
සපත්තු අඩියෙන් ගෙට එන මාරයා
මීට වසර විසි දෙකකට පෙර අප ප්‍රථම වරට ස්වීඩනයට පා තැබුවෙමු. එහි විසීමට අපට නිවස ලබා දුන් ජාත්‍යන්තර විද්‍යා වැඩසටහනේ (ISP) නියෝජිත ලාර්සන් මහතා අප ගෙට පිවිසෙන්නට පෙර ස්ථාවර හඬින් විධානයක් කෙරුවේ ය. ඒ නිවසට ඇතුළු වන විට අනිවාර්යයෙන්ම පාවහන් ගැලවිය යුතු බව ය. ඊට පෙර ලංකාවේ දී මේ පුරුද්ද දැක තිබුණේ අප හොඳින් හඳුනන ද්‍රවිඩ මිතුරන් කිහිප දෙනෙකුගේ නිවෙස්වල පමණකි.
දශක දෙකකට පසුව ද ලොව කොතැනක සිටියත් ලාර්සන් මහතා ගේ ඒ විධානය අප පවුලේ සියලු දෙනා අකුරට ම පිළිපදිති. ස්වීඩනයට ගොස් ඉතා කෙටි කලකින් අපට මේ පුරුද්දෙහි වාසි තේරුණි. මූලිකව ම නිවස පවිත්‍ර කිරීමේ කාර්ය බොහෝ පහසු විය. ලංකාවේ බොහෝ දෙනෙකුට නිවසට අමුත්තෙක් පැමිණෙතැයි දැනගත් විට අන් සියලුම වැඩ පසෙක ලා කළ යුත්තේ බිම අතු ගෑමයි. පාවහන් ගලවා ඇතුළු වීමේ පුරුද්දත් සමගම අප වෙතින් මේ කරදරය ඉවත් වුණි. ඒ නිවසට වැලි දුහුවිලි නො පැමිණෙන බැවිනි. මීට අමතරව එවකට ඉතා කුඩා අවධියේ වූ අපගේ දරුවන්ගේ සනිපාරක්ෂාව ද වැඩිවනු අපිට දැනුණි.
ඊට බොහෝ කලකට පසු අපට දැනගන්නට ලැබුණේ ඇමරිකාවේ හූස්ටන් සරසවියේ කරන ලද පර්යේෂණ මාලාවකින් මෙම පුරුද්දෙහි ඇති ඉතා වැදගත් යහ ඵලයක් සොයාගත් බව ය. සාමාන්‍ය දුහුවිලි, සහ විෂබීජවලට අමතරව ඝර්ම කළාපීය රටක නිවසක් තුළට ඇතුළුවන පාවහන් 40%ක් පමණ ක්ලොස්ට්‍රිඩියම් ඩිෆිසයිල් (Clostridium difficile) නමැති රෝගකාරක බැක්ටීරියාව ගෙන එන බවයි. විද්‍යාඥයෝ මෙය C.diff යන කෙටි නාමයෙන් හඳුන්වති.
පාවහන් සමග නිවසට ඇතුළුවන C.diff බැක්ටීරියාව ඉතා ඉක්මනින් වැසිකිළි තුළ, පුටු මේස සහ ඇඳන් යට මෙන්ම දුහුවිලි සහිත නිවසේ සියලු ස්ථානවල පැතිර යයි. මෙම බීජාණුවලට දිගු කාලයක් වියළි මතුපිටක් මත ජීවත් විය හැක. C.diff බැක්ටීරියාව ආහාර ජීර්ණ මාර්ග පද්ධතියට ඇතුළු වූ විට ආන්ත්‍රවල දරුණු ආසාදන ඇති කරයි. මෙම තත්වය කොලිටිස් (Colitis) ලෙස හැඳින්වේ. එය ප්‍රතිකාර කිරීම අපහසු රෝග තත්වයකි. C.diff මගින් ඇති වූ ආසාදන සම්බන්ධ ප්‍රධාන ගැටලුව වන්නේ දැනට ඇති බොහෝ ප්‍රතිජීවකවලට ඔරොත්තු දීමේ හැකියාව එම බැක්ටීරියාව ඉතා ඉක්මනින් ලබාගැනීම ය. එබැවින් රෝගියා නැවත නැවතත් ආසාදනයට ලක්වීම දැකිය හැක.
විශේෂයෙන්ම රෝහලක් තුළ ඇවිදගෙන ගිය අයෙකුගේ පාවහන් අඩි අතර C.diff බැක්ටීරියාව රැඳී සිටීමේ ඉඩකඩ වැඩි බැවින් එවන් අයෙක් නිවසකට ඇතුළු වීමේ දී පාවහන් ගලවා පැමිණීම අනිවාර්ය කළ යුතු ය.
සපත්තු අඩියෙන් ගෙට එන මාරයන් පිළිබඳව පර්යේෂණ පවත්වන්නේ හූස්ටන් සරසවියේ පමණක් නොවේ. ඇරිසෝන සරසවිය ද මේ පිළිබඳව පෙරෙමුණේ සිටියි. ඔවුන්ගේ පර්යේෂණවලට අනුව C .diff බැක්ටීරියාවට අමතරව සපත්තු අඩියෙන් නිවසට පැමිණෙන රෝග කාරක බොහෝ ය. වෙනත් බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවින් විශාල සංඛ්‍යාවක් මේ අතර පවතී. මින් වඩාත්ම සුලභව දැකිය හැක්කේ E.coli සහ ක්ලේබ්සියෙල්ලා නිව්මෝනියේ (Klebsiella pneumoniae) යන බැක්ටීරියා වර්ග දෙකයි. සාමාන්‍යයෙන් E.coli බැක්ටීරියා වර්ග හානිකර නැත. එහෙත් සපත්තු අඩියෙන් එන E.coli 0157:H7 වැනි වර්ග දරුණු රෝගාබාධ පමුණුවයි. E.coli ආසාදන නිතරම වමනය හා පාචනය ඇතිවීමටත් ඒ හේතුවෙන් ආන්ත්‍රවල වේදනාකාරී ආබාධ ඇතිවීමටත් හේතු වෙයි.
ක්ලේබ්සියෙල්ලා නිව්මෝනියේ මගින් පෙනහළුවලට හානි පමුණුවන අතර එමගින් රෝගියා නියුමෝනියා තත්වයට පත්වෙයි. මෙම බැක්ටීරියාව මගින් ඇතිකරන ආසාදන මරණයෙන් කෙලවර වීමේ ඉඩකඩ මත්පැන්වලට ඇබ්බැහි වුවන් අතර ඉතා අධික ය.
නිවසට ඇතුළුවන විට පාවහන් ගලවා පිටත හෝ එයටම සුදුසු ලෙස සැකසු රාක්කයක තැබීම කෙතරම් අගනා පුරුද්දක් දැයි ඔබට දැන් වැටහෙනවා ඇත. ඔබට එම පුරුද්ද නොමැති නම් එය අදම පටන් ගන්න. නිවසට පැමිණෙන අමුත්තන්ට ද මේ ගැන ඉඟි කරන්න. ඒ සඳහා නිවසට ඇතුළු වන තැන පාවහන් රාක්කයක් සහ කුඩා ආසනයක් (ප්ලාස්ටික් බංකුවක් වැනි) තැබීම හොඳ ක්‍රමයකි. නොඑසේ නම් අමුත්තාගෙන් පාවහන් පිටත ගලවා තබා පැමිණිය හැකි දැයි කාරුණිකව අසන්න. මේ සඳහා ඔබට පුර්ණ අයිතියක් ඇතුවාක් මෙන්ම එය ඔබට හා අමුත්තාට ද කරන යහ කාර්යකි.
සාමාන්‍යයෙන් අප්‍රිකානුවන්ට පාවහන් ගලවා නිවසට ඇතුළු වීමේ පුරුද්දක් නැත. එබැවින් අප්‍රිකානු රටවල ජීවත්වන ඉන්දියානු සම්භවයක් ඇති බොහෝ දෙනෙක් තම නිවසේ ඉදිරිපස දොරේ “පාවහන් ගලවා ගෙට ඇතුළු වීම පිළිබඳව ස්තුති වන්ත වෙමු” යයි පුවරුවක් සවිකර තිබෙනු අපි දැක ඇත්තෙමු. මෙය ලංකාවට ද හඳුන්වා දිය හැකි හොඳ ප්‍රවණතාවයකි.
චීනය, ජපානය සහ කොරියාව වැනි ඈත පෙරදිග රටවල වසර දහස් ගණනක සිට මෙම පුරුද්ද පවතී. ඒ යහපත් ක්‍රියාවට අපි ද හවුල් වෙමු.