
රේඩියෝ අහන්නයි සීනි බලන්නයි දෙකට ම දහදිය!
ඔබේ දුරකතනයේ හෝ ඔරලෝසුවේ බැටරිය ක්‍රියා විරහිත වී ඇත් ද? එය නැවත පණ ගැන්වීමට ක්‍රමයක් සොයමින් ලතැවෙමින් පසු වන්නේ ද? නැවත පණ ගැන්වවීමට තවත් විදුලි බලය හෝ වෙනත් විසඳුමක් නොමැති නම් ඔබ කුමක් කරන්නේ ද? මෙවන් අවස්ථාවක තමන්ගේම සිරුරෙන් ගලන දහඩිය මගින් එම බැටරි පණ ගැන්වීමට හැකියාවක් ඇතැයි අසන්නන්ට ලැබුණ හොත් ඔබ මවිතයට පත්වනු ඇත. සාමාන්‍යයෙන් බැටරි වැනි උපාංග දහදිය සමග නොගැටෙන ලෙස ආරක්ෂා කර තබා ගැනීමට අප පුරුදුව සිටියත් ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ මෙම නවතම සොයාගැනීමත් සමගම මිනිස් සිරුරේ බහිශ්‍රාවී ද්‍රව්‍යයක් වන දහදියත් නුදුරු අනාගතයේ නැතිවම බැරි ද්‍රව්‍යයක් වන බව නොඅනුමානයි.
මෙම නව සොයා ගැනීම අනුව ඔවුන් පවසන්නේ දහඩියෙන් බල ගැන්වෙන බැටරියක් මගින් රේඩියෝවක් දින දෙකක් පුරාවට ක්‍රියාත්මක කළ හැකි බවයි. සෙන්ටිමීටර කිහිපයක වර්ගඵලයකින් යුත් දේහයට අලවනු ලබන පැලැස්තරයක් මගින් ලබා ගන්නා දහදිය යොදාගෙන මෙම පර්යේෂණය සිදු කරනු ලැබ ඇත. සාමාන්‍ය බැටරියක අඩංගු වන ලෝහ වෙනුවට මෙම බැටරියේ අඩංගු වන්නේ ජෛව එන්සයිම වේ. මෙහි දී එම ජෛව එන්සිම මගින් දහදිය මගින් විදුලි බලය උත්පාදනය කරයි. මෙවැනි බැටරියක් සාමාන්‍ය ව්‍යවහාරයේ ජෛව ඉන්ධන කෝෂයක් ලෙස හැඳින් වේ. මෙවැනි ජෛව ඉන්ධන කෝෂ මින් පෙර නිෂ්පාදනය කර තිබුණත් මෙම නව නිෂ්පාදනය එම පෙර සැකසු ඒවාට වඩා දහ ගුණයක් බලවත් වන බව පර්යේෂකයන් පවසයි.
මෙවන් බැටරියක් රේඩියෝවක් පණ ගැන්වීමට තරම් බලවත් වුවත් මෙම සොයා ගැනීමෙහි අවසාන අරමුණ වන්නේ වෙනත් විශේෂ කර්තව්‍යයන්, උදාහරණ ලෙස මිනිසාගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමට උපකාරී කර ගත හැකිවන නිෂ්පාදනයක් බවට පත් කිරීමයි. ඒ ඔස්සේ ගමන් කළ පර්යේෂණ කණ්ඩායම දහදියේ අඩංගු ලැක්ටේට මගින් මෙම බැටරිය ක්‍රියාත්මක කළ හැකි දැයි පරීක්ෂාවට ලක් කරන ලදී. එහි දී ඔවුන්ගේ අරමුණ වුයේ ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමේ දී හෝ ව්‍යායාම්වල නිරත වීමේ දී ඔවුන්ගේ මාංශ පේශිවල බහුල වශයෙන් නිපදවෙන ලැක්ටික් අම්ල ප්‍රමාණය මත ක්‍රීඩකයන්ගේ මාංශ පේශි ක්‍රියාකාරීත්වය මැන බැලීමට උපකරණයක් සකස් කිරීමයි. එමෙන්ම දේහයේ රුධිර ග්ලුකෝස් සාන්ද්‍රණය මැන බැලීමටත් මෙම ක්‍රමය උපකාරී කරගත හැකි බවට පර්යේෂකයන් අනාවැකි පළ කරයි. එවිට මෙතෙක් භාවිත වන වේදනාකාරී එන්නත් කටු හෝ රුධිර සාම්පලවලින් තොරව පහසුවෙන් රෝගීන්ගේ රුධිර ග්ලුකෝස් මට්ටම මැනගත හැකි වනු ඇත.