SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Technology

ගූගල් ඇප් ගැන දත යුතු යමක්

අපේ බොහෝ ස්මාට් දුරකථනවල දැන් ගූගල් ඇප් සියල්ලම පාහේ දුරකථනය සමගම අපට ලැබෙන සාමාන්‍ය ඇප් පැකේජයක් බවට පත් වී හමාරයි. බොහෝ විට නව දුරකථනයක් ක්‍රියාකර අන්තර්ජාලයට පිවිසෙන විටම මුලින්ම ඔබගෙන් විමසන්නේ ජී මේල් විස්තර. ඒ අනුවයි ඔබේ දුරකථනය සැකසෙන්නේ. බොහෝ දෙනාගේ දුරකථනවල මේ ඇප් තිබුණත්, ඔවුන් ඒවා පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්. මේ නිසා සමහරවිට ලේසියෙන් කරගන්නට තිබූ දේවල් සංකීර්ණ වන අවස්ථා ද නැතුවා නො වෙයි. මේ ලිපියේ අරමුණ ගූගල් පැකේජයේ සමහර ඇප්වල ඉතිහාසය සහ ඒවායින් සිදුවන දේ විස්තර කර දී ඔබේ ස්මාට් ජීවිතය පහසු කිරීමයි.

Gmail සහ Calendar

ඔබේ දුරකථනයේ මූලික ම සහ වඩාත්ම භාවිත වන ගූගල් ඇප් එක වන්නේ ජීමේල්, එහෙමත් නැතිනම් ගූගල් මේල් ඇප් එකයි. එයින් ඔබට ඔබේ පෞද්ගලික ඊමේල් ලිපිනය දුරකථනය ඔස්සේ පවත්වාගෙන යෑමේ පහසුව ලැබෙනවා. මේ සමගම ඔබ නිරායාසයෙන්ම ගූගල් ලෝකය හා සම්බන්ධ වෙනවා. පෙරකාලයේ ඊමේල් බැලීමට පරිගණකයක් අත්‍යවශ්‍ය වුණත්, දැන් දැන් බොහෝ දෙනා දුරකථනයෙන්ම ඊමේල් භාවිත කරනවා. මේ නිසා ඉතා කාර්යක්‍ෂමව සිය සන්නිවේදන කටයුතු කරගත හැකියි. මේ සමගම දිනපොත ද ඔබට ලැබෙනවා. මෙය තමන්ගේ කටයුතු පහසු කරගන්නට හොඳින්ම යොදා ගත හැකි ඇප් එකක්. තමන්ට කළ යුතු දෑ දින අනුව සටහන් තබා ඒවා කිරීමට දිනපොත මගින්ම මතක් කිරීමට එය සකසාගත හැකියි. මේ නිසා බිල් ගෙවීමට නියමිත දින, වැදගත් හමුවීම්, උපන් දින වැනි වැදගත් දෑ නිතැතින්ම එය මතක් කර දෙනවා.

Phone Book – Contacts

අපේ දුරකථන නාමාවලිය (Phone Book) එක ගූගල් හා යාවත්කාලීන කර තිබීම මගින් නව දුරකථනයක් ගත් විට මිතුරන්ගේ දුරකථන අංක එකින් එක නැවත නව දුරකථනය වෙත මාරුකිරීමේ අමාරු කටයුත්තෙන් ඈත් විය හැකියි. එසේම එය ආරක්‍ෂාකාරී ක්‍රමයක් ද වෙනවා. දැන් දැන් ගූගල් හි දුරකථන නාමාවලිය ස්කයිප් සහ ෆේස්බුක් සමගත් සම්බන්ධ වෙන නිසා සියලුම සබඳතා එක තැනකින් සපයාගත හැකියි.

Google Drive – Google Photos

එසේමයි දුරකථනයෙන් ලබා ගන්නා ඡායාරූප, ඒවාත් Google Drive එක සමග යාවත්කාලීන කර තැබූ විට ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක එය බාගත කිරීම කළ හැකියි. මේ නිසා දුරකථනයේ ඉඩ ඉතිරි කර ගත හැකියි. එ් පින්තූර දුරකථනයෙන් Google Drive වෙත යාවත්කාලීන කිරීම WiFi පහසුකම ඇතිවිට පමණක් සිදුකිරීමට අණ දීම මගින් ඔබේ දුරකථනයේ Data වැයවීම අවම කරගත හැකියි.

Google Maps

බටහිර රටවල වාහනවලට අමතරව සවිකර තිබූ GPS පද්ධතිවල වෙළඳපොළට කණකොකා හැඬ වූ ගූගල් ඇප් එක වන්නේ Google Maps. මෙය මුලින්ම සැකසුනේ පරිගණක වැඩසටහනක් ලෙස වුවත්, පසුව එය දුරකථන ඇප් එකක් බවට විකාශය වූවා. මෙහි දී සැටලයිට් සංඥා උපයෝගී කරගෙන මාර්ග සිතියම්, ත්‍රිමාණ ඡායාරූප මෙන්ම සජීවී මාර්ග ගමනාගමන තොරතුරු ලබා දෙනවා. මෙයට ම එකතු වූ Google Street View නිසා කෙනෙකුට යම්කිසි මාර්ගයක වූ සුවිශේෂ සළකුණු ආධාරයෙන් කිසියම් ස්ථානයක් සොයා ගැනීම මෙන්ම සජීවී ආකාරයෙන්ම එතැන දැක බලාගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ නිසා දුර ගමනක් යනවිට පවා මගතොට දී හමුවන අයගෙන් පාර අසාගෙන යෑම අවසන් වනවා. මෙමගින් බොහෝ දුරට සජීවී මාර්ග තදබද තොරතුරු ද ලැබෙන නිසා කෙනෙකුට ගමනක් යෑමේ දී එම මාර්ග මගහැර යන්නටත් පුළුවන්. කෙසේ නමුත් ලංකාවේ මාර්ග පිළිබඳ මෙහි දැකිවෙන විස්තර සියයට සියයක් නිවැරැදි නැති නිසා ගූගල් වෙත පමණක්ම ඔබේ මග පෙන්වීම භාර දෙන්න එපා. ඒ සමගම සාමාන්‍ය බුද්ධියත් පාවිච්චි කර, යා යුතු මාර්ගය කුමක් දැයි තීරණය කරන්න. මෙහි බොහෝ වැදගත් අංගයක් වන්නේ කෙනෙකුට තමන් සිටින්නේ කොතැන දැයි පෙන්වා දීමේ හැකියාවයි. එනම් ඔබ සිටින තැන සළකුණු කර (Pin කිරීම) ඒ අක්‍ෂාංශ දේශාංශ තොරතුර (coordinates) වෙනත් කෙනෙකුට කෙටි පණිවුඩයක් මගින් යැවීමෙන් ඒ පුද්ගලයාට Google Maps හරහා ඔබ සිටින ස්ථානය නිවැරැදිව සොයා ගත හැකියි.

Google Fit

සමහරුන්ට ව්‍යායාම කිරීම මතක් කළ යුතු කාරණයක්. තවත් සමහරු කෙතරම් දෑ කළත්, එය ගණනය කිරීමට අපොහොසත්. මේ නිසාම Google Fit මගින් සිය ව්‍යායාම චර්යාව මතක තබා ගැනීමට සකසා තිබෙනවා. එමගින් ඔබ දවසකට ඇවිදින පියවර ප්‍රමාණය, දවසකට දුවන දුර ප්‍රමාණය වැනි දෑ මතක තබා ගන්නවා. ඔබටම පුළුවන් ඔබ දවසකට සාමාන්‍යයෙන් ඇවිදින පියවර ප්‍රමාණය පිළිබඳ ඉලක්කයක් තබන්නට. ඒ අනුව ඔබේ දිනක දහනය වන කැලරි ප්‍රමාණයත් ගණන් බැලෙනවා. මෙය එතරම් නිවැරැදි ඇප් එකක් නොවෙයි. සෙමෙන් ධාවනය වන මෝටර් රථයක ඔබ සිටියහොත්, මේ ඇප් එක ඔබ හැල්මේ දුවනවා හෝ, බයිසිකලයක් පදිනවා යැයි වරදවා වටහාගන්නට හැකියි. එවැනි සමහර සංකූලතා දැකිය හැකියි.

කෙසේ නමුත් මේ ඇප් නොමිලයේම ඔබට ලබා දෙන්නේ ඔබේ ජීවිතය යම් තරමකට පහසු කරන්නටයි. ස්මාට් ජංගම දුරකථනයකින් බලාපොරොත්තු වන්නේ දුරකථන ඇමතුම් ලබා ගැනීම ම නො වෙයි. ඒ නිසා ඔබේ දුරකථනයේ ඇති ඇප් මොනවා දැයි බලා ඒවා නිසි ලෙස පාවිච්චි කරන්නටත් පුරුදු පුහුණු වීම නුවණට හුරුයි. එය ඔබේ ජීවිතය පහසු කරාවි.

 

 

 

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

%d bloggers like this: