෙනුවෙන් ද?

උද්ඝෝෂණ මානසිකත්වය මදකට පසෙකින් තබා ඔබ ඔබගෙන්ම අසන්න.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *