3. පැතලිලන්තවාසින් ගැන
වැඩුණු පැතලිලන්තවාසියකුගේ වැඩිම දිග හෝ පළල ඔබේ ඒකකවලින් කියතොත් අඟල් එකොළහකට පමණ ආසන්න වෙයි. අඟල් දොළහ යනු උපරිමය යි.
අපගේ ගැහැනු සරල රේඛා ඛණ්ඩ වෙති.
සොල්දාදුවන් ද පහළ ම ස්තරයේ කම්කරුවන් ද සම දිග පාද දෙකක් සහිත ත‍්‍රිකෝණ හැඩැති ය. මොවුන්ගේ මේ සම පාදයක දිග අඟල් එකොළහකට ආසන්න වෙයි. ඉතිරි පාදය වන ත‍්‍රිකෝණයේ පාදම අඟල් බාගයක් නො ඉක්මවන තරම් කුඩා ය. මේ නිසා ඔවුන්ගේ ශීර්ෂකෝණය බෙහෙවින් තියුණු වෙයි. මෙම කාරණය නිසා, දුර තියා බලන කෙනෙකුට ඔවුන් ගැහැනුන්ගෙන් වෙන් කොට හඳුනාගන්නට බැරි ය. ඔබේ ලෝකයේ මෙන් අපේ ලෝකයේ ද ‘සමද්විපාද‘ යන පදය මගින් මේ ආකාරයේ ත‍්‍රිකෝණ අනෙක්වාගෙන් වෙන් කරගනු ලැබේ. මෙතැන් පටන් මම ඒ වචනය අදාළ තන්හි යොදන්නෙමි.
අපගේ මධ්‍යම පංතිය සමන්විත වන්නේ, සමපාද ත‍්‍රිකෝණවලිනි.
බොහෝ වෘත්තිකයෝ ද මහත්වරු ද චතුරස‍්‍රයෝ වෙති. මා අයිති වන්නේ ද මේ ගනයට බව මෙහි ලා කිව යුතු ය. ඇතැම්විට මේ පන්තියේ පංචාස‍්‍රයෝ ද වෙති.
මීළඟට එන්නේ, අපගේ රදළයන් නොහොත් වංශවතුන්ගෙන් සැදුම්ලත් ඉහළ ස්තරය යි. මෙය උපස්තර කිහිපයකින් සමන්විත ය. පහළ ම උපස්තරයේ අය ෂඩස‍්‍රයෝ වෙති. මෙතැන් පටන් තරාතිරම අනුව ක‍්‍රමයෙන් පාද ගණන ඉහළ ගොස්, අවසානයේ බහුඅස‍්‍රයන් යන නම්බුනාමයෙන් හඳුන්වනු ලබන ඉහළ ස්තරය කරා ම රදළ පංතියේ විකාශය දැකිය හැකි ය. ඇතැම් විට පාද ගණන ගැණ නිම කරන්නට බැරි තරම් ඉහළ අගයක් ගන්නා අතර, ඒවා එක එකක් ඉතා ම කුඩා දිගකින් යුක්ත වෙයි. එවිට මේ හැඩතලයත් වෘත්තයකුත් අතර වෙනසක් පියවි ඇසින් දැකිය නො හැකි ය. මෙබන්දෙකු වෘත්තාකාරය හෙවත් පූජකවරය දක්වා ඔසොවා තබනු ලැබේ. මේ වනාහි, ධුරාවලියේ ඉහළ ම ස්තරය යි.
ස්වභාවධර්මයා විසින් අපට දෙනු ලැබුවක් මෙහි ලා කිව යුතු ය. එනම්, හැම පිරිමි දරුවකුට ම තම පියාට වඩා වැඩිපුර එක පාදයක් පිහිටීම යි. මේ අනුව, හැම පරම්පරාවක් ම ශිෂ්ටාචාරයේත් ශේෂ්ඨත්වයේත් මාවත ඔස්සේ එක් පියවර බැගින් ඉදිරියට තබනු ඇත. ඒ අනුව, චතුරස‍්‍රයකුගේ පුතා පංචාස‍්‍රයෙකි. පංචාස‍්‍රයාගේ පුතා ෂඩස‍්‍රයෙකි.
කෙසේ වෙතත් මෙම රීතිය ශිල්පීන් කෙරෙහි හැම විට ම බලපවත්වන්නේ නැත. සොල්දාදුවන් හෝ කම්කරුවන් කෙරෙහි බලපවත්වන්නේ ඊටත් කලාතුරකිනි. මොවුහු මනුෂ්‍ය හැඩතල ය කීමට පවා නුසුදුසු තරම් ශරීර දරන්නෝ ය. මේ ශරීරවල කිසිදු පැති දෙකක් සම නැත. එබැවින් ඔවුන් කෙරෙහි ස්වභාවධර්මයාගේ අනගි රීතිය ක‍්‍රියාත්මක නො වේ. සමද්විපාදයාගේ පුතා හැම විට ම සමද්විපාදයෙකි. එසේ වුවත් ඉඳහිට සමද්විපාදයකු කරා වාසනාව පැමිණ, ඔහු තත්ත්වයෙන් ඉහළ යන්නටත් ඉඩ නැතුවා නො වේ. දීර්ඝකාලීන යුද්ධ ජයග‍්‍රහණවලින් පසු හෝ අත්‍යන්ත කැපවීමෙන් ශිල්පීය ප‍්‍රාගුණ්‍යය වඩාගැනීමෙන් පසු, සොල්දාදුවන්ගේත් ශිල්පීන්ගේත් පන්තියට අයත් වූවන්ගෙන් බුද්ධිමත් සුළුතරයකගේ තුන්වැනි පැත්තේ හෙවත් පාදමේ සුළු දිග වැඩිවීමක් සිද්ධ වේ. මේ සමග ඔවුන්ගේ ඉතිරි පාද දෙකේ දිගෙහි අඩුවීමක් ද සිදු වේ. විවාහ තුළින් (මේවා ලෑස්ති කිරීම පූජක ස්තරයේ කාර්යයකි) අප කී බුද්ධිමත් සුළුතරයේ දූ පුතුන් ඔවුන්ගේ පන්තියේ පහළ අය සමග සම්බන්ධ වීම මගින්, සමපාද ත‍්‍රිකෝණයට වඩ වඩා ළං වූ ඊළඟ පරම්පරාවක් ජනනය කරගත හැකි ය.
සංඛ්‍යාත්මක වශයෙන් විශාල වූ සමද්විපාද උපත් ගණන සමග සසඳන විට, සමද්විපාද මාපියන්ට දා ව සමපාද දරුවකු උපදින්නේ ඉතා ම කලාතුරකිනැ යි කිව හැකි ය. එබඳු උපතක් සඳහා පරම්පරා ගණනාවක් තිස්සේ පරෙස්සමින් අනුගමනය කළ යුතු උපායමාර්ග වෙයි. සැලසුම්සහගත අන්තර්විවාහ සේ ම, අනාගත සමපාදයන්ගේ මුතුන්මිත්තන් වන්නට බලාපොරොත්තු වෙන අය විසින් පිළිපැදිය යුතු වෙනත් බොහෝ රීති ද තිබේ. මේ ආකාරයෙන්, පරම්පරා ගණනාවක් තිස්සේ විකාශය වීමෙන් සමද්විපාද බුද්ධිය මුහුකුරා යනු ඇත.
සමද්විපාද මාපියන්ට දා ව හැබෑවට ම සමපාද දරුවකු උපත ලැබීම, අප දේශයේ ආශ්චර්යමත් සේ ම මහත් ප‍්‍රීතිමත් අවස්ථාවකි. සැතපුම් ගණනාවක් පුරා ජනයා එවැනි ආරංචියක් සමරති. සනීපාරක්ෂාව සහ සමාජාරක්ෂාව පිණිස විශේෂයෙන් පත් කරනු ලැබූ මණ්ඩලයක් විසින් මේ දරුවා පරීක්ෂා කොට බලනු ලැබේ. මෙම පරීක්ෂාවෙන් දරුවා සමපාදයකු බව සහතික කරනු ලැබුවහොත්, සමපාදයන්ගේ සමාගමට ඇතුළත් කරනු ලබන්නේ මහත් සන්තෝෂයෙන් යුතු ව ය. සාඪම්බර එහෙත් සෝබර මාපියන්ගෙන් වෙන් කොටගන්නා දරුවා, සමපාදවංශයේ දරු සම්පත් නැත්තකු විසින් භාරගනු ලැබේ. දරුවා මින් මතු උපන් ගෙදරින් ද ලේ නෑයන්ගේ ඇසුරෙන් ද සම්පූර්ණයෙන් වළක්වාගන්නා බවට මේ භාරකරුවා දිවුරා පොරොන්දු විය යුතු ය. යම් හෙයකින් එවන් ඇසුරක් වුවහොත්, අර දරුවා අවිඥානික ව හෝ පැරණි පහත් ගතිලක්ෂණ මතු කොටගෙන ඒ කලාපයට නැවත ඇද වැටෙතැ යි බිය නිසා ය, ඒ.
කලාතුරකින් සිදු වන මේ සංසිද්ධිය – එනම්, දාසභාවයට දා ව සමපාදයකු ඉපදීම, දරුවාගේ නෑයන් වන දාසයන්ට ස්වකීය දරිද්‍රතාව මතින් වැටුණු රශ්මි කදම්බයක් වැන්න. ඉතින් ඔවුහු සන්තෝෂයෙන් එය සමරති. කෙසේ වුවත්, එබඳු උපතක් ඉහළින් සමරන්නේ දාස පන්තිය පමණක් නො වේ; සමපාදයන්ට ද එය සමරන්නට තරම් සන්තෝෂය ගෙන දෙන්නකි. තමන් ලද වරප‍්‍රසාද දිළින්දන්ට විවෘත කිරීමෙන් දූෂ්‍ය කරගැනීමට ඔවුහු කවදත් අකැමැත්තෝ ය. එවන් තත්ත්වයක් උඩ, මෙබඳු දරු උපතක්, තමන් කරා එන්නට නියමිත විප්ලවයේ මග අවුරා දමන බව ඔවුහු දනිති.
මෙබඳු කිසි අවස්ථාවක් නැතුව, සුළුකෝණී පන්තිය සදාකාලික දාසභාවයේ ගැලී සිටියේ නම් ඇතිවන ප‍්‍රතිඵලය කුමක් ද. ඔවුන් තමන්ගේ ම පන්තිය තුළින් නායකයන් බිහි කරගනු ඇත. එවිට වෘත්තාකාර පන්තියේ ඥානය මොවුන්ගේ පිරිස් බලය හමුවේ පරාජය වනු ඇත. එහෙත් ස්වභාවධර්මයාගේ ආඥාව මැදිහත් වී මෙබඳු විකෘතීන්ට ඉඩ අවුරයි. වැඩ කරන පන්තියේ ජනයාගේ බුද්ධිය, ඥානය සහ ප‍්‍රභාව වර්ධනය වන්නේ යම් තරමකට ද, ඊට සමානුපාතික අගයකින් ඔවුන්ගේ සුළුකෝණවල ප‍්‍රමාණය විශාල වේ. ඉහත කාලයේ මෙම සුළුකෝණ ඉතා කුඩා නිසා මේ අය කායබලයෙන් කාටවත් දෙවෙනි නො වූහ. වෙනසින් පසු ඔවුහු සමපාද ත‍්‍රිකෝණයන් තරමට අහිංසකයන් බවට පත් වන්නෝ ය. එම නිසා, සොල්දාදු සහ පහළ පන්තිවල භයානක සාහසිකයන් (මේ ප‍්‍රාණීහු තම නුවණ මඳකම නිසා ගැහැනුන් හා බොහෝ සෙයින් සම තත්ත්වයේ වෙති) ස්වකීය මානසික තත්ත්වය කරුණු කාරණා විනිවිද දැකිය හැකි උසස් තලයකට සන්සුන්කමකට පමුණුවාගන්නා විට ම, ඒවා විනිවිදීමට අවශ්‍ය ශක්තිය ඔවුන් කෙරෙන් අතුරුදන් වෙයි.
මෙසේ දේවල් තුලනය කිරීම සඳහා ස්වභාවධර්මයා අනුගමනය කරන නීති කොතරම් ප‍්‍රශංසනීය ද! දිව්‍යමය මූලයෙන් යුත් පැතලිලන්තයේ මහාභිමානී ව්‍යවස්ථාව කොතරම් පරිපූර්ණ ද! මේ සොබා නීති නුවණින් යුතු ව යොදාගැනීමෙන් ද, මිනිස් මනසේ මැඩලිය නොහැකි අසීමිත අපේක්ෂාවන්ගේ උදවුවෙන් ද, කිසියම් කැරැුල්ලක් හටගන්නා විටෙක, අංකුර අවස්ථාවේ ම එය විනාශකරලීමට බහුඅස‍්‍රයන්ටත් වෘත්තයන්ටත් හැකි වෙයි.
නීතියේ හා සාමයේ උපකාරයට කලාව ද පෙරට එයි. රජයේ වෛද්‍යවරුන් විසින් පාදවල සිදු කරනු ලබන සුළු කෘත‍්‍රිම සංකෝචන හෝ ප‍්‍රසාරණ ශල්‍යකර්මයකින්, වඩා පැසුණු නුවණින් හෙබි විප්ලවවාදී නායකයන් පූර්ණ සමපාදයන් බවට පෙරළිය හැකි බව අත්දුටු සත්‍යයකි. මොවුන් ඉක්මනින් වරප‍්‍රසාද ලත් පන්තියට ඇතුළත් කරගනු ලැබේ. මේ දැකීමෙන් පන්ති මාරුවකට පොටක් පාදාගැනීමේ ආශාවෙන් බොහෝ ගණනක් විසමපාදයෝ රජයේ රෝහල්වලට ඇතුළු වෙති. එහිදී ඔවුන් ජීවිතාන්තය දක්වා ගරු අඩස්සියේ තබාගනු ලැබේ. නාහෙට නාහන, අඥාන මෙන් ම කිසි ම හැඩයක් නැති අති සුළුතරය මරණයට පමුණුවනු ලැබේ.
ඒ අනුව, සමද්විපාදයන්ගේ කාලකණ්ණි කැරලි, නිසි නායකත්වයකින් හෝ සැලසුම්සහගතබවින් තොර වෙයි. වෘත්තාකාර නායකයන් විසින් අල්ලස් දෙනු ලැබූ මේ පන්තියේ සහෝදර කණ්ඩායමක් හැම විට ම කැරැුල්ල එතැන ම විනාශ කොට දමන්නට ඉදිරිපත් වෙති. කැරැුල්ල විනාශවීමේ වඩාත් සුලබ වශයෙන් ආකාරය වන්නේ, වෘත්තාකාර පැළැන්තිය විසින් ශූර ලෙස සමද්විපාදයන් අතරට කවනු ලබන ඊර්ෂ්‍යාවෙනුත් සැකයෙනුත් ය. අවසානයේ සමද්විපාදයෝ උනුන් ඇනගනිති; උනුන්නේ කෝණවලින් තුවාල කරගනිති. අපගේ ඓතිහාසික වාර්තාවල එන හැටියට, එදා මෙදා තුර බිහි වූ කැරලි ප‍්‍රමාණය සියයකටත් අඩු ය. කුඩා පරිමාණයේ විරෝධතා නම් දෙසිය තිස් පහක් වාර්තා වේ. කැරලි සන්සිඳුණේ ඔන්න ඔහොම ය.