SciTech Publishing Corporation (Pvt) Ltd.
Technology

අනාගතේ රොබෝ අතේ?

අප අනාගතය ගැන බලා ගැනීමට අවශ්‍ය වූ විට කරන්නේ සාත්තරකරුවෙකු, නක්‍ෂත්‍රකරුවකුට අපේ හඳහන ලබා දී ඔහුගේ ගණන් බැලීමට අනුව අනාගතය තීරණය කිරීම ය. අවාසනාවකට මෙය රට කරවන මහාමාත්‍යාදීන්ගේ සිට එදා වේල සොයා ගන්නා හිඟන්නා දක්වා ම පැතිර ඇති ප්‍රවණතාවයකි. තමතමන්ගේ හැකියාවේ හැටියට ගමේ දේවාලයේ සිට තිරුපති දක්කවා ම විවිධාකාර දෙවියන්ගේ පිහිට පතන්නට අපි පුරදු වී සිටිමු. අපි අපේ හැකිකම් සහ ආත්ම විශ්වාසය, නො දකින බලවේග වෙත පවරා පසුපසට යමින් සිටිමු.

මේ කටයුත්ත පෞද්ගලික තලයේ ලා එසේ වුවත්, ලෝකයේ අනාගතය තීරණය කිරීමට නම් මේ අයුරින් නොහැකි ය. එසේ වූවා නම්, සුනාමිය, ලෝකයේ යුද්ධ, සුප්‍රසිද්ධ පුද්ගල ඝාතන, මහා පරිමාණ විනාශ, කාලගුණ ව්‍යසන ආදී සියල්ල නැවැත්වීමේ හෝ පුරෝකථනය කිරීමේ බලය මේ ‘සාස්තරකරුවන්‘ සතු විය යුතු ය. මිලියන විසි දෙකක් පමණ වූ ශ්‍රී ලාංකික අප මේ නක්‍ෂත්‍ර උගුලේ වැටී අනාගතය ග්‍රහලෝක නවයකට සහ නොපෙනෙන දෙවියන්ට භාර දී කල් ගෙවන අතර තවත් බිලියන හතකට අධික ප්‍රමාණයක මිනිසුන් මේ කිසිවක බලපෑමක් නොමැතිව අපට වඩා ගවු ගණනක් ඉදිරියට ගොස් විද්‍යාවේ නව සොයාගැනීම්, ලෝකයට නව නිපැයුම්, ඇතුළු බොහෝ දෑ දායාද කරමින් සිටිති.

ඒ කෙසේ වුවත්, විද්‍යාඥයින් සහ අනාගතය දකින්නන් විවිධාකාර මට්ටමින් අනාගතයේ ඇතිවිය හැකි තත්ත්‍ව පිළිබඳව අනාවැකි පළ කරමින් සිටිති. ඒ සිය අධ්‍යයනවල දත්ත උපයෝගී කර ගනිමිනි. මේ අනුව අනාගත ලෝකය තාක්‍ෂණයෙන් අනූන විය හැකි බව දත්ත නොමැතිව වුව ද අපට පුරෝකථනය කළ හැකි ය. දැනට ලෝකයේ භාවිත අන්තර්ජාලයට සම්බන්ධ උපාංග මිලියන 20, වසර 2025 වන විට දී මිලියන අසූවකට ආසන්න වීමට නියමිත ය. මේ ප්‍රවණතාවය ඇති වී තිබෙන්නේ ස්වයංක්‍රීය කර්මාන්තශාලා සහ කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරු බිහිවීම වැඩිවීමත් සමග ය. සාමාන්‍යයෙන් මිනිසකු පැය අටක් තුළ කරන වැඩ කොටස මෙන් දෙගුණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කිසිදු  හෙට්ටු කිරීමකින් තොරව නිම කිරීමේ කටයුත්ත නිසාම, දැන් දැන් අධිකව මිනිස් ශ්‍රමය වැයවන කටයුතුවලට රොබෝවරු එකතු කර ගැනීමේ ප්‍රවණතාවය ද වැඩිවෙමින් පවතී.

