SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Technology

කවුරු කොහෙන් කතා කරනවා දැයි සොයාදෙන Truecaller

නොදන්නා දුරකථන අංකයකින් කිසිවකු ඔබට අනවශ්‍ය ඇමතුම් ලබාදෙන අවස්ථා එමට තියෙන්න ඇති. එය කරදරයක්, බිය දනවන දෙයක් වන්නටත් පුළුවන්. මේ කරදරකාරයන් හඳුනාගන්න, නවත්වන්න වගේම ඔබගේ අංකයට නිසි වලංගුභාවයක් ලබා දෙන්නටත් දැන් ඇප් එකකින් පුළුවන්. ඒ තමයි Truecaller. එය ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මාදිලි දෙවගම සඳහා වලංගුයි.

මේ නිර්මාණය කළ ඇලන් සහ නාමි, තමන්ට ලැබෙන දුරකථන ඇමතුම් සැබැවින් ම කාගෙන් ලැබෙන්නේ දැයි සොයා ගැනීම පිණිසයි මුලින්ම මෙය අන්තර්ජාලයට මුදා හැරියේ. එහෙත් ඒ වනවිට තිබූ ක්‍රම සියල්ල ම අභිබවමින් සතියක් ඇතුළත බාගත කිරීම් 10,000ක් පසුකර යෑමට මීට හැකි වුණා. වසර 2010 දී මෙය තව තවත් ජනප්‍රිය  වූ විට දෙදෙනා ම සිය රැකියාවලින් පවා ඉවත්ව පූර්ණකාලීනව මේ සඳහා කැප වුණා.

ඔබ කළයුතු වන්නේ Truecaller බාගත කිරීමෙන් පසු ඔබේ දුරකථන නාමාවලිය එයට ලබා දීමයි. එසේම ඔබේ දුරකථන අංකය එහි නිසි අනන්‍යතාවයකින් යුතුව Save කිරීමෙන් ඊට නිසි වලංගුභාවයක් ලැබෙනවා. දුරකථන නාමාවලිය ලබා දුන් පසු, සාමාන්‍ය දුරකථන ඇමතුම් ලබා ගන්නා ඇප් එක වෙනුවට මෙය යොදාගන්න. එවිට ඔබේ දුරකථනය Truecaller ජාලයට සම්බන්ධ වෙනවා. ඔබ මෙන්ම මෙය භාවිත කරන වෙනත් අය Save කළ දුරකථන අංක ද ජාලයේ සටහන්ව තිබෙනවා. ඔබ නොදන්නා, එහෙත් වෙනත් කිසිවෙකු විසින් Save කළ අංකයකින් දුරකථන ඇමතුමක් ඔබට ලැබේ නම්, එම අංකය සහ අදාළ තැනැත්තා Save කළ නමින් එය ඔබේ තිරයේ දිස් වෙනවා. එවිට ඒ පුද්ගලයා ඔබේ දුරකථන නාමාවලියේ නැතත්, කවුරු ඔබට දුරකථන ඇමතුම් දෙනවා දැයි ඉතාම ලෙහෙසියෙන් සොයාගත හැකියි.

එසේම කිසිවෙකු අනවශ්‍ය දුරකථන ඇමතුම් ලබාදෙන්නේ නම් එය කරදරකාර අංකයක් ලෙස නම් කිරීමෙන් එය අගරු ලේඛණයකට ද ඇතුළත් වෙනවා. එසේම කිසියම් කෙනෙකුගේ අනන්‍යතාවය පැහැදිලිවම මෙමගින් බලාගැනීමට පුළුවනි. උදාහරණයක් ලෙස බැංකුවකින් යැයි අමතා කිසිවෙක් ඔබගේ පෞද්ගලික තොරතුරු විමසුව හොත්, එය සබෑවක් ද, එසේත් නැතිනම් වෙනත් පුද්ගලයෙක් ද යන්න ඉබේම සටහන් වෙනවා. බොහෝ ව්‍යාපාර දැන් සිය වලංගුභාවය ස්ථාපිත කරන්නේ ද මෙම ඇප් එක හරහායි. එවිට සිය පාරිභෝගිකයන් කිසිදු සැකයකින් තොරව ඔවුන් හා සම්බන්ධ වෙනවා.

මීට අමතරව, සමහරවිට ඔබට කිසිවෙකු දුරකථන අංකයක් ලබා දුන්පසු එහි වලංගුභාවය ද මේ මගින් සොයාගත හැකියි. එනිසා කෙනෙකුට වැරැදි දුරකථන අංක ලබාදිය නොහැකියි. මෙම ඇප් එක වඩාත්ම පළදායී වන්නේ එය ජාලගතව ඇති නිසයි. දැන් දැන් වැඩි දුරකථන ග්‍රාහකයින් ප්‍රමාණයක් මෙය භාවිත කරන නිසා, කිසියම් කෙනෙකුගේ දුරකථන අංකයක් මේ ජාලයේ සඳහන් නොවී තිබීමට ඇති හැකියාව ඉතා අල්පයි. ලොව පුරාම ඇති දුරකථන අංක බොහොමයක් කුමන ක්‍රමයකින් හෝ මෙම ජාලයට සම්බන්ධයි. මේ නිසා ලොව කොතැනකින් දුරකථන ඇමතුමක් ලැබුණත්, ඒ කවුදැයි දැනගැනීම ඉතාම පහසුයි.

මෙය ඉතා වැඩදායී සහ ආරක්‍ෂාකාරී ඇප් එකක්. මේ නිසා කෙනෙකුගේ දුරකථන භාවිතයේ ආරක්‍ෂාව තහවුරු වන අතර අනවශ්‍ය දුරකථන ඇමතුම්වලින් මඟහැර සිටීමටත් පුළුවන්. කෙටිපණිවුඩ සේවාවට ද මෙය එසේම වැදගත්. අදහසකුත් එකක් ඇප් අතරේ මෙවැනි වැඩදායී යමක් භාවිත කිරීම ඔබේ ආරක්‍ෂවට මෙන්ම පහසුවටත් හොඳයි.

වැඩි විස්තර https://www.truecaller.com/

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

%d bloggers like this: