
පැයට කිලෝමීටර 828,000ක වේගයෙන් යන අපි
අපි හැල්මේ ගමන් කරමු. ජාති, ආගම්, කුල, ගෝත්‍ර බේදවලින් තොරව අපි සියලු දෙනාම පැයට කිලෝ මීටර 828,000 වේගයෙන් ගමන් කරමු. ඒ සක්වළ ස්කන්ධ කේන්ද්‍රය, කේන්ද්‍ර කරගත් පථයක් හරහා ය. සුර්යයා ප්‍රමුඛ මුළු සෞරග්‍රහ මණ්ඩලයම මෙම ගමනේ යෙදෙයි. මේ පරිභ්‍රමණය එක් වටයක් සම්පුර්ණ කරන විට අපි සක්වළ වසරක් පිරුණා යයි කියමු. සක්වළ වසරක් පෘථිවි වසර මිලියන 225 කි.
සක්වල වටා ගමන් කරන අතරම අපි තවත් ගමනක් යමු. එනම් සුර්යයා වටා ය. එය ද එසේ මෙසේ ගමනක් නොවේ. ඒ යන්නේ පැයට කිලෝ මීටර 110,000 වේගයකිනි. මේ වටය අවසන් කිරීමට ගතවන කාලයට අපි පෘථිවි වසරක් හෝ නිකම්ම වසරක් යයි කියමු.
ගමන ඇත්තෙන්ම තවත් සංකීර්ණ ය. මේ කියන්න හදන්නේ පෘථිවියේ ධ්‍රැවයක සිට නිරක්ෂය දෙසට පැමිණෙද්දී රටින් රටට වෙනස්වන ගමනක් ගැනයි. ධ්‍රැව ප්‍රදේශවල සිටින හිම වලසුන් මේ ගමනේ යෙදෙන්නේ නැති තරම් ය. අනෙක් අතට නිරක්ෂයට ආසන්නයේ සිටින අපි පැයට කිලෝ මීටර 1600ක පමණ වේගයකින් ගමන් කරමු. ඒ පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වන වන විට පොළොව මතුපිට සිටින අප යෙදෙන ගමන ගැනයි.
තව දින දෙකකින් සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන බව ජ්‍යෙතිෂවේදියෝ පවසති. මේ සුර්ය සංක්‍රාන්තිය අර කලින් ගමන්වලම කොටසක් ද?
මේ රාශි අතර කෙරෙතැයි කියන හිරුගේ ගමන සැබැවින්ම දෘශ්‍ය මායාවකි. රාත්‍රී අහස දෙස බලන ඔබට තරු විශාල ප්‍රමාණයක් දැක ගත හැකි ය. ඒවායින් සමහර තරු ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතින් පිහිටා ඇත. ඒ අතරම සිකුරු, බ්‍රහස්පතී වැනි අපේම සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි ග්‍රහලෝක පෙනෙන්නේද තරු විලසිනි. එහෙත් ඉහත සඳහන් කළ තාරකාවලට සාපේක්ෂව මෙම ග්‍රහ ලෝක අපට ඉතා ආසන්නයේ පවතී. පියවි ඇසට මේ දුර ප්‍රමාණ සහ පරතර කෙසේවත් ග්‍රහණය කරගත නොහැකි ය.
දැන් සිතන්න ඔබ විශාල තැනිතලා බිමක් හරහා දුම්රියක යනවා කියා. තැනිතලාව අවසන් වන්නේ විවිධ හැඩතල සහිත කඳු වැටියකිනි. ඈතින්, කඳු පෙළට මෙපිටින්, විශාල හුඳකළා ගසක් ඇතැයි සිතන්න. දුම්රියේ කවුළුවකින් මෙම ගසෙහි ඉහළ කොටස පමණක් පෙනෙන සේ බලන්න. මොහොතකට ඔබ නතර වී සිටිතැයි සිතුව හොත් ඔබ දකින්නේ ඉහත සඳහන් කළ සුර්යයා රාශී හරහා යන ගමන හා සමාන වූවකි. සුර්යයා රාශියෙන් රාශියට යන්නා සේ ගස කඳු වැටියේ එක එක කොටස හරහා ගමන් කරන බවක් ඔබට හැඟෙයි.
පෘථිවිය සුර්යයා වටා ගමන් කරන විට, සූර්යයාගෙන් එපිට පසුබිමේ ඇති අපට පෙනෙන තරු රටා වෙනස් වෙයි. ඒ අප සුර්යයා දෙස බලන ආනතිය වෙනස් වන බැවිනි. පෘථිවිය කේන්ද්‍ර කරගත් ගමන් මාර්ගවල අනෙක් සියලු ම ග්‍රහ වස්තු ගමන් ගන්නා බව ඔබ විශ්වාස කරන්නේ නම් දැන් ඔබට පෙනෙන්නේ අපූරු සංසිද්ධියකි. ඒ තරු රටා මෙන්ම සුර්යයා ද අප වටා (එනම් පෘථිවිය වටා) ගමන් කරන බවයි. එසේම ඔබ දකින පරිදි සුර්යයාගේ ගමන අනෙකුත් බොහෝ තාරකාවලට වඩා වේගවත් ය. එබැවින් එය එම තරු රාශී පසු කරමින් ගමන් කරයි. අපේ ජ්‍යෙතිෂයේ රාශී ලෙසින් හඳුන්වන්නේ අහසේ ඇති තරු රටා දොළොසකි. අලුත් අවුරුද්ද ලබන විට සුර්යයා මීන රාශිය නම් තරු රටාව පසු කර මේෂ රාශිය නම් තරු රටාවට සැපත් වෙයි.
ඇත්තෙන්ම සිදු වන්නේ සුර්යයා වටා කෙරෙන පෘථිවියේ ගමන නිසා, සුර්යයාට පසුබිමින් ඇති, පෘථිවියේ සිටින්නෙකුට දක්නට ලැබෙන තරු රටාව වෙනස් වීමයි. මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් නම් එක නිමේෂයක දී එක දිශාවකට පියවි ඇසින් පෙනෙන තරු රටාව ඉතා සරල විය හැකි වුවත් සත්‍යය එය නොවන බවයි. ඔබ දුරේක්ෂයකින් බැලුවහොත් එහි විශාලන බලය මත ඔබ දකින තරු රටාව බෙහෙවින් වෙනස් විය හැක. එසේම අප සක්වල කේන්ද්‍රය වටා ගමන් කරන පැයට කිලෝ මීටර 828,000ක වේගය නිසා මීට වසර මිලියන කිහිපයකට පෙර මිනිසා සිටියා නම් මේෂ හෝ මීන රාශි පමණක් නොව අන් කිසිඳු රාශියක් ඔවුන්ට දැකගත නොහැකි වනු ඇත. එවිට පෘථිවියේ සිට බලන්නෙකුට පෙනෙන්නට ඇත්තේ වෙනස්ම තරු රටා ය.
මේ කරුණු අපට පෙන්වා දෙන්නේ මෙම රාශි චක්‍රය, නැකත් ක්‍රමය, මෙන්ම ඔබේ හඳහන ද සම්පුර්ණයෙන්ම දෘෂ්ටි මායාවක් මත පදනම් වූ සංකල්ප බවයි. ඒවායේ කිසිඳු තාර්කික බවක් නොමැත. මිනිසා යම් කාල වකවානුවක දී තම පංචේන්ද්‍රියට ගෝචර වූ කරුණුත් එවකට තිබූ විශ්ලේෂණ හැකියාවත් මත තම ආකල්ප ගොඩ නගාගෙන ඇත. එසේම අප දකින ආකාරයට, අතීතයේ බිහි වූ බොහෝ ආගම් මතවාදවලට විශ්වයේ දිග පළල, වේගය, කාලය ආදී කරුණු පිළිබඳව, අදාළ ප්‍රදේශයේ එවකට පැවති දැනුම් සම්භාරයෙන් ඔබ්බට අඩියක්වත් තැබීමට හැකි වී නොමැත. විවෘත දෑසින් බලන අයෙකුට පෙනෙන යථාර්තය එයයි. එහෙත් මේ සරළ යතාර්ථය පිළිගැනීමට බොහෝ දෙනෙකු මැලි වේ.
විද්‍යාත්මක පසුබිම කෙසේ වුවත්, අවුරුදු චාරිත්‍ර සහ ඒ හා සම්බන්ධ වූ නැකත් සම්ප්‍රදායෙන් සමාජයට අත් වන ප්‍රයෝජන රාශියක් ද ඇති බව අප පිළිගත යුතුව ඇත. මනෝ විද්‍යාත්මක පර්යේෂණවලට අනුව වාර්ෂික සංස්කෘතික අංග සමාජයේ පැවැත්මට විශාල බලපෑමක් කරයි. මෙහිදී ප්‍රචණ්ඩකාරී, සත්ව හිංසනය මුල් වූ සහ වෛරී සංකල්ප මත පදනම් වූ සංස්කෘතික අංගවලින් සමාජයට අහිතකර බලපෑම් ද ඊට ප්‍රතිවිරුද්ධ සංකල්ප මත පදනම් වූ අංගයන්ගෙන් යහපත් බලපෑම් ද ඇති වේ.
අනර්ථකාරී ස්වභාවයෙන් තොර වූ සංස්කෘතික හෝ ආගමික උත්සවයකින් ඇතිවන ධනාත්මක සාමාජීය ඵල මෙසේ ය. වෘතිය සහ පෞද්ගලික ජිවිතයේ කාර්යක්‍ෂමතාවය මොට කරන ඒකාකාරී බවින් මිදීමට එය උපකාරී වෙයි. පවුල් සහ අසල්වාසී බැඳීම් වැඩි දියුණු කරගැනීමට මග පෑදෙයි. සිත් තැවුල් සහ ස්වයං-වරදකාරී හැඟීම්වලින් මිදී නව මානසික තලයක් වර්ධනය කරගැනීමට උපකාරී වෙයි (මම අද ඉඳන් අලුත් මිනිසෙක් යන හැඟීම). ප්‍රීතිමත් මානසික උද්දීපනයක් ඇති වෙයි. මීට අමතරව නැකැත් සම්ප්‍රදායෙන් ලංකාව වැනි රටක ජනතාවට නියමිත වෙලාවට වැඩ කිරීම (punctuality) පිළිබඳව නැවත සිහිගැන්වීමක් කෙරෙයි.
සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සහජයෙන්ම ඍණාත්මක සංකල්පවලින් බැහැර වූ සංස්කෘතික අංගයකි. එහෙත් මත්පැන්, ජාතිවාදය සහ අනවශ්‍ය වියදම් ඊට අනර්ථකාරී ව්‍යසන කැඳවයි. එබැවින් මෙම උත්සවය දෙස ධනාත්මක පැති කඩකින් බලා එහි සුබවාදී ඵල ජීවිතයට එක් කරගන්න. එලෙසම අවිද්‍යාත්මක කරුණු ඔස්සේ අනවශ්‍ය ලෙස දිවීමෙන් වළකින්න. නැකත කුමක් වුවත් කම් නැත. අවශ්‍යවන්නේ කලින් තීරණය කරගත් වෙලාවකට සියලු දෙනාගේම සහභාගිත්වයෙන් කාර්යය ඇරඹීමයි.