එසේම දැනට භාවිත වන ජංගම දුරකථන ප්‍රමාණය 2020 වනවිට බිලියන තුනකට ආසන්න වනු ඇත. වැඩි වැඩියෙන් ජංගම දුරකථන මාර්ගයෙන් ලෝකයට සම්බන්ධ වන තරුණ පරපුරේ සෑම ගණුදෙනුවක්ම අන්තර්ජාලය හරහා ම සිදු වනු ඇත. ජංගම දුරකථනවල උපයෝගීතා ප්‍රමාණයත් වැඩිවත්ම, මිනිසා පෙරටත් වඩා සංවෘත ඇත. අන්තර් සම්බන්ධතා අන්තර්ජාලය හරහා පමණක්ම සිදු වෙද්දී, හැඟීම් පළ කිරීමත් ඩිජිටල්ම වනු ඇත. ලංකාවේ කෙසේ වෙතත් බටහිර රටවල බොහෝ ඉලෙක්ට්‍රොණික උපාංග, ඇඳුම් ආයිත්තම්, මෙන්ම එදිනෙදා භාවිතයට ගන්නා ආහාරවර්ග ඇනවුම් කිරීම පවා අන්තර්ජාලය හරහා ම සිදු වෙනු ඇත. දැනටමත් Amazon Prime වැනි අන්තර්ජාල උපයෝගීතාවයන් නිසා  සාම්ප්‍රදායික ඇඳුම් සහ වෙලඳසල්වල පැවැත්ම අවිනිශ්චිත ය.

අපට කළ හැකි දේ, යන්ත්‍ර භාවිතයෙන් කිරීමට යෑමේ දී බොහෝ දෙනෙකුට රැකියා අහිමිවනු ඇත. වසර 2000 සිට 2015 වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ස්වයංකරණය (Automation) නිසා රැකියා මිලියන 5.6ක් අහිමි වී ඇත. දැන් දැන් ගූගල් සමාගම මූලිකත්‍වයෙන් රැකියා අහිමිවන පුද්ගලයන්ට නව රැකියා වර්ග සඳහා පුහුණුව ලබා දීම නිසා මේ තත්ත්‍වය යම් තරමකට පාලනය වනු ඇත. එසේ රැකියා අහිමිවන පුද්ගලයන් අතර, ගණකාධිකාරී, නීතීඥවරුන්, වාහන පින්තාරුකරුවන්, වෙල්ඩින් කාර්මිකයන්, ආදීන් ප්‍රධාන ය. එසේම නව තාක්‍ෂණයේ සුපිරි බව විදහා දක්වන්නට තාක්‍ෂණඥයෝ දිනපතා නව රොබෝවරු නිපදවති. මේ නිසා සමාජයේ විවිධ තලවල රැකියා දැඩි තර්ජනයකට ලක්ව ඇත.

රැකියා තත්ත්‍වය එසේ වෙද්දී, මිනිසා ද නව පරිණාමයකට ලක්වෙමින් පවතී. මෙතුවක් කල් ශරීර අංගයක රෝගී වීමක් හෝ අහිමිවීමක් නිසා එක්කෝ සදාකාලික ආබාධිත තත්ත්‍වයට පත්වීමට ඉඩ තිබූ මිනිසා, දැන් දැන් තාක්‍ෂණයේ බල මහිමයෙන් බයෝනික් (Bionic) වීමට පටන් ගෙන තිබේ. අස්ථියක භග්නයක් වූ විට වෙනදා කළ ශල්‍යකර්මවලින් ඈත්ව, ටයිටේනියම් අස්ථියක් හෝ ඊටත් වඩා සුපිරි අවයවයක හිමිකාරීත්‍වය ලබන්නට අපට හැකි වී තිබේ. ගූගල් කණ්නාඩි, ඉලෙක්ට්‍රොණික සිවි කාච වැනි දෑ නිසා ස්වභාවික පෙනීමේ පරාසයට වඩා එහා ගිය සුවිසල් දත්ත ගබඩාවක හිමිකරුවන් වන්නට අපට හැකි වී තිබේ.

කෘත්‍රිම බුද්ධිය එකතු වූ රොබෝවරු ලෝකය පුරා විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙනු ඇත. සමහරවිට ගුරුවෘත්තිය ද රොබෝවරුන්ගේ තර්ජනයට ලක් වීමට පුළුවන. සමහර ගුරුවරුන් දැනටමත් රොබෝවරුන් මෙන් උගන්වන නිසා දරුවන්ට එහි වැඩි වෙනසක් දකින්නට නො ලැබෙන්නටත් පුළුවන. එහෙත් දැන් දැන් අන්තර්ජාලය හරහා උගන්වන කෘත්‍රිම බුද්ධිය සහිත ටියුටර්වරු ඇමරිකාවේ සිටිති. එසේම දැනටමත් තර්ජනයට ලක් වී හමාර අන්තර්ජාල තාක්‍ෂණික සහායකවරුන් මෙන්ම පාරිභෝගික සේවා සපයන්නන් වැනි රැකියා ද කෘත්‍රිම බුද්ධිය නිසා සදහටම නැති වී යනු ඇත. එසේම ඔවුන් හා ඔබ සංවාදයේ යෙදෙන විට ඒ සංවාද ඔබට ආගන්තුක නොවන ආකාරයට ඔබේ භාෂා හැසිරවීමට සමානව ඉබේම සැකසෙනු ඇත.

ගොඩනැගිලි, මංමාවත් ආරක්‍ෂාව ද කෘත්‍රිම බුද්ධියට පැවරෙනු ඇත. මාර්ග අයිනේ සිටින පොලීසියේ ට්‍රැෆික් නිලධාරීන් වෙනුවට කෘත්‍රිම බුද්ධිය කැවූ ස්වංක්‍රීය කැමරා පද්ධතිවලින් ඔබේ රිය ධාවනය නිරීක්‍ෂණය කෙරෙනු ඇත. එපමණක් නොව, ඔබේ වැරැදිවලට අනුව දඩමුදල් ද නියම කැරෙනු ඇත. සමහරවිට එම දඩමුදල ඔබටත් නො දන්වා ඔබේ බැංකු ගිණුමෙන් අයකැරෙනු ඇත. ගොඩනැගිලිවල ආරක්‍ෂණ පද්ධති ස්වයංක්‍රීය වී සාමාන්‍ය සොරුන්ට සොරකම් කිරීමට අපහසු තත්ත්‍වයක් උදාවනු ඇත. දැනටමත් භාවිත වන ස්මාට් නිවාසවල ඇති ස්වයංක්‍රීය පද්ධති අප්‍රමාණව වැඩිදියුණු වනු ඇත. සමහරවිට ඔබට රොබෝ ගෘහ සේවිකාවකගේ සේවය ලැබෙන අතර ඔබ කැමති කෑම වේලක් රොබෝ අතකින්, කලට වේලාවට නිසි ලුණු ඇඹුල් ඇතිව ලැබෙනු ඇත.

තාක්‍ෂණය කෙසේ දියුණු වුවත්, පරිසරය විනාශය නම් දිගින් දිගටම සිදුවනු ඇත. දියුණු රටවල් පරිසර සංරක්‍ෂණය කරා යොමු වෙද්දී අප වැනි සැමදා දියුණු වෙමින් පවතින රටවල වනාන්තර ගහණය තවදුරටත් අඩු වෙමින් සම්පත් හිඟයකට මඟ පාදනු ඇත. තවත් වසර තිහක් වනවිට හිමාලයේ අයිස් තට්ටු දියවීම නිසා ඉන්දියාවට උග්‍ර ජල හිඟයකට මුහුණ පාන්න සිදුවන අතරම, කලාපයේ උෂ්ණත්‍ව යාමනය ද ඇණහිට, දකුණු ආසියාව මිනිස් වාසයට නුසුදුසු වන්නට බොහෝ ඉඩකඩ ඇති බව කිව හැකි ය. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කෙමෙන් කෙමෙන් ඉහළ යත්ම, ධ්‍රැවීය අයිස් දියවීම නිසා මුහුදු මට්ටම ද ඉහළ යනු ඇත. 1870 සිට මේ දක්වා මුහුදු මට්ටම අඟල් 7.5කින් ඉහළ ගොස් ඇත. මේ තත්ත්‍වය දිගටම පැවතුන හොත් 2100 වනවිට අඩි 4කින් මුහුදු මට්ටම ඉහළ යා හැකි ය. එවිට මාලදිවයින වැනි මුහුදු මට්ටමට ආසන්නව ඇති රටවල පැවැත්ම කෙසේ කෙළවර වේ දැයි සිතා ගන්නට නොහැකි ය. ලංකාවේ පවා උතුරු නැගෙනහිර සහ දකුණේ වෙරළබඩ තීරයේ සමහර ප්‍රදේශ මුහුදට යට වී නොපෙනී යනු ඇත.

චීනයේ බීජිං, ඉන්දියාවේ නවදිල්ලිය වැනි වායු දූෂණය අධික නගර මිනිස් වාසයට නුසුදුසු වන තරමට අපවිත්‍රව තිබෙනු ඇත. උෂ්ණත්‍වය ඉහළ යෑම නිසා ඇතිවන අධික තාපයෙන් වැඩි වැඩියෙන් ජලය වාශ්ප වනු ඇත. මේ නිසාම සංවහන වැසි සහ මෝසම් වැසිවලින් පතිතවන ජල ධාරිතාවය අධික වනු ඇත. එවිට සිදුවන ජලගැල්ම, නාය යෑම් ආදී ස්වභාවික ආපදාවල තත්ත්‍වය බරපතල වනු ඇත. මේ නිසාම සුලිසුලං සහ ටෝනේඩෝ තත්ත්‍වවල බලය අධික වනු ඇත. එවිට එමගින් සිදුවන හානි ගණන් බැලීමට අපට වෙනම ඇමතිවරයෙකු පත් කළ හැකි වනු ඇත.

මේ හේතු නිසා විවිධාකාර ලෙඩ රෝග තුන්වැනි ලෝකය පුරා පැතිර යනු ඇත. පවතින රෝගවල පවා තත්ත්‍වය වෙනස්වෙමින් මිනිසා පීඩාවට පත් කරනු ඇත. කෙසේ වුවත්, ලෝකයේ ඖෂධ කර්මාන්තයේ නව නිපැයුම් නිසා, තමන්ට ආවේණික බෙහෙත් සකසා ගැනීමේ (Personalized Medicines) කලාව ලොවට දායාද වනු ඇත. ඒ අනුව තමන්ගේ DNA සැකැස්මට අනුකූල ජෛව විද්‍යාත්මක අනුකූලතාවයක් ඇති බෙහෙත් ඔබට ලැබෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.

බොහොමයක් වාහන විදුලියෙන් ආරෝපණය වී ධාවනය වෙද්දී, සූර්ය බලය සහ සුලං ආදී ස්වභාවික බලශක්ති ප්‍රභව වෙත බොහෝ රටවල් අවධානය යොමු කරාවි. සූර්යකෝෂවල මිල අඩුවීම නිසා මුළු ලෝකයම සිය බලශක්ති ජනනය පරිසරහිතකාමී ආකාරයට සිදු කරන්නට පටන් ගන්නේ තමන් විසින් කාර්මික විප්ලවයෙන් පසුව ලෝකයට කරන ලද හානිය අවම කර ගැනීමට විය හැකි ය. මේ නිසාම අරාබිකරයේ තෙල් ඒකාධිකාරය බිඳ වැටී ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාවේ තෙල් ඒකාධිකාරය ඉදිරියට එනු ඇත. මේ අතර ධ්‍රැව ආසන්නයේ වූ Permafrost තට්ටුව මෘදු වීම නිසා වායුගෝලයට මෙතේන් එකතු වීම නිසා කැනඩාව සහ ඇලස්කාව වැනි ධ්‍රැවීය ප්‍රදේශවල ජීවත්වන අයට ජීවිතය ගැටගසාගැනීමේ ප්‍රශ්න මතුවන්නට පුළුවන.

ලෞකික සම්පත් මෙසේ වෙනස් වෙද්දී, අධ්‍යාත්මිකව ද නොයෙකුත් වෙනස්කම් දැකිය හැකි වනු ඇත. බටහිර ජාතීන් අධ්‍යාත්මිකව දියුණු වෙද්දී, දකුණු ආසියාව මිථ්‍යාදෘෂ්ටියේ ඉහළට ම ගමන් කරනු ඇත, එසේම අනාගමිකත්‍වය ද ඉදිරියේ දී හිස ඔසවමින් ලොව ප්‍රධානපෙලේ ආගම්වල පැවැත්මට අභියෝග එල්ල කරනු ඇති.

චීනය ආර්ථිකව බලවත් වෙද්දී, ඇමරිකාව තව තවත් ආර්ථිකව අඩපණ වනු ඇත. රුසියාව ප්‍රමුඛ ආසියාව වෙත ලෝක බලය නැඹුරු වන අතර, ඉන්දියාව ද බලවත් රාජ්‍යයක් වනු ඇත. සමහරවිට චීනයෙන් ලොව පළමු මානව ක්ලෝනය සහ කෘත්‍රිම මිනිසකු එලිදැක්වීමේ හැකියාවක් ද පවතී. මේ නිසා මානව විද්‍යාවේ සදාචාරාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න ඇතිවනු ඇත.

ත්‍රස්තවාදීන් වඩාත් තාක්‍ෂණශීලී වනු ඇති. ඔවුන් බෝම්බ වෙනුවට සයිබර් අවකාශය යොදා ගැනීමේ ප්‍රවණතාවය ඉහළ යා හැකිය. එසේම ජීව විද්‍යාත්මක අවි පරිහරණය ඉහළ යා හැකි අතර උතුරු කොරියාව සහ මුස්ලිම් අන්තවාදීන් මේ කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ඒ සියල්ලම ඇමරිකාවේ සහ උතුරු කොරියාවේ යුධ ආකල්පමය හැසිරීම මත තීරණය වනු ඇත.

කෙසේ වුවත් මේ වෙනස්කම් ලංකාවට දැනෙන්නට බොහෝ කල් ගතවනු ඇත. ලංකාවේ දේශපාලනය තවත් අවුරුදු 10කට මේ ආකරයෙන්ම පල් වෙමින් ගතවනු ඇත. නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය අපට දැනෙනුයේ මේ එකතැන පල්වෙන ගතානුගතික පැරැණි දේශපාලනඥයින්ගේ ක්‍රමික අභාවයත් සමගය. තරුණ පරපුර වඩාත් ආවේගශීලී වන අතර ලෝකය පැහැදිලිව ම ඇතිහැකි – නැතිබැරි පරතරය වැඩිවෙමින් දෙකට බෙදෙනු ඇති. මුදල් වෙනුවට සියල්ල කාලයෙන් මැනෙන ලෝකයක් නිර්මාණය වීමේ දී ලංකාවට ද ඒ වෙනුවෙන් කාලය වැය කිරීමට සිදු වනු ඇත.

කෙසේ වුවත්, පවතින ක්‍රමය වෙනස් නොවී අපට ඉදිරි ගමනක් සිතිය නොහැකිවනු ඇත.

මේ සියල්ල ඒ අයුරින්ම සිදු නොවුණත්, ඒ හා සමාන දෑ  සිදුවීමේ ප්‍රවණතාවය ඉහළ බව දැනටමත් අන්තර්ජාලයේ සැරිසරන ඔබට පෙනී යනවා ඇත.

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි.
හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත.
ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි.
රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි.
මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *