SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Environment

අපට වගක් නැති – ලොවට අගේ ඇති – මැජික් ජලය!

 

ජලය බොහෝ සංවේදී මාතෘකාවක්. ජීවය ඇති වූ දා පටන් ම ජලය-ජීවය එකට බැඳී පැවතුණා. ලෝකයේ ශිෂ්ටාචාර සියල්ල ම පාහේ බිහි වූයේ ජලය ඇසුරේයි. ඉන්දු නිම්න, නයිල්, යුප්‍රටීස්-ටයිග්‍රීස්, සහ හොවැංහෝ යන ශිෂ්ටාචාර සියල්ලම ඒ ඒ නදී ආශ්‍රිතව බිහි වීමෙන් ම මිනිසාගේ කටයුතුවලට ජලය කෙතරම් සමීප, නැතිවම බැරි දෙයක් දැයි පැහැදිලි වෙනවා. ලොව බොහෝ යුද්ධ ඇති වූයේ ද ජලය මුල්කර ගනිමිනුයි. ඊලාම් යුද්ධයේ මූලබීජය වූයේ ද මාවිල් ආරු සොරොව්ව වසා දැමීම බව අප අමතක කළ යුතු නැහැ. මේ සියලෙන්ම අදහස් වන්නේ ජලය ජීවයට කෙතරම් වැදගත් ද, සමීප ද යන්නයි.

රසායනිකව ගත් කළ, ජලය මහා අරුම පුදුම ද්‍රවයක්! එය සාමාන්‍ය පීඩනය සහ උෂ්ණත්‍වය යටතේ ද්‍රවයක් ලෙසින් පවතිනවා. එසේ වන්නේ ජල අණු අතර වූ හයිඩ්‍රජන් බන්ධන හේතුවෙන්. ජලයට ඇති සංසක්ත-ආසක්ත ගුණ නිසා ජල අණු එකිනෙක බැඳී පවතිනවා මෙන්ම ආසන්නම පෘෂ්ඨයටත් බැඳී පවතිනවා. මේ නිසාම ජලය බොහෝ දෑ අල්ලා ගන්නවා. ඒ නිසා ජලය පිරිසිදු කාරකයක් වශයෙන් භාවිත කළ හැකිවාක් පමණක් නොවෙයි, මේ ගුණය නිසාම ජලය ඉක්මනින්ම අපවිත්‍රවීමත් සිදු වෙනවා. ජලයේ ඇති සුවිශේෂී ද්‍රාවක ලක්‍ෂණ නිසා බොහෝ දෑ ජලයේ දියවෙනවා. එසේම, එය ස්වභාවික අවස්ථාවේ ඝන, ද්‍රව, වායු යන පදාර්ථයේ අවස්ථා තුනෙහිම දකින්නට ලැබෙන ද්‍රව්‍යයක්. අයිස්/හිම, ජලය, සහ ජල වාෂ්ප ලෙසින් මේ තුන් ආකාරයෙන්ම පරිසරයේ පවතිනවා. පිරිසිදු ජලය රසක්, ගඳ සුවඳක් නොමැති අවර්ණ ද්‍රවයක්. ජලයේ අවර්ණ බව රැඳී පවතින්නේ පිරිසිදු ජල අණු දෘෂ්‍ය ආලෝකය අවශෝෂණය කරගැනීම අඩු නිසා.

ලෝකයෙන් සියයට හැත්තෑපහක්ම වැසී ඇත්තේ ජලයෙන්. එහෙත් එයින් සියයට 96.5ක් ම මුහුදු හෝ ලවණ මිශ්‍ර ජලය නිසා, භාවිතයට ගත හැකි වන්නේ සියයට 2.5ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක්. එයින් ද සියයට 1.7ක් ම ධ්‍රැවීය පෙදෙස්, ග්ලැසියර සහ අයිස් කඳු අත්පත් කරගෙන තිබෙනවා. ඒ අනුව අපට පානීය ජලය ලෙස ඇත්තේ සියයට දශම තුනක ප්‍රමාණයක් පමණයි. ලෝකය පුරාම පැතිර තිබිය යුතු මේ ජල ප්‍රමාණයෙන් බාගයක් ම බෙදී ගොස් ඇත්තේ රටවල් 6කටයි.  ශ්‍රී ලංකාව එයින් එකක්. එපමණක් නොවෙයි අනාගතයේ දී ලෝකයට ජල හිඟයක් ඇති වුව හොත් පිරිසිදු පානීය ජලය ඉතිරිව තිබෙන එකම රට හැටියට ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. ඔබ නො දන්නවා වුණාට, ලංකාවේ තත්ත්‍වය මෙයයි. එහෙත් අප අපේ ජල මූලාශු කෙතරම් කෙලසනවා ද?

ලෝකයේ ජලය බෙදී රැඳී ඇත්තේ ජල චක්‍රය නිසයි. ජල චක්‍රය ප්‍රධාන වශයෙන් වාෂ්පීකරණය, වර්ෂාපතනය, සහ ගලා යෑම යන කොටස් තුනකින් යුක්තයි. ලෝකය පුරා සමුද්‍ර, විල්, වැව්, පොකුණු, වැනි ජල මූලාශ්‍රවලින් වසරකට ටෙරා ටොන් 47ක ප්‍රමාණයක් ජලය වාෂ්ප වෙද්දී, ටෙරා ටොන් 72ක් ගොඩබිමින් දායක වෙනවා. මෙසේ එකතුවන ජලය විවිධාකාරයෙන්, එනම්, වැස්ස, හිම පතනය ආකාරයෙන් ටෙරා ටොන් 119ක් වසර පුරාම ලෝකය පුරා පතිත වෙනවා. එනම් සියයට සියයක්ම වාෂ්පීකරණය සහ වර්ෂාපතනය ලෙස චක්‍රීකරණය වෙනවා.

කාර්මීකරණයට පෙර ඕනෑම ජල මූලාශ්‍රයකින් ජලය පානයට ගත හැකි වුවත්, දැන් දැන් මිනිස් ක්‍රියාකාරකම් සහ කාර්මික අපද්‍රව්‍ය මුසු වීම නිසා ජලය ඒ ආකාරයෙන්ම පානයට හෝ වෙනයම් ක්‍රියාවලියක් සඳහා භාවිතයට ගැනීම අපහසුයි. මේ නිසා ජලය පිරිපහදුව අත්‍යවශ්‍ය වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පානීය ජලය පිළිබඳ පිරිවිතර සකස් කර ලෝකයටම හඳුන්වා දුන්නත්, ඒ ඒ රටවල ප්‍රමිති කාර්යංශවල නිර්දේශ අනුව මේ පිරිවිතර වෙනස් වෙනවා. ඒ අනුව අප රටේ ද භාවිත කරන ජලය සඳහා විවිධාකාර නිර්ණායක තිබෙනවා. මේ සියල්ල පාලනය වන්නේ ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය මගින්. සාමාන්‍ය ජල පිරිපහදුවක දී පරාමිති සියයකට වඩා වැඩි ප්‍රමාණයකින් ජලය පරීක්‍ෂාවට ලක් කෙරෙනවා. විශේෂයෙන්ම ජලයේ pH අගය, වර්ණය, ක්‍ෂුද්‍රජීව ඝණත්‍වය, රසය, ගන්ධය, ද්‍රාව්‍ය ක්ලෝරීන් ප්‍රමාණය, ද්‍රාව්‍ය ඝනද්‍රව්‍ය ප්‍රමාණය, විෂ ද්‍රව්‍ය අන්තර්ගතය සහ අටෝරාසියක් ලෝහමය අපද්‍රව්‍ය සඳහා මෙම පරීක්‍ෂණ සිදු කෙරෙනවා.  මෙසේ පිරිපහදුවන ජලය විවිධාකාර ස්ථානවල දී නැවත නැවතත් නිරන්තරවම පරීක්‍ෂණවලට භාජනය කරමින් ඔබ වෙත ලබාදීමට ඔවුන් කටයුතු කරනවා.

මේ කර්තව්‍යය එසේ වුවත්, අප බොහෝ දෙනා මේ ජලය, බීමට අමතරව වෙනත් කටයුතුවලට ද භාවිත කරනවා. බීමට ගන්නා ජලයෙන් වාහන සේදීම හෝ මල්පාත්ති නඩත්තුව අවශ්‍ය නො වුණත්,  අප බොහෝ දෙනා පුරුදුව සිටින්නේ පහසුවෙන් ලැබෙන නිසා ඒ ජලය භාවිත කිරීමටයි. ජලය ඝන මීටරයක් පිරිපහදුව සඳහා ආසන්නව රුපියල් 50ක් පමණ වැය වුවත්, අපට ජලය ලැබෙන්නේ ඝන මීටරයක් රුපියල් 12ක් වැනි සුළු මුදලකටයි. ඝන මීටරයක් යනු ලීටර 1000ක්. මේ ප්‍රමාණය වෙළඳ සලකින් මිල දී ගන්නවා නම් ලීටරයකට රුපියල් 50ක් මිල කළ හොත්, එක් ජල ඒකකයක් සඳහා ඔබට වැයවන මුදල රුපියල් 50,000ක්. එහෙත් අපට එය රුපියල් 12ක් වැනි සුළු මුදලකට ලැබෙන නිසා ඒ ගැන අපට වගේ වගක් නැහැ.

අපේ මූලික පානීය ජල ප්‍රභවය වන්නේ කැළණි ගංගාවයි. කිලෝමීටර 145ක් දිග කැළණි ගඟට වර්ග කිලෝමීටර 2300කට ආසන්න ජලාධාරක ප්‍රදේශයක් අයත් වන අතර එය ලංකාවේ වැඩියෙන්ම කාර්මීකරණයට ලක් වූ ගංගාධාරය ද වෙනවා. කැළණි ගංගාධාරය අවට ඇති කර්මාන්තශාලා 10,000ක් සෘජුවම හෝ පිරිපහදුවට ලක් කළ ජලය මුදා හරින්නේ කැළණි ගඟටයි.  බොහෝ දෙනා පහසුවට අවම පරාමිතීන්ට යටත්ව ජල පිරිපහදුව සිදු කර, හෝ වංචනිකව එසේවත් පිරිපහදුව නො කළ ජලය මුදා හරින්නේ සිය පෞද්ගලික හෝ ආයතනමය ආර්ථික වාසි තකාගෙනයි. එහෙත් එසේ කිරීමෙන් දීර්ඝකාලීනව පරිසරයට මෙන්ම අනාගත පරපුරට ද ඔබ කරන හානිය ඔබ ආර්ථිකව ගණන් බලන්නේ නැහැ. මෙය ඇත්තෙන්ම කණගාටුවට කරුණක්.

ජලය අපවිත්‍ර වන ක්‍රම ගණනාවක් තිබෙනවා. ගංගා ඇල දොල වැනි විවෘත ජලමාර්ගවල ස්නානය, ඒවාට කසළ බැහැර කිරීම, සමහර අවස්ථාවන්හි දී වැසිකිලි අපවහන නළ පවා ගංගාවලට හරවා තිබෙනවා. කර්මාන්තශාලාවලින් පිටකරන ජලය නිසි ලෙස පිරිපහදුවට ලක් නො කර මුදා හැරීම, සතුන්, වාහන ආදිය සේදීමට භාවිත කරන ජලය නිසි පිරිපහදුවකින් තොරව ගංගාවලට මුදා හැරීම ආදී මිනිසාට සියයට සියයක් පාලනය කළ හැකි නමුත් අප විසින් හිතාමතාම නො සළකාහරින ක්‍රියාකාරකම් නිසා ජලය අපවිත්‍ර වෙනවා.

විවිධාකාර ප්‍රදේශවල ජලය විවිධාකාර සංයුතිවලින් පවතිනවා. මේ නිසාම විවිධ පලාත්වල ජලය විවිධ රස ගන්නවා. එසේම ගතිගුණත් වෙනස්. උතුරුමැද පලාතේ ජලයෙහි වැඩිපුර කැල්සියම් සහ ෆ්ලුවොරයිඩ් ආදී අයණ අඩංගු නිසා ඒ පලාත්වල ජනතාවගේ දත් සහ අස්ථිවල ව්‍යාකූලතා හටගෙන තිබෙනවා. තවත් පලාත්වල ජලයෙහි කැල්සියම් සාන්‍ද්‍රණය අධික නිසා ජලය කිවුල්, එසේත් නැතිනම්, කඨිණ ජලය ලෙස හඳුන්වනවා. මේ වගේම සමහර පෙදෙස්වල ජලයේ සුවිශේෂී ගුණ ද අඩංගු වන්නේ මේ විවිධ ලවණ දියවීම නිසා. මේ නිසා ඒවා පානය හෝ ස්නානය නිසා ලෙඩරෝග සුව වනවා කියා මතයන් ද තිබෙනවා. ඒ වගේම සමහර ප්‍රදේශවල ජලයේ මිනිස් සිරුරට හානිකර ලෝහ වර්ග, ලවණ වර්ග අන්තර්ගතයි. රජරට වකුගඩු රෝගයට මූලික වූ ආසනික් කැඩ්මියම් වැනි ලෝහ සහ ග්ලයිෆොසේට් වැනි රසායන ද්‍රව්‍ය නිසා ඒ පලාත්වල ජනතාවට පානීය ජල ප්‍රශ්නයක් පැණ නැගී තිබෙනවා. මෙය ස්වභාවිකව ඇතිවූවක් නොවෙයි. මිනිසා විසින් අප්‍රමාණ ලෙස භාවිත කළ පොහොර සහ කෘෂිරසායන ද්‍රව්‍ය නිසා ඇතිවූවක්.

අප බොහෝදෙනා සිතා සිටින්නේ ජලය අවශ්‍ය වන්නේ ස්නානය, පානය, සහ සේදීම වැනි අපට සෘජුව සම්බන්ධවන කටයුතු සඳහා පමණක් යන්න නමුත්, අප නො සිතන බොහෝ දෑ වෙනුවෙන් මේ ජලය අධිකව පාවිච්චි වෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් කපු ටී-ෂර්ටයක් නිපදවීමට ජලය ලීටර 2700ක් වැයවන බවට ගණන් බලා තිබෙනවා. කපු යනු පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස හැඳින්වුවත්, එය නිෂ්පාදනය පිටුපස පරිසරයට ඉතාම අහිතකර විනාශකාරී ක්‍රියාවලියක් ඇති බව බොහෝ දෙනා නො දන්නා කරුණක්. තවත් උදාහරණයක් වන්නේ බිත්තරයක් නිෂ්පාදනයට ජලය ලීටර 450ක් අවශ්‍ය වනවා. කිකිළියගේ ආහාර, ජලය සිට බිත්තරය ඔබේ නිවස වෙත ගෙන එන තෙක් වූ ක්‍රියාවලි සියල්ල මීට ඇතුළත්. සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලකට අවශ්‍ය දිනක ආහාර සැපයුම සඳහා ජලය ලීටර 27000ක් වැයවෙන බව ඇසුවොත් ඔබ අනිවාර්යයෙන්ම පුදුමයට පත්වනවා නො අනුමානයි. මේ අනුව ලෝකයේ බොහෝ දේවලට අප නො දැනුවත්වම ජලය විශාල වශයෙන් භාවිත වෙනවා.  බොහෝ දෙනා කාබන් පියසටහන ගැන කතා කරතත්, ජල පියසටහන ගැන කතා නො කරන්නේ එය තමාට බෙහෙවින් අවාසිදායක සහ පාලනය කළ නොහැකි තත්ත්‍වයක තිබෙන නිසා. එහෙත් නුදුරු අනාගතයේ දී ම අපට ජල පියසටහන ගැන කතා කරන්නටත් සිදු වේවි.

ජල සංරක්‍ෂණය විවිධාකාරයි. ජල මූලාශ්‍රයක පෝෂක ප්‍රදේශයක් සංරක්‍ෂණය කිරීම මගින් දීර්ඝකාලීනව ජල සැපයුම සුරක්‍ෂිත කරගත හැකියි. ඒ නිසා පොළවෙහි ජල මූලාශ්‍ර සුරැකී, පිරිසිදු අඛණ්ඩ ජල සැපයුමක් ලබා ගත හැකියි. මේ සඳහා උස් භූමි සහ ඒ ජල මූලාශ්‍රවල ජෛව පද්ධතිය ආරක්‍ෂා කළ යුතුයි. උස් භූමිවල පිහිටි වන ගහණය ආරක්‍ෂා කිරීම සහ එය නිසි ලෙස පෝෂණය වන ගස් සිටුවීම මගින් එය සිදු කළ හැකියි. දෙවැන්න වන්නේ ලැබෙන ජලය අපිරිසිදු වීම වැලැක්වීමයි. එය ද වනාන්තර මගින් සිදු වනවා. ක්‍රමාණුකූල ජල වහනය සිදු වීමේදී පස්, රොන්මඩ, හෝ අපද්‍රව්‍ය ජලයට එකතු වන්නේ නැහැ. මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලයට මේ දෑ එකතු වීමෙන් ජලය අපවිත්‍ර වෙනවා. ජලයට තනිව පිරිසිදුවීමේ යන්ත්‍රණයක් නැහැ. එසේම ගලා යන ජලයට බැහැර කෙරන අපද්‍රව්‍ය සියල්ල ජලයේ රැඳී පවතිනවා. ඔබ එතරම් නො සිතා හෝ සිතාමතා ම  සිදු කරන සමහර දේ නිසා ඇතැම් විට අපිරිසිදු වන්නේ ඔබ ම භාවිතයට ගන්නා පානීය ජලයයි.

මෙසේ ලැබෙනෙ ජලය දැඩි පරිශ්‍රමයක් දරා ජල පිරිපහදුවේ දී පිරිසිදු කර ඔබ වෙතට ලැබෙනවා. එය ලැබුන පසු ඔබ නිසි ලෙස පරිහරණය නො කර අපතේ යවනවා නම් එය ඇත්තෙන්ම අපරාධයක්. පානීය තත්ත්‍වයෙන් ලැබෙන ජලයෙන් පානය සහ ආහාර පිළියෙල කිරීම සඳහා අප යොදා ගන්නේ සියයට එකක කොටසක් පමණයි, ඉතිරි සියයට අනූ නවයම වැය වන්නේ එතරම් පිරිසිදු ජලය අවශ්‍ය නො වන වැසිකිළි, ස්නානය, සහ සේදීම් කටයුතු වෙනුවෙන්. මේ සමහර දෑ ඔබට අහසින් වැටෙන වැසි ජලයෙන් කර ගත හැකි කටයුතුයි. ලෝකයේ බොහෝ පෙදෙස් මෙන්ම, ලංකාවේ ද වියළි කලාපයේ ජනතාව වැසි ජලය එකතු කරගෙන අත්‍යවශ්‍ය නො වන කටයුතු සඳහා භාවිත කරනවා. මෙය ඇත්තෙන්ම ජල සංරක්‍ෂණය වෙනුවෙන් සැමට ම කළ හැකි දෙයක්. එසේම අපගේ නො සැළකිලිමත්කම නිසාම සමහරවිට නිවසේ හෝ සේවා ස්ථානයේ ජල කරාම නිසි ලෙස නඩත්තුවක් හෝ වැසීමක් සිදු කරන්නේ නැහැ. එසේ නො වසන ජලකරාමයකින් ජල බිඳු වෑහීම නිසා, දිනකට ජලය ලීටර 75ක් හෝ ඊට අධික ප්‍රමාණයක් – මසකට ලීටර 2250ක් අපතේ යන්නට පුළුවනි.  මේ ජලය ප්‍රමාණය ඔබ සුපිරි වෙළඳසැලකින් මිල දී ගන්නේ නම්, රුපියල් 112,500ක් වැය වන ජල ප්‍රමාණයක්. මඳකට සිතා බලන්න, ඔබේ නො සැළකිලිමත්කම ලෝකයට සිදු කරන හානිය කෙතරම් ද කියා.

අපට මෙසේ ජලය ඇති තරම් තිබුණත්, ලෝකයේ බිලියන 7කට අධික ජනතාවකගෙන් බිලියන දෙකක්ම ජල හිඟයට මුහුණ පා සිටිනවා. ඔවුන්ට සාමාන්‍යයෙන් ජලය ලබා ගැනීම සඳහා දිනකට පැය තුනකට අධික කාලයක් ඇවිදින්නට සිදු වෙනවා. ඔබට ඉතාමත්ම අඩු මුදලකට හෝ නොමිලේ ලැබෙන මේ ජලය, ඉවක් බවක් නැතිව අපතේ යවන්නේ, ඔබ සමහරවිට මේ කරුණු නොදන්නා නිසා විය හැකියි. එසේ වුවත්, ඊශ්‍රායලය, සිංගප්පූරුව වැනි ජල මූලාශ්‍ර නො මැති රටවල්, මහා පරාක්‍රමබාහු රජතුමාගේ කියමන වන, “ අහසින් වැටෙන එක දිය බිඳක් වත් උපරිම ප්‍රයෝජන නො ගෙන මුහුදට නො යැවිය යුතුය” යන්න මනාව සනාථ කරමින්, ජල ප්‍රතිචක්‍රීකරණයේ හිණිපෙත්තටම නැගි රටවල් වෙනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ තාක්‍ෂණිකව සැකසුන වගාබිම්, නිශ්පාදනය කරන්නේ ලෝකයේ උසස්ම සහ ගුණාත්මක බවින් වැඩිම එළවලු සහ පළතුරුයි. ඔවුන් සිය මළ අපද්‍රව්‍යවලින් පවා ජලය නිස්සාරණය කර ගන්නවා.

ලෝකයේ ජලයෙන් 96.5ක් ම භාවිතයට ගත නො හැකි නමුත්, දැන් දැන් බොහෝ රටවල් ලවණහරණය (Desalination) මගින් මුහුදු ජලය පිරිපහදු කර භාවිත කරනවා. මෙය ඉතා මිල අධික ක්‍රියාවලියක් වුවත්, ජලය අත්‍යවශ්‍ය සාධකයක් වන නිසාම ඔවුන් එසේ සිදු කරනවා. අනාගත ලෝකයේ ජලය වෙනුවෙන් ඉතා දැඩි ඉල්ලුමක් පවතින අතර ෆිජී වැනි රාජ්‍ය ජලය අපනයනය කිරීමෙන් ඉතා අධික විදේශ විනිමය ප්‍රමාණයක් උපයනවා. මේ නිසාම එහි ජනතාවට පානීය ජල හිඟයක් ඇති බව ද කියැවෙනවා.

ජලය වටිනා සම්පතක් බව අප කුඩා කාලයේ සිට ම ඉගෙන ගත්ත ද, එහි නිසි වටිනාකම අපට තවමත් දැනී නැහැ. එය දැනෙනවිට, අපේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් විනාශ කළ සහ තවමත් කරමින් පවතින වනාන්තරවල වටිනාකම අපට දැනෙන්නට පටන් ගනීවි. එහෙත් ඒ වන විට අපි බොහෝ ප්‍රමාද වී සිටීවි. ලෝකය වෙනුවෙන්, ඉදිරි පරම්පරාවන් වෙනුවෙන්, මේ පරිසරය නිසි ලෙස භාවිත කරමු, ස්වභාවික සම්පත්, අනාගතයට ඉතිරි කරමු.

 

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

%d bloggers like this: