SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 10

ආරම්භය කෙසේ වුවත් විස්තරයේ මැද භාගයට යනවිට මේ පර්යේෂණයේ බැරෑරුම් බව තිදෙනාටම හොඳින් අවබෝධ වී තිබුණි. ඩොලර් මිලියන ගණනාවක පිරිවැයක් වෙන්කර ඇති මේ පර්යේෂණයේ වැදගත්කම අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන්නක් බව විශ්වට අවබෝධ විය. තමා මෙතෙක් කල් කළ පර්යේෂණවල අග්‍රඵලය ලබා ගැනීමට මේ ව්‍යාපෘතිය හොඳම මාර්ගය බව කෙමෙන් විශ්වට වැටහෙන්නට විය.

“හොඳයි… දැන් දෙන්නටම අවබෝධ වෙන්න ඇතිනෙ මොනවද කෙරෙන්න ඕන කියලා….”

“මුලින්ම කියන්න තියෙන්නෙ මේක රහස්‍ය මට්ටමේ තුන්වන තලයේ (Level 3 Classified) ඇති ව්‍යාපෘතියක්. මේ ආයතනයෙ ඒ වගේ ව්‍යාපෘති තියෙන්නෙ තුනයි නැතිනම් හතරයි. මම මේ ව්‍යාපෘතිය ඔබ දෙදෙනාට භාර දෙන්නෙ මේ රහස්‍යභාවය ඒ වගේම තබා ගනීවි කියන විශ්වාසය මත. ඒ විශ්වාසය කඩ කරන්න එපා, ඒ වගේම කඩ කළොත් සිදු වන සිදුවීම්වල වගකීම මට භාරගන්නත් බැහැ. ඒක හොඳටම මතක තියාගන්න.”

දෙදෙනාම ප්‍රධානියාගේ කාමරයෙන් පිටවූයේ තමා භාරගත් ව්‍යාපෘතියේ ඇති බැරෑරුම් කම හොඳින් වටහාගෙන ය. තමන් මේ කරුණු කෙසේ සිය සගයනට විස්තර කරන්නේ දැයි දෙදෙනාම පැහැදිලිව දැන සිටියේ නැති වුවත් වැඩිදුර විස්තර පැවසීමට යාමෙන් තමා අමාරුවේ වැටෙන බව පමණක් දැන සිටියහ.

“මොකද උඹලා දෙන්නා පැය තුනක්ම ලොක්කා එක්ක කළේ?”

එළියට එනවිටම පසෙක සිට බිල් කෑ ගැසුවේය.

“පැය තුනක්ම අපි ඇතුළෙ හිටිය ද? දැනුනෙවත් නෑ…..”

“හොඳටම සහතික ද ලොක්කා ඇතුළෙ හිටියා කියල? උඹලා දෙන්නා විතරක් ද දන්නෙ නෑ හිටියෙ….”

“හහ්… යාළුවා… ඔන්න පොට වරද්ද ගන්නයි හදන්නෙ… තව ටිකකින් ලොක්කා එළියට එනවා… ඊට ඉස්සර වෙලා මාරු වෙමු….”

“ඒක නෙවෙයි… අද කොහෙද කන්න යන්නෙ…. මම හිටියෙ ඔක්කොම එකතු වෙනකල්… මට යකෙක් කන්න බඩගිනියි…..”

“මට නම් කොහෙත් එකයි…  විශ්ව එහෙම කිවුවෙ ඇත්තෙන්ම සුවිශේෂී කුසගින්නක් නොදැනුන නිසාමයි…”

“ඔව් ඉතිං… මෙයා කන්නෙ කොළ විතරමනෙ…. මෙයාව වොෂිංටන් මෝල් එකෙන් දාගෙන අපි යමු හොඳ රෙස්ටෝරන්ට් එකකට… එනකොට අපි අරන් එමු… එතකොට ඇතිවෙන්න තණ කොළ කාලා ඉඳීවිනෙ තණ පිට්ටනියෙන්…” මෙගන්ට ටිකක් වෙන්න තරහත් ගිහින්.

“තණකොළවල තියෙන ගුණය දන්නෙ තණකොළ කන අය මෙගන්….  ඒකෙ තියෙන ගුණ දැන ගත්තොත් ඔයා කවදාවත් මස් මාළු කන එකක් නෑ… නමුත්, මම කවුරුවත් නිර්මාංශ කරන්න උත්සාහ කරන්නෙ නෑ…”

“කමක් නෑ… අපි අද යමු Bangkok One තායි අවන්හලට…. ඒක නිර්මාංශ අයටත් හොඳ එකක්… ඉඳලා හිටලා අපිත් ඒවා කන්න උත්සාහ කරන එක හොඳයි… මොකද කට්ටිය කියන්නෙ?” මොලී යෝජනාවක් කළේ අන් කිසිවෙකුට යමක් කතා කරන්නට ඉඩක් ලබා නොදෙමින්.

“හොඳයි හොඳයි… එහෙනම් යමු… මගදි හරකෙක් මරාගෙන එන්න බැරියෑ මට…” මයික් එකඟත්‍වය පළ කළේ ය.

සාමාන්‍යයෙන් සිකුරාදාට රසායනාගාරයේ සියලු ම දෙනා දිවා ආහාරය ගැනීමට අසළ වූ අවන්හළකට යෑමට පුරුදු වී තිබුණා. ඉතා ඉහළ  වේතනයක් ලබන රාජ්‍ය රසායනාගාර විද්‍යාඥයින්ට දිනපතා වුවත් ඉහළ පෙළේ අවන්සල්වලින් ආහාර ගැනීමට තරම් වත්කමක් ඇති පුද්ගලයින් වුවත් ඔවුන් වෙනසක් පිණිස සිකුරාදාට ආපනශාලාවට යනවා විනා සිරිතක් ලෙස දිනපතා ඒවාට නො ගියේ, ඒවායේ ඇති අයහපත් ප්‍රතිපල ගැන හොඳින් දන්නා නිසයි.

“අද මොනවද කන්නෙ? විශ්ව….”

“තණකොළ තමයි…. අපරාදෙ මෙගන්ට තිබුණෙ මාව වොෂිංටන් මෝල් එකේ දාලා එන්න…..”

“මම නං හරකෙක් කනවා… ඌ කන්නෙත් තණකොළ නෙ….” ඒ මයික්.

“අපි සූදානම්…” මොලී පසෙක සිටගෙන සිටි අවන්හලේ වේටර්වරියට දැන්වූවා.

සුපුරුදු පරිදි එදත් විශ්ව ආහාරයට ගත්තෙ කැප්රෝ ජේ නමින් ඒ ආපනශාලාවෙ හැඳින්වූ එළවලුවලින් සැකසූ ආහාරයක්. එහි  ඇතුළත් වුනේ මඳ ගින්නේ රත් කළ එළවලුවලට දැමූ සුදුළූණු සහ විවිධාකාර කොළ වර්ග.

සැම දෙනාම විවිධාකාර කතා බහවල යෙදෙමින් ආහාර ගත්තෙ බොහොම සැහැල්ලුවෙන්…. ඒ අතරෙ අවන්හලේ සිටි තරුණයන් දෙදෙනෙකුගෙ අවධානයත් නිතර නිතර ඔවුන් වෙත යොමු වුන බව විශ්ව දුටුවෙ නෙත් කොණින්…. නමුත් ඔහු ඒ දෙදෙනා ගැන අනෙක් අයට කියන්න ගියෙත් නැහැ… එය සමහර විට සාමාන්‍ය සිදුවීමක් වෙන්න පුළුවන්. මහ හඬික් සිනාසෙමින් විවිධාකාර දේ කතා කරමින් රූමත් තරුණියන් තිදෙනෙකු සමඟ ආහාර ගන්නා තරුණයන් හතර දෙනෙකු වෙත අවධානය යොමු නොවන්නෙ කාගෙ ද? එසේම වොෂිංටනය යනු බොහෝ ධනවත් මෙන්ම බලවත් පුද්ගලයින් අරක් ගත් රාජධානියක්. මේ තරුණ තරුණියන් හත් දෙනා සමහර විට බලවත් දේශපාලනඥයෙකුගේ කාර්යාලයේ සේවය කරන අය වන්නටත් හැකියාවක් තිබෙනවා. සමහර විට ධනවත් පුද්ගලයෙකුගෙ දරුවකුගෙ මිතුරු මිතුරියන් වන්නටත් ඉඩ තිබෙනවා. මේ නිසාම ඕනෑම කෙනෙකුට ඕනෑම ඇසකින් මෙවැනි පුද්ගලයින් දෙස බැලිය හැකියි. නමුත් ඉහත කී තරුණයින් දෙදෙනා නම් මේ සත් දෙනා කවුද යන්න හොඳින්ම දැන සිටියා පමණක් නොවෙයි ඉන් දෙදෙනෙකු ඉතාමත්ම හොඳින් හඳුනාගෙන සිටියා.


සිකුරාදා සවස :

“විශ්ව මොකද කරන්නෙ සති අන්තයෙ?”

“විශේෂ දෙයක් නැහැ, නමුත් මගේ ලොකු මාමාගේ මිතුරෙකු හමු වෙන්න යන්න නම් යොදාගෙන තිබෙනවා හෙට… ඊට අමතරව කිසිවක් නැහැ….”

“අපි හෙට හවසට මයික් ගෙ නවාතැනේ හමු වෙන්නයි ඉන්නෙ… විශ්ව ඉතිං වැඩිය මත්පැන්වලටත් කැමැත්තක් නැති නිසා එන්න කැමති වේද දන්නෙ නැති නිසයි අවසාන මොහොතෙ ඇහුවෙ…”

“ආ…. ඒකට කමක් නෑ… මට වෙලා තිබුණොත් එන්නම්…. කෝකටත් මම සෙනසුරාදා සවසට ඔයාට කෙටි පණිවුඩයක් (Text message) එවන්නම්කො.”

“හරි… එහෙනම් හෙට හමුවෙමු….”

“බොහෝ විට……” බිල් විශ්වගෙන් සමු ගත්තේය.

එදින සවස් වුව ද සිය නව ව්‍යාපෘතියට අදාළ පර්යේෂණ නිබන්ධන සහ පර්යේෂණ පත්‍රිකා අතර සැරිසරන්නට විශ්ව ඉටා ගත්තේ ය. කිසිවෙකු නොමැති රසායනාගාරය නිසොල්මන් ය. ශාන්ත දාන්තය. සිකුරාදා සවස නිසා සියලුම යන්ත්‍ර සූත්‍රවලට නිවාඩු ලැබී ඇත. ඒ සියල්ල නැවත පණ ගැන්වෙන්නේ සඳුදා උදාසන ය. සුවිසල් රසායනාගාරය මධ්‍යයේ ඇති ප්‍රති ගුරුත්‍ව මේසය වෙත විශ්වගේ සිත යොමු විය.

සෙමෙන් ඒ දෙසට ඇවිදගෙන ගිය විශ්ව මේසය මත වූ සුදු පැහැති ආවරණය මෑත් කළේ ය. ඔහුට එය බොහෝ හුරු පුරුදු ගතියක් දැණුනි. 100 %ක් ග්‍රැනයිට්. එය කිව නොහැකි තරම් සුමුදු මතුපිටක් සහිත ගල් ලෑල්ලකි. විශ්ව ඒ මේසය සෙමෙන් අතගා බැලීය.

“බීප් බීප් බීප්…………”

විශ්ව ඒ හඬින් අවදි විය. තමා අන්තර්ජාලය ඔස්සේ පරීක්‍ෂා කළ පර්යේෂණ පත්‍රිකා සහ නිබන්ධන සියල්ල කාර්යාල කාමරයේ වූ මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය වී අවසන් බව දැන්වෙන බීප් නාදයයි ඒ…

බොහෝ විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන ලොව පුරා ඇති විවිධාකාර පර්යේෂණ සඟරා සහ ජර්නලවල අන්තර්ජාල සංස්කරණයන්හි සාමාජිකත්‍වය ලබා ගෙන ඇත. සාමාන්‍යයෙන් වසරක සාමාජිකත්‍වය සඳහා ඩොලර් 100ක සිට එමෙන් සිය ගුණයක් දක්වා වැඩි ගණන් අයකෙරෙන මේ සඟරාවලින් පර්යේෂණයන්ට ඇති ප්‍රයෝජනය මුදලින් මැනිය නොහැක. එසේම අවශ්‍ය ඕනෑම විටක අදාළ ලිපිය බාගත කර ගැනීමත් ඒ සඳහා සීමාවක් නොමැති නිසාත් බොහෝ ආයතන මෙසේ  තමන්ගේ අවශ්‍යතාවයට අනුව මේ සඟරා සහ ජර්නලවල සාමාජිකත්‍වය ලබාගෙන ඇත. විශ්ව සේවය කරන නාවික පර්යේෂණ ආයතනයට මෙවන් සඟරා සහ ජර්නල ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක සාමාජිකත්‍වය ලබාගෙන ඇතුවා පමණක් නොව ලෝකයේ විශාලතම පුස්තකාලවලින් එකක් වන වොෂිංටනයේ පාර්ලිමේන්තු පුස්තකාලයේ ද සාමාජිකත්‍වය ලබාගෙන ඇත. මේ නිසා ලොව පළවන ඕනෑම සඟරාවක තොරතුරක් මෙන්ම අමෙරිකාවේ පළවන ඕනෑම පොතක තොරතුරු ද, පළ කෙරෙන පර්යේෂණ නිබන්ධනවල තොරතුරු ද සැණෙකින් ලබා ගැනීමේ හැකියාව නාවික පර්යේෂණ ආයතන සේවකයන්ට ලැබීම ඉතා විශාල වරප්‍රසාදයකි.

මුද්‍රණ යන්ත්‍රයෙන් සිය පර්යේෂණ පත්‍රිකා ආපසු රැගෙන තම මේසය වෙත යෑමට විශ්ව හැරුණා පමණි….. කිසියම් ඡායාවක් තමා පසුපස එන බවක් ඔහුට දැණුනි…. අනතුරක සේයාවක් නැතත්, තමා උගත් සහ මනාව ප්‍රගුණ කළ ආත්මාරක්‍ෂක සටන් ක්‍රමවල විවිධ පියවර තම සිතට ඇතුළු වන බව විශ්වට හැඟුණි.

“ඉලන්දාරියා…. මොකද තවම වැඩද?”

ඉතාමත් ලඟින් ඇසුන ඒ ගැඹුරු හඬින් විශ්ව හැරී බැලුවේ ය.

අද්මිරාල් රිචර්ඩ් බවර්….

“ඔව් සර්…… අද අලුතෙන් ලැබුණ ව්‍යාපෘතියට ඕන කරන පර්යේෂණ පත්‍රිකා ටිකක් මුද්‍රණය කර ගන්න ටිකක් වෙලා ගියා…”

“හොඳයි හොඳයි…. තමා හොඳට වැඩ කරගෙන යනවා කියලා මට තොරතුරු ලැබුණා… ඒකම තමයි අපි අළුත් ව්‍යාපෘතිය ඔබට භාර දෙන්න තීරණය කළේ… සාමාන්‍යයෙන් අළුතෙන් ආපු කෙනෙකුට මේ වගේ ව්‍යාපෘතියක් ලැබෙන්නෙ බොහොම කලාතුරකින්… මේ ලැබුණ අවස්ථාව අපතෙ යවන්න එපා…. මේක බොහොම වටින අවස්ථාවක්….”

“ඔව් සර්… මම දන්නවා….”

“එහෙනම් පුතා… මම ගිහින් එන්නම්… තව ගොඩක් දේවල් තියෙනවා බලාගෙන යන්න….. සුභ සති අන්තයක්….”

“ඔබටත් සුභ සති අන්තයක් වේවා….”

නාවික පර්යේෂණ ආයතනයේ ප්‍රධානී අද්මිරාල් රිචර්ඩ් බවර් සෑම සිකුරාදා සවසකම නාවික පර්යේෂණ ආයතනයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇවිදීම පුරුද්දක් කරගෙන තිබුණි. ඇවිදීම සිය ශරීර සෞඛ්‍යයට හිතකරබව මෙන්ම ආයතනයේ ප්‍රධානියා ලෙස තමන්ට ඇති වගකීම නිසාත් සිදුවන සියල්ල තම දෑසින්ම බලාගෙන තීරණ ගැනීමේ පුරුද්ද නිසාමත් අද්මිරාල් බවර් සිය ආයතනයේ සෑම තැනකම ඇවිදීමෙන් අනතුරුවයි සිකුරාදා සවස නිවස බලා යන්නේ.

තමා මුද්‍රණය කරගත් පර්යේෂණ පත්‍රිකා සියල්ල තම මේසය මත තැබූ විශ්ව තම නවාතැන බලා යන්නට වාහනයට නැගුන නැගී ප්‍රධාන පාරට අවතීර්ණ විය. ප්‍රධාන මාර්ගයට හරවා මඳ වේලාවකින් සිය පිටුපස බලන කණ්නාඩියෙන් බැලූ විශ්වට සිය දෙනෙත් අදහාගත නොහැකි විය.

සෙනසුරාදා උදෑසනම නාද වන දුරකථනයේ හඬින් අවදි වුන සුමනසේකර මහතා නිදිකඩමින් දුරකථනයට ඇමතුවේ ය.

“හලෝ…..”

“හලෝ………. සුමනසේකර මහත්මයාද කතා කරන්නෙ?”

“ඔව් ඒ මම තමයි….”

“මම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කතා කරන්නෙ….”

“ඔබ ද විශ්ව සමාධි සූර්යබණ්ඩාර ගෙ භාරකරු?”

“ඔව් ඒ මම තමයි… විශ්ව කියන්නෙ මගෙ නංගිගෙ පුතා….”

“අපට විශ්ව ගැන තොරතුරු ටිකක් දැනගන්න තිබෙනවා… ඔබට අපහසුවක් නැතිනම් අද අපි ඔබේ නිවසට පැමිණෙන්න ද?”

“මම කොහොමද දැනගන්නෙ ඔබ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්ම ද කියලා? අද සෙනසුරාදා ඇයි ඔබේ තානාපති කාර්යාලයෙන් පණිවුඩ ලබා දෙන්නෙ? ඔබ වෙනත් කෙනෙක් වෙන්න බැරිද?”

“ඔබ හරි… මම දැන් ඒ බව කියන්න තමයි හදන්නෙ… කරුණාකර මගේ තොරතුරු ලියාගන්න.. මම පැමිණෙන්නෙ ඇමරිකානු තානාපති කාර්යාල වාහනයක… ඒ නිසා වරදින්න විදියක් නැහැ….  සෙනසුරාදා කියලා රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු නවත්වන්න අපට බැහැනෙ… ආවම විස්තර කතා කරගනිමු. මේ මගේ තොරතුරු….කරුණාකර ලියාගන්න…”

“මගේ නම රොනල්ඩ් මැන්කැඩ්… මගේ හැඳුනුම්පත් අංකය USDPL17384790 ඔබට පුළුවන් මා ඔබ හමු වෙන්න පැමිණි පසු මේ අංකය සසඳා බලන්නට….”

“හොඳයි… මට අපහසුවක් නැහැ ඔබ හමු වන්නට… ඔබ දන්නවා ද මගේ නිවස තිබෙන තැන….”

“කරදර වෙන්න එපා… අපට පුළුවනි සොයා ගන්නට… අපේ රියැදුරු මහතුන් සියළුම දෙනා හොඳට පාරවල් දන්න ශ්‍රී ලාංකිකයින්… අපි ඔබ හමු වෙන්නට උදෑසන දහය වනවිට එන්නම්….”

“සහයෝගයට ස්තූතියි….”

“අපි හමුවෙමු….”

“ස්තූතියි….”

“මොකක්ද සුමනෙ?” සුමනසේකර මහත්මිය සිය සැමියාගෙන් විමසූයේ  කුතුහළයෙන්.

“ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කතා කළේ… සමාධි ගැන ඇහැවුවෙ…. උදේ දහයට එනවලු විස්තර දැනගන්න… කොල්ලට මොකුත් කරදරයක් ද දන්නෙ නැහැ වැඩ කරන තැන….”

“ඉතිං කෝකටත් අපි එයාට කතා කරලා බැලුවොත් හොඳ නැද්ද?”

“ඔව්… ඒක තමයි… අපි පුතාට කතා කරලා බලමු….”

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *