ලොකු කම් ඉවතලමු වනාන්තර රැකගනිමු
මුළු සිංහරාජයේම නැති තරම් ගස් ප්‍රමාණයක් ඕනෑම දිනක මොරටුමුල්ලේ ඇතැයි ඒ ප්‍රදේශයේ කතාවක් තිබේ. එය අතිශයෝක්තියක් වුවත් එහි අන්තර්ගතයේ යම් ගත යුත්තක් ඇත. මොරටුමුල්ලේ ඇත්තේ සිංහරාජයේ මෙන් සිංහ සෙයියාවෙන් හිස ඔසවා ගත් වෘක්‍ෂ රාජයන් නොවේ. පළු බවට පත්වී අසරණව වැතිර සිටිනා දැව කඳන්ය.
හරිත වනාන්තර ශීග්‍රයෙන් ක්‍ෂය වී යෑමේ විපාක පිළිබඳව නැවත නැවතත් කතා කළ යුතු නැත. වනාන්තර හෙළිකිරීමේ ප්‍රධානතම කාරණාවක් වන්නේ දැව ලබාගැනීම ය. දැව අවශ්‍ය වන්නේ ගොඩනැගිළි ඉඳි කිරීමේ ද්‍රව්‍යයක් ලෙස සහ ගෘහ භාණ්ඩ සැදීමේ මූලික ද්‍රව්‍යයක් ලෙස ය. නව තාක්‍ෂණය විසින් මෙම දැව අවශ්‍යතාවය අවම කර ඇත. මෙමගින් ලොව බොහෝ රටවල වනාන්තර සංහාරය සෑහෙන ප්‍රමාණයකට අඩු කරගෙන ඇත.
මේ අතරින් ප්‍රධාන භෝගයක් වන්නේ Cannabis sativa යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන හණ වර්ගයයි. සමහර විට මරිජුවානා මත්ද්‍රව්‍ය නිපදවන ශාකය සමග පටලවා ගත්තද මෙම හණ වර්ගය ඊට වෙනස් පරිසර හිතකාමී ඉතා ශීග්‍රයෙන් වැඩෙන තිරසාර භෝගයකි. කෘමි නාශක හෝ රසායනික පොහොර නොයොදා බොහෝ පස් වර්ගවල වැවිය හැකි මෙම ශාකය මගින් අක්කරයකට ඉහළ ශ්‍රේණියේ තන්තු ටොන් 25 පමණ ලබාගත හැක.
හණ තන්තු, හුණු ගල් කුඩු සහ වතුර සමග මිශ්‍ර කිරීමෙන් ඉතා සවිමත් කොන්ක්‍රීට් වැනි මිශ්‍රණයක් සදා ගත හැක. බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ සමහර රටවල වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙම මිශ්‍රණය හෙම්ප්ක්‍රීට් නමින් වාණිජ ලෝකයේ හැඳින්වේ. මෙම හෙම්ප්ක්‍රීට් මිශ්‍රණය ඝන වූ විට කෘමි සහ ජල ප්‍රතිරෝධී, ගින්නට ඔරොත්තු දෙන ඉතා ශක්තිමත් ද්‍රව්‍යයක් බවට පත්වේ. මෙමගින් ගොඩනැගිළි ඉදිකිරීමේ දී දැව මෙන්ම ගඩොල් සහ කොන්ක්‍රීට් අවශ්‍යතා ද සපුරාලිය හැක. අභ්‍යන්තර මෙන්ම බාහිර බිත්තිද, වහලයේ බොහෝ කොටස්ද උළුවහු දොර ජනෙල් ආදිය ද මෙමගින් සාදාගත හැක.
මීට අමතරව හෙම්ප්ක්‍රීට් උපයෝගී කරගෙන ගෘහ භාණ්ඩ සැදීමට ද යුරෝපීය තාක්ෂණවේදීන් කටයුතු කරගෙන යයි. මෙහිදී හෙම්ප්ක්‍රීට් ලෑලි සහ අනෙකුත් කොටස් පිරිද්දීම සඳහා සෝයා ශාකයේ තන්තුවලින් නිපදවෙන මැලියම් වර්ග භාවිත කිරීමට ඔවුන්ගේ අවධානය යොමු වී ඇත. එය පරිසර හිතකාමී මෙන්ම කාර්ය පහසු කරවන ආදේශකයක් බව මෙම තාක්ෂණවේදීන්ගේ මතයි. ලංකාව වැනි රටක මෙම හණ වර්ගය ඉතා පහසුවෙන් වගා කළ හැකි අතර මේ සඳහා මුඩු බිම් යොදා ගත හැක. මීට අමතරව නොයෙකුත් උණ ශාක, පලතුරු ලෙලි (විශේෂයෙන් කජු ලෙලි), පිදුරු වැනි ද්‍රව්‍යවල උපයෝගිතාවය කෙරේ ද ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය යුතුය. වල්ලා පට්ටා වැනි වේගයෙන් වාණිජ භෝගයක් බවට පත්වෙමින් පවතින ශාකවල ඉවතලන කොටස්වලින් ද (මෙම ශාකයේ සුවඳ විලවුන් කර්මාන්තය සඳහා වාණිජ වටිනාකමක් ඇත්තේ කුඩා කොටසකය) මේ වැනි දැව ආදේශකයක් සදා ගත හැකිදැයි සොයා බැලීම යෙහෙකි.
ලංකාවේ මේ වන විටත් දහයියා ගඩොල් සහ සමහර ඉවතලන ද්‍රව්‍යවලින් සාදාගන්නා දැව ආදේශක හඳුන්වා දී තිබේ. එහෙත් මේවා එතරම් ජනප්‍රිය නොවීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ ලාංකික සමාජයේ සමහර ස්ථරවල ඇති අධිමානයයි. විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ මිලදී ගැනීමේ දී, ඒවායින් ඉටු වන භෞතික අවශ්‍යතාවයට වඩා මෙම සමාජයට වැදගත් වන්නේ එම ගෘහ භාණ්ඩ තම ධනවත් බව හඟවන නිර්ණායකයක් කර ගැනීමයි. මේ නිසා වීදුරු සහ පිගන් බඩු කිහිපයක් තැම්පත් කිරීමට අවශ්‍ය වූ විට ඒ සඳහා සැහැල්ලු, ශක්තිමත්, මිල අඩු හෙම්ප්ක්‍රීට් වැනි ද්‍රව්‍යයකින් සෑදු ගෘහ භාණ්ඩයක් මිලදී ගන්නවා වෙනුවට ඉතා විශාල මුදලක් දී තේක්ක, මහෝගනී වැනි වටිනා දැවයෙන් තැනු භාණ්ඩයක් ලබා ගනියි. මෙමගින් වනාන්තරයේ ඉතා ප්‍රෞඩ ලීලාවෙන් තව වසර සියයක් දිවි ගෙවන රූස්ස වෘක්‍ෂයක් බිම හෙලන බව ඔවුන් නොසිතයි.