
අපි රොබෝවරු වෙමු ද නැනෝ යන්ත්‍රයට නතු!
ලෝකයේ සියල්ලන් ම පාහේ දැන් නිනිති තාක්‍ෂණය හෙවත් නැනෝතාක්‍ෂණය (Nanotechnology) ගැන කතා කරන්නට පටන් අරන්. නැනෝතාක්‍ෂණය කියන්නෙ මොකක්ද කියලා නොදැන වුණත් අප ඒ ගැන කතා කරනවා. ඒ වගේම අප නොදැන ම වුවත් නැනෝතාක්‍ෂණය පාවිච්චි කරන අවස්ථා ද නැතුවා නොවෙයි.
සාමාන්‍යෙයන් අප දිග මනින්නේ මීටරවලින්. සෙන්ටිමීටර, මිලිමීටර, මයික්‍රොමීටර, ආදී වශයෙන් මේ ඒකකය කුඩා කරගෙන ගියොත් එහි කුඩා ම අවස්ථාවක් තමයි නැනෝමීටරය කියන්නෙ. නැනෝමීටරයක් කියන්නේ මීටරයකින් බිලියනයකින් කොටසක්. තවත් විදියකින් කියනවා නම් නැනෝමීටර බිලියනයක් කියන්නේ මීටර එකක්. අපේ කෙස්ගසක් හෝ කඩදාසි කොළයක් නැනෝමීටර ලක්‍ෂයක් ඝනකමයි, කූඹියෙක් නැනෝමීටර මිලියන හතරක් පමණ විශාලයි. ඒ අනුව ඔබට වැටහෙනවා ඇති නැනෝමීටරයක කුඩා බව. නැනෝ ද්‍රව්‍ය කියා කියන්නේ මෙන්න මේ නැනෝ මීටර එකත් සියයත් අතර ප්‍රමාණයේ දේවලටයි.

සාමාන්‍ය රෙදි ජලය උරා ගන්නා නමුත් නැනෝ ආලේපන ගැල්වූ රෙදි ජලය උරා ගන්නේ නැහැ. ඒවා නෙළුම් කොළයක් සේ ක්‍රියා කර ජලය බිඳිති ආකාරයෙන් පවත්වා ගන්නවා
නැනෝතාක්‍ෂණය කියලා කියන්නේ මෙවැනි නැනෝ ද්‍රව්‍ය විවිධාකාරව හැසිරවීමයි. නැනෝතාක්‍ෂණයේ දී ඒ ත්‍රිමාණ හෝ ද්විමාන ද්‍රව්‍ය අවම වශයෙන් එක් මානයක දී හෝ නැනෝ මීටර 1ත් 100ත් අතර පරිමාණයේ තිබීම වැදගත්. මෙහිදී පරිමාණය වැදගත් වන්නේ නැනෝද්‍රව්‍යවල ගුණ සියල්ල ඒ මත රඳා පවතින නිසා. සාමාන්‍ය ද්‍රව්‍යයක් වුවත් නැනෝ පරිමාණයේ දී හැසිරෙන්නේ ඉතාම වෙනස් ආකාරයකට. එසේ සිදු වන්නේ සාමාන්‍ය ද්‍රව්‍යවල ඇති මහා පරිමාණ ගතිගුණ නැනෝ පරිමාණයේ දී නො දක්වන නිසා.
නැනෝ ද්‍රව්‍ය කොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ (Quantum Mechanics) නියමවලට අනුව හැසිරෙන්නේ මෙම නැනෝ පරිමාණය තුළදියි. නැනෝද්‍රව්‍ය එම පරිමාණයෙන් පිටතට ගියවිට හැසිරෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් යාන්ත්‍ර විද්‍යාත්මක (Classical Mechanics) නියමවලට අනුවයි. එවිට ඒවායේ ගුණ මුළුමනින් ම වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රත්‍රං ලෝහය දිලිසෙන්නේ රන් පැහැයෙන් වුවත්, නැනෝ පරිමාණයට කුඩා කළ රන් අංශු රතු පැහැතියි. ඒ වගේම ඒවායේ භෞතික ගතිගුණ සහමුලින්ම වෙනස් වෙනවා.
දැනටමත් නැනෝතාක්‍ෂණය මිනිස් ජීවිත විශාල පරිවර්තනයකට ලක් කර තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව, ඉලෙක්ට්‍රොණික උපකරණ, ජීව ද්‍රව්‍ය, බලශක්ති ජනනය, උත්ප්‍රේරක, නව ප්ලාස්ටික්-පොලිමර් (බහුඅවයවික) ආදී විවිධ ක්‍ෂෙත්‍රවල දැනටමත් විශාල ආචරණයක් ඇති කිරීමට නැනෝද්‍රව්‍ය සමත් වී තිබෙනවා. ඔබට ආසන්නම නැනෝද්‍රව්‍ය භාවිතයක් වන්නේ සමහර වාහනවල මතුපිට කුණු හෝ ජලය රඳා පැවැත්ම වළක්වන ආලේපයයි
නැනෝතාක්‍ෂණය පිළිබඳ මුල්ම සිතිවිල්ල 1959 තරම් ඈතට දිවයනවා. කැලිෆෝනියා පොලිටෙක්නික් විශ්වවිද්‍යාලයේ දී පැවති අමෙරිකානු භෞතික විද්‍යා සංගමයේ සැසිවාරයක දී භෞතික විද්‍යාඥ රිචර්ඩ් ෆෙයින්මන් විසින් කරන ලද “There’s Plenty of Room at the Bottom” නම් දේශනයේ දී මුලින්ම මේ නැනෝතාක්‍ෂණය යන වදන ප්‍රකාශ වූ බවයි පැවසෙන්නේ. ඔහු එහිදී පැවසුවේ පරමාණු සහ අණු තනි තනිව හැසිරවීම මගින් ඒවායේ ගුණ පාලනය කර නව ද්‍රව්‍ය තැනිය හැකි බවයි. මේ පිළිබඳ වරින් වර විද්‍යාත්මක සමාජයේ විවිධ කතිකා ඇති වුණත් නැනෝතාක්‍ෂණය විශාල පිම්මක් පැන්නේ 1980 දශකයේ දී සිදු වූ සිදුවීම් කිහිපයක් මතයි. Cluster Science නමින් භෞතික විද්‍යාවේ නවතම අංශයක් ඇතිවීම සහ Scanning Tunneling Microscope – STM (පරිලෝකන අන්වීක්‍ෂය) සොයාගැනීම නැනෝ තාක්‍ෂණය මෙතරම් දියුණු වීමට හේතු වූ ප්‍රධාන කරුණු දෙකයි. එමගින් මීට පෙර දැකිය නො හැකිව තිබූ කුඩා ප්‍රමාණයේ ද්‍රව්‍ය නිරීක්‍ෂණය කිරීමේ වරම විද්‍යාඥයින්ට ලැබුණා. ඒ සමඟම වාගේ අමෙරිකාවේ රයිස් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය රිචර්ඩ් ස්මෝලි විසින් 1985 දී සොයාගත් ෆුලරීන්, බකිබෝල්, සහ ඊට වසර කිහිපයකට පසු සොයාගත් කාබන් නැනෝටියුබ් ආදිය විද්‍යාත්මක කරලියට පැමිණියා. නැනෝ ස්ඵටික, ක්වොන්ටම් තිත්, Atomic Force Microscope (AFM – පරමාණුක බල අන්වීක්‍ෂය) ආදිය භාවිතයට පැමිණීමත් සමඟ සෑම දෙනාම නැනෝතාක්‍ෂණය පිළිබඳ උනන්දු වන්නට පටන් ගත්තා. STM සොයාගත් ජර්මන් භෞතික විද්‍යාඥ ජර්ඩ් බිනින්ග් සහ ස්විස් විද්‍යාඥ හෙන්රිච් රෝරර් මෙන්ම ෆුලරීන් සොයාගත් අමෙරිකානු විද්‍යාඥ රිචර්ඩ් ස්මෝලි ද 1986 වසරේ දී පිළිවෙලින් භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා.

නැනෝටියුබ් සහ සරළ සංයෝග
නැනෝතාක්‍ෂණය සඳහා සංකල්ප දෙකක් උපයෝගී කරගන්නවා. Top Down Approach: විශාල ඒකක කුඩා කරමින් අවසානයේ නැනෝමීටර පරිමාණය දක්වා කුඩා කිරීම මගින් තනාගන්නා නැනෝද්‍රව්‍ය නිපදවීමේ තාක්‍ෂණය සහ Bottom up Approach : පරමාණුවල සිට නැනෝමීටර පරිමාණය දක්වා විශාල කිරීම මගින් තනාගන්නා ද්‍රව්‍ය නිපදවීමේ තාක්‍ෂණය ලෙසින්.
ලංකාවෙත් නැනෝතාක්‍ෂණය මූලික පර්යේෂණ ආරම්භ කරලා ටික කලක් වෙනවා. බොහෝ දෙනෙක් නොදන්නවා වුණත් SLINTEC (Sri Lanka Institute of Nano TEChnology) කියලා හඳුන්වන ආයතනයේ මූලික පර්යේෂණ කෙරෙන්නේ මෙම නැනෝතාක්‍ෂණය සම්බන්ධ කරුණු පාදක කරගෙනයි. මෙය ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක මූල්‍ය දායකත්වය ඇතිව, ලොව පුරා වෙසෙන ලාංකික විද්‍යාඥයින් බොහෝ දෙනෙකුගේ දායකත්‍වයෙන් සැදුම්ලත් තැනක්. දැනටමත් ඔවුන් ඉතා වටිනා සොයාගැනීම් කිහිපයක් සිදු කර අවසන්.
නැනෝ තාක්‍ෂණය විවිධාකාර කටයුතු සඳහා උපයෝගී කර ගැනෙනවා. නැනෝ අංශුවක සිට, මහා යන්ත්‍රයක ඇති කුඩා ඉලෙක්ට්‍රොණික චිපයක් දක්වා පරාසයක මෙය විහිදෙනවා. දැන් දැන් සෑම ක්‍ෂෙත්‍රයකම වාගේ නැනෝතාක්‍ෂණය උපයෝගී වෙනවා. ඉලෙක්ට්‍රොණිකව පමණක් නොවෙයි, ජීව විද්‍යාත්මකවත්. ප්ලාස්ටික්, තීන්ත, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී මෙන්ම ආයුධ නිෂ්පාදනය ආදී බොහෝ ක්‍ෂෙත්‍රවල දැන් මෙය යොදා ගැනෙනවා. යුධ තාක්‍ෂණික සහ බුද්ධි අංශ තොරතුරු එක් රැස් කිරීමේ දී භාවිත කරන සියුම් උපකරණ තැනීමට මෙය වඩාත්ම වැදගත් වනවා. කාර්යක්‍ෂම සූර්ය බලශක්ති පද්ධති සැකසීමට නැනෝ අංශු එබ්බවූ සූර්යකෝෂ තැනීමත් තාක්‍ෂණයේ මහා පිම්මක් ලෙසයි සැලකෙන්නේ.

ලොව වෙනස් කළ බකිබෝලය
සෑම හොඳ දෙයකම අහිතකර පැත්තක් ද ඇති නිසා, මෙයින් අහිතකර සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු ද ඇති වෙන්න පුළුවනි. මෑතක දී සපත්තු-මේස්වල දුර්ගන්ධය දුරු කිරීම සඳහා නිපද වූ රිදී නැනෝ අංශු, පාදයේ දුර්ගන්ධය ඇති කරන අහිතකර බැක්ටීරියා මෙන්ම හිතකර බැක්ටීරියා ද වනසන බව සොයාගෙන තිබෙනවා. එසේම මේ නැනෝ අංශු ආඝ්‍රාණය කළ මීයන්ගේ මොළයේ සහ පෙනහළුවල ඒවා තැන්පත් වන බවත් එයින් ඔවුනට අහිතකර ආචරණ ලබා දෙන බවත් සොයාගෙන ඇති අතර සමහර අවස්ථාවල මේ නිසා මීයන්ගේ සම ඉක්මනින් වයසට යෑමක් පෙන්නුම් කර ඇති බවත් සොයාගෙන තිබෙනවා. එසේම ටයිටේනියම් ඩයොක්සයිඩ් නැනෝඅංශු ආඝ්‍රාණය කළ මීයන්ගේ ඩීඑන්ඒවලට සිදු වූ හානි නිසා පසු කලෙක පිළිකා, හෘද රෝග, ස්නායුගත රෝග සහ ඉක්මනින් වයසට යෑම වැනි ලක්‍ෂණ ද පෙන්නුම් කර තිබෙනවා. ඒ වගේමයි නැනෝතාක්‍ෂණයේ මූලිකම ප්‍රචාරකයා වන කාබන් නැනෝටියුබ් ආඝ්‍රාණය කිරීමෙන් ඇස්බැස්ටෝස් ආඝ්‍රාණය කිරීමකට සමාන අහිතකර ප්‍රතිඵල ලබාදෙන බවත් සොයාගෙන තිබෙනවා. මේ අනුව අපට ඉතාමත් වැදගත් වන නැනෝ තාක්‍ෂණයේත් අහිතකර පැත්තක් තියෙනවා.
නැනෝතාක්‍ෂණය කියන්නේ දිනෙන් දින, පැයෙන් පැය අලුත් වන ක්‍ෂෙත්‍රයක්. ඒ වගේමයි ඒ පිළිබඳ නිකුත් වන පුවත්, පළවන ලිපි තොරතුරු ආදිය නිරන්තරවම අලුත් වෙනවා. මේ පිළිබඳ පර්යේෂණ කරන උදවිය නම් නිතරම ඒ පිළිබඳ දැනුවත් වෙනවා. ඒ වගේමයි අනාගතයේ ඉතාම හොඳ රැකියා අවස්ථා, පර්යේෂණ මේ මගින් ඇති වන්නට පුළුවනි.
නැනෝ යන්ත්‍ර කියන දේ තවමත් අත්හදා බැලීම් තත්ත්‍වයේ ඇති සංකල්ප පමණයි. ඒ වුණත් හැම සාර්ථක නිපැයුමක්ම මුලින් සංකල්පයක් වශයෙන් හටගෙන වැඩෙන නිසා වගේම, යම් යම් පර්යේෂණවලින් මේ නැනෝ යන්ත්‍රවල පැවතීම අනාගතයේ දී ඇති විය හැකි බවට තහවුරු වීම නිසාම බොහෝ දෙනෙකුගේ අවධානය මේ වෙතට යොමු වී තිබෙනවා.

මේකත් නැනෝ යන්ත්‍රයක සැලැස්මක්
නැනෝ යන්ත්‍ර යනු, එක්කෝ කුඩා මිසෙල්ලාවක් සේ සැකසුන පරමාණු කිහිපයක් වන්නට හෝ, යම් යම් අණුක සැකැස්මකින් සමන්විත සරළ සංයෝගයක් වුවත් වන්නට පුළුවන්. මේ නැනෝ යන්ත්‍ර විවිධ ක්‍ෂෙත්‍රයන් හි ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. වෛද්‍ය විද්‍යාවේ මේ යන්ත්‍රවලට විශාල වැඩ කොටසක් කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් සෛලවලට ඖෂධ බෙදාහැරීම (Drug Delivery) වැනි කටයුතුවල දී මේ යන්ත්‍ර යොදාගැනීමට පුළුවනි. සමහරවිට පිළිකා මර්ධනයේ දී අදාළ පිළිකා සෛලවලට එරෙහිව ඖෂධ සැපයීමේ දී පිළිකා සෛල මෙන්ම නිරෝගී සෛලවලට ද හානි පැමිණෙනවා. මෙවැනි අවස්ථාවක නැනෝයන්ත්‍රයකට ඈඳූ ඖෂධයක් පිළිකා සෛල වෙතට ඉලක්ක කර මුදාහැරීම කළ හැකියි. එම නැනෝ යන්ත්‍රය පිළිකා සෛල හඳුනාගෙන ඒ වෙතට ලඟා වු පසු ඖෂධ මුදා හැරීම කළ හැකියි.
මෙහිදී විශේෂයෙන් සැළකිළිමත් විය යුතු කරුණ වන්නේ මේ නැනෝ යන්ත්‍ර මිනිස් ශරීරයට අහිතකර නොවීමට වග බලා ගැනීමයි. මේ නිසාම නැනෝ යන්ත්‍ර නිපදවීමට පර්යේෂණ කරන විද්‍යාඥයන්ට විශාල බාධකවලට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා. ඒ තමයි නැනෝ යන්ත්‍ර ඖෂධ මුදාහැරීමට සකස් කළ හැකි යාන්ත්‍රණය සොයාගැනීම. ඒ නැනෝ යන්ත්‍ර නියමිත පරිදි පිළිකා සෛලවලට පමණක් ප්‍රතිචාර දැක්වීමට සකස් කිරීම. නැනෝ යන්ත්‍ර ශරීරයට අහිතකර නොවන සේ ශරීරයෙන් බැහැර කිරීමට හැකි වනලෙස සකස් කිරීම. මේ ආදී වශයෙන් නොදන්නා පරාමිති විශාල සංඛ්‍යාවකට පිළිතුරු සපයන්නට විද්‍යාඥයන්ට සිදු වී තිබෙනවා.
වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ දී මෙන්ම ආරක්‍ෂක ඔත්තු සේවාවලට ද මේ නැනෝ යන්ත්‍රවල උපයෝගීත්‍වය ප්‍රයෝජනවත් වෙනවා. අති සූක්‍ෂම ලෙස සැකසූ ඔත්තු බැලීමේ යන්ත්‍ර, කුඩා මයිකුෆෝන, කැමරා, ආදී දේ සැකසීමට කුඩා චිප, කුඩා ඉලෙක්ට්‍රොණික උපාංග පිළයෙල කිරීම ආදියට නැනෝ තාක්‍ෂණය යොදාගන්නවා. මෙවන් දෑ සංකල්ප ලෙස පැවතියත්, අමෙරිකානු නාවික හමුදා පර්යේෂණායතනය වැනි අති රහස්‍ය අමෙරිකානු පර්යේෂණායතනවල මෙවන් පර්යේෂණ දැනටමත් සිදුකෙරෙමින් පවතිනවා.

යුධ තොරතුරු තාක්‍ෂණය හොරා ගන්නට…..නැනෝරොබෝවරු
ඊට අමතරව නැනෝ තාක්‍ෂණය වැදගත් වන අනෙක් ක්‍ෂෙත්‍ර වන්නේ රසායන විද්‍යාවයි. Lab on Chip නම් සංකල්පය වන අති සූක්‍ෂම ලෙස සැකසූ විශ්ලේෂණවලට යොදාගන්නා කුඩා උපකරණ මේවාට හොඳම උදාහරණයයි. මෙය වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ දී ද උපයෝගී කරගත හැකියි. මෙමගින් අප භාවිත කරන සාම්පලය මිලිග්‍රෑම් හෝ මයික්‍රෝග්‍රෑම් ප්‍රමාණයක් වැනි අතිශය සුළු ප්‍රමාණයකට සීමා වන අතරම නාස්තිය අවම වෙනවා. එසේම ප්‍රතිඵල ලබා දීමද ඉක්මනින්ම සිදු වෙනවා. එසේම සමහර හානිකර ද්‍රව්‍ය, විකිරණශීලී ද්‍රව්‍ය වැනි දෑ ද පහසුවෙන් ආරක්‍ෂා සහිතව විශ්ලේෂණය කිරීමේ හැකියාව ද ලැබෙනවා.
නැනෝ තාක්‍ෂණයේ තවත් ප්‍රයෝජනවත් ක්‍ෂෙත්‍රයක් වන ක්‍ෂුද්‍ර විද්‍යුත් යාන්ත්‍රික පද්ධති Micro Electro Mechanical Systems (MEMS) සහ නැනෝ විද්‍යුත් යාන්ත්‍රික පද්ධති Nano Electro Mechanical Systems (NEMS) මෙම නැනෝ යන්ත්‍රවලට දිය හැකි සරළම උදාහරණයයි. මේවා විවිධ ක්‍ෂෙත්වල භාවිත වන අතර මෙම විෂයය තවමත් සීඝ්‍ර ලෙස වර්ධනය වන පර්යේෂණ ක්‍ෂෙත්‍රයක්. මෙහි වඩාත්ම වැදගත් කොටස් වන්නේ Sensor හෙවත් සංවේදකවල භාවිතයයි. අප සැවොම දන්නා iPhone වැනි Smart Phone තාක්‍ෂණය ඇති ස්පර්ෂ සංවේදනය අනුව ක්‍රියාකරන මුහුණත් ඇති පරිගණක තිර, දුරකථන වැනි උපකරණවල සංවේදන ලබාගැනීමට, ඒවා වැටීමකට ලක්වන විට උපකරණ ඉබේම ක්‍රියාවිරහිත වන ලෙස සැකසීම, Nintendo, Wii වැනි ක්‍රීඩා උපකරණවල පාලකවල වේගය, චලනය වැනි සංවේදන පාලනයට යොදාගන්නේ මෙවැනි තාක්‍ෂණයක්.

සුනම්‍ය සූර්ය කෝෂ – ඕනෑම තැනකට සුදුසුයි
ඉදින් මේ නැනෝ යන්ත්‍ර කියන තරම් ලේසියෙන් හදන්නට බැහැ. මේවා තැනීමට බාධක එමටයි. මුලින්ම පරිමාණයේ පරමාණු කිහිපයකින් යන්ත්‍රයක හැකියාවක් ඇති දෙයක් තැනීම ම බාධකයක්. මෙම මූලික බාධකය ජයගතහොත් අනාගතයේ නැනෝ යන්ත්‍ර සෑදීමේ කටයුත්ත ඉක්මන් වන බවයි විද්‍යාඥයින් පවසන්නේ. මෙයින් වඩාම අවධානයට ලක් වුණ කරුණ නම් මෙතිල් ඛණ්ඩයේ හයිඩ්‍රජන් පරමාණු ඉවත් කර කාබන් පරමාණු එකිනෙක ඈඳාගනිමින් යන්ත්‍රයක් තැනීමට සැලසුම් කිරීමයි. එහෙත් මෙහි ප්‍රධානතම බාධකය වන්නේ ඒ පරමාණු, අප ඉලක්ක කරන ස්ථානයට සවි නොවී වෙනත් ස්ථානවලට සවි වීම මගින් සිදු වන වෙනස්කම් පාලනයට තවමත් හැකියාවක් නොමැතිකමයි. අප දන්නා පරිදි කාබන් යනු ලෝකයේ වැඩිම සංයෝග සංඛ්‍යාවක් තැනීමට දායක වන මූලද්‍රව්‍යයයි. ඒ නිසාම මෙය සෑම පරමාණුවක් සමගම පාහේ සම්බන්ධ වීමට හැකියාවක් දරනවා. එසේම සමහර පරමාණු කාබන් පරමාණුව සමග තනන බන්ධන කැඩීමට අපහසුයි, මේ නිසා වැඩිපුර ශක්තියක් ඒ බන්ධන කැඩීමට යෙදවිය යුතු වෙනවා. නැනෝ යන්ත්‍ර තැනීමට කාබන් ඉතා යෝග්‍ය මූලද්‍රව්‍යයක් වුවත්, මෙවැනි බාධක නිසා එය තරමක් අපහසු වී තිබෙනවා. එසේම රසායනික සංකලනයට පරිගණක මගින් සැකසූ ආකෘති, විවිධ ගණනය කිරීම් ආශ්‍රයෙන් ලබා ගන්නා ආසන්නතම අගය ආදිය උපයෝගී කරගෙන මේ යන්ත්‍රවල සිහිනය කවදා හෝ සැබෑ කරගැනීමට ලොව පුරා විද්‍යාඥයින් දිවා රෑ වෙහෙසෙනවා.

නැනෝ යන්ත්‍රයක ත්‍රිමාණ සටහන
එසේම මෙම නැනෝ යන්ත්‍රවල ඇති ප්‍රයෝජනවත් භාවය මෙන්ම එහි ඇති භයානක කමද මේවා තැනීමට බාධකයක් වී තිබෙනවා. උදාහරණයක් ලෙස ස්වයං ප්‍රතිවලිත වීමකට හෝ තමන් විසින්ම තවත් යන්ත්‍රයක් තනාගත හැකි නැනෝ යන්ත්‍රයක් තැනුවහොත්, එය සෑම විටම දෙකේ ගුණාකාරවලින් ප්‍රතිවලිත වෙනවා. එවිට සෑම චක්‍රයක් අවසානයේ දී ම එය දෙගුණ වෙනවා. මෙවන් යන්ත්‍රයකට මිනිස් DNA හෝ යම් එන්සයිමයක කටයුතු වෙනස් කරන නැනෝ යන්ත්‍රයක් ඈඳා මුදාහැරියහොත් මිනිස් සංහතිය මෙලොවින් තුරන් වීමට වැඩි කාලයක් ගතවන්නේ නැහැ. මෙවැනි තාක්‍ෂණයක් ත්‍රස්තවාදීන් අතට පත් වුවහොත් සිදු විය හැකි විනාශය ගණනය කරන්නට බැහැ.
කෙසේ වෙතත් ලෝකය බිහි වූ දා සිටම නැනෝ යන්ත්‍රවල අණසකට යටත් වී හමාරයි. අප දන්නා හොඳම නැනෝ යන්ත්‍රය වන්නේ සෛලයයි. එයට අභියෝග කිරීමට කිසිවකට බැහැ. එය තමන් විසින්ම ප්‍රතිවලිත වන, තමන්ටම ආවේණික කටයුතු කරන, තමන් විසින්ම පාලනය වන ස්වාධින ව්‍යුහයක්. ලොවේ කිසිම බලවතෙකුට මෙහි ක්‍රියාකාරීත්‍වය 100%ක් පාලනය කරන්නට බැහැ. මේ නිසාම නැනෝ යන්ත්‍ර කෙරෙහි අවධානය දක්වන බොහෝ දෙනා සෛලවල ක්‍රියාකාරීත්‍වය ගැන සැළකිළිමත් වන්නේ ඉන් උගතහැකි බොහෝ පාඩම් ඇති නිසයි. ඉතින් ඒ අනුව ගත් කල අප සැවොම මේ නැනෝ යන්ත්‍රවල ක්‍රියාකාරීත්‍වයට නතු වූ රොබෝවරුන් සමුහයක්.
පෙර සඳහන් කළාක් මෙන් නැනෝ තාක්‍ෂණය කියන්නෙ ඉතාමත් වේගයෙන් නව සොයාගැනීම් සිදු වන ක්‍ෂෙත්‍රයක්. මේ නිසාම එය අනාගතයේ දී ඉතාම දියුණු වේවි. රජයක් විදියට මෙන්ම පෞද්ගලික සමාගම්වලින් වුවත් සිය නිශ්පාදනවලට නැනෝතාක්‍ෂණය යොදාගතහොත් එයින් ලැබිය හැකි ලාභ බොහොමයි. එහෙත් ලංකාව වැනි රටක පහසුකම් අවම නිසා ඒ සඳහා වැයවන නිශ්පාදන පිරිවැය අධිකයි. මේ සඳහා රජයෙන් සහන ලබා දෙනවා නම් ඇත්තෙන්ම ඉතා හොඳ ප්‍රතිඵල ලැබේවි.