SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

අලුත් අමුතු ගස්වැල් ගැන – ඇහැගහගෙන පරිස්සමින්!

“ජලජ පැළෑටි විශේෂයක් මහකනදරාව වැව ආක්‍රමණය කරයි”, මේ පසුගියදා අපට අසන්න ලැබුණ තොරතුරකි. කටුසහිත, දැලක් මෙන් ජල පෘෂ්ඨයට පහළින් පාවෙන මේ ආක්‍රමණකාරී ජලජ පැළෑටිය ඉතා කෙටි කාලයක දී වැවේ විශාල ප්‍රදේශයක් තම අණසකට නතු කරගෙන තිබේ. මෙම තත්වය තව දුරටත් වැඩි දියුණු වුව හොත් එම වැව ආශ්‍රිත මුළු පාරිසරික පද්ධතියම විනාශ වී යා හැකි ය.

ආක්‍රමණික ශාකයක් යනු කිසියම් ප්‍රදේශයකට ආගන්තුක වූ ගසක්, වැලක් හෝ පැළෑටියකි. ස්ථාවර පාරිසරික පද්ධතියක සියලු ශාක සහ සත්ව වර්ගවල සමතුලිතතාවයක් ඇත. එනම් පෝෂණ සැපයුම සහ ස්වභාවික ආරක්‍ෂණය මගින් යම් ජෛව සංඝටකයක් වර්ධනය කෙරෙන අතර විලොපීයයන් සහ වෙනත් අතුරු ආන්තරා මගින් එම ජෛව ගහනය පාලනය කෙරේ. උදාහරණයක් ලෙස පළගැටියන් විවිධ ශාක පත්‍ර ආහාරයට ගන්නා අතර කටුස්සන් විසින් පළගැටියන් ආහාරයට ගැනේ. කටුස්සා ආහාරයට ගනිමින් යැපෙන බකමූණන් උකුස්සන් ආදී විලෝපීයයෝ සිටිති. මෙම පාරසරික පද්ධතියට, පළගැටියන් මෙන්ම වෙනත් ආහාර මත ද යැපෙන කුරුල්ලන්ට ආහාරයට ගැනීමට නො හැකි ඉතා දැඩි සමකින් යුතු, කටුසු විශේෂයක් වෙනත් ප්‍රදේශයක සිට ගෙනවිත් බෝ කරන්නේ යැයි සිතන්න. නව පරිසර පද්ධතියේ විලෝපීයයන් නොමැති බැවින් මෙම කටුසු විශේෂය ඉතා ඉක්මනින් බෝ වෙයි. ඔවුන් නිසා පළගැටියන් එම පරිසර පද්ධතියේ සම්පුර්ණයෙන්ම වඳවිය හැකි ය. එහි ප්‍රතිඵලය ලෙස පෙර පළගැටියන් ආහාරයට ගත් ශාක වර්ගය විශාල වශයෙන් ව්‍යාප්ත වෙයි. පලගැටියන් ආහාරයට ගැනීමෙන් පමණක් යැපුණු, ප්‍රදේශයට ආවේනික කටුසු විශේෂ මේ නිසා වඳ වී යයි. එබැවින් කටුස්සන් ආහාරයට ගත් විලෝපීය පක්ෂි වර්ග වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වේ. මෙතනින් නොනවතින මේ පාරිසරික බිඳ වැටීම දාම ප්‍රතික්‍රියාවක් මෙන් වෙනත් බොහෝ ශාක සහ සත්ව වර්ගවල පැවැත්මට බලපෑම් කිරීමට පටන් ගනී.

ආක්‍රමණික ශාකයකින් සිදුවන්නේ ද එවැන්නකි. පවතින පරිසර පද්ධතියේ හඳුන්වා දුන් නව ශාකයේ පැවැත්මට කිසිඳු තර්ජනයක් නොමැති නම්, එය වේගයෙන් පැතිරෙන අතර පරිසරයේ එතෙක් පැවති බොහෝ ශාක සහ සත්ව විශේෂ මෙම පැතිරීමට ඔරොත්තු දී ගත නොහී විනාශ මුඛයට පත්වෙයි. නව ශාකය ආක්‍රමණික ශාකයක් බවට පත්වන්නේ එවිටයි. ජලජ පරිසරයක ආක්‍රමණශීලි පැළෑටිවල බලපෑම පාංශුමය පරිසරයකට වඩා බොහෝ සෙයින් වේගවත් විය හැක. මීට හේතුව ජලය මත පාවීමෙන් පැළෑටියේ පැතිරීම ඉක්මන් වීමයි.

ලංකාව වැනි දුපතකට ආක්‍රමණකාරී මිරිදිය ජලජ පැලෑටියක් මූලිකවම පැමිණෙන්නේ මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල නිසා ය. ලංකාවේ බොහෝ වැව් පොකුණු මෙන්ම ඇළ මාර්ගවල පවා පැවැත්ම ඉමහත් තර්ජනයකට ලක් කළ දිය බෙරලිය (water hyacinth) පැළෑටිය ලංකාවට ලැබෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ත්‍යාගයක් ආකාරයෙනි. ඒ 1905 දී එවකට හොංකොං දූපතේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ බිරිඳ වන බ්ලේක් ආර්යාව පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයට දෙන ලද තිළිණයක් ලෙසට ය. වසර 1912 වන විට මෙම පැළෑටිය උද්භිද උද්‍යානයෙන් පිටත මධ්‍යම පළාතේ ජලාශවල ද, 1914 වන විට දකුණු පළාතේ ද, 1916 වන විට වයඹ පළාතේ ද ඊට වසරකට පසු සබරගමු පළාතේ ද දක්නට ලැබුණි.

දකුණු ඇමෙරිකාවට ආවේනික වූ සැල්වීනියා ජලජ පැළෑටිය ලංකාවට ගෙන එනු ලබන්නේ 1939 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයයේ අධ්‍යයන කටයුත්තක් සඳහා ය. යම්කිසිවෙකුගේ නො සැලකිලිමත්කම නිසා පර්යේෂණාගාරයෙන් පිටතට පැමිණෙන මෙම ශාකය 1943 දී පමණ කොළඹ අවට ජලාශවල බහුලව දකින්නට ලැබුණි. වසර 1954 වන විට සැල්වීනියා පැළෑටිය කුඹුරු අක්කර විසි දෙදහසක් සහ බස්නාහිර පළාතේ ජලාශ අක්කර දෙදහසක් ආක්‍රමණය කර තිබුණි. මේ නිසා වැව් පොකුණු ගණනාවක් ගොඩවීමේ තර්ජනයට මුහුණ පෑ අතර ඇළ මාර්ග සහ සොරොව් රාශියක් සිර වීමෙන් විශාල පාරිසරික ගැටලු ප්‍රමාණයක් උද්ගත විය. බරවා හෙවත් ෆයිලේරියා රෝගය බෝ කරන මදුරුවාගේ අභිජනනය සඳහා සැල්වීනියා පැළෑටියේ පාවෙන මුල් හොඳ තෝතැන්නක් වූ බැවින් පාරිසරික සමතුලිතතාවයට අමතරව එය මහජන සෞඛ්‍යයට ද බරපතල තර්ජනයක් විය.

රජයට සැල්වීනියා පැළෑටියේ අභියෝගය තිව්‍ර ලෙස දැනෙන්න වූයේ කඩිනම් මහවැලි ව්‍යාපාරයත් සමග ය. මහවැලි ජලාශවලට සැල්වීනියා ඇතුළු වීම බිලියන ගණනාවක ධන හානියකින් සහ මිල කළ නොහැකි ජීවිත සහ දේපල හානියකින් කෙළවර විය හැකි බවට විදු මත පළවන්නට විය. ඊට හේතුව සැල්වීනියා හිරවීමෙන් විදුලි ජනන යන්ත්‍ර අවහිරවීමයි. එපමණක් නොව පිටාර දොරටු පාලක යන්ත්‍රණ අඩපණ වීමෙන් ඉහළ වැසි කාලගුණයක් යටතේ ඇතැම් ජලාශවල වේල්ල කැඩී යෑමට පවා ඉඩ ඇති බවට මත පළ විය.

මේ තත්වය මත 80 දශකයේ දී එවකට පැපුවා නව ගිනියාවේ සහ ඕස්ට්‍රේලියාවේ සැල්වීනියා මර්දනය සඳහා සාර්ථකව යොදාගත් සී. සැල්වීනියේ නම් කුරුමිණි වර්ගය ලංකාවට ගෙන්වා ජලාශවලට මුදා හරින ලදී. මෙම කුරුමිණියා සැල්වීනියා මත පමණක් අභිජනනය වන එසේම සැල්වීනියා පමණක් ආහාරයට ගන්නා කෘමියෙකි. සැල්වීනියා නොමැති පරිසරයක එම කුරුමිණියාට පැවැත්මක් නැත. හඳුන්වා දී වසරක පමණ කාලයක් ඇතුළත සැල්විනියේ කුරුමිණියා ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දුන් අතර සැල්වීනියා ශාකය බොහෝ දුරට ලංකාවෙන් තුරන් කිරීමට එය හේතු විය.

මෙම සංසිද්ධිය අපට පෙන්වා දෙන්නේ විදේශීය පැළෑටි සහ සත්ත්වයන් ලංකාවට ගෙන ඒමේ දී සහ ලංකාවේ නඩත්තු කිරීමේ දී කෙතරම් සැළකිලිමත් විය යුතු ද යන්නයි. එක් නො සැළකිලිමත් පුද්ගලයෙකුගේ අත් වැරැද්දකින් මුළු රටක්ම දශක ගණනක් වන්දි ගෙව් බව අප අමතක නො කළ යුතු ය. පසුගිය දශක කිහිපයේ දී ව්‍යාපාරිකයන් විසින් ලොව දස දෙසින් සුරතල් මත්ස්‍ය සහ පැළෑටි වර්ග සිය ගණනක් ලංකාවට ආනයනය කර තිබෙන අයුරු අප දැක ඇත. මේ අතර ඉතා දරුණු පිරානා මසුන් පවා සිටින බව පෙනී ගොස් ඇත. අත්වැරදීම් මෙන්ම ජල ගැලීම් වැනි නොසිතන මොහොතක පැමිණෙන ව්‍යසනයන් හරහා ද මෙම විදේශීය සත්ව සහ ශාක වර්ග දේශීය ජල පරිසරයට එක් විය හැක. එක් පරිසරයක දී සාමාන්‍ය සත්ත්වයන් හෝ ශාක තවත් පරිසර පද්ධතියක දී ආක්‍රමණිකයන් බවට පත්වීමට ඉඩ ඇත. මෙය සමහර විට ආපසු හැරවිය නො හැකි තත්වයක් දක්වා ද වර්ධනය විය හැකි ය.

ඉහත කරුණු සලකා බැලීමේ දී පෙනී යන්නේ මහකනදරාව වැවේ දක්නට ලැබෙන නුපුරුදු ආක්‍රමණික ශාකය ඉවත් කර පුළුස්සා දැමීමෙන් පමණක් අනාගත ව්‍යසනයක් සම්පුර්ණයෙන්ම වළක්වා ගත නො හැකි බවයි. එම පැළෑටිය ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල කරදිය මුසු ජලයේ ද දක්නට ලබෙන බව කියැවේ. මෙය මිරිදිය සහිත මහකනදරාව වැවට පැමිණියේ කෙසේ ද? මිරිදියෙහි දී එම පැළෑටියේ ආක්‍රමණශීලි ස්වභාවය සහ පැතිරීමේ ශිග්‍රතාවය කුමක් ද? එමගින් පාරිසරික පද්ධතියට සිදුවන බලපෑම කුමක් ද? වෙනත් ජලාශවලට මෙම පැළෑටිය පැතිර යෑමට ඇති ඉඩකඩ මොනවා ද? ආදී කරුණු රාශියක් අධ්‍යයනය කළ යුතුව තිබෙයි.

මේ තත්වය පිළිබඳව මහජනතාව දැනුම්වත් කරවීම ඉතා වැදගත් ය. විශේෂයෙන්ම විනෝද චාරිකා යෑමේ දී ප්‍රදේශ කිහිපයක වැව් පොකුණුවලින් ස්නානය කරනවා නම් පිළිපැදිය යුතු ක්‍රමවේදයක් සකස් කර ඒ පිළිබඳව ජනතාවට උපදෙස් ලබා දිය යුතු ය. එසේම සුරතල් මත්ස්‍යයන් සහ මාළු ටැංකි අලංකාර කිරීම සඳහා යොදාගන්න ජලජ ශාක සම්බන්ධයෙන් බලධාරීන් පුළුල් අවධානයක් යොමු කළ යුතු ය. බොල්ගොඩ ගඟෙහි පාරිසරික සමතුලිතාවයට මරු පහරක් වූ ස්කැවෙන්ජර් මත්ස්‍යා මෙන්ම එහි සිටිතැයි සැක පහළ වී ඇති පිරානා මත්ස්‍ය ප්‍රබේධය ද සුරතල් මසුන් ඇතිකරන්නන්ගේ නො සැලකිලිමත් කමෙහි ප්‍රතිඵලයක් වීමට බොහෝ සේ ඉඩකඩ ඇති බව අමතක නො කළ යුතු ය.

ඔබට නිතර හමුවන පරිසරයේ, විශේෂයෙන්ම ජලාශ ආශ්‍රිතව, නුපුරුදු පැළෑටියක් හෝ සත්ත්ව විශේෂයක් දුටුව හොත් ඒ ගැන වහාම පළාතේ වග කිවයුත්තෙකුට වාර්තා කරන්න. මෙය ජාතික කර්තව්‍යයක් සහ සෑම පුරවැසියෙකුගේම යුතුකමක් ද බව සිතන්න.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *