SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Technology

රැහැන් රහිත විදිලියට තවත් ටිකක් ලං වෙලා…

රැහැන් රහිත විදිලි සම්ප්‍රේෂණය තවමත් ඇත්තේ ළදරු අවදියේ ය. එයට හේතු වන්නේ එහි දී සිදුවන ශක්ති හානිය සාමාන්‍ය රැහැන් සහිත විදුලි සම්ප්‍රේෂණ ක‍්‍රමයකට වඩා වැඩි වීම මෙන්ම එම ක‍්‍රමය වැඩි දියුණු කිරීමේදී නැගෙන ප‍්‍රයෝගික අපහසුතා බොහෝ වීම ය. එහෙත්, මෙතෙක් පැවති එක් ප‍්‍රයෝගික ගැටලුවක් විසදීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුන් පිරිසක් සමත්ව ඇත.
සාමාන්‍ය රැහැන් රහිත පද්ධතියක අඩුපාඩුවක්ව පැවැති, විදිලිය ලබා දෙන සහ ලබා ගන්නා උපකරණ ද්විත්වය අතර ඇතිවන සංඛ්‍යාත පරස්පරය හඳුනාගෙන ස්වයංක‍්‍රියව සුසර වී සමස්ත පද්ධතියේ කාර්යක්ෂමතාව අඩු  වීමට නොදී පවත්වා ගත හැකි ක‍්‍රමවේදයක් හඳුන්වා දීමට මොවුහු සමත්ව සිටිති.

සදීප් බටේවෙල, අතුල කුමාර හා දේශිකා ධර්මසේන

සදීප් බටේවෙල, අතුල කුමාර හා දේශිකා ධර්මසේන

දැනට රැහැන් රහිත විදිලිය සම්ප්‍රේෂණය කරන එක් ක‍්‍රමවේදයක්  වන්නේ දෝලනය වන චුම්භක ක්ෂේත‍්‍රයක් භාවිත කිරීම ය. එහිදී යම් ප‍්‍රභවයක් මගින් ලබා දෙන සරළ ධාරාව, ප‍්‍රත්‍යාවර්ථ ධාරාවක් බවට පත් කර චුම්භක ක්ෂේත‍්‍රයක් හරහා ගමන් කරවයි. අනතුරුව එමගින් ග‍්‍රාහකය උත්තේජනයකට ලක් කර නැවතත් සරළ ධාරාවක් බවට පත්කර ගනී. මෙහිදී එම පද්ධති දෙක අතර ශක්ති හානිය අවම වී උපරිම කාර්යක්ෂමතාවයෙන් සම්ප්‍රේෂණය කළ හැකි එක් සංඛ්‍යාතයක් පවතී. එම සංඛ්‍යාතය අනුනාද සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ  පරිසර සාධක නිසා අනුනාද සංඛ්‍යාත වෙනස් වී (වාතයේ ආර්ද්‍රතාව, උපකරණ අතර ඇති දුර, ඒවා තනා ඇති ද්‍රව්‍යයේ ස්වභාවය ආදිය නිසා) පද්ධතියේ කාර්යක්ෂමතාව බිඳවැටී විදුලි සම්ප්‍රේෂණය ආඩාල වීම ය. මේ ගැටලුව හඳුනාගෙන පරිපථයක් මගින් අදාළ සංඛ්‍යාතය නිරන්තරයෙන් නිවැරැදි කරමින් පවත්වා ගන්නා ක්‍රමවේදයක් සැකසීමට පර්යේෂකයෝ සමත්ව සිටිති.

දැනට මෙම උපකරණය කෙටි දුරක දී (සෙන්ටිමීටර 20 ක් පමණ) සාර්ථකව විදිලිය සම්ප්‍රේෂණය කිරීමට සමත්ය. වඩා විශාල තඹ දඟර යොදා ගැනීමෙන් දුර ප්‍රමාණය තවත් වැඩි කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

පේරාදෙණිය සරසවියේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සදීප් බටේවෙල, අතුල කුමාර හා දේශිකා ධර්මසේන යන සිසු සිසුවියන් මෙම නිපැයුම ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ඔවුනට මග පෙන්වා ඇත්තේ ආචාර්ය ජනක විජයකුලසූරිය හා ආචාර්ය හිමාල් සුරවීර යන අය ය.

තාරා ආනන්දවංශ

%d bloggers like this: