SciTech Publishing Corporation (Pvt) Ltd.
Environment

මී පැණිවලත් කෘමිනාශක

ලෝකයේ වැඩි වශයෙන් භාවිත වන බොහොමයක් කෘමිනාශක, නව-නිකොටිනීකෘත (neonicotinoids), මී මැස්සන් ඇතුළු පරාගනයට උපකාරීවන බොහෝ ප්‍රයෝජනවත් කෘමි සතුන්ට හානි දායක බවට දැනට වසර ගණනාවක පටන් සාක්ෂි ලැබෙමින් පවතී. වර්තමානයේ ලැබී ඇති තොරතුරුවලට අනුව එය මෙතෙක් සීමා වී තිබූ යුරෝපා හා උතුරු ඇමරිකා මහද්වීප අභිබවා මුළු ලෝකය පුරාම පැතිරුණ ගැටලුවක් බවට පත් වී ඇත.

මෙම ගැටලුව නිසා 2013 වසරේ දී යුරෝපය මී මැස්සන් ඇතුළු පරාගනය කරන කෘමි සතුන් නිතර ගැවසෙන ශාක කෙරෙහි නව-නිකොටිනීකෘත කෘමිනාශක භාවිතයට තාවකාලික තහනමක් පනවන ලදී. එම වර්ෂයේ නොවැම්බර් වනවිට යුරෝපියානු ආහාර ආරක්ෂණ අධිකාරිය මේ සම්බන්ධව තවදුරටත් ලැබෙන සාක්ෂි මත ඉහත තාවකාලික තහනම ස්ථිර තහනමක් බවට පත් කිරීමට නියමිතව තිබිණි. ප්‍රංශය මගින් ද එවන් වූ ස්ථිර තහනමක් පනවා තිබිණි.

2012 වසරේ දී ඇලෙක්ස් ඒබි නම් ස්විට්සර්ලන්ත නියුෂටෙල් සරසවියේ පර්යේෂකයා සිය සංචාරක සගයින්ට, යහළුවන්ට හා ඥාතීන්ට විවිධ රටවල කෙරෙන සංචාරවල දී මී පැණි සාම්පල රැගෙන එන ලෙස පවසන ලදී. වසර තුනක් ඇතුළත ලෝකයේ සෑම මහද්වීපයකින් ම පාහේ  (ඇන්ටාක්ටිකාව හැර) මී පැණි සාම්පල 198ක් රැස් කර ගැනීමට එම පර්යේෂණ කණ්ඩායමට හැකි විය. එම සියලු සාම්පල නව-නිකොටින් අඩංගු වේ දැයි පරීක්ෂාවට ලක් කරන ලදී.

පර්යේෂණයේ ප්‍රතිඵල අනුව සාම්පලවලින් හතරෙන් තුනකම නව-නිකොටින් සංයෝග අඩංගු බවට තහවුරු විය. නව-නිකොටිනීකෘත කෘමිනාශක වර්ග පහෙන් එක් වර්ගයක් හෝ අවම වශයෙන් එම හතරෙන් තුනක් වන සාම්පලවල අඩංගු වූ බව සොයා ගන්නා ලදී. තවද එම සාම්පලවලින් හරි අඩක් පමණ ප්‍රමාණයක ම නව-නිකොටිනීකෘත කෘමිනාශක වර්ග දෙකේ සිට පහ දක්වා ප්‍රමාණයක් අඩංගුව පවතින බව ද අනාවරණය විය.

නව-නිකොටිනීකෘත කෘමිනාශකවලින් දුෂිත මී පැණි සාම්පලවලින් 48%ක ප්‍රමාණයක ම පරාගනය සිදු කරන කෘමීන්ට හානිදායක විය හැකි අවම මාත්‍රාවට වඩා වැඩි ප්‍රමාණවලින් එම හානිදායක සංයෝග අඩංගුව තිබී ඇත. පර්යේෂක ඒබි පවසන පරිදි මෙම තත්වය සත්‍ය වශයෙන්ම පරාගනකාරක සතුන්ට නුසුදුසු තත්වයකි.

ඇමරිකාවේ දන්ඩී සරසවියේ ක්‍රිස්ටෝපර් කොනෝලි පවසන්නේ මී පැණිවල නව-නිකොටිනීකෘත සංයෝග අඩංගු වීම එතරම් පුදුම වීමට කරුණක් නොවන බව ය. එහෙත් ලෝකයේ ප්‍රදේශ ගණනාවකින් ලබා ගත් සාම්පල බහුතරයක ස්නායු ක්‍රියාකාරී ප්‍රමාණවලින් එනම් හානිදායක මට්ටමින් නව-නිකොටිනීකෘත ද්‍රව්‍ය මී පැණිවල අඩංගු වීම තිගැස්මට කරුණක් බව ඔහු පවසයි.

මී මැස්සන් ශීත සෘතුව ගත කරන්නේ මී වදය තුළ මී පැණි ආහාරයට ගනිමින් ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මී මැස්සන් කාලයත් සමග නව-නිකොටිනොයිඩවලට නිරාවරණය වන බව මෙම පර්යේෂණයේ ප්‍රතිඵල මගින් පෙන්නුම් කරයි. වර්තමාන විද්‍යාත්මක සාධක අනුව නිරන්තර හෝ දීර්ඝ කාලීනව නව-නිකොටිනොයිඩවලට නිරාවරණය වීම නිසා නව-නිකොටිනොයිඩවලට සංවේදීතාව ද ඉහළ යන බව  පැවසේ.

මී පැණි තුළ විවිධ වර්ගයේ නව-නිකොටිනීකෘත සංයෝග වර්ග කිහිපයක් අඩංගු වීම ද ගැටලුවකි. එම විවිධ සංයෝග කෘමි සතුන්ගේ විවිධ වූ ප්‍රතිග්‍රාහක ප්‍රෝටීන මත ක්‍රියා කරයි. ඇතැම් රසායනික සංයෝගවලට තවත් රසායනික සංයෝගයක විෂ කාලයත් සමග වැඩි කිරීමට හැකියාව පවතී.  මෙවන් හැකියා නව-නිකොටිනීකෘත සංයෝගවල ද පවතින බවට ස්ථිරව කිව නො හැකි නමුදු අනියම් සාක්ෂි ලැබී ඇත.

කෘමිනාශක මී මැස්සන්ට හානිදායක වන අයුරු හඳුනා ගැනීමට තරම් ලෝකය සතුව දැනට පවතින දත්ත ප්‍රමාණවත් වුවත් ඒවා ප්‍රයෝජනවත් ආකාරයකට නො පැවතීම ගැටලුවකි. යුරෝපියානු හා උතුරු ඇමරිකානු ගොවීන් විසින් භාවිත කැරෙන නව-නිකොටිනොයිඩ පිලිබඳ වාර්ත වන නමුත් ඒවා පරිගණක දත්ත සැකසුම් පද්ධතියක ක්‍රමානුකුලව ගබඩා කළ යුතු ය. එවන් වූ දත්ත පද්ධතියක් මගින් දේශීය වශයෙන් කෘමිනාශක භාවිතය හා කෘමි සෞඛ්‍ය  පිලිබඳ සම්බන්ධතාවය පිලිබඳ හෙළි කරනු ඇත. පර්යේෂක ඒබි ඇතුළු කණ්ඩායම මේ වනවිටත් මෙවන් වූ දත්ත රැස් කර පවත්වා ගෙන යෑමට අදාළ පාර්ශව උනන්දු කරවති.

Journal reference: ScienceDOI: 10.1126/science.aan3684

Leave a Reply

Your email address will not be published. Required fields are marked *