
වතපොතේ තටු ලබන (අ)විද්‍යාව
මහාචාර්ය රාජ් සෝමදේව යනු මෙරට බිහිවූ අද්විතීය පුරා විද්‍යාඥයෙකි. මෙම ක්‍ෂේත්‍රයේ ස්වභාවය අනුවම එතුමාට එක් ගවේෂණ කටයුත්තක් සඳහා වසර කිහිපයක්වත් ගතවන බව මම අනුමාන කරමි. සමහර විට දීර්ඝ කාලීන කැනීම් කටයුත්තකින් පසු පුරා විද්‍යාඥයා සොයා ගන්නේ සාමාන්‍ය ජනතාවට වැදගත්කමක් නොපෙනෙන හෝ ගෝචර නොවන අංගයක් ද විය හැක. එය කැඩී බිඳී ගිය බඳුනක කොටසක්, කුඩා ලී කැබැල්ලක්, ධාන්‍ය ස්වල්පයක නෂ්ඨාවශේෂ, පුරාණ වැසිකිළියක කුඩා කොටසක් වැනි යමකි. එහෙත් පළපුරුදු, අත්දැකීම් සහිත පුරා විද්‍යාඥයෙකුට එය මිණි මුතුවලට වඩා වටියි. මන්ද, එම සොයාගැනීම් එකල පැවති සමාජ ක්‍රමය සහ පරිසරය පිලිබඳ බොහෝ දේ පවසන බව ඔවුන් දන්නා නිසාවෙනි.
ඉන් පසු එළබෙන්නේ විද්‍යාඥයෙකු මුහුණ දෙන අසීරුතම හෝරාව ය. ලොව පිළිගත් ක්‍රමවේදයනට අනුව සොයාගත් සාධක අධ්‍යනය කිරීමෙන් පර්යේෂකයා නිගමනවලට පැමිණිය යුතු ය. මේ සඳහා තවත් මාස කිහිපයක් හෝ සමහර විට වසර කිහිපයක් ගත වේ. ඉන්පසු පර්යේෂණ පත්‍රිකා ආශ්‍රයෙන් එම නිගමන ක්‍ෂේත්‍රයේ අනෙක් විද්වතුන්ගේ විමර්ශණයට භාජනය කළ යුතු ය. මෙම ක්‍රියාවලියේ දී සමහර විට මුලින් පැමිණි නිගමන වෙනස් කිරීමට ද සිදුවෙයි.
ඉන් අනතුරුව කරන ලද සොයා ගැනීම් සාමාන්‍ය ජනතාවගේ අවධානයට යොමු විය යුතු නම් විද්‍යාඥයා මාධ්‍ය හමුවක් ද කැඳවයි. එය බොහෝ විද්‍යාඥයන්ගේ සිහින දිනයයි.
මේ අවස්ථාව පිළිබඳව අවධානයෙන් සිටින තවත් පිරිසකි. විද්‍යාඥයාගේ මාධ්‍ය සාකච්චාවෙන් පසු ගෙවෙන හොරා කිහිපය ඇතුළත සමාජ ජාලවල, විශේෂයෙන්ම වතපොතෙහි (Facebook), නෙත් බැඳගන්නා රූපරාමු සහිත පෝස්ට් පළවීම ඇරඹෙයි. රාජ් සෝමදේවයන්ට දශක කිහිපයකින්වත් එළඹිය නොහැකි නිගමනවලට මෙම වතපොත හමුදාව පැය කිහිපයකින් ළඟා වේ.
හමුවී ඇත්තේ රාවණා රජු මල් කැඩීමට ගෙන ගිය භාජනයේ කොටසකි. ලී කැබැල්ල දඬුමොණර යන්ත්‍රයේ කොටසකි. හෙළයේ මහා විරුවා ශරිරකෘතය කළ වැසිකිලිය සොයාගෙන ඇත. මෙම පෝස්ට් පළවන්නේ ඉතා කර්කශ පාඨයක් ද සහිතව ය. “හෙළයේ මහාවිරුවා නොපිළිගන්නා පරයන්ට කම්මුල් පහරක්”.
මීට වසර 15ක ට පමණ පෙර අන්තර්ජාලය වේගයෙන් ව්‍යාප්තවෙමින් දැනුම ඇගිලි තුඩු ලඟට ගෙන එනවිට බොහෝ වියතුන් දැක්වූ අදහසක් විය. එනම් මිත්‍යාවට වැඩි ආයුෂ නොමැති බව ය. දැනුම, මානසික දැක්මේ නිම් වළලු පුළුල් කරයි. පුළුල් වපසරියක ඇති සිතිවිළි පරාසය මිනිසෙකුගේ විශ්ලේෂණ හැකියාව මුවහත් කරයි. එබඳු සමාජයක මිත්‍යාවට ඉඩක් නොපවතියි.
එහෙත් සිදු වුයේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙයකි. ලාභ ප්‍රයෝජන තකා මෙන්ම හුදු විනෝදය හෝ වීරත්වය උදෙසා මිත්‍යා මත කර තබා ගත් විශාල පිරිසක් අන්තර්ජාලය සිය අණසකට නතු කර ගත්හ. මෙය ලංකාවේ පමණක් නොව ලොව පුරාම සිදු විය. මේ සමගම සාමාන්‍ය ජනතාවගේ පමණක් නොව සමහර උගත් යැයි සම්මත සමාජ ස්ථරවල පවා ඇති කරුණු විශ්ලේෂණය කිරීමේ හැකියාව මොට වී ගියේ ය.
මිත්‍යාවක් සමාජ ගත කිරීම සඳහා එම මත වපුරන්නන් භාවිත කරන්නේ සරල ක්‍රමවේදයකි. ඔවුන් මෙම මත හරහා යම් කාල පරාසයක දී සමාජයේ ඇති සංවේ දී ආකල්පයක් ආමන්ත්‍රණය කරයි. උදාහරණයක් ලෙස; ඉන්දියාවෙන් ලංකාවට අහිතකර බලපෑම් ඇතිවන සෑම වකවානුවක දී ම රාවණා රජු අවදිවෙයි. ලොව බලවත් රාජ්‍යයක් වන ඉන්දියාව හමුවේ වර්තමානයේ අප යම් අසරණ භාවයකට පත්ව ඇති බව නොරහසකි. මේ නිසා ඇතිවන සිත් වේදනාව යම් ප්‍රමාණයකට සමහන් කිරීමට රාවණා සංකල්පය උපකාරී වේ. එය යහපත් ඵලයකි. එහෙත් එම චිත්ත පීඩා කාලයක් යන විට සමාජයෙන් වියැකී යන්නේ සමාජ ගතවූ මිත්‍යාව ඉතිරි කරමිනි.
අප අනුගමනය කරන බටහිර විද්‍යාව පදනම් වී ඇත්තේ සෑම විද්‍යාඥයෙක්ම පිළිගන්නා පොදු ක්‍රමවේදයක් මත ය. එය පවතින දැනුම් සම්භාරය තුළ යම් පමණකට තාර්කික ය. එහෙත් එය පරම සත්‍ය හෝ සදා පැවතිය යුතු පදනමක් නො වේ. එසේම ප්‍රශ්න නො කළ යුතු සංකල්පයක් ද නොවේ. බටහිර විද්‍යාවට මේ වන විට පිළිතුරු නොමැති ගැටලු රාශියක් පවතී. විද්‍යාවේ පැවැත්ම ඇත්තේ ද මේ පිළිතුරු නොමැති දේ වැඩි වන ස්වභාවය මත ය.
පැරණි මිසරය, පර්සියාව, ඉන්දියාව, චීනය මෙන්ම ලංකාව වැනි රටවල ද දක්නට ඇති පෞරාණික නටඹුන් ප්‍රකාශ කරන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ නොයෙකුත් වකවානුවල නුතන මිනුම් දඬුවලින් පවා අති විශිෂ්ඨ යැයි කිව හැකි විද්‍යා හා තාක්‍ෂණ දැනුමක් පැවතී ඇති බව ය. එබැවින් නුතන බටහිර විද්‍යාවෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක ක්‍රමවේද සෙවීමේ කිසිදු වරදක් නොමැත. එහෙත් ගැටලුව වන්නේ බොහෝ දෙනෙකු මේ සඳහා ගන්නා ක්‍රියා මාර්ගවල ඇති අතාර්කික ස්වභාවයයි. සරළ උදාහරණයක් ලෙස රජරට වකුගඩු රෝග පැනයේ දී යම් පිරිසක් විසින් ඉදිරිපත් කළ දේව විවරණය සඳහන් කළ හැක. මෙම වකුගඩු රෝගයට එක් හේතුවක් ආසනික් විය හැකි බව ද, ගොවිතැනට යොදන රසායනික ද්‍රව්‍ය මගින් ආසනික් පසට එකතුවිය හැකි බව ද එතෙක් පළ වී තිබු පර්යේෂණ පත්‍රිකා සමීක්ෂණයක් මගින් පහසුවෙන් කිව හැකිව තිබුණි. ඒ සඳහා දෙවියන්ගේ උදව්වක් අවශ්‍යව තිබුණේ යයි පිළිගත නොහැක.
ඊළඟ පැනය නම් දෙවියන්ට හැකියාව ඇත්තේ මෙම සරල කරුණ ප්‍රකාශ කිරීමට පමණක් ද යන්න ය. රජරට මෙන්ම රටේ වෙනත් ස්ථානවලත් තවමත් වකුගඩු රෝගයෙන් පීඩා විඳින සහ මිය යන රෝගීන් බොහෝ ය. මේ රෝගයට ප්‍රතිකාරයක් නිර්දේශ කිරීමට මෙම දේව බලයට හැකි වුණි නම්, එමෙන්ම රටේ ඇති තවත් බොහෝ ගැටලුවලට පිළිතුරු ලබා දීමට මෙම දෙවියන්ට හැකි වුණි නම් මෙම ක්‍රමවේදය බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක් වන්නට තිබුණි.
මෙහි ඇති තවත් බරපතල ගැටලුවක් නම් ඕනෑම කෙනෙකුට මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට ඇති හැකියාවයි. හෙට දින කවරෙකු හෝ ප්‍රකාශයක් කරමින් වෙනත් දෙවියෙකුට අනුව මෙම රෝගයට හේතුව කැඩ්මියම් යයි ද, අනිද්දාට තවත් දෙවියකුට අනුව හේතුව ඊට හාත්පසින්ම වෙනස් එකක් යැයි ද පැවසුව හොත් ජනතාව අතරමං වෙනවා පමණක් නොව රටේ අවධානය ද වෙනතකට යොමුවෙයි. එහි ප්‍රතිඵලය වන්නේ මූලික ගැටලුව විසඳීමට කිසිවෙකු උනන්දු නොවීම ය.
මේ වන විට රටේ වැඩි පිරිසක් තම පෞද්ගලික ගැටලු නිරාකරණ කරගැනීම සඳහා නොයෙකුත් මිත්‍යා මත වපුරන්නන් පසු පස දිව යෑමට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ රටේ වියතුන් ලෙස පිළිගත් පිරිස් පවා විද්‍යාව හැර දමා අවිද්‍යාව වෙත පිය නැගීම ය. අන්තර්ජාලය මේ කටයුත්තේ දී සමාජය නොමග යැවීමට බෙහෙවින් උපකාරී වූ බව කණගාටුවෙන් වුව ද පැවසිය යුතු ය.
මිත්‍යාව වැපිරීම ව්‍යාපාරයක් මෙන්ම විනෝදාශ්වාදයක් වන තාක් කල් එය වතපොතෙන් තුරන් කිරීම අසීරු ය. එහෙත් ප්‍රඥා ගෝචර මනසකින් යුතුව වතපොත පරිහරණය කිරීමෙන් ඉන් සිදුවන අවැඩ අවමයක් කරගත හැක. ඊළඟ වර ඔබේ වතපොතේ පෝස්ට් එකක් පළ කිරීමට හෝ අමුණා ගැනීමට පෙර එය කෙතරම් යථාර්තවා දී දැයි දෙවරක් සිතා බලන්න.