SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Paleontology

අයිස්යුගයේ දී ත් දත් පුරවලා !

දත්පුරවන්න තාරවැනි (බිටුමන්) ද්‍රව්‍යයක් යොදා ගෙන ඇත

දන්ත සායනය ගැන මතක් කළත් ඇතමෙකුට තරු විසි වේ. ඇතැම් විට ඒ කුඩා කාලයේ අත්දැකීමක් නිසා විය හැකි ය. ඒත් ඔබ අයිස් යුගයේ ජීවත් නොවී මේ යුගයේ දිවි ගෙවීම, වාසනාවක් හැටියට සැලකිය හැක්කේ, ඒ යුගයේ ද දත්පිරවීම කළ බව නවතම පර්යේෂණයකින් හෙළිවන නිසා ය.

ධාන්‍ය හා මී පැණි අහාරයට එක් කර ගැනීමටත් අවරුදු දහස් ගණනකට පෙර සිටම මිනිසා දත් රෝගවලින් පීඩා විඳි බවත්, ඒ සඳහා යම් යම් ප්‍රතිකර්ම ක්‍රම ගොඩනගාගෙන තිබූ බවත් නව පර්යේෂණ මගින් හෙළි වේ. උතුරු ඉතාලියේ ලුකා නම් ප්‍රදේශයෙන් හමු වූ වසර 13,000ක් පමණ පැරණි මානව කෘන්තක දත් යුගලක් මෙම සොයා ගැනීමට මග හෙළි කර තිබේ. මෙම දත් යුගල සියුම් ලෙස පරීක්ෂා කිරීමේ දී ඒවායේ කල්කකුහරය දක්වා විහිදෙන සාමාන්‍ය දතක දක්නට නොලැබෙන ලක්ෂණයක් දක්නට ලැබිණි. වැඩිදුර පරීක්ෂා කිරීමේ දී එම කුහරවල ඉතා කුඩා තිරස් සලකුණු ඇති බව හඳුනා ගැනිණි. ඒ අනුව ඒවා යම් උපකරණයකින් සිදුරු කර විශාල කරන ලද්දේ යැයි සිතිය හැකි ය. මෙම සිදුරු ඉතාලියේම වෙනත් කැනීම් ස්ථානයකින් හමුවූ වසර 14,000 ක් පමණ පැරණි යැයි කිව හැකි දත් කිහිපයකින් හමු වූ කුහරවලට සමානකම් දැක්වීය. එය මෙතෙක් හඳුනා ගැණුනු දන්ත වෛද්‍ය විද්‍යාව පිලිබඳ පැරණිතම සාධකය ලෙස සලකයි.

නව කැනීම්වලින් හමුවී ඇති සාධක අනුව එම අවධියෙහි එනම් මීට වසර 13,000කට පමණ පෙර යුගයේ මිනිසුන් දත් කුහර පිරවීමට තරම් සමත්කම් දක්වා ඇති බව පැහැදිලි විය. එම කුහර පරීක්ෂා කිරීමේ දී ඒවා තාර වැනි ද්‍රව්‍යයක් (හයිඩ්රෝකාබන විශේෂයක්) හා ශාක කෙඳිවලින් සකසන ලද පුරවන ද්‍රව්‍යයකින් පුරවා ඇති බවට හඳුනා ගැනිණ. ඒවා කෑම කැබලි දත් කුහර අතර සිර වීමෙන් ඇති වූ ඒවා නොවන බවත් යම් උපකරණයක් අධාරයෙන් දත් කුහරය පුළුල් කිරීමෙන් සිදු කළ පිරවීමක් බවත් පර්යේෂකයෝ පවසති. පිරවීමේ දී ශාක කෙඳි භාවිත කිරීමට නිශ්චිත හේතුවක් පැවසිය නොහැකි මුත් ඒවා වේදනා නාශකයක් ලෙසින් යොදාගත් බවට විද්‍යාඥයෝ සැක පහළ කරති.

මිනිසා ධාන්‍ය වර්ග හා මී පැණි ආහාරයට ගැනීම ඇරඹීමටත් කලින් දන්ත රෝග හා ඒ ආශ්‍රිත රෝග නිවාරණයට සමත්කම් දක්වා ඇති බවට මෙමගින් හෙළි වේ. පර්යේෂකයින් පවසන පරිදි ඒ සමය වනවිට යුරෝපය විශාල වශයෙන් සංස්කෘතිකමය වෙනස්කම්වලට භාජනය වී ඇති අතර, විවිධාකාර නව ආහාර වර්ග අත්හදා බැලීම නිසා ඒ යුගයේ දන්ත රෝග ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

  • තාරා ආනන්දවංශ
  • Journal reference: American Journal of Physical AnthropologyDOI: 10.1002/ajpa.23216
%d bloggers like this: