
අරටුවක් මෙන් හයිය ගඩොලක් මොරටුවෙන්
බිත්ති බැඳීම සඳහා දැනට අප රටේ බහුලව භාවිතයට ගැනෙන්නේ සිමෙන්ති ගඩොල් සහ මැටි ගඩොල් ය. මේ දෙවගේ ම අඩුපාඩුකම් රැසකි. සිමෙන්ති ගඩොල් තැනීමට වැලි මෙන්ම සිමෙන්ති ද වැඩියෙන් වැය වේ. ඒවායෙන් තැනූ ගොඩනැගිලිවල ඇතුළත රස්නය ද වැඩි ය. අනෙක් අතට මැටි ගඩොල් පිළිස්සීමට අධික තාප ශක්තියක් වැය වේ. පිළිස්සීමට ඇති අපහසුව හේතුවෙන් ඒවායේ දිග පළල වෙනස් කිරීමට ද නොහැකි ය.
මෙකී අඩුපාඩු මගහරවා ගනිමින් සවිය වැඩි, වියදම අඩු නව ගඩොලක් හඳුන්වා දීමට මොරටුව සරසවියේ පර්යේෂක පිරිසක් සමත්ව සිටිති. පස් සහ කොන්ක්‍රීට් මිශ්‍රණයකින් සැදුම් ලත් මෙම ගඩොල් නිපදවීම සඳහා ඕනෑම පස් වර්ගයක් භාවිත කළ හැකි ය. ගෙපළ තැනීමේ දී, ලිඳක් හෝ වැසිකිලි වලක් කැපීමේ දී ඉවත් කරන පස්වලින් වුව මෙම ගඩොල් වර්ගය නිෂ්පාදනය කරගත හැකි වීම විශේෂත්වයකි.
සාමාන්‍ය කොන්ක‍්‍රීට් මිශ‍්‍රනයක අඩංගු වන්නේ වැලි, කළු ගල් කැබලි, සිමෙන්ති හා ජලය ආදිය වේ. වැලි හා කළු ගල් වෙනුවට මෙහි දී භාවිත වන්නේ සාමාන්‍ය පස ය. එම පසහි තිබිය යුතු වැලි හා බොරළු ප‍්‍රමණයේ ප්‍රශස්ථ මට්ටම කුමක් දැයි සොයා ගැනීමට ද පර්යේෂකයන්ට හැකි වී ඇත. මේ සඳහා යොදාගන්නා සිමෙන්ති ප‍්‍රමාණය ද ඉතා අඩු අගයකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ දී භාවිත වන අච්චු හා මිනිස් ශ්‍රමය හැරුණු කල කිසිදු ශක්තිප්‍රභවයක් අවැසි නොවීම ය. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පිළිවෙලින් සිමෙන්ති ගල්වලට හා සම්ප්‍රදායික මැටි ගඩොල්වලට වැඩි ශක්තියක් වැය වුව ද මේ නවමු ගඩොල් නිෂ්පාදනයට වැය වන්නේ අවම ශක්තියකි. අච්චුව නිපදවීමේ කාර්යයේ සිට ම සම්පත් හා බලශක්තිය උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිත කිරීමට මෙහි දී කටයුතු කොට ඇත. එමෙන්ම, ඒ සඳහා වැය වන්නේ සිමෙන්ති ගලකට වැය වන වියදමෙන් තුනෙන් පංගුවකටත් වඩා අඩු මුදලකි.
මේ හැරුනුකොට මෙම ගඩොලින් තැනුණු බිත්ති සාමාන්‍ය මැටි ගඩොල් බිත්තියකින් මෙන් සිසිලසක් ගෙනදෙන බැවින් හොඳ තාප සන්නයකතාවයකින් ද යුක්ත වේ. ඇතැම් ප‍්‍රදේශවල දිවා කලට මෙන්ම රාත‍්‍රී කලට පවතින දැඩි රස්නය මගහරවා ගැනීමට ද මෙම මඩ-කොන්ක‍්‍රීට් ගඩොල හොඳ ආදේශකයකි.
මොරටුව විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය රංගික හල්වතුර ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරුණු මෙම පර්යේෂණය සඳහා චමීර උඩවත්ත, ලක්මිණි රණසිංහ, කසුන් නන්දිපාල, රිස්නා අරූස් හා හර්ෂා ගලබඩ යන අය දායක වී ඇත.
මෙහි භාවිත ත්‍රිත්වයක් සඳහා පේටන්ට් බලපත‍්‍ර ලබා ඇති අතර තවත් කිහිපයක් ඇගයීම් ක‍්‍රියාවලියෙහි පවතී. Global Energy award සම්මානයෙන් පිදුම් ලැබීමට ද මෙම නව නිපැයුම සමත්ව ඇත.
තාරා ආනන්දවංශ