SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

කට පාඩමෙන් යට යන අපේ වැඩ කිඩ

මීට වසර කිහිපයකට පෙර බාලදක්ෂ වැඩමුළුවකට සහභාගී වෙමින් සිටි කුඩා දරුවන් පිරිසක් සමග අපි පිළිසඳරක යෙදුනෙමු. එහිදී අප ඔවුනට සරල පැනයක් ඉදිරිපත් කරන ලදී. ඒ ඔවුන් අධ්‍යාපනික කටයුතුවල දී මුහුණ දෙන අපහසුම කටයුත්ත කුමක් ද කියා ය. දරුවන් 17 දෙනෙකු එක විට ම පැවසුවේ චක්කර පාඩම් කිරීම බවයි. තවත් සිසුන් 4 දෙනෙකුගේ විශාලත ම අපහසුතාවය වුයේ ගාථා පාඩම් කිරීමයි. මෙම සිසුන් අපගේ පැනයට ප්‍රතිචාර දැක් වූ ආකාරය සියැසින් දුටුවේ නම් ඔවුන්ගේ මුහුණුවල තිබූ කලකිරීම, වේදනාව මෙන්ම සියුම් කෝපය ද ඔබට මැනවින් වටහා ගත හැකි වනු ඇත.

අපගේ මුළු අධ්‍යාපන ක්‍රමයම සකස් වී ඇත්තේ තොරතුරු එකතු කිරිම සහ ධාරණය කිරීම මුල් කර ගනිමිනි. මෙය වසර දහස් ගණනක සිට අප රටේ පැවතගෙන එන එක් සම්ප්‍රදායකි. තොරතුරු වනපොත් කිරීම යනුවෙන් මෙම ක්‍රමවේදය හැඳින්විණි. මෙය බොහෝ විට සිදුවුයේ පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිතව ය. කරුණු ලේඛන ගත කිරීමේ තාක්ෂණය ඉතා පහළ මට්ටමක තිබුණු එකල තොරතුරු මිනිස් මතකයෙන් ඔබ්බෙහි වූ භෞතික භූතාර්ථයක් තුළ ගබඩා කිරීම විශාල අභියෝගයක් විය. මේ නිසා සියලු දත්ත මිනිස් මොළයෙහි එනම් මතකයෙහි ගබඩා කරන ලදී. අප සිතනා ආකාරයට, සීමිත ක්‍රියාන්විත හැකියාවකින් හෙබි මිනිස් මනසට තොරතුරු ගබඩා කිරීම සඳහා විශාල ශක්තියක් වැය කළ පසු තොරතුරු විශ්ලේෂණයට වැඩි ඉඩකඩක් නොවීය. සමහර විද්වතුන් දක්වන ආකාරයට පැරැණි ලාංකික උගත් විඥානය තුළ වියුක්ත දැනුම පුළුල් ලෙස ව්‍යාප්ත නො වීමට මෙය හේතු වන්නට ඇතැයි අපට සිතෙයි.

අනෙක් අතට අපගේ තාක්‍ෂණික කලාවන් සම්පුර්ණයෙන්ම පදනම් වන්නේ අත්දැකීම් මෙන්ම තැත සහ දෝෂය (trial & error) ඇසුරින් කරන නිරීක්ෂණ මත ගොඩනැගුණු දැනුම තුළ ය. මෙසේ ලැබූ දැනුම සහ කලින් සඳහන් කළ තොරතුරු එක්රැස් කර ගබඩා කිරීම එකිනෙකට වෙනස් ය. කම්මල්කරුවා හොඳම කඩුව සෑදීම සඳහා දෙන ලද යකඩ පතුරක් රත් කළ යුතු සුදුසුම උෂ්ණත්වය දනියි. එය ඔහු පරම්පරාවෙන් ලද දැනුම මත පදනම් වෙයි. මේ අතරම ඔහු අලුතෙන් ලැබෙන ලෝහයක් අඩු හෝ වැඩි උෂ්ණත්වයකට රත් කිරීමෙන් අඩු කඩතොළු ප්‍රමාණයක් සහ වැඩි සවි ශක්තියකින් යුත් නිමාවක් ලබාගත හැකි බව අත්දකියි. මෙය ඔහු බොහෝ විට තැත සහ දෝෂය ඇසුරින් ලබන දත්ත විශ්ලේෂණය කර ගොඩනගා ගන්නා දැනුමකි. එය ඔහු තම අනුප්‍රප්තිකයාගේ දැනුම් සම්භාරයට එකතු කරයි. ඒ දැනුම මොළයේ කොටසක ගබඩාවන තොරතුරු ගොන්නකට වඩා ශරීරයේ ඇති සියලුම සෛලවල ගබඩාවන මතක රටාවක් ලෙස හැඳින්විය හැක. ගල් වඩුවා, රන් කරුවා, කැටයම් සහ මුර්ති ශිල්පියා ආදී බොහෝ ප්‍රයෝගික තාක්‍ෂණවේදීන්ගේ පිය සටහන් අදටත් අප රටේ නො නැසී පවතිද්දී වියුක්ත දැනුම මත පදනම් වූ විඥානයක් රට තුළ ගොඩ නැගී නැත්තේ මේ හේතුවෙන් යැයි අපට අනුමාන කළ හැක.

බුදු දහම සම්බන්ධයෙන් පවා අපට ඇත්තේ තොරතුරු සම්භාරයක් මිස දැනුම් සම්භාරයක් නොවන බව අපගේ හැඟීමයි. පිරිවෙන් ආශ්‍රිතව අප විශාල තොරතුරු පද්ධතියක් රැස් කරගෙන ඇත. එහෙත් එතුළ දැනුම සහ විශ්ලේෂණයේ මූලිකාංගවත් ඇත්දැයි සැක සහිත ය.

දහනම වන සහ විසි වන සියවස්වල ලංකාවට නව අධ්‍යාපන ක්‍රමයක් ඉංග්‍රීසින් හඳුන්වා දුන්හ. මෙහිදී අප අත්දැකීම් සහ ප්‍රායෝගික විශ්ලේෂණයට මූලිකත්වය දුන් තාක්ෂණික ජන විඥානයෙන් ඈත් වී තොරතුරු රැස් කිරීම සහ ගබඩාකිරීම මත පදනම් වූ අධ්‍යාපනික ක්‍රමවේදයකට පිය මැන්නේ ය. මෙය එවකට පැවති බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයට සමගාමී විය. එහෙත් අද වන විට බ්‍රිතාන්‍ය ඇතුළු මුළු බටහිර ලොවම තම අධ්‍යාපනික ක්‍රමවේද උඩු යටිකුරු කර ඇති නමුත් අපි තවමත් සියවසකට පෙර අපට ඔවුන් දුන් හණ මිටිය කරගසාගෙන යමු.

එදා ඔළුව තුළ රැස් කර ගත යුතුව තිබූ තොරතුරු අද ඇත්තේ ඇඟිලි තුඩුවල ය. ඒ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය මෙවලම පරිගණකයේ සිට ජංගම දුරකථනය දක්වා කුඩා වී ඇත. දැනටමත් මේ පහසුකම් අත් ඔරලෝසුවට ද සංක්‍රමණය වී ඇති අතර ඉතා නුදුරේදී එය උපැස් යුවළට හෝ හිස් අවකාශයට පවා පැමිණෙනු ඇත. එබැවින්, නොනවත්වාම තොරතුරු සම්භාරයක් බලහත්කාරයෙන් පාසල් දරුවාගේ හිස මතට සම්ප්‍රේෂණය කරවන පැරණි අධ්‍යාපන ක්‍රමවේදය කිසිදු දියුණු රටක් තව දුරටත් අනුගමනය කරන්නේ නැත. ඒ වෙනුවට ඇත්තේ දරුවාට තම අත්දැකීම් සහ වින්දනය තුළින් තොරතුරු රැස් කරගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් තම දැනුම සරි කරගැනීමේ ක්‍රමවේදයකි.

උදාහරණයක් ලෙස ගසක කොටස් ගැන හැදෑරීම සලකමු. මෙහිදී දියුණු ලෝකයේ දරුවා දැනුම් තේරුම් ඇති කාලයේ සිට ගසක් පිළිබඳව රැස් කරගත් දැනුම (තොරතුරු නොවේ) ස්වභාවික පරිසරයක දී ගුරුවරයෙකුගේ උදව්වෙන් වර්ධනය ගනියි. මිනිස් සිරුර පිළිබඳව දරුවාට ඇති දැනුම භාවිතයෙන් ඔහු ගසක කොටස් හඳුනාගැනීමට උත්සහ ගනියි. අප පිටතින් සකස් වන ආහාර මුඛයෙන් සිරුරට ඇතුළු කරත් ගසක් තම ආහාර ශාක පත්‍ර තුලම නිපදවා ගන්නා බව ඔහු තේරුම් ගනී. මේ සඳහා ගසේ පත්‍ර, මුල්, කඳ ආදී කොටස්වල ක්‍රියාකාරිත්වය ඔහු ගස් අතර ගැවසෙමින් වටහා ගැනීමට උත්සහ කරයි. සමහර ශාකවල මුල් පොළොව මතුපිට විහිදෙද්දී තවත් සමහර ශාක මුල් පොළොව ගැඹුරට විහිදෙන්නේ ඇයිදැයි ඔහුට පරිසරය විසින් කියා දෙයි. ගුරුවරයා මෙහිදී පහසුකම් සලසන්නෙකු පමණක් වෙයි. මෙලෙස දැනුම ලබාගනිද්දී ඔහුට තව වැදගත් කාරණයක් අවබෝධ වෙයි. එනම් ජෛව ගෝලයේ විවිධත්වය අනන්ත බවයි. මේ නිසා හඳුනාගැනීමේ හා විශ්ලේෂණය කිරීමේ පහසුව සඳහා වර්ගීකරණයක් සහ නාමකරණයක් අවශ්‍ය බව ඔහුට වැටහෙයි. අන්තර්ජාලය හුරු දරුවාට තොරතුරු ලබා ගැනීම සඳහා සෙවුම් යන්ත්‍ර (search engine) භාවිතයේ දී නාමකරණය විශාල පහසුවක් බව අවබෝධ වෙයි. ඔහුට නාමකරණය හෝ වර්ගීකරණය යනු තොරතුරු ලබාගැනීම පහසු කරවන මෙවලමක් මිස කටපාඩම් කළයුතු දැනුමක් නොවේ.

මෑතක දී පින්ලන්තයට ගිය අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය වරයා විසින් නිරීක්ෂණය කර තිබුණේ මේ අධ්‍යාපන රටාවයි. එය ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය බව පැවසෙයි. මේ පිළිබඳව එතුමා පළකළ ධනාත්මක අදහස් ඉක්මනින් ක්‍රියාත්මක සහ බලාත්මක කළයුතු බව අපගේ හැඟීමයි.

ඉහත කාරණය ලංකාවේ උගන්වන ආකාරය පිළිබඳව දැන් මදක් සිතන්න. ගසක් ඇඳ කොටස් නම් කළ රූප සටහනක් ද, ඊළඟ පිටුවේ ගසක කොටස් වර්ගීකරණය කළ වගුවක් ද පෙළ පොතෙහි ඇත. දරුවා දිවා රෑ වෙහෙසී මෙම තොරතුරු කටපාඩම් කරයි.

“තාල වර්ගයට අයත් ශාකවල කොටස් නම් කළ රූප සටහනක් අඳින්න”. මේ විභාගයට අසන ප්‍රශ්නයයි. කටපාඩම් කළ තොරතුරු පිළිතුරු පත මත හොඳින්ම වමාරන දරුවා ඉහළින්ම විභාගය සමත්වෙයි වෙයි. ඔහු තොරතුරු සාගරයක් තම හිස මත රඳවා ගෙන සිටියි. එහෙත් ඔහුගේ දැනුම ඉතා අල්ප ය. යම් ප්‍රදේශයක ඇති පස සහ දේශගුණය විස්තර කර, එය රටඉඳි වගාවකට සුදුසුදැයි සාකච්චා කරන්න කිවහොත් දරුවා ගොලුවෙයි. මෙය ඔහුගේ වරද නොව අධ්‍යාපන ක්‍රමයේ නො ගැලපිමයි.

තොරතුරු රැස් කිරීම, ගබඩා කිරීම සහ සිහිපත් කිරීම (recalling) තම එකම අධ්‍යාපන ක්‍රමවේදය කරගත් සිසු පරපුරක් දශක ගණනාවක් තිස්සේ බිහි කිරීමේ ආදීනව අපි අද භුක්ති විඳිමු. මේ ක්‍රියාවලිය සාර්ථකව ම ඉටු කරන පුද්ගලයාට අපි උගතෙකු යැයි කියමු. එසේ උගතුන් වූ සරසවි සිසුන්, ආචාර්යවරුන්, පරිපාලකයන් තුළ ඇති අල්ප වූ දැනුම සහ විශ්ලේෂණ හැකියාව විසින් රටට සිදුකරන හානිය අපි අද ඇස් පනාපිට ම අත්විඳිමු.

අපගේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු යැයි බොහෝ විද්වතුන් හඬ නගන්නේ මේ නිසා ය. පාසල් සිසුවා තොරතුරු ගබඩා කරන දෘඩ තැටියක් (hard disc) නොව තොරතුරු විශ්ලේෂණය කර දැනුම බවට පත් කළ හැකි මිනිස් ජීවියෙකු බවට පත් කළ යුතු ය. මේ සඳහා දරුවාට තමා ජිවත් වන පරිසරයෙන් ලබා ගත නො හැකි අත්දැකීම් සහ වින්දනය පරිගණක තාක්‍ෂණය සහ අන්තර්ජාල පහසුකම් මගින් ලබා ගැනීමට සැලසිය හැක. මීට අමතරව මෑතක දී වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වර්ධිත යථාර්තය (augmented reality) සහ අථත්‍ය යථාර්තය (virtual reality) යන තාක්‍ෂණ ක්‍රමවේද අධ්‍යාපනික ක්‍රමවේදය සඳහා යොදා ගැනීම පිළිබඳව ද අපි පර්යේෂණ පවත්වමින් සිටිමු. නුදුරේ දී ම මැලේසියානු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මේ පිළිබඳව ව්‍යපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. මෙහිදී මෙම තාක්‍ෂණය අඩු මුදලකට අධ්‍යාපනය සඳහා යොදාගත හැකි ක්‍රමවේද පිළිබඳව අපගේ අවධානය යොමුවී ඇත. මේ පිළිබඳව ශ්‍රී ලාංකික පර්යේෂකයන් ද උනන්දු වේ නම් එය බොහෝ අංශවලින් රටට ඵලදායක වනු ඇත.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *