
ජාලේ පැටලුනොත් ජංජාලේ
ලෝකය එකම විශ්ව ගම්මානයක් කියලා කියන්නෙ නිකම්ම නෙවෙයි. ලෝකයේ එහා කොණක සිටින කෙනෙකුට අන්තර් ජාලය හරහා ඔබ හා සම්බන්ධ වෙන්නට යන්නේ තත්පර හයක් වැනි කෙටි කාලයක්. ඔබ විසින් හෝ වෙනත් කෙනෙකු විසින් කවදා හෝ රහසිගතව හෝ පටිගතකළ විඩියෝ දර්ශනයක් සමාජගත වීම නිසා ඔබට සමාජයටත් මුහුණ දෙන්නට බැරි තත්ත්‍වයක් ඇති වන්නට පුළුවනි. අපේ රටේ බොහොම ප්‍රසිද්ධ චරිත වගේම ලෝකෙයේ ප්‍රසිද්ධ චරිත පවා මේ අපහසුතාවයට ලක් වුණ අවස්ථා එමටයි. සමහරුන්ට රැකියාව අහිමි වුණා, තවත් සමහරුන්ගේ පවුල් ජීවිත පවා අවසන් වුණා. අපේ දත්ත ඒ තරම් ම අවදානම්.. ඔබගේ දත්ත වෙනත් අයගේ අතට පත්වෙන අවදානම ඉතා ඉහළයි.
මේ නිසාම, අනවශ්‍ය පුද්ගලයින් ඔබේ දත්ත අනවශ්‍ය ආකාරයට යොදා ගැනීම නිසා බොහෝ දෙනා අමාරුවේ වැටෙනවා. එහෙත් මේ සිද්ධීන් ජනමාධ්‍යයන් මගින් ප්‍රසිද්ධියට පත් වන්නේ, එක්කෝ කෙනෙකු සියදිවි නසා ගැනීම, ඝාතනයට ලක්වීමක්, කප්පම් සිද්ධියක්, හෝ වෙනයම් අනතුරකට පත්වීම වැනි කරුණක් නිසාම වන්නට පුළුවන්. ඒ බොහොමත්ම අල්ප ගණනක්. සෙසු සියලුම සිදුවීම් ජලයේ පාවෙන අයිස් කන්දක ජලයෙන් යට ව පවතින විශාල කොටස වගේ නොපෙනී නොදැනී තිබෙන්නට පුළුවනි. එහෙත්, මෙය අපි නොසිතන භයානක උවදුරක්. මේ දත්ත වැරැදියට භාවිත කිරීම නිසා සහ ඔබේ දත්ත අයිතීන් ගැන ඔබ නිසි ලෙස දැනුවත් නොවීම නිසා, ඔබ නොදැනුවත්වම සමහරවිට ඔබේ නම වුවත් අපරාධයකට ගෑවී තිබෙන්නට පුළුවනි, එසේත් නැතිනම් වෙනත් වැරැදි ක්‍රියාවක කොටස් කරුවෙකු වන්නට පුළුවනි. මේ නිසා ඔබේ දත්ත තිබෙන්නේ කොතැනක ද? ඒවා පාවිච්චි වන්නේ කෙසේ දැයි කියා දැන සිටීම සහ එය පාලනය කිරීම ඔබ සතු යුතුකමක් වගේම අතිවිශාල වගකීමක් ද වෙනවා.
ඔබේ දත්ත ගබඩා කොට ඇත්තේ කොතැනක ද?
මේ ලිපිය අන්තර්ජාලයෙන් කියවන ඔබ බොහෝ දුරට ඔබේම පුද්ගලික පරිගණකයක සහ ස්මාට් ජංගම දුරකථනයක අයිතිකරුවකු විය හැකියි. ඔබ පුද්ගලික දුරකථනයක අයිතිකරුවකු වන විට ඔබේ විස්තර සියල්ල දුරකථන සේවා සපයන්නන් වෙත ලැබෙනවා. එසේම ඔබේ අංකය ඔබේ මිතුරන් සියලුම දෙනා තම දුරකථනවල ගබඩා කරගන්නවා. ඔබ දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිසෙන විටම, ඔබ ඔබේ නම සහ තරමක පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට එක් කර හමාරයි. ඉන්පසු ඔබ පිවිසෙන්නේ ඊමේල් වෙත, එහිදී බොහෝවිට ඔබ Gmail, Yahoo, Outlook, වැනි සමාගම්වලින් ඔබේ ඊමේල් ලිපිනය ලබා ගන්නවා. එහිදී ඔබ ඔබේ නම, වයස, ලිපිනය, මවගේ නම, ආදී බොහෝ තොරතුරු ඒ වෙත එක් කරනවා. මේ දත්ත බොහෝදුරට ආරක්‍ෂා සහිත වුවත්, එය සේප්පුවක දමා වසා ඇති යැයි කිසිවෙකුට සහතික වන්නට බැහැ. මෙහිදී ඔබ වෙනුවෙන් අන්තර්ජාලයේ යම් ඉඩක් වෙන් වන අතර එය ඔබගේ අනන්‍යතාවය වෙනවා. ලොව කොතැන සිට ඔබ ඊමේල් භාගත කළත්, එය අන්තර්ජාලයේ සටහන් වෙනවා. ඔබ සතුව Facebook, LinkedIn, Twitter, YouTube හෝ වෙනත් සමාජ ජාල භාවිත ඇතිනම්, ඒ සියලුම විස්තර අන්තර්ජාලයේ රැඳී පවතිනවා. මේ සියල්ල දැන් එකිනෙකට සම්බන්ධයි. ඔබේ නම Google හි සටහන් කර සොයා බැලුව හොත් ඔබ ගැන කෙතරම් විස්තර ඇති දැයි ඔබ ම පුදුමයට පත් වේවි. ඔබ මේ කිසිවක නැතත්, ඔබේ මිතුරු මිතුරියන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරීත්‍වය නිසා, ඔබේ පින්තූරත් අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා ඇති. මෙය භයානක වන්නේ ඔබටත් වඩා ඔබේ දරුවන්ට. සමහරවිට අප නොසිතා අපේ දරුවන්ගේ යම් යම් අවස්ථාවල පින්තූර අපේම Facebook ගිණුමේ පළ කරනවා. මේවා අපි එතරම් දුරදිග නො සිතා සිදු කළත්, සමහර පුද්ගලයින් මේ පින්තූර අවස්ථාවාදීව වැරැදි අයුරින් යොදා ගත හැකියි. දැන් ඕනෑ ම හිසකට ඕනෑ ම ඇඟක් බද්ධ කිරීමේ ෆොටෝෂොප් ශල්‍යකර්ම කිරීම ඉතාම පහසුයි. එසේම, මේ කටයුතු නිසා ඔබේ පවුලේ සියලුම තොරතුරු ප්‍රසිද්ධියේ මුදා හැරෙනවා. මේ නිසා අනවශ්‍ය ලෙස සමාජයට නිරාවරණය වෙනවා. උදාහරණයක් ලෙස ඔබ පිටරටක සවාරියක් යන බව Facebook ගිණුමේ සඳහන් කළා යැයි සිතන්න. උජාරුවට, බොහෝ දෙනා ගුවන්ගතවන අවස්ථාවේ දී ම තමන් ගුවන්ගත වන බව ගිණුමේ සඳහන් කරනවා. ඔබ පවුල පිටින්ම යනවා නම්, එය ප්‍රසිද්ධ වීමට එතරම් කාලයක් ගත වන්නේ නැහැ. ඔබේ Facebook ගිණුම Public කර ඇතිනම් ඔබ නොදැනුවත්ව ම ඒය ප්‍රසිද්ධ කර අවසන්. ඔබේ මිතුරකු නො වූවත්, වෙනත් කෙනෙකු මාර්ගයෙන් හෝ හොඳින් සැලසුම් කරන ශූර සොරෙකුට මේ තොරතුරු සුවිසල් සම්පතක් වෙනවා. ඔබ සවාරිය ගොස් එන අතරතුරේ නිවසේ ඇති සියල්ලම අහිමි වන්නට මේ එක Facebook පෝස්ට් එක ප්‍රමාණවත් වෙන්න පුළුවන්.
