සංවර්ධනය උදෙසා කුහකත්වයෙන් ඔබ්බට
ස්වීඩනයේ සිටින අපගේ මිතුරෙක් වරක් අපූරු සිදුවීමක් ගැන පැවසීය. ඔහු වසර හතක් ඇතුළත සාර්ථක ශල්‍යකර්ම දෙකකට භාජනය වී ඇත. එහි විශේෂත්වය නම් ඔහුගේ දෙවන ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරයා, පළමු ශල්‍යකර්මයේ දී වෛද්‍යවරුන්ගේ අත් උදව්වට සිටි උපස්ථායකයා වීමයි. ලොව බොහෝ දියුණු රටවල මේ තත්වය සාමාන්‍ය දෙයකි. ඕනෑම අයෙකුට ජීවිතයේ යම් වකවානුවක තම වෘත්තීය අත්දැකීම්වලට අදාළ විෂය පථයේ, ඉහළටම යෑමට අවස්ථාව ඇත. අවශ්‍ය වන්නේ නියමිත සුදුසුකම් සපුරාලීමට තමන්ගේ ඇති කැපවීමයි. එම රටවල් “සංවර්ධිත” ලෙස ලේබල් වන්නට ප්‍රධාන හේතුවක් වන්නේ ද මෙයයි.
යථාර්ථවාදීව විශ්ලේෂණය කළහොත් රටක සංවර්ධනය සඳහා වඩාත්ම දායකත්වයක් දිය හැක්කේ තාක්‍ෂණ අත්දැකීම සහ විද්‍යා ඥානය යන දෙකම මුහුකුරා ගිය වෘතිකයන්ටයි. උදාහරණයක් ලෙස අපි ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමාව ලබාගෙන වසර කිහිපයක් අදාළ විෂය පථයේ සේවය කරන වෘතිකයෙක් සලකමු. තවත් වසර කිහිපයක් න්‍යායාත්මක විෂය ධාරා අධ්‍යනය කර ඔහුට ඉංජිනේරු උපාධිධාරියෙක් බවට පත්වීමට පහසුකම් ඇත්නම් රටට විශාල වාසියක් අත්වනු ඇත. මේ ආකාරයටම රෝහල් උපස්ථායකවරයෙකුට වෛද්‍යවරයෙකු වීමට හෝ විද්‍යාගාර සහයකයෙකුට විද්‍යා උපාධිධාරියෙකු වීමට දොරවල් ඇරෙයි නම් එය මුළු මහත් සමාජයටම හිතකර වනු ඇත.
අප ඉහත සාකච්චා කළේ ලොව බොහෝ රටවල අධ්‍යාපන ව්‍යුහයේ ඉතා වැදගත් අංගයක් වුද නොයෙකුත් සමාජීය හේතුන් නිසා ලංකාවේ අකර්මණ්‍ය වුද වැඩිහිටි අධ්‍යාපනය පිළිබඳවයි. විද්‍යාවේ හා තාක්‍ෂණයේ නිරන්තරයෙන් පුළුල් වන නිම් වළලු ග්‍රහණය කරගැනීම සඳහා හැකි සෑම අවස්ථාවකම ඩිප්ලෝමා සහතික ලාභියා උපධිධාරියකු බවටත්, උපධිධාරින් පශ්චාත් උපාධිධාරීන් බවටත් උත්ශ්‍රේණිගත විය යුතුය. මේ සඳහා සුදුසු පසුබිම සකස් කිරීම රජයේ යුතුකමයි. ඊට අවශ්‍ය තාක්‍ෂණික සහ අධ්‍යාපන පහසුකම් පමණක් නොව වෘතිය අංශයේ සහයෝගීතාවය සහ අදාළ උත්ශ්‍රේණිගතවීම සඳහා වෘතිකයාට අවශ්‍ය ධෛර්ය ලබා දීම ද රජයේ මෙන්ම සමාජයේ ද සුවිශේෂ කාර්යභාරයකි. සමහර විට මෙහිදී ඉහළ ස්ථරවල සිටින සම-වෘතිකයන්ගේ ආකල්ප වෙනස්කිරීමට මනෝ විද්‍යාඥයන්ගේ සහයෝගය ද අවශ්‍යවනු ඇත.
මෙම සංඛල්පය ක්‍රියාවට නැංවීමේ මුල් පියවරක් ලෙස අපි පහත යෝජනාව ඉදිරිපත් කරමු.
මේ වන විට මොරටුව සරසවිය ඉතා ප්‍රශස්ථ ක්‍රියාවලියක් අවසන්කර ඇත. එනම් එම සරසවියේ මෙතෙක් ක්‍රියාත්මක වූ ජාතික තාක්ෂණ ඩිප්ලෝමා වැඩසටහන, තාක්‍ෂණික ආයතනයක් ලෙස (ITUM) ඉතා පුළුල් ඉඩකඩ ඇති පරිසරයක ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. අප යෝජනා කරන්නේ මෙම ආයතනයේම සවස් වරුවේ වැඩිහිටි අධ්‍යාපනය මුල් කරගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කර BEng සහ BTech උපාධි ප්‍රධානය කරන ලෙසටයි. මේ සඳහා වෘතිය අත්දැකීම් ඇති අය පමණක් බඳවා ගැනීම සමාජීය ගැටලු කිහිපයකටම විසඳුමක් වනු ඇත.
වැඩිහිටි අධ්‍යාපනය තුළින් පහළ ශ්‍රේණිවල වෘතිකයන් ඉහළ තලයකට පැමිණීමට එරෙහිවන නිලධාරීන් අපට සිහි කරන්නේ අපාතෙඩ් දකුණු අප්‍රිකාවයි. දකුණු අප්‍රිකාවේ කළු ජාතික හැමිල්ටන් නැකී නම් රෝහල් උපස්ථායකයා ගැන බොහෝ දෙනෙකු අසා නැත. වසර 1972 දී ක්‍රිස්ටියන් බර්නාර්ඩ් ලොව ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කරද්දී විශාලතම කාර්ය භාරය සිදු කළේ ඔහු ය. අත්දැකීම් තුළින්ම ඉතා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ තත්වයට පැමිණි ඔහු වෛද්‍ය සිසුන් රාශියකට ශල්‍යවෛද්‍ය විද්‍යාව පිළිබඳව දේශන පැවැත්වීය. එහෙත් එවකට දකුණු අප්‍රිකාවේ පැවතී වර්ණ බේද වාදී ආණ්ඩු ක්‍රමය නිසා ඔහුට කෙදිනකවත් රෝහල් උපස්ථායක තනතුරින් ඉහළට යා හැකි නොවිය. වැඩිහිටි අධ්‍යාපනයේ දී එදා තිබු අපාතේඩ් දකුණු අප්‍රිකාවත්, අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවත් අතර වෙනසක් ඇත්දැයි ඔබම කල්පනා කර බලන්න.