SciTech Publishing Corporation (Pvt) Ltd.
Environment

විකල්ප බලශක්තිය විකල්පයක් ද?

නොපෙනෙන නොතේරෙන දේවලට බිය වී ඒවා දේවත්වයෙන් සැලකූ ඉතිහාසයකි මිනිසාට ඇත්තේ. සූර්යයා, ගින්දර, ජලය, සුළඟ, අකුණු ආදිය සියල්ලටම දෙවියන් අරක්ගෙන සිටින්නේ ඒවායේ වූ තේරුම්ගත නොහැකි වූ අද්භූත බව නිසා ය. එනමුත්, වර්තමාන ලෝකයේ මිනිසා මේ සියල්ල ජයගෙන ඇතිවාක් පමණක් නොව ඒවා සිය භාවිතාවට ද යොදා ගන්නවා.

මිනිසාගේ මුල්ම බලශක්ති ප්‍රභවය වූයේ හිරු එළියයි. ඔහු උදාසන නැගිටින්නේ ආලෝකය නිසා, දවස අවසන නිවහනට වැදෙන්නේ ආලෝකය නිම වීම නිසා. සිය ආහාර වියළා ගත්තේ සූර්ය බලයෙන්. මෙසේ කටයුතු කළ මිනිසා අහම්බෙන් ගින්දර සොයා ගැනීමත් සමගම සූර්ය බලයට වඩා ගින්දර භාවිත කිරීමට පෙළඹුණා. ගින්දර භාවිත කර යකඩ උණුකිරීම ක්‍රිස්තුපූර්ව 5000 දක්වා අතීතයට දිවයන්නක්. ජලයේ ගලායෑම උපයෝගී කරගෙන යන්ත්‍ර සූත්‍ර සකසා ගත් මිනිසා රට රටවල් දේශාඨනය කිරීමට සුළං බලයෙන් පැදවුනු රුවල් නැව් භාවිත කළා. ග්‍රීකයන් මේ ශාස්ත්‍රය කදිමව ප්‍රගුණ කළ ජන කොට්ඨාසයක්. සියලුම බලශක්ති තමන්ට අවශ්‍ය වේලාවට ලබා ගැනීමට නො හැකි වූ නිසා, සිය අවශ්‍යතා සපුරා ගැනීමට බලශක්තිය තමන්ට අවශ්‍ය මොහොතේ දී ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළා. ඒ අනුව ජලාශ හරස්කර වේලි බැඳ ජලයේ ගමනාගමනය පාලනය කරමින් සිය වැඩකටයුතු ඉටු කර ගත්තා. ගොඩබිම ප්‍රවාහනයට අශ්ව කරත්ත, අශ්වයින් වැනි වඩාත් වැඩි වේගයකින් ගමන් කරන දේ යොදා ගත් මිනිසා මේ සියල්ල 18 වැනි ශතවර්ෂය තෙක් ඒ ආකාරයෙන්ම, සෙමෙන් වැඩිදියුණු කර ගනිමින් පැමිණියා.

බලශක්තිය පිළිබඳ කතාන්තරය එසේ වුවත්, පුරාතනයේ පවා විවිධ බලශක්ති පිළිබඳ සොයාගැනීම් සිදුව තිබෙනවා. 17 වන ශතවර්ශයේ දී විදුලිය සම්බන්ධ මූලිකව පර්යේෂණ සිදු වීමෙන් අනතුරුව සරුංගලයක හා බයිසිකල් රෝදයක ආධාරයෙන් විදුලි කෙටීමේ දී සිදුවන විදුලි බලය ජනනය වීම සොයාගැනීම කෙරෙහි බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සුවිශේෂී දායකත්‍වයක් දැක්වූවත්, එය අත්‍යන්තයෙන්ම විදුලි බලය සොයාගැනීම ලෙස සැලකෙන්නේ නැහැ. ඔහුගේ දැනුම භාවිත කර පසුව සොයාගැනීම් කළත්, විදුලි බලයේ පුරාවෘතය ග්‍රීක ඉතිහාසය දක්වා විහිදෙන්නක්. යම් ප්‍රතිවිරුද්ධ ස්ථර දෙකක් ඇතිල්ලීමේ දී ජනනය වන ස්ථිති විද්‍යුතය පිළිබඳ මුල්ම වාර්තා ක්‍රිස්තු පූර්ව 600 දී ග්‍රීසියෙන් වාර්තා වෙනවා. වර්තමාන බෑග්ඩෑඩ් හි කැණීම්වලින් සොයාගත් බැටරියක් විශ්ලේෂණය කළ පසු, එය මැටි භාජනයක බහා ලූ තඹ සහ වෙනත් ඉලෙක්ට්‍රෝඩවලින් සමන්විත එකක් බවට සොයාගෙන තිබෙනවා. දහඅට වැනි ශතවර්ෂයේ මුල ඉතාලියානු විද්‍යාඥ ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා විසින් වෝල්ටාජුංජය නිපදවීමත් සමගම බැටරියක අදහස ලොවට එකතු වුණා. විද්‍යුතය යම් කාර්යයන් සඳහා යොදාගැනීමේ හැකියාව 1831 දී මයිකල් ෆැරඩේ සොයාගත් ප්‍රාථමික අවධියේ වූ ඩයිනමෝව මගින් සපයා ගැනීමත් සමගම විද්‍යුතය මානව ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත් වූවා. ඒ සමගම ඇමරිකානු විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥ ජෝසෆ් ස්වෝන් විසින් වෙන වෙනම තැනූ ප්‍රතිදීප්ත පහන් මේ විද්‍යුතය හා සම්බන්ධව වඩා වැඩි කාලයක් දැල්වීමට සැකසීමෙන් බලශක්තියේ ඉදිරි පිම්ම ඇරඹුනා. පසුව මේ දෙදෙනා එක්ව ස්ථාපිත කළ සමාගම හරහා නිව්යෝක් නගරයේ මාර්ග ආලෝකනයට ප්‍රතිදීප්ත පහන් නිෂ්පාදනය 1882 දි ඇරඹුණා.

එහෙත් ඒ සියල්ල විදුලි උපකරණ සහ පර්යේෂණ සඳහා දායකත්‍වයක් සැපයූවත්, ප්‍රවාහන ක්‍ෂෙත්‍රයට සුවිසල් දායකත්‍වයක් සැපයුනේ නැහැ. එතෙක් අශ්වයින් භාවිත කරමින් සිදු වූ ප්‍රවාහණය කණපිට පෙරැළුනේ වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් සමගයි. ප්‍රවාහනයට වාෂ්ප එන්ජිම යොදා ගැනීම 1796 දී ජේම්ස් වොට් විසින් සිදු කළත්, වාෂ්ප එන්ජිම පිළිබඳ පේටන්ට් බලපත්‍රය සතුව ඇත්තේ තෝමස් සේවරි නම් නව නිර්මාණශිල්පියා සතුවයි. ඔහු විසින් තෝමස් නිව්කමන් තැනූ පොම්පය වැඩිදියුණු කර, ආකරවල එකතුවන ජලය ඉවත් කිරීමට ජල වාෂ්පවලින් ක්‍රියා කරන වඩාත් කාර්යක්‍ෂම පොම්පයක් සැකසුවා. සේවරි මෙම අදහස ලබා ගත්තේ එඩ්වර්ඩ් සමර්සෙට් විසින් ලියනු ලැබූ පොතක් ආශ්‍රයෙන්. තෝමස් සේවරි ගේ “ආකරකරුවන්ගේ සහකරුවා” නම් පොම්පය වැඩිදියුණු කර තෝමස් නිව්කමන් විසින් නවතම පොම්පයක් බිහිකෙරුවා. මේ ආකාරයට එකිනෙක බද්ධ වූ නව නිර්මාණ දාමයකින් අනතුරුව ලොවට වාශ්ප එන්ජිම බිහි වූවා. එය ප්‍රවාහන ක්‍ෂෙත්‍රයට එකතු වීමත් සමගම අශ්ව කරත්තවලින් සිදු වූ ගමන යන්ත්‍රාණුසාරයෙන් සිදු වුණා. ජේම්ස් වොට් තම නිර්මාණය මහාපරිමාණව නිෂ්පාදනයට කටයුතු කළත්, ඒ සඳහා ආයෝජනයට මුදල් හිඟ වූ නිසා මැතිව් බෝල්ටන් සමග සමාගමක් පිහිටුවා නිෂ්පාදනය ඇරඹුවා. මේ නිසා වොට් ධනවතෙකු වූ අතර ඔහු සිය කාලය වාෂ්ප එන්ජිම වැඩිදියුණු කිරීමට කටයුතු කළා. එසේම වොට් විසින් අශ්වබලය නම් ඒකකය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළ අතර, බලය මනින ඒකකය වොට් ලෙස නම් කළේ ජේම්ස් වොට් වෙත කරන ගෞරවයක් ලෙසින්.

ජල බලය මෙලෙස ප්‍රවාහනයට යොදා ගත්තත්, විදුලිය නිපදවීම සඳහා ජලබලය යොදා ගැනුණේ ටර්බයිනය සොයාගැනීමත් සමගයි. 1849 දී ජේම්ස් ෆ්‍රැන්සිස් විසින් ටර්බයිනය සොයාගනු ලැබෙනවා. ෆ්‍රැන්සිස් ටර්බයිනය දැනට ලෝකයේ බහුලවම භාවිත වන ටර්බයිනයයි. එයට සමගාමීව 1870 දී ලෙස්ටර් ඇලන් පෙල්ටන් විසින් පෙල්ටන් රෝදය නිපදවා, ටර්බයිනය සහ රෝදය එකිනෙකට සවිකර දැනට භාවිත වන විදුලිබලය ජනනය කරන ටර්බයිනය නිපදවාගෙන තිබෙනවා. ඒ සමගම වාගේ ලෝකයේ ප්‍රථම ජල විදුලිබලාගාරය ඇමරිකාවේ විස්කොන්සින් ඇපල්ටන් හි දී 1882 සැප්තැම්බර් 30 වන දින කිලෝ වොට් 12.5ක ධාරිතාවකින් යුතුව සිය විදුලි ජනනය ඇරඹුවා.

ඒ අනුව ගත් කළ ලෝකයේ මූලිකම බලශක්ති ප්‍රභවය වූයේ ජල විදුලි බලයයි. ජල විදුලියේ මූලික අඩුපාඩුව වූයේ එය ජනනය කරන අවස්ථාවේ ම ප්‍රයෝජනයට ගතයුතු වීමයි. එය කිසිවිටෙක ගබඩා කර භාවිත කළ හැකි වූයේ නැහැ. එසේම ජල විභවය ඇති කළ යුතු තැන් ප්‍රමාණය සීමිත වීමත් නිසා සෑමතැනම ජල විදුලිය භාවිතයට ගතහැකි වූයේ නැහැ. මේ නිසා නිම්න ඇති තැන්වලින් ගංගා හරස් කර වේලි තනා ඒවායේ ජල විභවය උමගක් තුළින් ටර්බයින වෙත යොමු කර විදුලිබලය නිෂ්පාදනය සිදු කළා. එසේම එම විදුලිය අධික ධාරිතාවක් සහිතව වයර මගින් ඈත පලාත් කරා සම්ප්‍රේෂණය කළා. එසේ සම්ප්‍රේෂණය කළ විදුලිය ට්‍රාන්ස්ෆෝමර හරහා ධාරිතාවය අඩු කර පාරිභෝගිකයාට ලබා දුන්නා.

ඈත අතීතයේ සිට, එනම් ක්‍රිස්තු පූර්ව 1000 පමණ කාළයේ සිට මිනිසා මූලිකවම ගින්දර නිපදවාගැනීම සඳහා දර අඟුරු වැනි ජීව ඉන්ධන භාවිත කළත්, ගල් අඟුරු ද  තරමක් භාවිත වුණා. දාහත් වැනි  සියවසේ මැද භාගයේ සිට අදහඅට වන සියවස අතර කාලයේ ලෝකය එළඹි කාර්මික විප්ලවය නිසා ජීව ඉන්ධන භාවිතය අඩු වී ගල්අඟුරු භාවිතය ප්‍රචලිත වූවා.   මේ කාලයේ දී ම 1859 වසරේ පෙන්සිල්වේනියා හි දී ලොව පළමු තෙල් ලිඳ ආරම්භ වූවා.

එදා පටන් ලෝකයේ අංක එකේ බලශක්තිය බවට පත්වූයේ ෆොසිල් ඉන්ධන සහ ඛණිජ තෙල්. ඒ හා සමානවම ජල විදුලි බලය සහ සූර්ය බලශක්තිය දෙවැනි හා තෙවැනි තැනට ඇද වැටුණා. නමුත්, පසුගිය ශතවර්ෂය තුළ, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කාර්මීකරණය සහ අධික ඉන්ධන දහනය නිසා මිලියනයකට කොටස් සියයකට අධික ප්‍රමාණයක් වැඩි වූවා. මේ කාරණය නිසාම පසුගිය දශක කිහිපය තුළ විද්‍යාඥයින් සහ නව නිර්මාණකරුවන් ෆොසිල ඉන්ධන දහනයෙන් තොරව බලශක්තිය නිපදවීමට උත්සාහ දරමින් සිටිනවා.

වසරකට ලෝකයේ ඛණිජතෙල් භාවිතය තෙල් බැරල් බිලියන 30ක්  පමණ වෙනවා. නමුත් ලෝකයට එක වසරක් තුළ පතිතවන හිරු රැස් ප්‍රමාණයේ බලශක්තිය තෙල් බැරල් බිලියන 935,000ක් වෙනවා.  එනම් වසරකට පතිතවන හිරු බලයෙන් පෘථිවියට වසර 31,000ක් බලශක්තිය සැපයිය හැකියි. නමුත්, මේ බලශක්තිය ඒ ආකාරයෙන්ම පෘථිවියට පතිත වන්නේ නැහැ. විවිධාකාරයෙන් හානි සිදු වනවා. එසේම සූර්ය බලය විදුලියට හැරවීමේ දී තවමත් ඉහළ කාර්යක්‍ෂමතාවයකින් එය සිදුකිරිමට අපට හැකියාවක් නැහැ. විද්‍යාගාරවල දී පවා සූර්ය කෝෂවල උපරිම කාර්යක්‍ෂමතාවය ලබා ඇත්තේ 44%ක් පමණයි. දැනට වෙළඳපොලේ භාවිත වන සූර්ය කෝෂවල උපරිම කාර්යක්‍ෂමතාවය 20%ට වඩා අඩුයි. මේ නිසා සෘජුව පතිතවන හිරු කිරණ පවා අපට විදුලිය බවට හරවාගත හැක්කේ ඉතා සුළු කාර්යක්‍ෂමතාවයකින්.

කෙසේ නමුත්, මේ 20%ක් නිසි ලෙස උකහා ගන්නේ නම්, ඉතා වැදගත් ප්‍රමාණයක්. සෘජුව හිරු කිරණ පතිතවන ලංකාව වැනි රටක සාමාන්‍යයෙන් පැය හතකට අධික ප්‍රමාණයක් සූර්යකෝෂ ක්‍රියාත්මක කළ හැකියි. ජීව ඉන්ධන, ගල් අඟුරු, ඛණිජ තෙල් ආදිය දහනය කිරීමෙන් ලබා ගන්නා තාප විදුලිය, කඳුකර පෙදෙස්වල ඉදි කළ විදුලි බලාගාර දහයකින් නිපදවෙන ජල විදුලිය සහ, නිවාස සහ කුඩා සූර්යබල ගොවිපොළවල්වලින් මෙන්ම සුළං බලාගාරවලින් නිපදවෙන පුනර්ජනනීය බලශක්තිය ලෙස ලංකාවේ ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකින් විදුලිබලය ජනනය කෙරෙනවා. ලංකාවේ සාමාන්‍ය විදුලිබල ඉල්ලුම වන මෙගාවොට් 2400කින් ප්‍රධාන කොටසක් නිපදවෙන්නේ තාප විදුලිබලාගාර සහ ජලවිදුලිබලාගාරවලින්. තවමත් විකල්ප බලශක්තියෙන් විදුලිය නිපදවෙන්නේ උපරිම සියයට දහයක් පමණ ප්‍රමාණයක්, මෙය සියයට පනහක් පමණ වැඩිකරගත හොත් අපට ආර්ථිකව වාසිදායක මෙන්ම ලෝකයට එකතු කරන කාබන් ප්‍රමාණය ද අඩුකරගත හැකියි.

දැන් දැන් සූර්යබල සංග්‍රාමය හරහා මේ කටයුත්ත ප්‍රවර්ධනය කෙරෙන අතර, අඩු පොළී සහිත ණය පහසුකම් පවා සලසා ඇත්තේ එය තව තවත් ප්‍රවර්ධනය කිරීමටයි. ලංකාවේ මිලියන හතරකට අධික නිවාස වහලවල අවම වශයෙන් දිනකට කිලෝ වොට් එකක හෝ සූර්ය බලශක්තියක් නිපදවිය හැකිනම්, රටේ විදුලිබල අවශ්‍යතාවය කෙසේ වෙතත්, දිනකට තාප විදුලිය සහ ගල් අඟුරු විදුලිය නිපදවීමට වැය කරන විදේශ විනිමය ප්‍රමාණය රට තුළ ඉතිරිකරගෙන රටේ ප්‍රගමනයට යොදාගත හැකියි.

කෙසේ නමුත් මේ විකල්ප බලශක්ති ප්‍රභව නිවාසවලට සවිකිරීමේ දී සැළකිය යුතු කරුණු රාශියක් තිබෙනවා. හතු පිපෙන්නාක් මෙන් බිහිව ඇති විවිධාකාර විකල්ප බලශක්ති වෙ‍ළෙඳ සමාගම් සහ සේවා සපයන්නන් ඔබට නොයෙකුත් වට්ටම් සහ පහසුකම් සපයමින් ඔබට සේවා සැපයීමට ඉදිරිපත් වේවි. නමුත්, ඔබ වඩා විමසිලිමත්ව, සේවා ස්ථානයේ යටගියාව සහ සේවා ලබාගත් පාරිභෝගිකයන්ගේ අදහස් විමසීම වඩා වටිනවා. සමහර සමාගම් අවුරුදු කිහිපයකට පසු වසා දමා සේවය ලබාගත් පාරිභෝගිකයින් අනාථ වූ අවස්ථා එමටයි. එසේම සූර්ය පැනල අවශ්‍යතාවයක් නොමැතිව සවි කිරීම නිසා කරනු ලබන ආයෝජනයට සරිලන වටිනාකමක් නො ලැබුණ හොත් ඔබේ මුදල් නාස්ති වී යෑමක් පමණයි සිදු වන්නේ. විදුලිබල මණ්ඩලය හෝ විදුලි සමාගම සමඟ නිසි ගිවිසුමකට එළඹෙන්නේ නැතිව ඔබ සූර්ය පැනල සවි නො කළ යුතුයි. සමහරවිට ඔබේ විදුලි මීටරය සෘණ අගයක් ගිය විටක ඔබට නැවත මුදල් ආපසු ලැබීමක් සිදු විය යුතුයි. එසේත් නැතිනම් එය සම්පූර්ණ විදුලි බිලෙන් අඩුවිය යුතුයි. මේ කරුණු නිසි ලෙස අවබෝධ කර නො ගෙන විකල්ප බලශක්ති ප්‍රභවයක් නිවසේ සවි කිරීම නො කළ යුතුයි. එසේම සූර්ය බලය ප්‍රත්‍යාවර්ථ ධාරාවට හරවන ඉන්වර්ටරයේ ධාරිතාවය සහ සූර්ය පැනලවල ධාරිතාවය අතර සබඳතාවක් තිබෙනවා. උපරිම ධාරිතාවයකින් විදුලිය ජනනය කර ප්‍රධාන ප්‍රවාහයට ලබා දීමට නම්, ඉන්වර්ටරයේ ධාරිතාවයෙන් සියයට 80කට වඩා විදුලියක් සූර්ය පැනල මගින් ජනනය විය යුතුයි. සමහරු ඉහළ ධාරිතාවයක් ඇති ඉන්වර්ටරයක් ලබාගෙන සූර්ය පැනල ස්වල්පයක් සවි කරන්නේ පසුව ධාරිතාවය ඉහළ නංවාගැනීමේ අටියෙන්. නමුත් මේ දෙක සමපාත නොවීම නිසා උපරිම ධාරිතාවය නොලැබී ඔබේ ආයෝජනය අපතේ යනවා.

එසේම බොහෝ දෙනෙකු සූර්ය පැනල සවි කළ පසු ඒවා මාසිකව හෝ අර්ධවාර්ෂිකව නිසි පිරිසිදුකිරීම, නඩත්තුවකින් තොරව උපරිම ධාරිතාවයක් බලාපොරොත්තු වෙනවා. සමහරවිට දූවිලි බැඳීම, කුරුළු වසුරු හෝ ගස්වල කොළ පතිතවීම නිසා මේ සූර්ය පැනලවලට පතිතවන සූර්ය කිරණ ප්‍රමාණය අඩු වන්නට පුළුවනි. මේ නිසා බොහෝ විට ඒවා නිසි නඩත්තුවකට ලක් කළ යුතුයි.

සුළං බලය තවමත් ගෘහාශ්‍රිත විදුලි ජනනය කෙරෙහි  එතරම් බලපෑමක් කර නැහැ. මේ නිසා බොහෝ දෙනෙකු ඒ සඳහා උනන්දු වන්නේ නැහැ. සුළං බලය ඒකාකාර නොවීමත්, සූර්ය බලය මෙන් නොව ඒ සඳහා සුළං ප්‍රවාහයක් අනිවාර්ය වීමත්, ආයෝජනය තරමක් වැඩිවීමත් නිසා ගෘහස්ථව සුළං විදුලිබලය ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් දැන් කුඩා ප්‍රමාණයේ සුළං ටර්බයින ඇති නිසා ඒවා පිළිබඳව ද අවධානය යොමු කළ හැකියි.

පවතින විදුලිබල ඉල්ලුමට සහ පාරිසරික ගැටලුවලට එකම විසඳුම විකල්ප බලශක්ති කරා යෑම පමණයි. ලෝකය පුරාම දැන් දැන් විකල්ප බලශක්ති ප්‍රභව කෙරෙහි ප්‍රවණතාවයක් ඇති වී තිබෙන නිසා ඒවායේ මිල දැන් පහළ යමින් පවතිනවා. කෙසේ වුවත්, විකල්පය තවදුරටත් විකල්පයක් නොවී ප්‍රධාන ධාරවේ බලශක්ති ප්‍රභවයක් කර ගැනීමට රජයක් වශයෙන් මෙන්ම අප පෞද්ගලිකව ද උත්සාහ දැරිය යුතුයි. ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවල ප්‍රධාන වශයෙන් එනම් 80%ක් ම බලශක්තිය නිපදවෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ආශ්‍රය කරගෙනයි. ඒ රටවල පිහිටීම නිසා සූර්ය කිරණ පතිතවීම සිදුවන්නේ ද ඉතා අඩු මට්ටමක. එසේ වුවත්, ඒ බලයෙන් උපරිම ඵල නෙලාගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. අපටද, ඒ තත්ත්‍වයට ආ හැකියි.

එවිට, විකල්ප බලශක්තිය ගැන අපේ ආකල්පය ද වෙනස් වේවි.

 

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

FREE Shipping on orders over Rs.1500/= Dismiss