
ගත්තු සැනින් රූප එවන අමුතු තාලෙ ටෙලිග්රෑමය
සමාජ මාධ්‍ය ඔබට කරදරයක් ද? කාලය කා දමන කටයුත්තක් ද?… වන්නට පුළුවනි. ලබැඳියන් සමඟ ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවල මතක සැමරුම් හුවමාරු කර ගැනීමට, ඔබටම කියා මිතුරු මිතුරියන් සමූහයක් ඇති කර ගැනීමට අවශ්‍ය නම්, සමාජ මාධ්‍ය ජාලයකට සම්බන්ධ වීම අත්‍යවශ්‍ය නැහැ. මේ අඩුව සපුරා ලන්නට Instagramවලින් පුළුවන්.
පළමුව මෙය නිර්මාණය කැරුණේ වසර 2010 දී පමණ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝවල දී යි. Kevin Systrom සහ Mike Krieger දෙදෙනා විසින් ජංගම ඡායාරූපකරණය පිළිබඳ මෘදුකාංග ව්‍යාපෘතියක් සිදු කරන අවස්ථාවක මෙය මතු වුණා. මෙය නම් කර ඇත්තේ Instant Camera සහ Telegram යන වචනවල එකතුවෙන්.
Kevin Systrom 2010 ජුලි 16 වැනි දා මෙක්සිකෝවල දී ගනු ලැබූ බල්ලෙකුගේ පින්තූරයකින් පළමු Instagram පෝස්ටුව පළ වීමත් සමගම එය ඇරඹුණා. පසුව එම වසරේම ඔක්තෝබර් 06 වැනි දා එය ඇපල් පද්ධතියේ ඇපයක් ලෙස මුදාහැරුණා. 2012 දී එය ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියට මුදා හැරීමත් සමගම එක දිනක දී මිලියනයක් භාගත කිරීම් සිදු වූ බව සඳහන්.
Instagram මගින් ජංගම දුරකථනයෙන් ලබා ගන්නා ඡායාරූප හෝ කෙටි වීඩියෝ ඔබේ නමින් පළ කිරීමට පුළුවනි. වෙනත් සමාජ ජාලා ගිණුම් භාවිත කරමින් ඔබට ඒ හා සබැඳෙන්න පුළුවන්. එසේම ලබා ගන්නා පින්තූරවල ගෝලීය ස්ථාන සළකුණු කිරීම (Geotagging) නිසා එම ස්ථානය නිසි ලෙස හඳුනා ගැනීමේ පහසුව ද සකසා තිබෙනවා. එසේම පින්තූර විවිධාකාර පෙරණ (Filter) හරහා සැකසීම මගින් ඒවායේ කලාත්මක භාවය වැඩි කර ගැනීමට ද හැකියි. මෙවැනි පෙරණ 33ක් Instagramවල අඩංගු වන්නේ, අවශ්‍ය ඕනෑම ආකාරයකට ඔබේ පින්තූර වෙනස් කිරන්නට හැකි වන ආකාරයටයි. සාමාජිකයන් පින්තූර පළකිරීමේ දී ඒවායේ සුවිශේෂී භාවය ඉස්මතු වන ලෙස පළ කිරීමට මෙමගින් උනන්දු කැරෙනවා. එය මෘදුකාංගය හරහා ම ඇති කර ඇති නිසා ඊට අමතර වෙහෙසක් දැරිය යුතු නැහැ.
පළමුව ඡායාරූප බෙදා ගැනීමේ ඇපයක් වූ මෙය වීඩියෝ ඇතුළත් කළේ 2013 දී. එය තත්පර 15කට සීමා කැරුණා. ෆේස් බුක් සමග තරගයේ දී ඉදිරියෙන් සිටීමට 2016 දී එම සීමාව තත්පර 60ක් දක්වා වැඩි කළ අතර 2017 පෙබරවාරි මාසයේ දී වීඩියෝ එකකට වඩා වැඩි ප්‍රමාණයක් පළ කිරීමේ හැකියාව ද ඇති කැරුණා. ඒ අනුව දැන් එක් පෝස්ටුවකින් විනාඩි 10ක් තරම් දිගු වීඩියෝ එකතුවක් පළ කරන්නට පුළුවන්.
Instagram 2010 නිකුත්වත් සමගම මාස කිහිපයකින් සාමාජිකයින් මිලියනය ඉක්මවූවා. 2011 ජුනි වන විට මිලියන 5ක් ද, 2017 අප්‍රේල් මාසය වන විට සාමාජිකයින් මිලියන 700ක් ඉක්මවීමෙන්ම එහි ජනප්‍රියතාවය කෙතරම් දැයි සිතා ගත හැකියි. එය සනාථ කරමින් Instagram විවිධ සම්මාන ද දිනාගෙන තිබෙනවා. 2011 දෙසැම්බර් මස ඇපල් සමාගම මගින් වසරේ ඇපය ලෙසින් නම් කළේ Instagram. එමෙන්ම 2015 දී ලොව හොඳම iPhone ඇප් 100 අතරින් ප්‍රථම ස්ථානයට ද පත් වූවා.
ප්‍රසිද්ධ අය ප්‍රසිද්ධිය වැඩි කර ගැනීමටත් තම රසිකයන්ට තොරතුරු ලබා දීමටත් මේ ඇපය භාවිත කරනවා. එහි හිණිපෙත්තේ වැජඹෙන්නේ රසිකයන් මිලියන 103ක් ඇති සෙලීනා ගෝමස්, රසිකයන් මිලියන 94.1ක් ඇති ටේලර් ස්විෆ්ට් දෙවැනි තැන හිම් කර ගන්නවා. පළමු ස්ථාන පහම කාන්තාවන් සතු වන අතර, වැඩිම රසිකයන් ඇති පිරිමියා වන්නේ පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ.