SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

විදු වැකිය

දොස්තරලාගෙන් තොර ලෝකයක්

මේ වන විට ලංකාවේ පාලන බලය මෙහෙය වන්නේ දේශපාලකයා ද, වෛද්‍යවරයා ද යන්න හදුනාගත නොහැකි තරමට වෛද්‍ය වෘතිකයා ප්‍රභල වී ඇත. ඒ ඔවුන්ගේ සේවය නොමැති කල රෝගීන් දැඩි අපහසුතාවයකට පත්වන බැවිනි. සමහර විට දින කිහිපයක් නොකඩවා වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරීමේ ප්‍රතිඵලය, විශාල මරණ සංඛ්‍යාවක් විය හැක. මේ තත්වය තව කොපමණ කලක් පවතී ද? වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්‍ෂණය ඊට හෝඩුවාවක් සපයයි.

මීට දශකයකට හෝ දෙකකට පෙර රුධිර පීඩනය මැන ගැනීම සඳහා සාමාන්‍ය පුද්ගලයෙක් අනිවාර්යයෙන් ම වෛද්‍යවරයෙකු කරා යා යුතු ය. රුධිරයේ සීනි ප්‍රමාණය මැන ගැනීම සඳහා ඩිස්පෙන්සරියකට හෝ රසායනාගාරයකට යා යුතු ය. එහෙත්, අද බොහෝ දෙනෙකුට ඒ සඳහා තම නිදන කාමරයේ ම පහසුකම් ඇත. උපකරණයෙන් ලබා දෙන ප්‍රතිඵලය අනුව ගත යුතු පියවර කුමක් දැයි තීරණය කිරීමට ද බොහෝ රෝගීන්ට දැනුම ඇත. එලෙසම අද බොහෝ ලෙඩ රෝග සඳහා රෝග-නිධාන සහ රෝග-තත්ව නිරීක්ෂණය සම්පුර්ණයෙන් ම පාහේ යන්ත්‍ර සුත්‍රවලට බාර වී ඇත. වෛද්‍යවරයා බොහෝ විට කරනුයේ යන්ත්‍රය මගින් ලබා දෙන පරීක්ෂණ ප්‍රතිඵලය නිරීක්‍ෂණය කර නිගමනවලට පැමිණීම ය. බොහෝ තාක්‍ෂණවේදීන් ගේ මතය වන්නේ, මේ සඳහා ද පහසුවෙන්ම රෝබෝවක් ආදේශ කල හැකි බවකි.

අද විශාල දත්ත (big data) විශ්ලේෂණ තාක්‍ෂණය වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතී. මීට වසර තුනකට පෙර පරිගණක විශේෂඥයෙක් සිහිනෙන්වත් නො සිතූ ක්‍රියාවලි හැකියාවක් (process power) ඇති ක්ෂුද්‍ර සකසනයන් (micro – processors) අද බිහි වී ඇත. පුහුණු වෘතිකයකුට ලබාගැනීමට පැය ගණනාවක් ගතවන නිගමන තත්පර කිහිපයකින් හෝ ඊටත් අඩු කාලයකින් ලබාගත හැකි සංකීර්ණ ඇල්ගෝරිතම වැඩි දියුණු කෙරී ඇත. මේ සියල්ල එකතු වූ තැන සිටින්නේ ඉතා වැඩි කාර්යක්‍ෂමතාවයක් හා ඉතා අවම දෝෂ ප්‍රමාණයක් සහිත, මිනිසෙකුට වඩා බොහෝ සෙයින් පරිපුර්ණ වූ රොබෝ දොස්තරවරයෙකි. සමහර විට මුළු රෝහලකට ම අවශ්‍යවන්නේ රොබෝ වෛද්‍යවරුන් 20ක් සහ එක මිනිස් වෛද්‍යවරයෙක් පමණක් වීමට බොහෝ ඉඩකඩ ඇත. ඉංජිනේරුවෙක් සහ තාක්‍ෂණ වේදියෙක් රෝහලේ වෛද්‍යවරයාට වඩා බොහෝ සෙයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.

රොබෝ-සහායක ශල්‍යකර්ම (robot-assisted surgery) ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ සැහෙන කලක සිට ය. එහෙත් වෛද්‍ය ලෝකය තිගැස්සීමට පත් වූයේ 2016 වසරේ දී රෝබෝවක් මගින් පූර්ණ ශල්‍යකර්මයක් සිදු කළ විට දී ය. ඇමරිකාවේ දී මෙම සැත්කම සිදු කරන ලද්දේ Smart Tissue Autonomous Robot හෙවත් STAR යන අන්වර්ථ නාමයෙන් හදුන්වන රොබෝවකි. සූඛරයෙකුගේ අබාධිත කුඩා අන්ත්‍රය STAR රොබෝව විසින් 100%ක් ම තම දෘෂ්ටිය, මෙවලම් සහ ඥාන ශක්තිය පමණක් භාවිත කරමින් ශල්‍යකර්මයට භාජනය කරන ලදී. විද්‍යාඥයන් මීට සහභාගි වූයේ නිරීක්ෂණ මට්ටමෙන් පමණි. කිසිඳු අවස්ථාවක ඔවුන්ගේ සහයක් STAR රොබෝවට අවශ්‍ය වූයේ නැති නමුත් තුවාලය මැසීමේ දී කිහිප විටක් නූල අල්ලාගෙන සිටීමට නිරීක්ෂකයන් සහය විය.

අද වන විට ඉහත ශල්‍යකර්මය සිදු කර වසරක් ගත වී ඇත. මේ වසර තුළ මෙම අංශයෙන් තව බොහෝ වැඩි දියුණු කිරීම් ද සිදු වී ඇත. නුදුරේ දී ම, පූර්ණ රොබෝ ශල්‍යකර්මයක් මිනිසෙකු උදෙසා ද කළ බව අසන්නට ලැබෙනු ඇත්තෙන් එය නව අනාගතයක ආරම්භය වනු ඇත.

ශල්‍යකර්මයේ තත්වය එසේ නම් සාමාන්‍ය රෝග සඳහා රෝග නිරීක්ෂණය, විශ්ලේෂණය සහ නිගමනය මෙන්ම ඖෂධ නියම කිරීම ද රොබෝ දොස්තරවරයෙකුට කළ හැකි කාලය ඉතා ඉක්මනින් උදා වන බව නො කිව මනා ය.

සමහර වෛද්‍යවරුන්ගේ තර්කය වන්නේ ඕනෑම යන්ත්‍රයකට මෙන්ම රෝබෝවකට ද යම් දෝෂ සහිත නිගමන ගැනීමේ සම්භාවිතාවයක් තිබෙන බවයි. එහෙත් මිනිස්-වෛද්‍යවරුන් අතින් සිදුවන දෝෂ පිළිබඳව ද සමහර විට අසන්නට ලැබේ. රොබෝ පිළිබඳ ඉංජිනේරුවන්ගේ (robotic engineers) අදහස වන්නේ හොඳින් සැලසුම් කළ රෝබෝවකට වැරැදීමට ඇති හැකියාව පුහුණු වෛද්‍යවරයෙකුට වැරැදීමට ඇති සම්භාවිතාවට සාපේක්ෂව ඉතා අල්ප බවයි. මේ පිළිබඳව නුදුරු අනාගතයේ දී යම් සංඛ්‍යාත්මක සැසඳීමක් කළ හැකි යැයි අපි සිතමු.

මෙම පර්යේෂණ සඳහා බොහෝ විට මුල් තැන ගන්නේ ඉංජිනේරු සහ භෞතික විද්‍යාව හා සම්බන්ධ විද්‍යාඥයන් ය. මැලේසියාවේ අප සම්බන්ධ වන සමහර පර්යේෂණවල දී නිතර අත්දකින කාරණයක් වන්නේ, මේ පර්යේෂණ සඳහා වෛද්‍ය වෘතිකයන්ගෙන් ලැබෙන සහාය ඉතා ම අල්ප බව ය. එක් අතකට ඔවුන්ගෙන් මේ සඳහා සහය පැතීම ද සාධාරණ නොවිය හැක. තම රාජකාරිය රෝබෝවකට බාර දී ගෙදර යෑමේ දවසක් උදා වීමේ පෙර නිමිති පෙනේ නම් දොස්තරවරුන් මෙම පර්යේෂණවලට විරුද්ධ වීම අරුමයක් නොවේ.

 

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

%d bloggers like this: