
බොරු නොවන කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් රේඩාරය
ඒ දෙවන ලෝක යුධ සමයයි. ඇමරිකානු ගුවන් හමුදාවේ යුධ රේඩාර් බලඝණයේ සේවය කළ ඩේවිඩ් ඇට්ලස් යම් සංසිද්ධියක් නිරීක්ෂණය කරමින් තිබුණි. වැහි වළාකුලක්, හිම පතනයක් හෝ අයිස් කැට පතනයක් සිදුවීමට ආසන්න වන විට රේඩාර් තරංගවල යම් වෙනස්කමක් සිදුවන බව ඔහු කලක සිට අත්දැක තිබුණි. මේ පිළිබඳව ඔහු තම සඟයන්ගෙන් විමසු විට ඔවුහු ද එය නිරීක්ෂණය කර ඇති බව පැවසූ හ.
යුද්ධයෙන් පසු MIT ආයතනයට බැදුණු ඩේවිඩ් තම අත්දැකීම් සහ නිරීක්ෂණ ඔස්සේ තවදුරටත් පර්යේෂණ සිදු කරමින් ලොවට ම වැඩැති උපකරණයක් සෑදී ය. ඒ ඩොප්ලර් රේඩාරයයි.
ඔබට දුම්රියක නළාවේ නාදය හුරු නම් අප මේ පවසන කරුණ අවබෝධ වනු ඇත. ඔබ දුම්රියපොළක සිටින විට නළාව හඩවමින් ගමන් කරන දුම්රියක්, තමා වෙතට එනවා ද නැත්නම් ඉවත්ව යනවා ද කියා එදෙස නොබලාම තේරුම් ගත හැකි ය. ඒ ඉහත අවස්ථා දෙකේ දී නලාවේ හඬ ඇහෙන ආකාර වෙනස් බැවිනි. මීට හේතුව භෞතික විද්‍යාත්මක කරුණකි. අපි එය ඩොප්ලර් ආචරණය නමින් හඳුන්වමු.
ශබ්ද තරංග හෝ විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරන වස්තුවක් ඔබ දෙසට පැමිණෙන විට එම තරංගයේ සංඛ්‍යාතය ඉහළ යන අතර ඉවතට යනවිට සංඛ්‍යාතය පහළ යයි. සංඛ්‍යාතය ඉහළ පහළ යන ප්‍රමාණය තීරණය වන්නේ වස්තුවේ වේගය මත ය. ශබ්ද තරංගයක් නම් මෙම ඩොප්ලර් ආචරණයේ ප්‍රතිඵලය ඔබට දැනෙන්නේ ඇසෙන හඬේහි ඇතිවන වෙනස්වීමක් ලෙසට ය. විද්‍යුත් චුම්බක තරංගයක් නම්, එම තරංගය ආලෝක පරාසයට ඇතුළත් වන විට පමණක් ඩොප්ලර් ආචරණයේ ප්‍රතිඵලය සාමාන්‍ය මනුෂ්‍ය සංවේදනයට භාජනය වේ. අපෙන් ඉවතට ගමන් කරන තාරකා රතු පැහැයට හුරුව ද (red shift) අප වෙතට පැමිණෙන තාරකා වැඩි නිල් පාටකට හුරුව ද (blue shift) පෙනෙන්නේ මේ නිසා ය.
ඩොප්ලර් රේඩාරයක සිදු වන්නේ ක්ෂුද්‍ර තරංග (micro waves) පරාසයට අයත් විද්‍යුත් චුම්බක තරංග, ස්පන්ධ (pulses) ආකාරයෙන් ආකාශයට මුදා හැරීමයි. එම ක්ෂුද්‍ර තරංගවල තරංග ආයාමය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 1 සිට 10 දක්වා අගයක් ගනියි. ස්පන්ධ ප්‍රවාහයක් මුදා හැරිය පසු උපකරණය එම ස්පන්ධ පරාවර්තනය වී පැමිණේ දැයි නිරීක්ෂණය කරයි. ජලය රොක්වූ වැහි වළාකුලක් අවට අහසේ සරන විට ඒ පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් මෙම පරාවර්තිත ස්පන්ධ ප්‍රවාහය රැගෙන එයි. පරාවර්තිත ස්පන්ධ ප්‍රවාහ ප්‍රමාද වීමේ කාල පරාසය මගින් වළාකුලේ මාන (පරිමාවට අදාළ දත්ත) ද, ස්පන්ධ තීව්‍රතාවය මගින් වළාකුලේ ඇති ජල ප්‍රමාණය ද, ඩොප්ලර් ආචරණය මගින් වලාකුළ ගමන් කරන දිශාව සහ එහි වේගය ද උපකරණයෙන් ගණනය කෙරේ. ඉන්පසු මෘදුකාංගයක් මගින් වලාකුළ පිලිබඳ සියළුම තොරතුරු විශ්ලේෂණය කර කාලගුණ අනාවැකි ඉතා නිවැරැදිව සහ සවිස්තරාත්මකව ලබාදෙයි.මේ වන විට ඩොප්ලර් රේඩාරය බොහෝ රටවල කාලගුණ විද්‍යා ආයතන තුළ අනිවාර්යයෙන් තිබිය යුතු උපකරණ පද්ධතියක් බවට පත්ව ඇත.
උස් ගොඩනැගිළි, සුළං මෝල් (windmills), කුරුළු රාශින්ගේ පියාඹන චක්‍ර සහ විශාල දුම් රොටු මගින් ඩොප්ලර් රේඩාරයක නිරවද්‍යතාවයට බලපෑම් එල්ල වෙයි. මේ නිසා ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය පිහිටුවිය යුතු බිම් කඩ තෝරාගැනීමේ දී කරුණු රාශියක් අධ්‍යයනය කළ යුතු ය.
ඩොප්ලර් රේඩාරයකින් ආවරණය කළ හැකි බිම් ප්‍රදේශය තීරණය වන්නේ එයින් නිකුත් කරන තරංගවල ආයාමය මත ය. තරංග ආයාමය අඩු නම් (උදාහරණයක් ලෙස සෙන්ටිමීටර 1 ක්) ආවරණය කළ හැකි ප්‍රදේශය කුඩා වන අතර එම ප්‍රදේශයේ සවිස්තරාත්මක බව (resolution) වැඩිවෙයි. තරංග ආයාමය ඉහළ යන විට මෙහි විරුද්ධ පස සිදුවෙයි. සාමාන්‍යයෙන් ඩොප්ලර් රේඩාරයක වපසරිය කිලෝ මීටර 50-200ත් අතර වෙයි.
ශ්‍රී ලංකාව වැනි දේශගුණයේ නිරන්තර දෝලනයන් සිදුවන නිවර්තන කලාපීය රටකට නිරවද්‍ය කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීම සඳහා අඩුම තරමින් එක ඩොප්ලර් රේඩාරයකවත් සහය අවශ්‍යවෙයි. මිළදී
ගන්නා පළමු රේඩාර් පද්ධතිය සවි කළ යුත්තේ ගංවතුරෙන් වැඩියෙන්ම බැටකන ප්‍රදේශය ආවරණය වන පරිදි ය. ලංකාවම හොඳින් ආවරණය කිරීමට නම් දිගුදුර ඩොප්ලර් රේඩාර් කිහිපයක්ම ඇවැසි බව අපගේ හැඟීමයි. මෙම ප්‍රමාණය නිවැරැදිව තීරණය කිරීමේ දී රටේ භූමි ප්‍රමාණය, භූ විෂමතාවය (topography) සහ රේඩාර් පද්ධතියේ ආවරණ කළාපය ආදී කරුණු කිහිපයක් සලකා බැලිය යුතු ය.
මීට වසර හයකට පමණ පෙර රුපියල් මිළියන 200ක් වියදම් කර (පුවත්පත් වාර්තා අනුව) ලංකාව මිල දී ගත් ඩොප්ලර් රේඩාරය කිසිඳු දිනක භාවිත නොකර දැන් අලුත්වැඩියාව සඳහා කැබලි වශයෙන් විදේශ ගත කර ඇති බව අසන්න ලැබෙයි. ඇමරිකාවෙන් එය මිල දී ගත් ආයතනය ද දැන් වසා ඇති බව කියැ වේ. මෙම රේඩාර් පද්ධතිය සවි කිරීමට රැගෙන යෑමේ දී මාර්ගය කලින් සාදා නොතිබුණ බැවින් එය රැගත් වාහනය පෙරළුණු බවට ද වාර්තා පළ විය. අවසානයේ මේ ගනුදෙනුවට සම්බන්ධ පිරිස් රුපවාහිනී සාකච්චාවලට පැමිණ අවලාද නගන්නේ මේ කාරණයේ දී උපදේශක සහය ලබාදුන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට ය.
ඩොප්ලර් රේඩාර තිබුණා කියා අප කරා ආන්තික කාලගුණික සිදුවීම් නොපැමිණ තිබෙන්නේ නැත. එහෙත් එම ආන්තික සිදුවීම්වලින් අප වෙත ලඟා වූ මානව ව්‍යසන බොහොමයක් නිවැරැදි කාලගුණ අනාවැකි ඔස්සේ අවම කරගත හැකිව තිබුණි. මෙය ජීවිතවලින් නම් සිය ගණනක් ද මුදලින් නම් බිලියන කිහිපයක් ද වන්නට තිබුණි.
කොපමණ දක්ෂ ගස් කපන්නෙකුට වුවද කුඩා පෑන-පිහියක් ලබා දී විශාල බුරුත ගසක් කපන්න කිවහොත් ඔහුගෙන් යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. අප හොඳින් දන්නා පරිදි ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැන් තරුණ ජවයක් ඇත. එහි සිටින විද්‍යාඥයෝ තම සීමා මායිම් තුළ තමන්ට හැකි උපරිම සේවයක් රටට ලබාදෙයි. අදාළ උපකරණ, මෘදුකාංග, නිරීක්ෂණ පද්ධති සහ අධිවේගී පරිගණක පද්ධති ඔවුන්ට ලබා දී ඔවුන්ගේ නිම් වළලු පුළුල් කිරීම රජයේ මෙන්ම අදාළ සියලු ම අංශවල යුතුකමකි. එය හදිසි ජාතික අවශ්‍යතාවයකි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය කුමක්දැයි තීරණය කළ යුත්තේ එහි සිටින විද්‍යාඥයන් ය. අවශ්‍ය දේ මිල දී ගන්නා විට තත්ත්ව සහතික කළ යුත්තේ ද එම විද්‍යාඥයන් ය. අවශ්‍ය නම් ඒ සඳහා දේශීය-විදේශීය විශේෂඥ සහය ලබා ගැනීමේ වරදක් නැත. එහෙත් පිටස්තර පිරිසක් ගන්නා තීරණ මත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට උපකරණ ලබා දී ඔවුන්ගෙන් විශිෂ්ඨ සේවාවක් ලැබෙතැයි බලා සිටීම හාස්‍යට කරුණකි.
ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යාව හා සම්බන්ධ සියලු දෙනාගේ දැනගැනීම පිණිස පහත තොරතුරු සඳහන් කිරීමට අපි කැමැත්තෙමු.
මෙම වසර මුල දී පිලිපීනයේ වායුගෝලීය භූ භෞතික හා තාරකා විද්‍යාත්මක සේවා පරිපාලන ආයතනය (Atmospheric Geophysical and Astronomical Services Administration) හරහා පිලිපීනයට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) වෙතින් ඩොප්ලර් රේඩාර් තුනක් ලැබුණි. මෙය පිලිපීන පරිපාලනයේ සහ එරට කාලගුණ විද්‍යා වෘත්තිකයන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ උත්සාහයේ ප්‍රතිඵලයක් විය. අවශ්‍යතාවය ඇත්නම් මිළ අධික උපකරණ පවා මිළ නොගෙවා ලබාගත හැකි බව පිලිපීනය මෙහිදී පෙන්වා දී ඇත.
රටේ ජනතාව වෙනුවෙන් විදු නෙත් මෙන්ම පරිපාලක, දේශපාලක නෙත්ද දැන්වත් ඇරේවා යැයි අපි ප්‍රර්ථනා කරමු.