සමහර වෙලාවට අප නො දැනුවත්ව ම අපේ දුරකථන අංකය ප්‍රසිද්ධියට පත් වෙනවා. මෙය ඉතා බරපතල කාරණයක්. දැන් බොහෝ දෙනා පුද්ගලයින් හඳුනාගැනීමේ ඇප් එකක් භාවිත කරනවා. ඔබ විසින් එය භාවිත නො කළත්, භාවිත කරන කෙනෙකු ඔබේ නම එහි ගබඩා කර ඇතිනම්, මුළු ලොව පුරාම එමගින් එය බෙදා හැරෙනවා. උදාහරණයක් ලෙස සුපිරි වෙලඳසල්වල සාමාජිකත්‍ව විස්තරය ඔබේ දුරකථන අංකය විමසා ඒ අනුව සාමාජිකත්‍වය ස්ථිර කරන අවස්ථාවක සමහරවිට අසළ සිටින කෙනෙකු ඔබේ දුරකථන අංකය සටහන් කරගන්නට පුළුවනි. එවැනි අවස්ථාවක ඔබේ දුරකථන අංකය මගින් ඔබේ නම සොයාගෙන එමගින් Facebook වැනි සමාජ ජාලයක ඇති ඔබේ විස්තර සොයා ගැනීමට ගත වන්නේ විනාඩි ගණනක කාලයක්. මේ නිසා ප්‍රසිද්ධ ස්ථානවල දී ඔබේ දුරකථන අංකය පැවසීමෙන් වැලකී සිටීම ඉතා ගුණදායකයි. දුරකථන අංකය වෙනුවට අදාළ සුපිරි වෙළඳසලට අදාළ සාමාජිකත්‍ව කාඩ් පත ඔවුනට ලබා දෙන්න. සමහරවිට බැංකු වැනි ආයතනවලින් ඔබේ පෞද්ගලික තොරතුරු දුරකථනයෙන් විමසන අවස්ථා ඇති. එවිට ඔහු/ඇය කතා කරන්නේ අදාළ බැංකුවෙන්ම ද කියා සහතික කර නො ගෙන ඔබේ බැංකු විස්තර හෝ වෙනත් පෞද්ගලික විස්තරයක් ඒ පුද්ගලයාට ලබා දීමෙන් වළකින්න.
අනෙක් කරුණ වන්නේ ඔබ බැංකු කටයුතු සඳහා අන්තර්ජාල පහසුකම් භාවිත කරනවා නම්, ඔබ ඒ වෙබ් අඩවිවලට ඇතුළත් වීම සඳහා මුරපද පාවිච්චි කරන්නේ නම්, ඒවා පහසුවෙන් සොයාගත නො හැකි මුරපද විය යුතුයි, සමහරු සිය දරුවන්ගේ නම්, උපන්දින වැනි දෑ මුරපද සඳහා භාවිත කරනවා. එවැනි මුරපද ඉතා පහසුවෙන් සොයා ගත හැකියි. මේ නිසාම දැන් දැන් බොහෝ බැංකු සිය පාරිභෝගිකයන්ට මුරපද සැකසීමේ දී විවිධ අංක, සළකුණු, සහ අකුරුවලින් සමන්විත සංකීර්ණ මුරපද සැකසීමට පොළඹවනවා. තවත් සමහරු සිය බැංකු කාඩ්පතේම කොණක එහි මුරපදය ලියා තබන්නේ මතක් කර ගැනීම පහසුවට නමුත් ඔබේ මුදල් පසුම්බිය සොරා ගන්නා කෙනෙකුට පහසුවෙන්ම ඔබේ කාඩ්පතින් මුදල් ලබාගන්නට ඔබ මඟ සලසා දී තිබෙනවා. බැංකු කටයුතුවල සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කරගැනීමට කළ හැකි උපක්‍රමයක් වන්නේ ඔබේ සෑම බැංකු ගණුදෙනුවක්ම කෙටි පණිවුඩයකින් ඔබට දැනුම්දෙන ක්‍රමය ස්ථාපිත කිරීමයි. එවිට ඔබේ බැංකු කාඩ්පතින් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ බැංකු ගණුදෙනුවක් වූ විට එය ඔබ වෙත ක්‍ෂණිකවම දැනුම් දෙනු ලබනවා. එය ඔබෙන් සිදු නො වූවක් නම් වහාම බැංකුවට දැනුම් දී එය නීතියේ රැහැණට හසුකරගැනීමට හෝ නිවැරැදි කිරීමට පුළුවනි. තවත් සමහරු පොදු පරිගණකවලින් බැංකු ගිණුම් ආදී සංවේදී තොරතුරු වෙත පිවිසෙනවා. සමහරවිට ඒ කටයුත්ත අවසන සිය මුරපද මකාදැමීම සිදු කරන්නේ නැහැ. මේ නිසා වෙනත් කෙනෙකුට ඔබේ ගිණුමට ඇතුළු විය හැකියි. එනිසා, පොදු පරිගණක පරිහරණයේ දී පිවිසුණු වෙබ් පිටු පරිගණකයේ අතීත මතකයන්ගෙන් (Browsing History) මකා දැමීමට නිතරම මතක තබා ගන්න.
ඔබේ දුරකථනය ඔබ දත්ත සියල්ලම පාහේ ගබඩා කරගන්නා තැනක්. දැන් දැන් දුරකථනය මුදල් පසුම්බියටත් වඩා ආරක්‍ෂාකාරීව තබාගතයුත්තක් බවට පත් වී හමාරයි. ඔබේ දුරකථනයේ ඔබේ පවුලේ සියල්ලන්ගේම දුරකථන අංක, Facebook ගිණුම, ඡායාරූප, වීඩියෝ, පෞද්ගලික සහ රාජකාරීමය E-mail ගිණුම්, බැංකු ගිණුම් තොරතුරු, වෙනත් සමාජ ජාල අඩවිවල තොරතුරු, ලබාගත් සහ ලැබූ ඇමතුම්, කෙටි පණිවුඩ, වෙනත් චැට් භාවිත ආදී සියල්ලම තැන්පත් වී තිබෙනවා. මෙය වෙනත් කෙනෙකු අතට පත් වුවහොත් සිදුවිය හැකි විනාශය ගිණිය නොහැකියි. මේ නිසා ඔබ මුලින්ම දුරකථනය දැඩිව පරෙස්සම් කරගත යුතුයි. වැරැදී හෝ වෙනකෙකු අතට තොරතුරු යෑම වැළක්වීමට හැකි උපරිම ආරක්‍ෂක උපක්‍රම අනුගමනය කළ යුතුයි. ඇඟිලි සළකුණු, ප්‍රධාන මුරපදය සහ විවිධ ඇප් සඳහාත් දැන් වෙන වෙනම මුරපද සැකසිය හැකියි. මෙය සමහරවිට වදයක් වුවත්, ඇත්තෙන්ම ආරක්‍ෂාකාරී වන නිසා සමහරවිට ඔබේ දුරකථනය සොරකම් කළත්, සොරාට සියල්ලම මකා දමා දුරකථනය පමණක් හිමිකරගැනීමට සිදු වන නිසා ඔබේ දත්ත සුරක්‍ෂිත වනවා. එසේම දුරකථනයේ IMEI අංකය ලඟ තබා ගැනීමෙන් දුරකථනය පසුව හෝ සොයා ගැනීමට හැකි වෙනවා. ඔබ සතු දුරකථනයේ *#06# ටයිප් කිරීමෙන් ඒ දුරකථනයට අදාළ IMEI අංකය සොයාගත හැකියි.
එසේම ඔබ අමතකව හෝ නොසැලකිල්ලෙන් දමා යන සමහර කඩදාසි, ක්‍රෙඩිට් කාඩ් බිල්, රෝහල් බිල් ආදියෙන් ඔබේ තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් වෙත යන ප්‍රවණතාවය අධිකයි. ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නා විට බොහෝ දෙනා රිසිට්පත ලබාගෙන එය කියවා එතැනම වූ කුණුකූඩයට දමනවා. එහි එතරම් දත්ත නැතත්, එම රිසිට්පත මුද්‍රණය අනවශ්‍ය කාර්යයක්. එය ඇත්තෙන්ම පරිසරයටත් කරන හානියක්. හැකිතරම් මුද්‍රිත දෑ, කඩදාසි භාවිතයෙන් ඉවත්වීම ඉතා සුදුසුයි.
ආයතන පවා සිය දත්ත සුරක්‍ෂිතතාවයට කටයුතු යෙදිය යුතුයි. පෞද්ගලික ආයතනවල පරිගණක අංශය ඇත්තෙන්ම මේ වෙනුවෙන් සෑහෙන වෙහස මහන්සියක් දරනවා. මේ නිසා පෞද්ගලික ආයතනවල නම් බොහෝ දුරට දත්ත ආරක්‍ෂිතයි. එසේම ලංකාවේ පරිගණක හැකර්වරුන්ට මේ ආයතනවල පද්ධතිවලට ඇතුළුවීම ඉතා පහසු නිසා ඔවුන් ඊට වඩා උසස් ඉලක්ක කරා යනවා. නමුත් රාජ්‍ය අංශයේ දත්ත නම් ආරක්‍ෂිත නොමැති බව කණගාටුවෙන් වුවත් සඳහන් කරන්නට වෙනවා. සමහරවිට වෙබ් අඩවි පවා ඉතාම අනාරක්‍ෂිත තත්ත්‍වයේයි පසු වන්නේ. වසර ගණනාවකට පෙර වෙබ් පිටුව සැකසීමේ දී ඇතුළත් කළ මුරපද, තවමත් මේ දක්වා වෙනස් කර නැහැ.
ශ්‍රී ලංකාවේ ජනතාවට ඉලෙක්ට්‍රොණික හැඳුනුම්පතක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුවත්, මා දන්නා පරිදි එය මේ දක්වා ක්‍රියාවට නැංවී නැහැ. ඉන්දියාවේ නම් මේ හැඳුනුම්පත ක්‍රියාවට නංවා තිබෙනවා. මේ අනුව එය හිමි පුද්ගලයා සතු සියලුම විස්තර මේ හැඳුනුම්පතට සම්බන්ධව පවතිනවා. ඒ නිසා ඔහු නමින් වෙනත් පුද්ගලයින්ට දුරකථන සම්බන්ධතා, බැංකු ගිණුම් ආදිය විවෘත කිරීමට නොහැකියි. එසේම ඒ පුද්ගලයාගේ රෝහල් විස්තර පවුලේ විස්තර සියල්ල පරිගණකගත කර ඇති නිසා අදාළ කාර්යවල දී කඩදාසි භාවිතය, එකම තොරතුර නැවත නැවතත් ස්ථිර කරගැනීම වැනි අනවශ්‍ය කාලය කා දමන ක්‍රියා සියල්ල ඉවත් කර තිබෙනවා. මේ නිසා ආයතනවල දී පවා කාර්යක්‍ෂමතාවය ඉතා ඉහළින් පවතිනවා. ලංකාවේත් මේ ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ක්‍රමය ක්‍රියාවට නැංවිය හැකිනම්, බැංකුවල පෝලිම්වල සිටීම, රෝහල්වල අනවශ්‍ය තදබදය, රාජ්‍ය ආයතනයක දී සිදුවන අනවශ්‍ය ප්‍රමාදවීම් ආදී සියල්ලම අහෝසි වනවා.
විශේෂයෙන්ම දරුවන් පරිගණක භාවිත කරන අවධියට පත්වන විට දෙමාපියන් සැළකිලිමත් විය යුතුමයි. දරුවන්ට පරිගණකයක් භාර දෙන විට එයට ලැබෙන දත්ත පෙරණයක් හරහා ලබා දෙන Content Filter, වැනි අවශ්‍ය දත්ත පමණක් ලබා දෙන පරිගණක ක්‍රමලේඛ (Program) දැන් ලබා ගන්නට පුළුවනි. එසේම පරිගණකයේ ද එම සැකසුම් නිසි ලෙස සකසන්නට පුළුවනි. මේ නිසා දරුවා භාවිත කරන වෙබ් පිටු සීමා කිරීමට හැකියි. අනවශ්‍ය වෙබ් පිටුවලට යෑමට නොහැකියි. දරුවාගේ පරිගණකයේ මොනිටරය (ලැප් ටොප් එකක් නම් තිරය) ඔබට පෙෙණන අයුරින් තබා ගන්නට උපෙදස් දෙන්න. හදිසි පරීක්‍ෂා සිදු කර, ඔවුන් භාවිත කරන වෙබ් පිටු මොනවා දැයි ඉඳහිට බැලීමෙන් නරකක් වන්නේ නැහැ. දරුවන්ට අන්තර්ජාලයෙන් චැට් කිරීම හෝ ස්කයිප් වැනි භාවිත අවම කරන්න. ඔබේ දරුවා අන්තර්ජාලය හරහා කතා කරන පුද්ගලයා කවුදැයි කිසිවෙක් නොදන්නවා වන්නට පුළුවනි. සමහරවිට නමගිය අපරාධකරුවකු වන්නට පුළුවනි. අන්තර්ජාලය යනු අනන්‍යතාවයක් නොමැති සමාජයක්, මේ නිසා ඔවුන්ව පරෙස්සම් කර ගත යුතුමයි.
ලෝකය තාක්‍ෂණයත් සමඟ සීඝ්‍ර ගමනක් යමින් සිටින මේ අවධියේ අපත් ඊට අනුගත විය යුතුමයි. නැතහොත් අපට ඉදිරි ගමනක් නැහැ. සුළු දේටත් වර්ජන කරමින් සිටින අපට ඇත්තෙන්ම ලෝකයෙන් කොන් වන්නටයි සිදු වන්නේ. එසේම තාක්‍ෂණය සමඟ ඉදිරියට යෑමේ දී තාක්‍ෂණය නිසාම අපට සිදුවිය හැකි අනවශ්‍ය අනතුරු දෙසටත් අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ සමඟම ඊට අදාළ ආරක්‍ෂණ පිළිවත් ද අනුගමනය කරමින් තමන්ගේ දත්ත සුරක්‍ෂිතව තබා ගැනීම වැදගත් වෙනවා.