SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 11

මේ සිදුවීම නාවික පර්යේෂණ ආයතනයේ සිටි සියල්ලන්ම ඉතාම කලබලයට පත් කළ සිදුවීමක්. සිදුවූයේ කුමක්ද කියා හරිහැටි නො දැන සිටියත්, ඉහළම පාලනාධිකාරියේ සිට පර්යේෂණායතනයේ සෑම දෙනාම දක්වාම නොයිවසිල්ලෙන් බලා සිටින්නේ කුමක් හෝ සුබදායක තොරතුරක් ලැබේවි යන බලාපොරොත්තුවෙන්.

“දැන් මොකද කරන්නෙ?”

“මොනවා කරන්නද? වෙන දෙයක් වෙනකල් බලාගෙන ඉඳිමු….”

“නීල් මොකද කිවුවෙ?”

“නීල් කිව්වලු දැන්මම එන්නම් කියලා…. අද්මිරාල්ටත් කිවුවා… එයා කෝල් කරලා ඔක්කොම ඉක්මනින්ම ප්‍රමුඛතාවයෙන් කෙරෙන්න සැලැස්වූවා… හොඳ වෙලාවට අපි මෙතැන වැඩ කරන්නෙ….”

“ඔබට කවුද මේ පණිවුඩේ කිවුවෙ?”

“මට කිවුවෙ මොලී…. ආරක්‍ෂක අංශයෙ ඉදිරිපස ගේට්ටුවෙ අය තමයි මුලින්ම දැකලා නීල් ට පණිවුඩේ කියලා තියෙන්නෙ… නීල් මොලීට කතා කරලා ඔක්කොටම කියන්න කියලා… මෙගන් ගෙදර ගිහින්… අපි දෙන්නට තමයි පණිවුඩේ මුලින්ම ලැබුණෙ….”

“දැන් මොලී කොහෙද?”

“මොලී ගියා විස්තර දැනගෙන එන්න………”

“මේ සටහනේ කිසිම ක්‍රමවත් බවක් නැහැ…… අපට හිතාගන්න බැහැ මොන වගේ දෙයක් වෙලාද කියලා…. මොළයත් එහෙමමයි…. අපට දැන්ම වචනයක් කියන්න බැහැ.”

“ඉතිං ඩොක්ට….. අපට බලාපොරොත්තු තියාගන්න පුළුවන් නේද?”

“ඔව් ඔව්…. බය වෙන්න එපා… මොලී….. සම්පූර්ණ ශරීරයම ස්ථාවරයි……කකුලේ දණහිස ලඟ අස්ථියේ බිඳීමක් තිබෙනවා.. අපි ඒකට ටයිටේනියම් ඇණ දමා සකස් කළා… ඒ අස්ථිය ටිකක් දරුණු විදියට බිඳිලා… ටික කලක් පුනරුත්ථාපනය කරන්න වෙයි… ඒ  හැරෙන්න වාහනයෙ වායු බෑග් එක පිපිරීම නිසා මුහුණෙ සුළු තුවාල කිහිපයක් තිබෙනවා. අපට හිතා ගන්න බැහැ පපුවෙ ඉල ඇට කැඩුනෙ කොහොමද කියලා, නමුත් අපි සියල්ලම නැවත සැකසුවා, නමුත් අපටත් හිතා ගන්න බැරි මොකද වුණේ කියලා… ඇයි තවම සිහිය ආවෙ නැත්තෙ කියලා…”

“ඔයා කවුද එයාගෙ? පෙම්වතියද?”

“නැහැ නැහැ…. මම එයාගෙ සේවා ස්ථානයේ එයා එක්ක එකට වැඩ කරන කෙනෙක්…. නමුත් අපේ ප්‍රධානියා තමයි කිවුවෙ ඇවිත් මෙයා ගැන බලන්න කියලා… මෙයා මෙහේ ඉන්නෙ තනියම… දැන් සමහරවිට එනවත් ඇති…”

“ඔව් මට අද්මිරාල් බවර් පෞද්ගලිකවම කතා කරලා විස්තර කිවුවා… බය වෙන්න එපා අපි හැම දෙයක්ම කරනවා මෙයාව පියවි තත්ත්‍වයට ගෙන එන්න… අපට තිබෙන එකම ප්‍රශ්නය මොළයට හානියක් වෙලාද නැද්ද කියන එක… ඒ මත තමයි සියලුම දේ රඳා පවතින්නෙ…..”

“ඔබ මෙතැන ඉන්න එක තේරුමක් නැහැ මේ වෙලාවෙ…. දැන් හොඳටම රෑ වෙලානෙ… හෙට උදේට නැවත එන්න… ඒ වෙනකොට ලෙඩාට සිහිය ඇවිත් තිබේවි… බය වෙන්න එපා… අපි හැම දෙයක්ම කරනවා මෙතැන…”

“බොහොම ස්තූතියි ඩොක්ට…. එහෙනම් මම ගිහින් එන්නම්….”

“කෝ මේ ළමයා ෆෝන් එක ගන්නෙ නැහැනෙ…..”

“ආයෙම බලන්න ………………”

“ආයුබෝවන්…. මේ විශ්ව සමාධි සූර්යබණ්ඩාර… මම මේ අවස්ථාවේ සම්බන්ධ කරගත නොහැකි නිසා කරුණාකර ඔබේ දුරකථන අංකය සහ නම සඳහන් කර කෙටි පණිවුඩයක් තබන්න… මම හැකි වහාම නැවත ඔබට අමතන්නම්… ස්තූතියි….”

සුමනසේකර යුවල ලබා ගත් සියලුම දුරකථන පණිවුඩවලට ලැබුණ එකම ප්‍රතිචාරය වුණේ විශ්වගේ දුරකථනයේ පණිවුඩ සටහන් කරන තැන වෙත යොමු වීම පමණයි. මේ නිසාම සුමනසේකර යුවල තරමක් කළබලයට පත් වුණා. ඔවුනට කතා කළ හැකි අනෙක් ස්ථානය වුණේ තම හිතවත් ස්වාමීන් වහන්සේ කෙනෙකු වැඩ සිටින වොෂිංටන් බෞද්ධ විහාරය පමණයි. ඔවුන් වොෂිංටන් බෞද්ධ විහාරයට ඇමතුමක් ලබා ගත්ත.

“ආයුබෝවන්……” විහාරාධිපති හිමියන්ගෙ කාරුණික කටහඬ අනෙක් පසින් ඇසුණා. ඔවුන් තමන්ගේ සිතේ ඇති කණස්සල්ල විහාරාධිපති හිමියන්ට පැහැදිළි කළා. කරුණු සොයා බලා සිය හිතවතාගේ දුක් ගැනවිල්ලට සහනයක් ලබා දෙන්න විහාරාධිපති හිමියෝ තමා දන්නා හඳුනන කිහිප දෙනෙකුටම පණිවුඩ යැව්වා.

මේ අතර ගවනර්ස් කෝර්නර් නිවාස සංකීර්ණයේ හත්වන තට්ටුවේ නිවසක සෑම අස්සක් මුල්ලක් නෑරම පීරන තරුණයන් දෙදෙනෙකු සහ තරුණියක් මොනවාදෝ සොයමින් සිටිති. සිය ඉලක්ක කරා යෑමට දැඩි පුහුණුවක් ලැබූ මේ තිදෙනා සියලුම බඩු භාණ්ඩ සීරුවෙන් ඉවත් කරමින් තම ඉලක්කය කරා ඇදෙමින් සිටියත් මේ නිවස්නයේ සිටි බවට කිසිදු සාක්‍ෂියක් ඉතිරි නොකර යෑමට වග බලාගත්හ. ඉවත් කරන සියලුම දෑ නැවතත් ඒ ආකාරයෙන්ම සකස් කිරීමට ඔවුන් කටයුතු කළ හ. අවසානයේ ඔවුන් සෙවූ දේ හමු විය. තම සාක්කුවේ තිබූ කුඩා බෑගයකට එයින් ස්වල්පයක් ගෙන නැවතත් එය තිබූ තැන ම තබා අයෙක් සාලයට පැමිණියේ ය.

“හරි… සෙවූ දේ හමු වුණා..”

“මේක ඇත්තටම මිනිහෙක් ජීවත් වෙන ගෙදරක්ද?”

“මටත් හිතාගන්න බැරි ඒක තමයි… හරිම පිළිවෙලයි… කිසිම දෙයක් අනවශ්‍ය තැනක නැහැ… මේ වගේ පිළිවෙලක් තියෙන ගෙයක් දැක්කමයි…”

“සාමාන්‍ය කොල්ලෙක් ජීවත් වෙනව කියලා හිතාගන්නත් බෑ…”

“මේ මොනවද මේ කුඩා පැලෑටි?… මල් පැළ ද? නැතිනම් වෙනත් පැළ ජාතියක් ද?

“තවම බොහොම කුඩා පැළ… ඒ නිසා කියන්න අමාරුයි… කෝකටත් එකක් අපි අරගෙන යමු… සමහර විට එළවලු පැළ ද කියන්න දන්නෙත් නැහැ… මිනිහා ශාක භක්‍ෂකයෙක් නෙ…. තරුණිය පැවසුවේ ඔහු ගැන හොඳින් දන්නා අයෙක් මෙන්….”

“දැන් මේවා හයි කරන්නෙ කොහෙද? මේවා හොයා ගන්න බැරි තැනක සවි කරන්නත් ඕන.. ඒ වගේම නිවැරැදි සංඥා එන ආකාරයට සකස් කරන්නත් ඕන..”

“බය වෙන්න එපා.. මෙහාට අද කවුරුවත් එන්නෙ නැති බව හොඳටම විශ්වාසයි… ඒ නිසා කැමති විදියට කාලය අරගෙන හරියට වැඩේ කරන්න.. ආයෙ මෙහාට එන්න වැඩ සලස්ව ගන්නෙ නැතුව… මේ අවස්ථාව ආයෙ ලැබෙන්නෙ නැහැ… ඒ නිසා හොඳට සැලසුම් කරන්න… මිනිහා අමාරුකාරයා… වැරදිලාවත් අපි කළ දේ අහු වුණොත් අපිත් ගස්…”

“ඉතිං කොහෙද අපි මේවා සවි කරන්නෙ? සැක නොසිතෙන තැනක වගේම වැඩිය අස්පස් නොකරන තැනක් වෙන්න ඕන…”

“ඒකට හොඳම තැන වායු සමන යන්ත්‍රයෙ වායුව එළියට එන කවුළුව… නමුත් වායු සමන යන්ත්‍රය ක්‍රියා කරවූවාම ඒකෙ පැහැදිලිතාවයට බාධා ඇති වෙනවා…”

“නැහැ… මේ පද්ධතියෙ වායු සමන යන්ත්‍රය තිබෙන්නෙ වෙන තැනක… එතැනින් එළියට එන බටයක් වහලෙන් ඇවිත් තමයි මේ කවුළුවට සම්බන්ධ වෙන්නෙ… ශබ්ධයෙන් බාධාවක් එන්නෙ නැති වෙයි…”

“කෝකටත් මේ කැමරා හැම කාමරයකම සවි කරලා පරීක්‍ෂා කරලා බලමු…”

“සුභ උදෑසනක් සුමනසේකර මහත්මයා… මම රොනල්ඩ් මැන්කැඩ්… මේ මගේ හැඳුනුම්පත… ඔබ ලියාගත් තොරතුරු සමඟ සසඳා බලන්න…”

උදාසන දහය වන විට සුමනසේකර නිවස වෙත පැමිණි ඇමරිකානු තානාපති කාර්යාල වාහනයෙන් බැසගත් පාංශු දේහධාරී පුද්ගලයා සුමනසේකර මහතා වෙත සිය හැඳුනුම්පත දිගු කළේ ය.

“වාඩිවෙන්න…”

“ස්තුතියි….”

“ඉතිං අපි කෙළින්ම ආව කාරණයට එමු.. ඔබ විශ්වගෙ නීත්‍යානුකූල භාරකාරයා…”

“ඔව්. විශ්ව මගේ නංගිගෙ පුතා… නමුත් මීට අවුරුදු හයකට පමණ පෙර විශ්වගෙ දෙමව්පියො අනතුරකින් මිය ගියා…ඉන්පසුව විශ්වගෙ නීත්‍යානුකූල භාරකාරයා වුණේ මම.”

“ඔව්… අපි දන්නවා ඒ සේරම විස්තර….”

“ඔබ කිසියම් රෝගයකට ප්‍රතිකාර ගන්නවාද?”

“නැහැ… මට ඉහෙන් බහින රෝගයක් නැහැ… මම හොඳ නීරෝගී මිනිහෙක්…”

“ඔබේ පවුලේ කිසියම් නිධන්ගත රෝගයක් තිබෙනව ද?”

“නැහැ… කිසිම නිධන්ගත රෝගයක් අපේ පවුල්වල නැහැ.. ඇයි ඔබ එහෙම අහන්නෙ? විශ්වට කිසියම් රෝගයක් තිබෙනවා කියලාවත් සොයාගෙන තිබෙනවද?”

“නැහැ නැහැ…. විශ්වගේ සේවා ස්ථානයෙන් අපට මේ විස්තර ඔබෙන් අසා දැනගන්නා ලෙස දැන්වූවා… විශ්ව මෑතකදි ඔබට දුරකථනයෙන් කතා කළේ කවදා ද?”

“ගිය සෙනසුරාදා… එයා හැම සෙනසුරාදාම රෑට අපට කතා කරලා විස්තර  අහනවා..”

“අද තවම කතා කළේ නැහැ…”

“නැහැ… නමුත් මම දැන් කතා කරලා බැලුවා…. කිසිම පිළිතුරක් නැහැ….”

“ඒක නිසාම තමයි මම ඔබව හමු වෙන්න ආවෙ….”

“කළබල වෙන්න එපා… ඔබට විශ්ව ගැන ආරංචියක් කියන්නයි ආවෙ….”

“ඇයි… සමාධි පුතාට කරදරයක්ද? කාමරයක සිට මේ සංවාදයට ඇහුම්කන් දෙමින් සිටි සුමනසේකර මහත්මිය ද  සාලයට පැමිණෙමින් නොයිවසිල්ලෙන් විමසුවාය…..”

තමන්ට සැක කටයුතු පුද්ගලයින් නිරීක්‍ෂණය කිරීමේදී උසස් තාක්‍ෂණය යොදා ගැනීම බටහිර රටවල අපරාධ පරීක්‍ෂණ ආයතනවල සාමාන්‍ය පුරුද්දකි. මෙය නියමිත සාක්‍ෂි සියල්ල පටිගත වනවා පමණක් නොව වැරදිකරුවාට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේ දී බිඳිය නොහැකි සාක්‍ෂි ලෙස ඒවා භාවිත කිරීමට ද පුළුවන. මේ නිසා අපරාධ පරීක්‍ෂණ සම්බන්ධව පර්යේෂණ කෙරෙන බොහෝ ආයතනවල මූලිකත්‍වය ලැබෙන්නේ ඇසට නොපෙනෙන තරමේ කුඩා කැමරා සහ පටිගත කිරීමේ උපකරණ නිපැයුම, ඒවායේ ධාවන කාලය වැඩි කරගෙන වැඩිපුර දත්ත එක්රැස් කරගැනීමේ තරඟයට ය. ඉතා කුඩා කැමරා, කටහඬ සම්ප්‍රේෂණය කිරීමේ උපකරණ ආදිය නිවෙස්වල සවි කිරීම සිදු කර දත්ත එකතු කර ගනු ලැබේ. එයට ඒ අංශවල Bugging the premises යැයි කියනු ලැබේ. සමහර කැමරා සහ පටිගත කිරීමේ උපකරණ අවට ඇති චුම්භක ක්‍ෂෙත්‍රවල, සූර්යාලෝකය හෝ තාප ධාරාවක ආධාරයෙන් විදුලිය නිපදවා ගැනීමටත්, නොකඩවා මාස ගණනාවක් දත්ත සැපයීමටත්, කිසිවෙකුට නොපෙනී සඟවා තැබීමටත් හැකි වන සේ සකසා ඇත. මේ නිසා සුවිශේෂී හඳුනා ගැනීමේ උපකරණ (bug detectors) නොමැතිව මේ රහස්‍ය පටිගත  කිරීමේ උපකරණ නිවසක සඟවා ඇති දැයි සාමාන්‍ය මිනිසුන්ට සොයා ගත නොහැක.

“හරිද? ඔක්කොම වැඩ කරනවද?”

“ඔව්… සාලය නම් පැහැදිලියි… නිදන කාමරයත් ප්‍රශ්නයක් නැහැ.. නාන කාමරය තමයි පොඩි ප්‍රශ්නයකට එන්නෙ…”

“ඇයි… මේ කැමරාව තියෙන තැන අනුව උණු ජල කරාමය ඇරියාම නාන කාමරය පුරා පැතිරෙන ජලවාෂ්ප නිසා කැමරාවෙ දර්ශන අවහිර වෙන්න පුළුවනි..”

“කරන්න දෙයක් නැහැ… අපිට වෙන තැනක මේක සවි කරන්න බැහැ… අහු වුණොත් අපට ප්‍රශ්නයක් නැති වුණත් අපට ලැබෙන්න තියෙන දත්ත නැති වෙනවා…  කමක් නැහැ.. අනෙක් කාමර දෙකේ තියෙන කැමරාවලින් හොඳ පින්තූර අපට ලැබෙනවනෙ… ඇරත්, නාන කාමරවල කැමරා හයි කරනවට අපේ ලොක්කො වැඩිය කැමතිත් නැහැනෙ….”

“ඇත්ත… දැන් බලන්න ඔක්කොම හරියට නැවත තිබූ තැන්වලම තියෙනව ද කියලා…. එක් තරුණයෙක් එසේ පවසද්දී…..”

“ආ බය වෙන්න එපා… ඒක එහෙම නැති වුණත් අපට එයාට කියන්න හේතුවක් හොයා ගන්න පුළුවන්… තරුණිය පිළිවදන් දුන්නාය….”

“හැබැයි ජෙනී වැරදිලාවත් ඔයා මේ ගෙදරට ආවොත් ඉතිං අපට කැමරා නවත්වන්න බැරිවෙයි…”

“හරි හරි… අපි ඒක පස්සෙ බලා ගනිමු…. තමුසෙලා ගෑණු නොදැකපු මිනිස්සු නෙවෙයිනෙ… අපට වැදගත් වෙන්නෙ මේ කරන්න ආපු වැඩේ….. තරුණිය නැවතත් ඔවුන් දෙදෙනාට පැවසුවා ය….”

එෆ්බීඅයි නිලධාරීන් බොහෝ විට වෙස්වලාගෙන ගොස් තම ඉලක්කය කරා ඇදේ. මෙසේ වෙස්වලා ගැනීමේ දී සමහරවිට නිවාස පිරිසිදු කරන පුද්ගලයින්, වෛද්‍ය කණ්ඩායම්, ආගම පතුරවන්නන් වැනි විවිධ අන්දමේ සමාජයීය කොට්ඨාස ලෙස හැසිරෙමින් අදාළ ඉලක්කය කෙරෙහි ලඟා වීමට ඔවුහු කටයුතු කරති.

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *