SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 14

“සුමනසේකර මහත්මයා…. මෙන්න ඔබ දෙපලගෙම වීසා සහතික පත්… ඔබට හෙටම ඇමරිකාව බලා යන්න පුළුවනි.”

අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී රොනල්ඩ් මැන්කැඩ් පෞද්ගලිකවම මැදිහත් වී සුමනසේකර යුවලගේ ඇමරිකානු වීසා සහතිකපත් සඳුදා දිනම ඔවුනට සකස් කර දුන්නේ විශ්වගේ සැපදුක් බලා ගැනීමේ අපේක්‍ෂාව ඉක්මනින්ම මල්ඵල ගැන්වීමට ය. සෙනසුරාදා සාකච්ඡා කරගත් පරිදි ඔවුන් දෙපළ ඇමරිකාව බලා යෑමට ගුවන් ටිකට්පත් එදිනම වෙන්කරවා ගැනීම නිසා සඳුදා ම වීසා ලබා ගැනීමට සිදු විය. මේ කර්තව්‍යය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇති නිසාත්, සුමනසේකර යුවල නොදන්නා බොහෝ කරුණු කාරණා රොනල්ඩ් මැන්කැඩ් සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරීන් දන්නා නිසාත්, මේ කටයුත්ත ඉතා ඉක්මනින් කර දීමට තානාපති කාර්යාලය පසුබට වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූවේ තමන් අතින් සිදු වූ වැරැද්ද කෙසේ හෝ නිවැරැදි කර ගැනීමටයි. එසේ කටයුතු කිරීමේ දී සාමාන්‍ය ක්‍රියා පටිපාටිවලින් බැහැරව ක්‍රියා කිරීමට අදාළ පාර්ශවයේ ඕනෑ ම කෙනෙකු කටයුතු කරයි.

එදින සවසම සුමනසේකර දෙපල සිය ඥාතිපුතු බැලීම සඳහා පසුදින ඇමෙරිකාව බලා යෑම සඳහා ලක ලෑස්ති වූහ. ඊට පෙර ඒ බව වොෂිංටන් බෞද්ධ විහාරයේ වැඩ වසන තමාට බෙහෙවින් හිතවත් මඩකුඹුරේ අත්ථදස්සි හිමියන්ට දැන්වීම සඳහා සුමනසේකර මහතා දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ය.

“හලෝ…. වොෂිංටන් බෞද්ධ විහාරය…….”

“ලොකු හාමුදුරුවනේ මේ මම… සුමනසේකර…..”

“ආ… සුමනසේකර මහත්මයා… කොහොමද?…..”

“හොඳින් ඉන්නවා ලොකු හාමුදුරුවනේ…. අපි මේ හෙට එනවා කියලා දන්වන්නයි කතා කළේ…. අත්ථදස්සි හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නව ද?”

“අත්ථදස්සි හාමුදුරුවො නම් දැන් භාවනා කරනවා… මම දන්වන්නම් සුමනසේකර මහත්මයා කතා කළා කියලා… ඊයෙ හවසත් අත්ථදස්සි හාමුදුරුවෝ රෝහලට ගිහින් පිරිත් කියලයි ආවෙ…. ඊයෙ නම් ඒ දරුවා අතක් හෙලෙව්වා කියලා උන් වහන්සෙ කිවුවා… අදත් පිරිත් කියන්න හවස වඩිනවා කියලා කිවුවා… තුන් වේලක් වත් පිරිත් කියන්න ඕන නෙ හරි හැටි ගුණයක් ලබන්න…”

පසුදින උදාසන සේවයට ගිය ද, සෑම දෙනාගේම කතාබහ වූයේ විශ්වට සිදු වූ අනතුර පිළිබඳවයි. ආචාර්ය ෆියු සහ ආචාර්ය ලිපර්ඩ් යන දෙදෙනාම සැම දෙනාගේම කාර්යාල කාමරවලට පැමිණ පෞද්ගලිකවම සිය සේවක කැළගේ මානසික තත්ත්‍වය පිළිබඳ සොයා බැලූහ. ඉතා තදින් බැඳුන වියමනක් මෙන් වූ මේ හත්දෙනාගේ මානසිකත්‍වය මේ අවස්ථාවේ ඉහළින් තබාගත යුතු බව කළමණාකාරීත්‍වයේ  හසළ දැනුමක් ඇති මේ දෙදෙනාම හොඳින් දැන සිටියහ. ඒ නිසාම පෞද්ගලිකවම ඔවුන්ගේ මානසික තත්ත්‍වය පිළිබඳ සැලකිලිමත් වීමට දෙදෙනාම උනන්දු වූහ.

මොලී වැඩිපුර විශ්ව පිළිබඳ සැලකිළිමත්වීම ගැන මෙගන්ට තිබුණේ ඊර්ෂ්‍යාවක් ද යන්න බොහෝ දෙනා තුළ තිබූ ප්‍රශ්නයකි. එළිපිට නො පෙන්වුවත් මෙගන් නිතරම වාගේ මොලී සමඟ තිබුණේ නොරිස්සුමකි. විශේෂයෙන්ම සති අන්තයේ සිදු වූ කලබැගෑනියට තමාගෙන් කිසිම දායකත්‍වයක් නොවීම පිළිබඳ ඇය සැම දෙනා සමඟම අමනාපයකින් පසු වූවා ය. එය එළිපිට නොපෙන්වුවත් සිදු වූ කතාබහේ දී මෙගන්ගෙන් නිකුත් වූ හඬින් එය සැමටම තේරුම් ගොස් තිබුණි. කෙසේ වෙතත් රසායනාගාරයේ සියල්ලන්ම සිටියේ දැඩි කණස්සලු ස්වභාවයකිනි. මොලී අන් සියල්ලන්ටම වඩා පසුතැවිල්ලකින් පසුවන ආකාරයක් පෙණුනි.

අවසන ඇය සිය ප්‍රධානියා වන ආචාර්ය නීල් ෆියුගේ කාමරය වෙත පිය මැන්නා ය.

“නීල්….” ඇය දොරට තට්ටු කරන ගමන්ම ඔහු ඇමතුවා ය.

“ඔව් මොලී…. ඇයි? මොකක් හරි ප්‍රශ්නයක් ද?”

“ලොකු ප්‍රශ්නයක් නොවෙයි…. මම අද හවස ටිකක් කලින් යන්න ඕන…. මම විශ්ව බලන්න යනවා…”

“මට තේරෙනවා…. මම මේ පුද්ගලික ප්‍රශ්නයක් අහනවා නොවෙයි….. ඔයා මේ ටික දවසට විශ්වට ගොඩක් සමීප වුණා නේද?”

“නැහැ කියන්න බැහැ නීල්… විශ්ව එක්ක සතියක කාලයක් වැඩ කරද්දි තේරෙනවා එයා බොහොම හොඳ ඒ වගේම බුද්ධිමත් කෙනෙක් කියලා… ඒ තරම්ම සමීපතාවයක් නැහැ… නමුත්……..”

“ඒක අසාමාන්‍ය නැහැ මොලී…. විශ්වට මෙහේ කවුරුත් නැහැ…. සමහරවිට ඔයා දන්නවා ඇති විශ්වගෙ පවුලෙ තොරතුරු… මගේ අකැමැත්තක් නැහැ ඔයාට පුළුවන් නම් විශ්ව මේ ඉන්න තත්ත්‍වයෙන් ගොඩ ගන්නවට… අපට විශ්ව යථා තත්ත්‍වයට ගන්න ඕන ඉක්මනටම… මේ පර්යේෂණයෙ බොහොම වැදගත් වැඩ කොටසක් විශ්වගෙ අතින් කෙරෙන්න ඕන… මේ පර්යේෂණයට විශ්වගෙ දැනුම  බොහොම වටිනවා…. මට මේ කොල්ලව කොහොම හරි ආපහු මේ ලැබ් එකට ගෙන්න ඕන…. ප්‍රශ්නයක් නැහැ… විශ්ව ගොඩ එනකල් ටිකක් වේලසන යන්න.. මම දන්නවා ඒ කාලය අපතෙ යන්නෙ නැහැ කියලා…  මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට දන්වන්න… මම ඒක නිරාකරණය කරලා දෙන්නම්…”

“බොහොම ස්තූතියි නීල්…. බොහොම ස්තූතියි….”

“මෙන්න වාර්තාව… උණු උණුවෙ ආවෙ…. තාම විශ්ලේෂණය කරන්න බැරි වුණා….”

“මොනවද තියෙන්නෙ?”

“හිතා ගන්න බෑ… එක දෙයක් කියලා නෑ… අච්චාරුවක්….”

“අපට විශ්ලේෂණය කරන්න බැරි තරම් සංකීර්ණ ද”

“මට හිතෙන විදියට මේකට හොඳම කෙනා සයන්ටිස්ට් රාහුල් ගුප්තා….”

“රාහුල් ගුප්තා… අර පිස්සු හටන?”

“ඔව්… මිනිහා කාබනික රසායනය කරපු කෙනෙක්නෙ… මේක  ගෙනිහින් අහලා බලමු…. ඇහුවයි කියලා අපට පාඩුවක් නැහැනෙ…”

“යමු… කෝ මිනිහා දැන්….”

“දැනුත් ලැබ් එකේ ඇති…. මිනිහට ඉතිං ලැබ් එකෙන් තොර ලෝකයක් නෑනෙ……”

ඔවුන් රාහුල් ගුප්තා සිටින රසායනාගාරයට යන විටත් රාහුල් සිටියේ පරීක්‍ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කරමිනි.

එෆ්බීඅයි ආයතනයේ වැදගත්ම ඒකකයක් වන රසායානාගාරයට විවිධාකාර රසායන ද්‍රව්‍ය සහිත සාම්පල ලැබේ. මෙහි සිදු කෙරෙන පරීක්‍ෂණ මත සැකකරුවා වැරැදිකරුවෙක් ද නිවැරැදිකරුවෙක් ද යන්න තීරණය වන නිසාත්, ඒ තීරණය මතම ඔහුගේ ජීවිතය පිළිබඳ ඉරණම විසඳෙන නිසාත් බොහෝ විට එකම පරීක්‍ෂණය දෙතුන් වතාවක් සිදු කර නිරවද්‍යතාවය තහවුරු කරගනු ලබයි. එසේ වුවත් සමහර තාක්‍ෂණික නිලධාරීන් මූලික පරීක්‍ෂණ සිදු කරන්නේ එතරම් තැකීමකින් තොරව ය. මේ නිසාම රසායනාගාරයේ ‍ජ්‍යෙෂ්ඨ රසායනඥයින් ඉතා ඉහළ මට්ටමකින් යුතු දත්ත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරති. සමහරවිට තමාම ඒ පරීක්‍ෂණය සිදුකර එහි නිරවද්‍යතාවය තහවුරු කර ගනු ලබයි. ඉන්දියානු ජාතික – දැනට ඇමරිකානු ජාතිකත්‍වය ලබා ඇති රාහුල් ගුප්තා කාබනික රසායන විශ්ලේෂණය පිළිබඳ විශාරදත්‍වයක් ලබා ඇති පුද්ගලයෙකි. ඔහුගේ පෞරුෂත්‍වය සමාජගත ආයතනයකට නො ගැලපුනද ඔහු සතු විශේෂඥ දැනුම නිසාම දැඩි අවදානමක් ගැනීමෙන් පසුව එෆ්බීඅයි ආයතනය රාහුල් ගුප්තාව සිය රසායනාගාරයේ විද්‍යාඥයෙකු ලෙස  බඳවා ගත්තේය. වැඩි සමාජ ආශ්‍රයක් නොමැති ඔහු සිය රාජකාරිය දේවත්‍වයෙන් සළකනවා පමණක් නොව සිය විද්‍යාඥ තනතුර ද ඉතා ඉහළ තත්ත්‍වයක තබා ක්‍රියා කරයි. එසේ නො වන්නට රාහුල් සාමාන්‍ය මිනිසෙකි.

“හලෝ රාහුල් ගුප්තා….”

“යාළුවා…. නම්බු දීලා කතා කරන්න පුරුදු වෙනවා…. සයන්ටිස්ට් රාහුල් ගුප්තා…..”

“හරි හරි…. සයන්ටිස්ට් රාහුල් ගුප්තා… අපි මේ ආවෙ ඔයාගෙ විශේෂඥ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න…… අපි දන්නවා ඔයා තමයි මේ විෂයය හොඳටම දන්නෙ කියලා..”

“ආ… එහෙම එන්න… කියමු බලන්න මොකද්ද ප්‍රශ්නෙ කියලා…..”

“මෙන්න මේකයි ප්‍රශ්නෙ… අපට ලැබුණා තෙල් සාම්පලයක්… මේ තියෙන්නෙ ඒ සාම්පලයේ වර්ණලේඛ විශ්ලේෂණ සටහන (Gas Chromatogram )……… මේක අනුව කියන්න පුළුවන්ද මේ සාම්පලයෙ අඩංගු තෙල් වර්ගය මොකද්ද කියලා?”

 

“දෙයියනේ… මේක තෙලක්ද නැත්නම් කොහෙන් හරි කානුවකින් හොයා ගත්ත ජරාවක්ද?”

“ඒ මොකද එහෙම අහන්නෙ?”

“මේක පිරිසිදු තෙලක් නෙවෙයි… මේකෙ තියෙන්නෙ ලොකු මිශ්‍රණයක්….”

“කොහොමද එහෙම කියන්නෙ?”

“එහෙම කියන්නෙ මම හොඳට දන්න නිසා…. තනි තෙල් වර්ගයක මේ තරම් විශාල සංඝඨක මිශ්‍රණයක් දකින්න බැහැ… තිබුණත් මේ වගේ අනුපාත නැහැ… මම සගන්ධ තෙල් (essential oils) ගැන හොඳට දන්නවා… මේක අනිවාර්යයෙන්ම සංඝඨක දහයකට වැඩි මිශ්‍රණයක්…… මේ මිශ්‍රණය විශ්ලේෂණය කරන්න ඔහොම බෑ..   අයියෝ  මට ගෙනැත් දුන්න නං ඉවරයි නෙ… කෝ සාම්පලය තියෙනව ද?”

“ඔව්… ලැබ් එකේ තියෙනවා…”

“මට ගෙනැත් දෙන්න සාම්පලේ… ඔය ලැබ් එකේ ඉන්න තාක්‍ෂණික නිලධාරියො දන්න ඉටිගෙඩියක් නෑ… උන් දන්නෙ ඔයාල දෙන සාම්පලේ ඔහේ ගහලා වාර්තාව දෙන්න විතරයි… මේ වගේ සාම්පලයකට වෙනම තත්ත්‍ව සකසන්න ඕන.. සමහර සංඝඨක ඉක්මනින් වාශ්පෂීලී වෙනවා.. තවත් සමහර ඒවා අඩු වාශ්පශීලීතාවයක් තියෙන්නෙ.. ඒ නිසා මේ පරීක්‍ෂණයෙ තත්ත්‍වයන් වෙනස් කරන්න ඕන… මට දවස් දෙකක් දෙන්න.. මම සම්පූර්ණ වාර්තාව ම දෙන්නම්…”

“හරි.. මම සාම්පලය දැන්ම ගෙනත් දෙන්නම්… බොහොම ස්තූතියි සයන්ටිස්ට් රාහුල් ගුප්තා… ඔබ නම් අපේ ගැලවුම්කාරයෙක්….”

“කිසි දේකට බයවෙන්න එපා…. මොකද්ද නම කිවුවෙ?”

“ආ… මම ජේසන්…”

“හරි… ජේසන්… කිසි දේකට බය වෙන්න එපා… මම දවස් දෙකකින් වැඩේ කරලා දෙන්නම්…. මොකද්ද මේ සාම්පලය…”

“අනේ සයන්ටිස්ට් රාහුල් ගුප්තා. ඒකනම් කියන්න බෑ… අතිශය රහසිගතයි…”

“හරි හරි…. මම දන්නවා…”

“හරි… එහෙනම්…. අපි යනවා… බොහොම ස්තූතියි..සයන්ටිස්ට් රාහුල් ගුප්තා…”

“හරි… මට සාම්පලය දැන්ම ම ගෙනැත් දෙන්නකෝ…”

“තවම සිහිය ආවෙ නැද්ද ඩොක්ට?” මොලී පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයාගෙන් විමසුවේ ඉතා දුක්මුසුව ය.

“තවම නැහැ මොලී….. අද හවසත් අර හාමුදුරුවො ඇවිත් පිරිත් කියලා ගියා…. ඒත් තවම කිසිම වෙනසක් නැහැ… එකම වෙනස පිරිත් කියන අවස්ථාවෙ විතරක් මොළයේ සංඥාවල සිදුවන වෙනස විතරයි. මේ නිසාම අපි තීරණය කළා අර මුලින් කිවුව විද්‍යුත් කම්පන ප්‍රතිකාරය හෙටින් පසුව කරන්න.”

“කෝකටත් අපි විශ්වගෙ භාරකාරයො එනකල් ඉඳිමු. ඉදිරියේ දි මොනවා කරනවද කියන දේ තීරණය කරන්න…. තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක් ලැබුණා ඒ අය හෙට ලංකාවෙන් පිටත් වෙනවා කියලා… ඒ කියන්නෙ හෙට හවස් වෙනකොට ඒ අය මෙහාට එන්න ඕන… එයාලා ආවට පසු අපි වාර්තා පැහැදිලි කරලා දීලා බදාදාට විශ්වගේ කම්පන ප්‍රතිකාරය කරන්න බලාපොරොත්තු වෙනවා.”

“ඩොක්ට කිවුව නේද අර මුලින් කළ පරීක්‍ෂණ වගයක් ගැන, ඒවයේ වාර්තාවලින් මොනවත් තීරණයක් ගන්න බැරි ද?”

“ආ… මතක් කළ එක හොඳයි… ඒ වාර්තා අපි හොඳින් සළකා බැලුවා… අපි මේ රෝහලේ විතරක් නොවෙයි. සියැට්ල් ග්‍රේස් රෝහලේ ස්නායු  විශේෂඥ වෛද්‍ය ඩෙරික් ශෙපර්ඩ්ගෙනුත් අපි අදහස් ලබා ගත්තා… ඔහුට අනුව මේ තත්ත්‍වය එතරම් අසාමාන්‍යතාවයක් නොවෙයි, නමුත් දිගටම අපි නිරීක්‍ෂණය කරනවා.. අපි අද සවස ඔහුව සජීවීව සම්බන්ධ කරගත්තා පිරිත් කියන අවස්ථාවේ දී… ඔහුත් දුටුවා මේ සංසිද්ධිය… ඒ නිසාම අපි තවදුරටත් පිරිත් සජ්ඣායනය කිරීමේ කටයුත්ත දිගටම කරන්න තීරණය කළා… හාමුදුරුවොන්ගෙනුත් අකැමැත්තක් නැහැ…”

 

“එතකොට විශ්වගේ අනිත් අවයවවල ක්‍රියාකාරීත්‍වයේ වෙනසක් නැද්ද?” මෙතෙක් වේලා නිහඬව සිටි මෙගන් වෛද්‍යවරයාගෙන් විමසුවා ය.

විශ්ව බැලීමට හමුදා රෝහලට ඇතුළුවිය හැක්කේ සීමිත සහ අවසරලත් පුද්ගලයින් සංඛ්‍යාවකට පමණක් නිසා මෙන්ම විශ්ව බැලීමට ඇති කැමැත්ත නිසාත්, වෙනත් කළ හැකි කිසිවක් නොතිබූ නිසාත්, මොලී සමඟ පැමිණීමට මෙගන්ට සිදු විය.

“නැහැ…. පෙනහැල්ලේ සිදු වුණ තුවාලය නිසා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන් තමයි හුස්ම ගන්නෙ… ඒ ඇරෙන්න කිසිම අවයවයක හෝ ඉන්ද්‍රියක වෙනසක් පෙන්වන්නෙ නැහැ… ඒක ඇත්තටම හොඳ දෙයක්… ඒ නිසා අපට ගොඩක් බලාපොරොත්තු තබා ගන්න පුළුවනි විශ්වට ඉක්මනින්ම සිහිය ඒවි කියලා.”

“අපට මොනවද වෙන කරන්න පුළුවන්?”

“ඔයාලට නම් මෙතැන කරන්න කිසිම දෙයක් නැහැ… අපි මුලින්ම කරන්න ඕන විශ්ව ප්‍රකෘති තත්ත්‍වට ගන්න එකයි.. ඊට පස්සෙයි ඉතිරිය බලන්න වෙන්නෙ… අපට සමහරවිට විශ්වට මානසික ප්‍රතිකාර කරන්න වෙයි… එයා මෙතැනට වැටුණෙ ලොකු අනතුරකින් පස්සෙ.. ඒ නිසා පශ්චාත් කම්පන ආතතිය (Post Traumatic Stress Disorder) සඳහා ප්‍රතිකාර කරන්න වෙයි.. ඒක බලපාන්නෙ විශ්වගෙ මානසික තත්ත්‍වය අනුව.. එයා මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් නම් බොහොම ඉක්මනින් ප්‍රකෘති තත්ත්‍වයට පත් වේවි.. නැතිනම් ටික කලක් යාවි.. එයා ප්‍රකෘති තත්ත්‍වයට පත් වෙන්නෙ ටික කලක් සිහි නැතිව ඉඳලා නිසා එයාගෙ මතකය, මානසික මට්ටම ගැන පරීක්‍ෂණ කරන්න වේවි. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් අපට ඒ පැත්තෙන් පුනරුත්ථාපනය කරන්න වේවි. ඉන් පස්සෙ අපි බලන්න ඕන එයාගෙ අවයව වල ක්‍රියාකාරීත්‍වය ගැන.. පාදයේ අස්ථියක් සම්පූර්ණයෙන්ම බිඳුන නිසා ඇවිදීම අපහසු වේවි.. පාදය යථා තත්ත්‍වයට ගෙන එන ව්‍යායාම්වල යෙදෙන්න වේවි… මේ වගේ සෑහෙන වැඩ කොටසක් තියෙනවා ඉදිරියට.. සමහරවිට සිහිය ඇවිත්  මාස දෙකක් තුනක් යනකල් සියයට සියයක් ප්‍රකෘති තත්ත්‍වයට ගෙන එන්න අමාරු වේවි.. නමුත් බය වෙන්න එපා.. මීට වඩා දරුණු විදියට ආබාධවලට ලක් වෙලා ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ආපු සොල්දාදුවො අපි හොඳ කරලා නැවත යුධබිමටත් යවලා තියෙනවා. ඒ නිසා හිත කලබල කර ගන්න එපා.. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු….”

“බොහොම ස්තූතියි ඩොක්ට….”

“ප්‍රශ්නයක් නැහැ….”

“එහෙනම්,… අපි ගිහින් එන්නම්………”

“හොඳයි… සුභ සන්ධ්‍යාවක්…..”

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *