SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Food

බීර තිත්ත බව අැත්තයි ද?

මෙවර අයවැයෙන් බීර මිල අඩු වීමත්, සීනි අඩංගු කාබනේට් සහිත බීමවලට නව සීනි බද්දක් පැණවීමත් සමගම බොහෝ දෙනාට බීර පිළිබඳ මතකය අවදි වූවා. සීනි සහිත බීම පානයට වඩා බීර පානය සුව දායක ද යන ප්‍රශ්නය නිසා, සෑම දේකටම කියන්නට දෙයක් ඇති සමාජ ජාල වෙබ් අඩවිකරුවන්ටත්, බීර රසවත් මාතෘකාවක් වුණා.

බොහෝ දෙනෙකු නොදන්නවාට බීර කියන්නේ ලෝකයේ වඩාත්ම පැරැණිම සහ ජලය සහ තේ හැරුණුකොටගෙන වඩාත්ම වැඩියෙන් භාවිත වන බීම වර්ගයයි. බීරවලට ඇත්තේ ක්‍රිස්තු පූර්ව 9500 කාලය දක්වා ඉපැරැණි ඉතිහාසයක්. එය මිනිසා ධාන්‍ය වගාව ආරම්භ කළ අවධිය තරම්ම පැරැණියි. කවුරු කෙසේ කීවත්, මානව සංහතිය කිසියම් හෝ ආකාරයකට මධ්‍යසාර සමග බැඳී පවතින බවට මෙය ඉතා වැදගත් සාක්‍ෂියක්. එපමණක් නොවෙයි, ක්‍රිස්තු පූර්ව 5000 පමණ කාලයේ දී ඉරාකයේ හාම්පුතුන්, සේවකයන්ට ගෙවීම් කර ඇත්තේ ද බීරවලින්. ඊජිප්තුවේ ගීසා හි පිරමිඩ ඉදි කළ මිනිසුන්ට දිනකට බීර ලීටර හතරක් හෝ පහක් ලබා දී ඇත්තේ පෝෂණය ලබා දීමට මෙන්ම වෙහෙස නිවා ගැනීම සඳහා බව පුරාතන ලේඛණවල සඳහන්. එසේ සැලකීමේ දී බීර ශිෂ්ටාචාරයක මූලික අංගයක් බවට පත් වී ඇති බව පෙනී යනවා.

එපමණක් නොවෙයි, බීර නිෂ්පාදනය සහ ඒ සම්බන්ධ ව්‍යාපාර ලෝකයේ ප්‍රධාන ව්‍යාපාරවලින් එකක්. ලොව පුරා වසරකට බීර ලීටර බිලියන 133ක් නිෂ්පාදනය කෙරෙන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන තුන්සියයකට අධික ව්‍යාපාරයක්.

සාමාන්‍යයෙන් සීනි සහිත ඕනෑම ද්‍රව්‍යයක් ක්‍ෂුද්‍රජීව ක්‍රියාකාරීත්‍වය නිසා මධ්‍යසාර බවට පත් වීමේ හැකියාවක් තිබෙනවා. සීනි සහිත මාධ්‍යය අනුව බීරවල තත්ත්‍වය සහ ලක්‍ෂණ වෙනස් වෙනවා. වර්තමානයේ බීර නිෂ්පාදනයේ මූලික අමුද්‍රව්‍ය වන්නේ ජලය, සහ බාර්ලි ආදියයි. එයට අමතරව පැසීම සඳහා යීස්ට් වර්ග සහ රසය ලබා දීම සඳහා බීර මල් (Hops) භාවිත වෙනවා. සීනි ප්‍රභවය ලෙස ප්‍රධාන වශයෙන් භාවිත වන බාර්ලිවලට අමතරව, තිරිඟු, හාල්පිටි, මිලට්, වැනි ධාන්‍ය වර්ගත්, සීනි, හා අර්තාපල්, මඤ්ඤොක්කා වැනි පිටි අධික අල වර්ග ද භාවිත වෙනවා.

ජලය සෑම තැනකටම පොදු වුවත්, ජලයේ දිය වී ඇති ලවණ වර්ග අනුව එහි වෙනස්කම් දැකිය හැකියි. සමහර ජලය කිවුල් බවින් වැඩි අතර තවත් සමහර ජල මූලාශ්‍රවලටම ආවේණික ලවණ වර්ග සහ සාන්‍ද්‍රණ තිබෙනවා. බීරවල මූලිකම අංගය වන්නේ ජලයයි. එය බීර පරිමාවෙන් 93%ක්. මේ නිසාම ජලයේ තත්ත්‍වය අනුව බීරවල ද තත්ත්‍වය වෙනස් විය හැකියි. ගිනස් ස්ටවුට් සඳහා භාවිත වන ඩබ්ලින් ප්‍රදේශයේ කිවුල් ජලය නිසා ස්ටවුට්වලට ආවේණික රසයක් ලැබී තිබෙනවා. ලෝකයේ වෙන කොතැනක ස්ටවුට් නිෂ්පාදනය කළත්, ඩබ්ලින් හි ජලය භාවිත නොකරයි නම්, එයට ආවේණික රසය ලබාගත නො හැකියි. ඒ වගේමයි, පිල්ස්නර් සඳහා භාවිත වන්නේ චෙක් ජනරජයේ Plzen ප්‍රදේශයෙන් ලබා ගන්නා මෘදු ජලයයි. මේ නිසා බීර නිෂ්පාදනයේ දී මූලික ජල ප්‍රභවයෙන් ජලය ලබාගත නොහැකි නම්, එම ජලයේ සංයුතියට සමාන වන ලෙස සියලු ම ලවණ වර්ග එකතු කිරීමට නිෂ්පාදකයන් වගබලා ගන්නේ බීර පානය කරන පුද්ගලයින් එහි රසයේ සුළු වෙනසක් හෝ හොඳින් ග්‍රහණය කර ගන්නා නිසයි. ලංකාවේ අප බීර පානය කරන්නේ කුමන හේතුවකට වුවත්, බොහෝ රටවල බීර පානය කරන්නන් ඒවා භක්තිමත්ව භාවිත කරන්නේ යැයි කිව හොත් නිවැරැදියි.

බීර නිෂ්පාදනයේ දෙවන වැදගත්ම අංගය වන්නේ සීනි ප්‍රභවයයි. සීනි ප්‍රභවය අනුව ද බීර වර්ගයේ රස සහ සාන්‍ද්‍රණය ආදී ලක්‍ෂණ වෙනස් වෙනවා. පෙර සඳහන් කලාක් මෙන් බීරවල සීනි ප්‍රභවය ධාන්‍ය වුවත්, මේ ධාන්‍ය සැකසීමේ දී ඒවා ජලයේ ගිල්වා මුල් අද්දවාගැනීම සිදු කළ යුතුයි. එසේ මුල් අද්දවාගත් ධාන්‍ය කිසියම් ප්‍රමාණයකට වේලා ගැනීම සිදු කරන්නේ කෘත්‍රිම පෝරණු භාවිතයෙන්. එවිට ධාන්‍යවල වූ එන්සයිම ක්‍රියාකාරී වන්නට පටන් ගන්නවා. මේ නිසා උපරිම මධ්‍යසාර ප්‍රමාණය ලබා ගැනීම කළ හැකියි. එසේම එකම ධාන්‍ය වර්ගය වුවත්, මුල් අද්දවා ගැනීමට යොදා ගන්නා කාලය, වියළා ගැනීමේ කාලය මෙන්ම උෂ්ණත්‍වය අනුව ද බීර වර්ගයේ රස සහ වර්ණය වෙනස් වෙනවා. අඩුවෙන් වියළා ගත් ලා පැහැති ධාන්‍ය ලා පැහැති බීර ලබා දෙන අතර, වැඩි පුර කර වූ ධාන්‍ය ලබා දෙන්නේ තද පැහැති බීර වර්ගයි. ධාන්‍ය මුල් අද්දවා, වියළා බීර නිෂ්පාදනයට යොදා ගනිතත්, සමහර ධාන්‍ය මුල් ඇද්දවීමක් නො කර ම භාවිත කැරෙනවා. ඉරිඟු, වී, රයි සහ ඕට් මෙන්ම තිරිඟු සහ සෝගම්, මෙසේ මුල් ඇද්දවීමකින් තොරව භාවිත වන ධාන්‍ය වර්ගයි. ලෝකයේ සමහරක් මිනිසුන් ග්ලූටන් නම් ධාන්‍ය ප්‍රෝටීනවලට දක්වන සංවේදීතාවය නිසා දැන් දැන් බීර නිෂ්පාදනය ග්ලූටන් රහිත ධාන්‍යවලින් සිදු කරන්නේ සැමටම එකසේ බීර රස විඳීමට අවස්ථාව සලසා දෙමින්.

කිනම් ධාන්‍ය වර්ගය භාවිත කර කෙසේ බීර නිෂ්පාදනය සිදු කළත්, බීරවලට ආවේණික තිත්ත රසය ලබා දෙන්නට ලෝකය පුරාම භාවිත වන්නේ එකම අමුද්‍රව්‍යයක්. එය බීර මල් හෝ Hops යනුවෙන් හඳුන්වනවා. මෙය ගංජා පවුලට අයත් ශාකයක්. ලෝකයේ බොහෝ දෑ එක් අවශ්‍යතාවයකට වඩා භාවිත වුවත්, මේ බීරමල් ලෝකයේ ඇත්තේ බීරවලට තිත්ත රසය ලබාදීමේ ක්‍රියාවලිය සඳහා ම පණමයි. බීර රසවත් ( හෝ තිත්ත) කිරීම සඳහා බීරමල් යොදා ගැනීම ක්‍රිස්තු පූර්ව 822 දක්වා දිව ගියත්, නිසි ආකාරයට ක්‍රමවත්ව වගාව සිදු කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1300 සිටයි. බීර මල් මගින් බීරවලට තිත්ත රසය ලබා දෙනවා සේම මෝල්ට් නිසා ලැබෙන පැණිරසය ද සමනය කරනවා. මෙමගින් දෙහි, මල්, සහ ශාකමය සුවඳක් සහ රසක් බීරවෙත එක් කරනු ලබනවා. මේ Hopsවල තිත්ත ගතිය ගණනය කිරීමට අන්තර්ජාතික තිත්ත රස පරිමාණයක් භාවිත කරනු ලබනවා. මෙයට අමතරව බීර මල්වල ආම්ලික ගතිය නිසා බීර කල්තබා ගැනීමේ හැකියාවක් ඇති අතර මෙහි ක්‍ෂුද්‍රජීව නාශක ගුණ අඩංගුව පවතිනවා. මේ නිසා යීස්ට්වලට අමතරව වෙනත් ක්‍ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්‍වය අඩපණ කිරීම මගින් බීර මත වූ පෙණ ප්‍රමාණය වැඩි කිරීමට සහ පෙණ තට්ටුව කෙතරම් කාලයක් රඳා පවතින්නේ ද යන්න තීරණය කිරීමටත් දායක වෙනවා. මේ බීර මල් ඒ ආකාරයෙන්ම බීර පැසවෙන භාජන තුළට දැමීම සෑමවිටම සිදු වන්නේ නැහැ. මේ නිසා බීර මල්වල ඇති රසායන ද්‍රව්‍ය සියල්ල වෙනත් ද්‍රාවකයකට උකහාගෙන එය සාන්‍ද්‍ර ද්‍රාවණයක් ලෙසින් බීරවලට එකතු කරනවා. බොහෝ විට මේ ද්‍රාවකය වන්නේ හෙක්සේන්, මෙතිල් මධ්‍යසාරය හෝ මෙතිලීන් ක්ලෝරයිඩ් යන රසායනික ද්‍රාවකයි. මේ බීර මල් ද්‍රාවණය බීර පැසෙන සුවිසල් භාජනයට එකතු කිරීමේ දී මේ ද්‍රාවකයනුත් එකතු වනවා. මෙහි බීර මල් සාන්‍ද්‍රණය ද්‍රාවක පරිමාවෙන් සියයට 2.2කට වඩා වැඩි කරන්නේ නැහැ. එහෙත්, ඉතා සුළු ප්‍රමාණවලින් වුව ද ඉහත කී රසායන ද්‍රව්‍ය බීර සමග අපේ ශරීර තුළට ඇතුළු වෙනවා.

බීර පානය කරන්නන් බීරවල වූ තිත්ත රසයට මෙන්ම වීදුරුවට වත් කළ පසු බීර මත රැඳෙන පෙණ තට්ටුවට ද එකසේ ඇළුම් කරනවා. මේ පිළිබඳ මති මතාන්තර බොහොමයි. සමහරු පෙණ තට්ටුව නිසා වැඩිපුර රසයක්, සහ සුවඳක් ලැබේ යැයි විශ්වාස කරන අතර වැඩිපුර පෙණ තට්ටුවක් තිබීමත් බීර ප්‍රමාණයේ අඩුවක් යැයි සිතන අයත් සිටිනවා. මේ නිසා බීර මත වූ පෙණ තට්ටුවේ ප්‍රමාණය සහ එහි කල්පැවැත්ම කෙරෙහි බීර නිෂ්පාදකයන් ඉතා දැඩි අවධානයක් යොමු කර සිටිනවා. එය වැඩිකර ගැනීමට මෙන්ම දිගු කාළයක් රඳවා තබා ගැනීමටත් විවිධ උපක්‍රම භාවිත කරනවා. මේ නිසා ධාන්‍ය පැසවීමට පෙර අඹරන ප්‍රමාණය, ධාන්‍ය වර්ගය හෝ මිශ්‍රණය ආදිය ඉතා වැදගත් වනවා. උදාහරණයක් ලෙස බාර්ලිවලට වඩා වැඩි පෙණ ප්‍රමාණයක් සහ පෙණ තට්ටුවේ කල් පැවැත්ම තිරිඟුවලින් ලබාදෙනවා. මේ පෙණ තට්ටුව ලැබෙන්නේ බීර පැසවීමේ ක්‍රියාවලියේ දී පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව නිසයි. සීනි මත ක්‍ෂුද්‍රජීවීන් ක්‍රියාකිරීමේ දී අතුරුඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් පිටවනවා. මේ ප්‍රතික්‍රියාව බීර බෝතලයට දමා සීල් කළ පසු ද සිදු වනවා. බීර බෝතලයක් විවෘත කිරීමේ දී එය හැකිතාක් නොසොල්වා කළ යුත්තේ මේ නිසා. එවිට කාබන් ඩයොක්සයිඩ් පිටවන්නේ බීර හා එකතුව පෙණ වශයෙන්. වීදුරුවකට බීර වත්කිරීමේ දී වීදුරුව ඇලකර වත්කරන්නේ මෙසේ පෙණ ඇතිවීම අඩුකර ගැනීමටයි.  සමහර බීරවර්ගවල කාබන්ඩයොක්සයිඩ් නිෂ්පාදනය වන්නේ අඩුවෙන් නිසා බෝතලවලට ඇසිරීමේ දී පැණිබීම බෝතල් අසුරනවාක් මෙන් කෘත්‍රිමව කාබන් ඩයොක්සයිඩ් බෝතලවලට පොම්ප කරනවා. කෙසේ වුවත්, ස්වභාවිකව බෝතලය තුළ ම ඇතිවන ප්‍රතික්‍රියාවෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් වැඩි රසයක් ලබාදෙන බවයි බීර පානය කරනන්නන් පවසන්නේ. නමුත් එය විද්‍යාත්මකව තහවුරු වී නැහැ.

බීරවල ප්‍රතික්‍රියාව සිදු කරන්නේ යීස්ට් මගින්. යීස්ට් සීනි මත ප්‍රතික්‍රියා කර ඇල්කොහොල් සහ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරනවා. එයට අමතරව යීස්ට් මගින් පෙනුම සහ රසය ද එකතු කරනවා. බීර නිෂ්පාදනය සඳහා ක්‍ෂුද්‍රජීව ක්‍රියාකාරීත්‍වය අවබෝධ කරගැනීමට පෙර එය සිදු කර ඇත්තේ වාතයේ වූ බැක්ටීරියා භාවිත කිරීමෙන්. එසේ වීමේ දී බැක්ටීරියා මිශ්‍රණය අනුව රසය වෙනස්වන නිසා වර්තමානයේ දී එක් එක් බීර නිෂ්පාදනය සඳහා එක් පිරිසිදු බැක්ටීරියා වර්ගයක් භාවිත කරනවා. එය බොහෝවිට Saccharomyces cerevisiae නම් යීස්ට් වර්ගයයි. එය ක්‍රියාත්මක වන්නේ සෙන්ටිග්‍රේඩ් 15ත් 25ත් අතරයි. මේ උෂ්ණත්‍ව පරාසයේ දී මධ්‍යසාරවලට අමතරව යීස්ට්වලින් එස්ටර් සහ වෙනත් ද්විතීයික රසකාරක නිෂ්පාදනය ද සිදු කැරෙනවා. මේ නිසා මධ්‍යසාර රසයට සහ සුවඳට අමතරව එයට ඇපල්, පෙයාස්, අන්නාසි, කෙසෙල් වැනි පළතුරු රස සහ සුවඳ ද එකතු වෙනවා.

මීට අමතරව බීරවල පාරදෘශ්‍ය බව සහ වෙනත් ගති ලක්‍ෂණ නියමිත ආකාරයෙන් පවත්වා ගැනීමට විවිධ ද්‍රව්‍ය එකතු කිරීම ද සිදු කැරෙනවා.සාමාන්‍යයෙන් බීරවල සාන්‍ද්‍රණය 3% සිට 14% දක්වා වෙනස් විය හැකි වුවත්, බොහෝවිට එය 4% – 8% දක්වා පරාසයක තබා ගැනීමට බොහෝ නිෂ්පාදකයන් වගබලා ගන්නවා. බීර බෝතලවලට ඇසිරීමට පෙර සියලුම ක්‍ෂුද්‍රජීව ක්‍රියාකාරීත්‍ව නතර කිරීමට එය හොඳින් පෙරනු ලබනවා. එසේම එය අඩු උෂ්ණත්‍ව තත්ත්‍ව යටතේ ගබඩා කර තැබිය යුතුයි.

මේ තාක් ලොව නිපද වූ ඉහළ ම සාන්‍ද්‍රණය සහිත බීර වර්ගය වන්නේ Snake Venom නම් 67.5% ක සාන්‍ද්‍රණයක් සහිත බීර වර්ගයයි. ලෝකයේ වඩාත්ම මිල අධිකම බීර වර්ගය වනුයේ ඇමරිකානු ඩොලර් 1000ක වටිනාකමක් ඇති Vielle Bon Secours නම් බීර වර්ගයයි. දැනට ලෝකය පුරා බීර වර්ග 400ක් පමණ දක්නට ලැබෙනවා.

යීස්ට් සීනි ද්‍රාවණය මත ක්‍රියා කරන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් ලෝකයේ බීර වර්ග දෙකක් තිබෙනවා. ඉහළ උෂ්ණත්‍වයක දී බීර ද්‍රාවණය මත සිදු වන යීස්ට් ක්‍රියාකාරීත්‍වය නිසා නිපදවෙන බීරවලට ඒල් (Ale) යන නම භාවිත කරන අතර Pale Ale, Porter, Stout, Blonde, Belgian Ale, ආදිය ඒවාට උදාහරණයි. පහළ උෂ්ණත්‍වවල දී බීර ද්‍රාවණය පතුලේ සිදුවන යීස්ට් ක්‍රියාකාරීත්‍වය නිසා නිපදවෙන බීර ලාගර් (Lager) ගණයට අයත් වනවා. Pilsner, Bock, Marzen, Helles, Doppelbock, ආදිය ඒවාට උදාහරණයි.

බීර පානය කිරීමත් කලාවක්. බීර පානයට ලොල් වූ අය බොහෝ විට වෙනත් මධ්‍යසාර පානය කිරීමට ගිජුකමක් දක්වන්නේ නැහැ. බීර පානය කළ යුත්තේ ශීත කිරීමට පසුවයි. බීරවල රසය ඉස්මතු වන්නේ ශීතකිරීමට පසුවයි. බීර වර්ගය අනුව ඒවා සෙන්ටිග්‍රේඩ් 7 සිට 15 දක්වා විවිධ උෂ්ණත්‍වයන්හි ශීත කරනු ලබනවා. පාටින් අඩු සහ මෘදුබවින් වැඩි බීර වර්ග අඩු උෂ්ණත්‍වයක ද, පාටින් වැඩි බීර වර්ග ඉහළ උෂ්ණත්‍වයක ද ශීත කරනවා.

බීර පානය සත්තකින්ම සීනි අඩංගු පැණිබීම පානයට වඩා ගුණදායක වුවත්, බීරවල මූලිකම අන්තර්ගතය වන්නේ එතිල් මධ්‍යසාරයයි. සියයට 8ක උපරිමයකට යටත් වූ විට එහි සියයට 92ක් ම ඇත්තේ ජලයයි. එසේ වුවත් මධ්‍යසාර භාවිතයෙන් ලැබෙන අතුරු ප්‍රතිපල සියල්ලම බීර පානයටත් වලංගුයි. එහෙත්, බීරවල ඇති අඩු මධ්‍යසාර ප්‍රතිශතය නිසා අනෙක් මධ්‍යසාරවලින් ඇතිවන ආචරණවලට වඩා අඩු බලපෑමක් බීර මගින් ලැබෙනවා. ඒ නිසාම කසිප්පු පානය කරනවාට වඩා බීර පානය සෞඛ්‍යාරක්‍ෂිතයි. මේ නිසාම දිනකට බීර වීදුරුවක් වැනි සුළු ප්‍රමාණයක් පානය කිරීම නිසා හෘදයාබාධ, ආඝාත සහ දියවැඩියාව වැළඳීමේ හැකියාව අඩුකරන බව වෛද්‍ය මතයයි. අනෙක් මධ්‍යසාර පානය කිරීමේ දී පෝෂණය ලැබෙන්නේ බයිට් කෑම නිසා වුවත්, බීර පානයේ දී බීරවල ඇති පෝෂ්‍ය පදාර්ථ නිසාම යම් පෝෂණයක් ද ලැබෙනවා. සාමාන්‍යයෙන් මැග්නීසියම්, පොටෑසියම්, සෙලීනියම්, පොස්ෆරස්, ක්‍රෝමියම් සහ විටමින් බී කාණ්ඩයේ විටමින් වර්ග බීරවල අන්තර්ගතයි. මේ නිසාම බීරවලට ද්‍රව පාන් (Liquid Bread) යැයි ද සඳහන් කරනවා. බීර පානය කරන්නන්ගේ උදරය ඉදිරියට නෙරා එන බවට පොදු මතයක් වුවත්, එහි සත්‍යතාවය වන්නේ බීර පානයත් සමග සිදුවන අධික ආහාර ගැනීම සහ ක්‍රියාකාරීත්‍වය නොමැතිකම නිසා උදරය නෙරා ඒමයි. එහෙත් නොනවත්වාම බීර පානය කරන්නවුන් ගේ උදරය ඉදිරියට නෙරා ඒමේ සම්භාවිතාවයක් ඇති බව 2004 දී කරන ලද පරීක්‍ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙයට අමතරව බීර මල්වල ප්‍රතිඔක්සිකාරක බහුලයි. මේ නිසාම බීර පානය නිසා ශරීරයට වයින්වලින් ලැබෙන ප්‍රතිඔක්සිකාරක ගුණයට හා සමාන ගුණයක් ලැබෙන බව වෛද්‍ය මතයයි. බීර සාමාන්‍ය ප්‍රමාණවලින් පානය කිරීමෙන් අස්ථිවල ඝණත්‍වය ඉහළ යා හැකියි. මේ නිසා වයසට යත්ම සිදුවන අස්ථි භග්න අඩුවනවා සේම, බීරවල අඩංගු සිලිකන් සංයෝග නිසා ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගවලට භාජනය වීමේ හැකියාව අඩු වනවා. බීරවල අඩංගු විටමින් බී සංයෝග නිසා රක්තහීනතාවය, සහ හෘද රෝග වැළඳීමේ හැකියාව අඩු වනවා. බොහෝ දෙනා දන්නා දෙයක් වන්නේ බීර පානය නිසා වකුගඩුවල හෝ මුත්‍රාශයේ ගල් සෑදීම 40% කින් අඩු වන බවයි. බීරවල අඩංගු ජලය ප්‍රමාණය අධික නිසා බීර පානයේ දී අධික ලෙස මුත්‍රා කිරීමට සිදුවනවා. මේ නිසා ශරීරයේ වූ විෂ ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය මුත්‍රා මගින් බැහැර වන නිසා ශරීරය පිරිසිදු කිරීමක් ද සිදු වෙනවා. එසේම බීරවල ඇසට නොපෙනෙන අන්දමේ ක්‍ෂුද්‍ර තන්තු දිය වී පවතිනවා. මේ නිසා එය ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්‍වයටත් ඉතා හොඳයි. මේ සියල්ල වෛද්‍ය විද්‍යාත්මකව ද සනාථ වූ කරුණුයි.

මේ කරුණු එසේ වී මුත්, බීර වුවත් අධිකව පානය කිරීම සෞඛ්‍යයට හානිදායකයි. බීර පානය නිසා ලෝකයේ මරණ සිදු වී යැයි සඳහනක් නොමැති වුවත්, 1814 වසරේ දී ලන්ඩනයේ දී බීර ටැංකියක් පිපිරී යෑම නිසා බීර ගැලුම් 400,000 ලන්ඩනය පුරා ගලා යෑමෙන් නිවාස දෙකකට හානි සිදු වී මරණ 9ක් වාර්තා වී තිබෙනවා. ලෝකයේ වැඩියෙන්ම බීර පානය කරන රට වන්නේ චෙක් සමූහාන්ඩුවයි. එහි මිනිසෙකු වසරකට බීර ගැලුම් 40ක් පානය කරන අතර අන් රටවලට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ විශාලතම බීර උත්සවය වන්නේ ජර්මනියේ මියුනිච් නුවර දින 16ක් පුරා මිලියන 6ක සහභාගීත්‍වයකින් පැවැත්වෙන ඔක්ටෝබර්ෆෙස්ට් සැණකෙලියයි.

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

%d bloggers like this: