SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

නොබා සැදිය යුතු බබා සේවා

“දැන් maternity leave (ප්‍රසුත නිවාඩු) ඉවර වෙන්නත් ලඟයි. අනේ මන්දා මොනවා කරන්න ද කියලා. බබාව දාල යන්න කෙනෙක් නැහැ. අපේ අම්මා නංගිගේ බබා බලාගන්නවා. මහත්තයාගේ අම්මවවත් ගෙන්න ගන්න බලන්න ඕනේ” මේ ටික කලකට පෙර අප ලංකාවට පැමිණි විට අපගේ හිතවත් කාර්යාල නිලධාරිනියකගෙන් නැඟුණු අඳෝනාවකි.

එදිනම උදෑසන සිංහල පුවත්පතක පළ වූ සිරස්තලයක් මගේ මතකයට පැමිණෙයි. “යකඩ ඇණ රාශියක් ඇඟට ඇතුළු කර දස වධ දුන් ගෘහ සේවිකාවක් ලංකාවට ගෙන්වා ගනියි”.

මේ කරුණු දෙක දෙස විශ්ලේෂණාත්මකව බලන විට ලංකාව පිළිබඳව ඇතිවන්නේ තදබල පසුතැවීමකි. ඉල්ලුම-සැපයුම දෙකම අතැතිව අපගේ ව්‍යාපාරික ප්‍රජාව අන්ධ වූ දෑසින් සිටිති. රජය පාර්ශවයෙන් විය යුතු දේ සිදු වී නැති සෙයකි.

මේ වන විට කාන්තා පක්ෂය ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ විශාල කොටසකට හිමිකම් කියයි. මෙය බර වැඩ සහිත කම්කරු පන්තියේ සිට ඉහළ ම විධායක ශ්‍රේණි දක්වා විහිදී යයි. අනෙක් අතට රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන විදේශ ගත ශ්‍රම බලකායේ ජීවනාලිය වන්නේ ද කාන්තාවයි. මේ නිසා කාන්තා උන්නතිය සඳහා හැකි සෑම පියවරක්ම ගැනීම රජයේ මෙන්ම සමාජයේ ද වගකීමකි. රැකියාවට යන මවකට දරුවා බලාගැනීමට කෙනෙක් නැතිවීමත්, නොරට බැලමෙහෙවරට නුපුහුණු ශ්‍රමිකයන් ලෙස කාන්තාව පිටත්වීමත් අද ලංකාවේ පවුල් ඒකකය දෙදරා යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත. මේ තත්වයට විසඳුමක් ඇත්ද?

සැබැවින්ම මෙම තත්වය රටේ බොහෝ පාර්ශවයන්ට සෙත ගෙනෙනා මහා ව්‍යාපාර ජාලයකට දොරටු විවෘත කරයි. ඉහත ගැටලු දෙකට ම ගැලපෙන පියවරක් නම් නවීන තාක්‍ෂණයෙන් පිරිපුන් ළදරු සේවා මධ්‍යස්ථාන (baby care centers) රට පුරා බිහි කිරීම ය. තම කාර්යාලයේ සිට බොත්තමක් එබීමෙන් පරිගණක තිරයක් මත තම ළදරුවා නිදියන හැටි, කන බොන හැටි, සෙල්ලම් කරන හැටි දකින්නට හැකි නම්, දරුවා සමග කිහිප විටක් තිරය මත කතා කළ හැකි නම්, මවකට ඊට ඉහළින් යමක් ඇත්ද?

යුරෝපය, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය ආදී දියුණු ලෝකයේ මෙබඳු ළදරු මධ්‍යස්ථාන බොහෝ ය. මේවා පිහිටුවීමේ දී වැදගත්ම කාරණය වන්නේ ඒවාට තිබිය යුතු අවම ප්‍රමිතීන් නීතිගත කිරීමයි. ළදරු සේවා මධ්‍යස්ථානයක ප්‍රධාන පාර්ශවකරුවන් කිහිපදෙනෙකි. ඒ එහි අයිතිකරු, මධ්‍යස්ථාන පාලිකාව, දරුවන් රැකබලා ගන්නියන් (සේවා මව්වරුන්) සහ අනෙකුත් සේවකයන්ය (පිරිසිඳු කිරීම්, නඩත්තු කිරීම්, ප්‍රවාහන කටයුතු ආදිය සඳහා). මේ සියලු දෙනාටම තම කාර්යභාරයන් සඳහා සුදුසුකම් ප්‍රමිතිගත කළ යුතු ය. අදාළ තනතුර සඳහා තිබිය යුතු අවම වයස, පොලිස් වාර්තාව සහ මනෝ වෛද්‍ය වාර්තාව සියලුම දෙනාට අදාළ වෙයි. මීට අමතරව මධ්‍යස්ථාන පාලිකාව සහ සේවා මව්වරුන් සඳහා ළදරු සේවා පුහුණු සහතික, ප්‍රථමාධාර ලබාදීමේ පුහුණු සහතික වැනි දෑ අත්‍යවශ්‍ය අංග ලෙස ප්‍රමිති ගත කළ යුතු ය. අනෙකුත් සේවකයන් සඳහා අඩුම වශයෙන් ග්‍රාමසේවක සහතිකය සහ චරිත සහතිකයක් ඇතුළත් කළ යුතු ය.

එක් සේවා මවක් සඳහා යොමු කළ යුතු උපරිම ළදරුවන් ගණන දරුවාගේ වයස අනුව වෙනස් වේ. බොහෝ යුරෝපිය රටවල ප්‍රමිතිය වන්නේ වයස මාස 12ට අඩු නම් දරුවන් 3 දෙනෙක්, මාස 13-24 අතර නම් දරුවන් 5 දෙනෙක් සහ මාස 24ට වැඩි නම් දරුවන් 6 දෙනෙක් ලෙසටයි. මිට අමතරව තවත් ප්‍රමිතිගත කරුණු රාශියකි. සේවා මධ්‍යස්ථානයේ ඉඩකඩ සහ අභ්‍යන්තර නිර්මාණය, පිරිසිඳු කම, ආරක්ෂක කඩුළු, උෂ්ණත්වය, දුරකථන පහසුකම් ආදිය පමණක් නොව එය තුළ ඇති භාණ්ඩ පවා ළදරුවන්ට යෝග්‍ය ලෙස ප්‍රමිතිගත කර ඇත්දැයි සලකා බැලිය යුතු ය. මේ සියලු කරුණු රජයේ නිරතුරු අධීක්ෂණයට යටත් විය යුතු ය.

මෑතක දී දෙමාපියන් අතර ඉතාමත්ම ජනප්‍රිය වූ අංගය නම් ස්කයිප් (Skype) තාක්‍ෂණය ඔස්සේ තම ළදරුවා සේවා මධ්‍යස්ථානයේ සිටින මුළු කාලය පුරාම දැකබලා ගත හැකි වීමයි. මේ සඳහා සේවා මධ්‍යස්ථානයේ ළදරුවා රදවා සිටින සියළුම ස්ථානයන්හි සවි කළ කැමරා ජාලයක් යොදා ගැනේ. දෙමව්පියන්ට ලබා දී ඇති මුර පදයක් ආශ්‍රයෙන් ඕනෑම වෙලාවක තම ස්මාර්ට් ජංගම දුරකථනය හෝ පරිගණකය ඔස්සේ ළදරුවා නැරඹිය හැක. මෙමගින් දෙමව්පියන් තුළ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව ඇති බිය සම්පුර්ණයෙන්ම පහවෙයි. දරුවා කතා බහ කරන වයසේ නම් ඔහු හෝ ඇය සමග ඉඩකඩ ලැබෙන පරිදි වචන හුවමාරුවකට ද ඉඩකඩ සැලසිය හැක. මේ වන විට ස්කයිප් තාක්‍ෂණයට අමතරව තව නොයෙකුත් මෙවලම් ආශ්‍රයෙන් ඉතා පහසුවෙන් සහ නොමිළේ (අන්තර්ජාල පහසුකම් ඇතිනම්) මෙම සේවය ලබාගත හැක.

ලංකාවේ මෙම ළදරු සේවා මධ්‍යස්ථානවල අවශ්‍යතාවය ඇති මව්වරුන් ගණන අති විශාල බව අපට ස්ථිරවම කිව හැක. මෙම සේවා ලබාදීම සඳහා රජය නිර්දේශ කරන පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීමට පිළිගත් ආයතන බිහි කළ යුතු ය. මෙය තවත් ව්‍යාපාරයකට මුල් ගල තබයි. මෙහි දී රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ආයතන බිහි කළ යුතු අතර ඒවා නිරතුරුව ම නියාමනය විය යුතු ය. රජයේ සහ පෞද්ගලික යන අංශ දෙක සඳහාම පාඨමාලා ගාස්තුවක් අය කළ යුතු අතර අයදුම්කරුගේ ආර්ථික මට්ටම අනුව රජය විසින් යම් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ප්‍රදානය කළ යුතු ය. නොඑසේ නම් මෙය තවත් බරක් ජනතාව මත පැටවීමක් වනු ඇත.

නුපුහුණු ශ්‍රමිකයන්ට මැද පෙරදිග දී ලැබෙනවාට වඩා හොඳ වේතනයක් මෙරටේ දී ම පුහුණු මධ්‍යස්ථාන පාලිකාවන් සහ සේවා මව්වරුන්ට ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු. එසේම මෙසේ පුහුණුව ලබන යම් පිරිසකට ඉහළ සේවා මට්ටමක් සහ වැඩි වැටුපක් සඳහා විදේශ ගතවීමට ද හැකි ය. එවිට ඔවුන් ගුවන් තොටුපොළින් නික්ම යනු ඇත්තේ තැතිගත් “හවුස් මේඩ්ලා” ලෙස නොව, අභිමානවත් පුහුණු සේවා මව්වරුන් ලෙස ය.

පිලිපීනය මේ වන විටත් මේ කර්තව්‍ය අරඹා ඇත. ලංකාව පමා වී නැතැයි අපි සිතමු.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *