SciTech Publishing Corporation (Pvt) Ltd.
Environment

අප රකින්නට අයිරින් ඇවිල්ලා!

“ගාල්ලට ගං වතුර”, “යාපනය මුහුදට”, “මධ්‍යම කඳුකරයේ බෑවුම්වල ජනතාවට රතු එළිය”. මේ සති කිහිපයකට පෙර ලංකාවේ පුවත්පත්වල සිරස්තල ය.

පසුගිය වසර කිහිපය මාධ්‍යට හුස්ම ගැනීමටවත් විරාමයක් නොතිබුණ කාල පරිච්ඡේදයකි. දේශපාලන සුළි කුණාටුවලට අමතරව ලංකාව දෙවනත් කරමින් එකක් පසුපස එකක් ස්වභාවික විපත් පැමිණෙන්නට විය. මෑතක සිට කඳු නායයෑම්, ජල ගැලීම්, දරුණු නියඟ, සුළි සුළං, අකුණු ආදී ව්‍යසන නැති දවසක් සොයා ගැනීම පවා අසීරු තරම් ය. ස්වභාව ධර්මය තරමක් හෝ විවේක ගන්නා විට මිනිසා විසින් ම මිනිසා වෙතට විපතක් ලඟා කර දෙයි. මීතොටමුල්ල කුණු කන්ද, උමා ඔය ඛේදවාචකය ඉන් කිහිපයකි. රජරට වකුගඩු රෝගය, ඩෙංගු උණ, මුහුදු ඛාදනය ආදී ව්‍යසනවලට නිශ්චිත වගඋත්තරකරුවෙක් ද නැත.

ස්වභාවික ආන්තික විපත් හමුවේ ලෝක බලවතුන් පවා අසරණ වනු අපි අයිරින් සුළි කුණාටුව සමග දුටුවෙමු. එහෙත් දියුණු ලෝකයේ මිනිසා මේ අසරණ භාවයෙන් මිදීමට තාක්‍ෂණය හඹා යන විට තෙවන ලෝකයේ අපි දෙවියන්ට කන්නලව් කරන තත්වයකට පත්ව සිටිමු. තාක්‍ෂණයේ සිදුරු අපමණ ය. එහෙත් ඒවා පිළිසකර කරගනිමින් ව්‍යසන අවම කරගැනීම විනා වෙන යම් සාර්ථක ක්‍රමවේදයක් තවමත් අපට හමු වී නැත. International Roundtable on Impacts of Extreme Natural Events: Science & Technology for Mitigation හෙවත් අයිරින් (IRENE) ජාත්‍යන්තර වටමේස සාකච්චාව දෙසැම්බර් 13 සිට 15 දක්වා කොළඹ දී පැවැත්වෙන්නේ මේ පසුබිම තුළ ය.

අයිරින් සංවිධානය වන්නේ පාර්ශව තුනක උත්සාහයෙනි. ඒ ඉන්දියාවේ නව දිල්ලි නුවර පාදක කරගත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ විද්‍යා සහ තාක්‍ෂණ මධ්‍යස්ථානය (NAM S&T Center), ශ්‍රී ලංකා ජාතික විද්‍යා සහ තාක්‍ෂණික කොමිෂම (NASTEC) සහ ශ්‍රි ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයයි. අග්නිදිග සරසවියේ මෑතක දී පිහිට වූ ආපදා-වළක්වාලීමට-තාක්‍ෂණය සඳහා වූ පර්යේෂණ මධ්‍යස්ථානය (RC-TDP) මෙහි දී විශේෂ කාර්යභාරයක් සිදු කරයි. පර්යේෂණ මධ්‍යස්ථානය බාරව සිටින එහි සම්බන්ධිකරණ නිලධාරිනී ආචාර්ය බී.ජී.එන්. සෙව්වන්දි මහත්මිය මෙන්ම සරසවියේ උපකුලපති මහාචාර්ය නජීම් මහතා ද මෙම ජාත්‍යන්තර සමුළුවේ නියමුවෝ වෙති.

ආචාර්ය මුදිත ලියනගෙදර මහතාගේ අධිපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික විද්‍යා සහ තාක්‍ෂණික කොමිෂම පසුගිය දස වසර තුළ තුන්වන ලෝකයේ රටවල ඉමහත් ගෞරවයට පාත්‍ර විය. ඒ අකුණු සහ ස්වභාවික ආන්තික සිදුවීම් නිසා ඇතිවන විපත් වළක්වා ගැනීමට බිහි වූ සහයෝගිතා සංසදවල නියමුවා ලෙස ය. මෙම ආයතනය විසින් අරඹන ලද ජාත්‍යන්තර සමුළු සහ වැඩමුළු අද වන විට ආසියාවේ, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ පර්යේෂණ සහ අධ්‍යාපනික මධ්‍යස්ථාන රාශියක් ඇති කිරීමට මූලික වී ඇත.

අයිරින් වැඩසටහනේ අරමුණ අපි-වෙනුවෙන්-අපි සංකල්පයට පණ දීමයි. අවාසනාවට මෙන් ස්වභාවික ආන්තික සිදුවීම් නිසා වැඩිම විපතක් සිදුවන්නේ දියුණුවෙමින් පවතින රටවලටයි. මෙම රටවල් බොහොමයක පවතින ව්‍යසනකාරී තත්ව අතර දැඩි සමානතාවයක් ඇත. උදාහරණයක් ලෙස පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල පසුගිය පස් වසර තුළ හටගත් ජල ගැලීම් සහ ඒ මගින් ඇති වූ ව්‍යසන බොහෝ දුරට සමාන ය. මැලේසියාවේ සහ ශ්‍රී ලංකාවේ කඳු නායයෑම ද මෙලෙසම ය. මේ නිසා මෙම තත්වයන්ට තනි තනි වශයෙන් පිළියම් යොදනවාට වඩා සමුහයක් ලෙස තාක්‍ෂණය හුවමාරු කරගෙන මුහුණ දීම අතිශයින් ඵලදායක ය. එසේම යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව වැනි භූගෝලීය පිහිටිමෙන් ද, ආර්ථික සහ සමාජීය ව්‍යුහයෙන් ද අපට වඩා බොහෝ සේ දුරස් වූ රටවලින් තාක්‍ෂණය ලබාගෙන ඒවා එලෙසින්ම මෙහි රෝපණය කිරීම අසාර්ථක බව මේවන විට අප අත්දැක ඇත. කලාපීය සහයෝගීතාවය වැදගත් වන්නේ මේ නිසා ය.

ලංකාවේ සැහෙන විද්වතුන් පිරිසක් මේ වනවිට ආන්තික සිදුවීම් පිළිබඳව පර්යේෂණවල යෙදී සිටින බව දක්නට ලැබේ. මෙම පර්යේෂණවල දී අවධානය යොමු කළ යුතු විශේෂ කරුණු කිහිපයක් ඇත. ආන්තික සිදුවීම් පිළිබඳව නිවැරැදිව අනාවැකි පළ කළ යුතු ය. එම සිදුවීම් පිළිබඳව නිරන්තර සෙවිල්ලෙන් සිටින බුද්ධිමත් නිරීක්ෂණ පද්ධති ස්ථාපිත විය යුතු ය. අනතුරු පිලිබඳ තොරතුරු අදාළ අංශ වෙත ඉතා ඉක්මනින් ලබා දෙන ස්වයංක්‍රිය සන්නිවේදන ක්‍රම සකස් විය යුතු ය. ආන්තික පරිසරයෙන් ජනතාව ගලවා ගැනීමේ යාන්ත්‍රණ වැඩි දියුණු කළ යුතු ය. නොඑසේ නම් ආන්තික තත්වයට ඔරොත්තුදෙන පරිසර නිර්මාණය කළ යුතු ය. මේ සියල්ල සඳහා සරල යන්ත්‍රවල සිට අධි-තාක්‍ෂණික උපකරණ දක්වා වූ විද්‍යාත්මක ක්‍රමවේද අවශ්‍ය වෙයි.

අප වැනි දියුණුවේ පහළ පෙතේ සිටින රටවලට මේ තාක්‍ෂණය මිළ දී ගැනීම ඉමහත් ආර්ථික බරකි. එබැවින් අප අපගේ තාක්‍ෂණික ක්‍රමවේද ඉහළට ගෙන ආ යුතු ය. එලෙසම මිල දී ගන්නා හෝ නිර්මාණය කරගන්නා උපකරණ හෝ පද්ධති අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කරගෙන උපරිම ඵලදායිතාවයක් අත්කරගත යුතු ය. මේ සඳහා ආයතනික මට්ටමින් පටන් ගෙන ජාත්‍යන්තර මට්ටම දක්වා උපකරණ-තාක්‍ෂණය-දැනුම හුවමාරු කරගන්නා වැඩ පිළිවෙලකට යා යුතු ය.

එහෙත් අවාසනාවකට මෙන් මේ සම්බන්ධයෙන් ලංකාවේ තත්වය දුක්ඛදායක ය. “එකම ආයතනයේ එක් අංශයක ඇති රුපියල් කෝටියක් වටිනා උපකරණයක් වසර දෙකක් පැත්තකට කර ඇත. එය අනෙක් අංශයේ සිටින කෙනාටවත් භාවිත කරන්නට දෙන්නේ නැත”. මේ ඔබ සැමට සුපුරුදු කතාවක් බව නොඅනුමාන ය. ඔබත් කෙදිනක හෝ එහි යම් පාර්ශවයක කොටස්කරුවෙකු ද වන්නට ඇත. සියල්ලට පෙර අප මේ තත්වයෙන් මිදිය යුතු ය. අයිරින් උත්සහ ගන්නේ දියුණු වෙමින් පවතින රටවල් තිස් ගණනක විද්‍යාඥයන්, තාක්‍ෂණවේදීන් සහ ආයතන ප්‍රධානින් අතර ඔවුන් සතු දැනුම සහ සම්පත් අද මෙන්ම හෙටත් උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැකි අයුරින් හුවමාරු කරගැනීමට වේදිකාවක් තැනීමටයි. එය බොහෝ දෙනෙකුගේ යහපතට හේතු වනු ඇත.

 

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *