
කඩිමුඩියේ ලෝකෙන් චුත වෙන්නැයි ස්ටීවන් හෝකින් අනතුරු අඟවයි!
සුනාමි අත්දැකීම් නොතිබූ අපට සුනාමිය එන්නට පෙර ඒ ගැන කිසිවෙකු හෝ පැවසුවේ නම්, කවුරුන් එය විස්වාස කරාවි ද? අපේ එදිනෙදා ජීවිත රටාවෙන් ඔබ්බේ වූ අනාගත සිදුවීම් ගැන, සාමාන්‍ය මිනිසුන් කල්පනා කරන විදිය එසේ ය. ඔවුහු අත්දැකීමෙන්, පළපුරුද්දෙන්, අහන දකින දෙයින් යමක් තේරුම් ගන්නවා විනා, විශ්ලේෂණයෙන් අනාගත ය නො දකිති. අනාතයේ දී විය හැක්කක් වුව, සාමාන්‍ය අයෙකුගේ අවබෝධයෙන් එය නොතේරේ නම්, එය විශ්වාස කරන්නෝ ද දුලබ ය.
මානව වර්ගයා දිවිගලවා ගැනීමට නම්, අවුරුදු සියයක් ඇතුළත වෙනත් ලොවක පදංචියට යා යුතු යැයි ලොව සුපතල භෞතික විද්‍යාඥයෙකු, විශ්වන්යායවේදියෙකු වන ස්ටීවන් හෝකින් පවසත්දී එය අපට විශ්වාස කළ නොහැක්කේ එබැවිනි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ‘හෙට ලෝකය‘ මැයෙන් නිපදවෙන, බීබීසී රූපවාහිනී සේවයේ අලුත් වැඩසටහන් මාලාවකට සහභාගි වෙමිනි. “Stephen Hawking: Expedition New Earth” මැයෙන් වූ එම වාර්තා වැඩසටහන මේ වසරේ අගභාගයේ දී විකාශනය වීමට නියමිත ය. පසුගිය වසරේ දී ඔහු පැවසුවේ, අවුරුදු දහසකින්වත් මිනිසුන් වෙනත් ලොවක ජනපද ඇති කළ යුතු බවකි. එහෙත් එය අවුරුදු සියයක් තරම් කාලයකට, එනම් මිනිසකුගේ ජීවිත කාලය තරම් කෙටි කලකට ලඝු කළේ ඇයි දැයි යන්න ගැටලුවකි.
සැබැවින්ම, දේශපාලනික වශයෙන් නම්, මීට වසරකට පෙර තිබූ තත්ත්වයට වඩා අද ලෝකය ඇත්තේ නපුරු තැනක ය. සීතල යුද්ධයේ අවසන් කාලයට වඩා අද ලෝකය භයානක ය. එහෙත්, මේ ලෝකයෙන් එතරම් ඉක්මනින් චුත වීමට තරම් වලංගු විද්‍යාත්මක කරුණු කාරණා මොනවා ද?
ග්රහකයක් වැදී අප මිහිමතින් හැඳිගෑවී යෑමට, හෝ අපට ආසන්න තරුවක සුපර්නෝවා පිපිරුමක් හෝ සිදුවීමට ඇති ඉඩ කඩ, පසුගිය වසරක කාලය තුළ දී අමුතුවෙන් වැඩි වී නැත. අපව ආක්‍රමණය කරන්නට එන පිටසක්වළයන් ගැන හෝඩුවාවක් හෝ දැනගන්නට නැත.
එසේ නම් හෝකිංට මේ සඳහා හේතු වූ කාරණා කිම? එය වෙනත් කරුණක් විය යුතු ය. මේ යන විදියට නැනෝතාක්ෂණය දියුණු වී, බෝවිය හැකි නැනෝ රෝබෝවන් ඇති වුවහොත්, එවැන්නකින් මානව ව්‍යසනයක් විය නොහැකි ද? කෘතිම බුද්ධිය කෙදිනක හෝ මිනිසා අභිබවා නැගී සිටිනු ඇතැයි යන සංකල්පය ඔහුගේ මහත් සංචින්තනයට ලක් වූවකි. එවැන්නක් සිදු වුවහොත් එය හුදු තර්ජනයක් පමණක් නොව ඉන් මිනිසාගේ අවසානය පවා සනිටුහන් වියහැකි බව නොරහසකි.
ඉහත කරුණු කාරණා පසෙකින් තැබුව ද, ප්රතිජීවකවලට ඔරොත්තු දෙන ක්ෂුද්රජීවීන් බිහි වීමත්, 2014 වසරේ දී බටහිර අප්‍රිකාවෙන් මතු වූ එබෝලා පැතිරීමත් මිනිසාගේ තර්ජන ලයිස්තුවට ඇතුළත් වූ අලුත් කාරණා ය.
තවද, තව දුරටත් හරිතාගාර වායු මුදා හැරීමෙන් ලෝකයේ දේශගුණය භයානක වෙනසකට ලක්වීමේ අවදානමක් ද ඇත. මේ ආකාරයෙක් මානව වර්ගයාට තර්ජනයක් විය හැකි අසුබවා දී කාරණා රැසක් මෑතක සිට මතු වෙමින් පවතී.
අවසනට සඳහන් කළ කරුණු දෙක හේතුවෙන් අපේ ශිෂ්ටාචාරය විනාශ වී යෑමට හැකි වුවත් මානව වර්ගයා නැත්තට නැති වීමක් සිදු නොවනු ඇත. ඇතැම් විට හෝකින් මානව ශිෂ්ටාචාරය හා මානව සංහතිය යන ද්විත්වය පැහැදිලිව තෝරා බේරා අදහස් ප්‍රකාශ නො කරන්නට ඇත.
මානව සංහතියේ විනාශය අඳුරු අභ්‍යවකාශයේ සිට කඩා වැටෙන්නක් නම්, එහි ප්‍රතිඵලය වෙනස් කළ හැක්කේ ද අපට ම ය. තාක්ෂණය දියුණු කළත්, එවැනි මහා විනාශයකට මුහුන දී ජය ගත හැකි වේ ද? නිල්කැටයක් වන් අපගේ පෘථිවියත්, එහි ජෛවගෝලයත්, ඉදිරි පරම්පරා සඳහා විනාශ වන්නට නොදී රැක ගත හැකි වේ ද?
මහා අන්තරායකට වඩා හෝකින් අශුභවාදීව හුවා දක්වන්නේ, මෙවන් විපතකට මුහුන දීම සඳහා අපට ඇති නො නොහැකියාව නොවේ ද?