
පිටස්තරයා 2
“එක්කෝ මේ පුද්ගලයා නුසුදුස්සෙක් විදියට අයින් කරන්න ඕන. නැතිනම් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පුළුවනි. මොකද අපට මෙයාගෙ රුධිරය ආශ්‍රයෙන්ම පර්යේෂණ කරලා අපේ කිමිදුම් භටයන්ගේ රුධිරගත හීමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි කිරීම ගැන හොයන්න පුළුවන්. දැනටමත් අපි ඒ කරුණ සම්බන්ධයෙන් පර්යේෂණයක් අරඹලයි තියෙන්නෙ.“
“ඔබට පිස්සුද ඩෙනිස්… “ අද්මිරාල්වරයා ගුගුලේ ය.
“අපි කොහොමද මනුස්සයො මෙයාව නුසුදුස්සෙක් කියලා ඉවත් කරන්නෙ? මෙයාගෙ සුදුසුකම් අනිත් දෙන්නාට වඩා වැඩියි අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ ඔහු පර්යේෂණ ඉදිරිපත් කිරීමෙන් අසමත් වේවි කියන එක පමණයි. නමුත් මේ වගේ පුද්ගලයෙක් එයින් අසමත් වේවිද ? මොනවා වුණත් පරිගණක වැඩසටහන්වලට බොරු කරන්න බැහැ. ඒ වගේම අපි බැඳිලා ඉන්නවා මේ හැම තීරණයකටම හේතු දක්වන්න. ඔබ හිතන්නේ මේ වගේ එක දෙයක් නිසා ඔහුව අයින් කළා කියන ළදරු පිළිතුර ඉහළ පාලනාධිකාරිය භාර ගනී කියලද? මේක මගේ රස්සාවත් ගහලා යන වැඩක්. අපි මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන ඩෙනිස්. අපි මීට වඩා සූක්‍ෂම වෙන්න ඕන. මම බලාපොරොත්තු වුණේ නැහැ ඔබෙන් මේ වගේ උත්තරයක්. දෙයියන්ගෙ නාමෙට ඔයා මෙතන පර්යේෂණ ප්‍රධානියා. තත්ත්‍වයට ගැලපෙන්න බුද්ධියෙන් කතාකරනවා!“
සියල්ලෝම අද්මිරාල් වරයාගේ ගිගිරීමට තුෂ්නිම්භූත වූහ.
අද්මිරාල් රිචර්ඩ් බවර්
සාමාන්‍යයෙන් ඉතාම නම්‍යශීලී සුහද පුද්ගලයෙක් වන අද්මිරාල් රිචඩ් බවර් ඉහළ සමාජයේ සියලුම දෙනාගේ ගෞරවය දිනා සිටි ඉතා වැදගත් නිලධාරියෙකි. කිසිවිටෙක සිය නිවුණු බව බිඳ නොගන්නා පුද්ගලයෙක් ලෙස ප්‍රකටය.
වසර 2008 අගෝස්තු 7 සහ 8 දෙදින තුළ ජෝර්ජියාව (ජෝර්ජියාව) දකුණු ඔටිස්සාව අත්පත්කර ගැනීමේ අරමුණින් ඒ වෙත දරුණු හමුදා ප්‍රහාරයක් දියත් කළේ ය. ඒ සඳහා ජෝර්ජියාව ඉදිරිපත් කළ නිදහසට කරුණ වූයේ සිය සාම සාධක හමුදාවන්ට සහ මහජනයාට රුසියාව විසින් එවනු ලබන සාම සාධක නො වන හමුදාවන් විසින් දියත් කරන ප්‍රහාරවලින් ඔවුන් ගලවා ගැනීම උදෙසා මෙය සිදු කරන බවයි. මෙහිදී ඔටිස්සා හමුදා සමඟ එක්වූ රුසියානු සාම සාධක භටයින්ට ජෝර්ජියා හමුදාවන්ගෙන් දැඩි හානි සිදු විය. ජෝර්ජියානු භටයින් විසින් ට්ක්‍ෂින්වාලි ප්‍රදේශය ඉතා සුළු කාළයකින් අත්පත් කරගනු ලැබීය. මේ සඳහා රුසියාව ප්‍රතිචාර දැක්වුයේ ප්‍රතිප්‍රහාරවලට සිය 58 වන හමුදා ඛණ්ඩය එක් කිරීමෙන් සහ විශ්වසනීය සහ සැපයුම් ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙනි. මේ කෙටි යුද්ධය දින පහේ යුද්ධය ලෙස ප්‍රසිද්ධියට පත් විය. රුසියාවට අනුව මේ ප්‍රතිප්‍රහාර මානුෂීය මෙහෙයුමට අත්‍යවශ්‍ය බව සාධාරණීකරණය විය. මේ දිනවලම නේටෝවට සහාය දක්වන මවුන්ට් විට්නි ඇමෙරිකානු යුධනැව කළු මුහුදේ සිට මේ යුධයෙන් අවතැන් වූවන් සඳහා සහනාධාර ගෙන යෑමට “සහතිකවම ආධාර බෙදාහරින” (Operation Assured Delivery) නම් වූ යුධ මෙහෙයුම ක්‍රියාත්මක කළේ ය. ජෝර්ජියාවට ආධාර සැපයීම අපහසු කාර්යයක් වුවත් අද්මිරාල් රිචඩ් බවර් සිය දක්‍ෂතාවය සහ අත්දැකීම් මනාව ඔප්පු කරමින් ආධාර ගෙන ආ පළමු නේටෝ නැව පෝටි වරායට ගෙන එමින් සාර්ථකව මෙහෙයුම අවසන් කළේ ය. මේ නිසාම සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සිය අත්දැකීම් තවදුරටත් සිය රටට ලබාගනු වස් ජනාධිපතිවරයා විසින් ඔහු නාවික හමුදා පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය. ඔහු 2009 සිට මේ දක්වාම ඒ ධුරය හොබවමින් සිය ආයතනයෙන් සිදු කෙරෙන සේවය වඩාත් කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස මාතෘභූමියට ලබා දෙමින් සිටී.
“දැන් තුන්දෙනාම හොඳින් විවේක ගන්න. විනාඩි 15කට පසු අපි ඔබ නැවත අමතන්නම්.“
එක් එක් කාමරයේ වූ කුඩා ස්පීකරයෙන් අපේක්‍ෂකයින් තිදෙනාටම විධානයක් ලැබුණි. ඒ කාගෙ කඩහඬද, කොහේ සිට විධානය දෙනවා දැයි යන්න කිසි කෙනෙකු දැන සිටියේ නැත. එහෙත් තමන්ගේ සියලුම චර්යා පිළිබඳ කිසිවෙකු හෝ ඉතාම පරීක්‍ෂාවෙන් සිටින බව තිදෙනාටම අවබෝධ වී තිබණි. ඒ නිසා තමන්ට කිසිම අවාසියක් වන අන්දමේ කටයුත්තක නො යෙදීමට මේ තිදෙනාම දැනගෙන සිටියහ. පසෙකින් නොකැඩූ වතුර බෝතලයක් සහ බිස්කට් පිඟානක් තිබිණි. New Research Frontiers නම් නවතම පර්යේෂණවල ප්‍රතිඵල පිළිබඳ වගතුග දැක්වෙන සඟරාව ද ඔවුන්ගේ පරිහරණයට මේසය මත තබා තිබුණි. මේ සියල්ල සම්මුඛ පරීක්‍ෂණයට අදාළ අංග විය. තම අපේක්‍ෂකයින් කාලය කා දමනවාද, නැතිනම් ඒ සුළු වෙලාවෙත් කිසියම් ප්‍රයෝජනවත් වැඩක යෙදෙනවාද යන්න නිගමනය කිරීමටය, මේ සියල්ල තබා තිබුණේ.
ඉතා ඉහළ බුද්ධියක් ඇති තිදෙනාම සිය අනාගත රැකියාව උගසට තැබීමට සූදානම් නොවූ හ. තමන් පැමිණි කාරණයත්, ඒ සඳහා මුහුණ දිය යුත්තේ කෙසේ දැයි යන්නත් මනාව දැනගෙන සිටි තිදෙනාම බිස්කට් එකක් බැගින් රැගෙන ජලය බෝතලය පානය කරන අතරේ පසෙක වූ සඟරාවේ පිටු ද පෙරළූහ.
බීප් බීප්……… බීප් බීප්……… …බීප් බීප්………
“හලෝ….. ජනරාල් වෙලිංටන්ගෙ කාර්යාලය… මම මෙගන් වොලික්….. කෙසේද මම ඔබට උදවු කරන්නෙ ?“
“හලෝ… මම අද්මිරාල් බවර්…. නාවික හමුදා පර්යේෂණ ආයතනයෙන්… මට ඔබේ ප්‍රධානියාට කතා කරන්න පුළුවන් ද?“
“පුළුවන් අද්මිරාල් තුමනි… ඉන්න මම සම්බන්ධ කරන්නම්.“
ජනරාල් චාල්ස් වෙලිංටන්
ජනරාල් චාල්ස් වෙලිංටන් පසුගිය වසරේ විශ්‍රාම යන තුරුම පසුගිය වසර අටක් පුරාම සේවය කළේ යුධහමුදා බුද්ධි බලකායේ ප්‍රධානියා හැටියට ය. විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ බුද්ධි බලකාය භාරව සිටි ඔහු එහි සිටි එෆ් බී අයි, සී අයි ඒ මෙන්ම වෙනත් රහසිගත අංශ ගණනාවක්ම අධීක්‍ෂණය කළ ඉතා දක්‍ෂ එහෙත් දරුණු පුද්ගලයෙකි. දැඩි මතධාරියෙකු වූ හෙතෙම රටේ ආරක්‍ෂාව පළමුකොට සැලකූ නිලධාරියෙකි. කිසිදු අතපසුවීමකට ඉඩ නොතබන ඔහු අකාර්යක්‍ෂමතාවය ඉදිරියේ නයෙකු මෙන් කිපෙන පුද්ගලයෙකි. තවමත් අවිවාහක ඔහුගේ ජීවිතය වූයේ ජාතික ආරක්‍ෂක ඒජන්සියයි. උදෑසන හය වන විට කාර්යාලයට පැමිණෙන ඔහු පිටව යන්නේ රාත්‍රී හත ද පසු වූවාට පසුවයි. රාජකාරි කටයුත්තක් හැරුණුකොට සිය ජීවිතයම කාර්යාලයේ ගෙවන ඔහුට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නො වන්නේ ඔහුට ඇති සූක්‍ෂම බුද්ධියත්, අනතුරක් කල් තබා දැන හැඳින ගැනීමේ “ඉව” ත් නිසාය. රටේ වූ සියලුම අන්තර්ජාල වැඩසටහන්, ඊ-මේල්, ඇතුළු බොහෝ පරිගණක දත්ත හුවමාරුවීම් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ දැවැන්ත පෙරණය හරහා යන නිසාම ඔහුට ඒ ඉව ලැබී ඇත. බුද්ධි අංශ නිලධාරීන් අතර Blood Hound යන නාමයෙන් හැඳින්වෙන ඔහු අමෙරිකානු ආරක්‍ෂක කවුන්සිලයේ ඉතා වැදගත් පුද්ගලයෙකි.
“හලෝ ජනරාල්…“
“කොහොමද මිත්‍රයා…… මොකක්ද මගෙන් අද කෙරෙන්න ඕන….. ජනරාල් වරයා ඍජුවම ඇසීය….“
“මට යමක් දැනගන්න අවශ්‍යයි…. ඒ කිසියම් පුද්ගලයෙක් ගැන…..“
“ඔබ දන්නවා මම CIA එකවත් FBI එකවත් නොවන වග, තරහ වෙන්න එපා… ඒවගේ දේවල්වලට තමයි ඒ අය ඉන්නෙ…“ ජනරාල්ගේ ස්වරය දැඩි විය.
“නැහැ නැහැ… මම ඔබේ කාලය කා දමනවා නොවෙයි… එෆ් බී අයි එක ලබා දුන් දත්ත පිළිබඳ මට සෑහීමකට පත් වන්නට බැරි නිසයි මම ඔබව ඇමතුවෙ.“
“කවුද ? ත්‍රස්තවාදී නායකයෙක්ද? ඔබ දන්නවානේ… ඒ ගැන නම් මට කිසිදු විස්තරයක් දෙන්න බැහැ.“
“නැහැ චාලි… මට දැනගන්න අවශ්‍ය මගේ පර්යේෂණායතනයට ආපු අපේක්‍ෂකයෙක් ගැන.“
“මොනවා… FBI එකට තනි මිනිහෙක් ගැන විස්තර හොයා ගන්න බැරි ද? ඕකෙ ඉන්නෙ මැට්ටොද?“
“චාලි… මේ මිනිස්සු උපරිම ශක්තිය යොදලයි ඉන්නෙ… දැන් මට කරන්න තියෙන එකම දේ ඔහුගෙ ගෙදරට කවුරුහරි යවන්න විතරයි… නමුත් තවමත් ඔහු අපේක්‍ෂකයෙක් විතරයි… ඒ නිසා මම කැමති නැහැ ආණ්ඩුවෙ සම්පත් ඒ වගේ දෙයකට යොදවන්න… ඒත් මේ පුද්ගලයාගේ බොහෝ දේවල් හරිම අසාමාන්‍යයි. ඒ නිසාමයි මම හොයන්න තීරණය කළේ… මේ පරීක්‍ෂණයෙන් ඔහු නොතේරුණත් අපට මෙයාව වෙනත් මොනවාහරි දේකට ප්‍රයෝජනවත් වේවි. මට ඒක ඉවෙන් මෙන් දැනෙනවා… ඒ නිසා මට මේ උදවුව කරලා දෙන්න… මට මෙයාගෙ විස්තර සියල්ල ලබා ගන්න ඔබට වඩා වෙනත් කෙනෙක් නැහැ.. මම දන්නවා ඔබේ පරිගණක වැඩසටහන් මළ මිනිස්සු උපද්දවලා තිබෙන බව…. මට මේ උදව්ව කරලා දෙන්න… සමහරවිට ඔබටත් එය වැදගත් වේවි…“
“හොඳයි කියමු බලන්න….“
නාවික පර්යේෂණ ආයතනයේ පරිගණක ඉංජිනේරු ඇලෙක්ස් රොබින්සන් අපේක්‍ෂකයින් තිදෙනාගේම වීඩියෝ පට පරිගණක තුනකට කවා අවසන් කළේ ය. මිනිත්තු කිහිපයකින් ප්‍රතිඵල ලැබෙනු ඇත. සම්මුඛ පරීක්‍ෂණවල දී ඒ ඒ අපේක්‍ෂකයාගේ ගති ස්වභාවය සහ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටින පුද්ගලයින්ගේ මානසිකත්‍වය අනුව එකම දක්‍ෂකම් ඇති විවිධ අපේක්‍ෂකයින්ට ලැබෙන ලකුණු ප්‍රමාණ වෙනස් බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. මේ නිසා සම්මුඛ පරීක්‍ෂණවල සිදු විය හැකි මානව අසමතුලිතතාවයන් මඟහැරවීම සඳහා රජයේ අතිශය වැදගත් ආයතනවලට බඳවා ගැනීමේ දී දක්‍ෂයා නිර්ණය කිරීම පරිගණක වැඩසටහනකට පවරා ඇත. මෙහි දී අපේක්‍ෂකයාගේ පෞරුෂය, වාග් මාලාව, ඉදිරිපත් කිරීමේ විලාශය, ආත්ම විශ්වාසය, වැරැදි, තීරණ ගැනීමේ හැකියාව, මුහුණේ ඉරියව් යන ප්‍රධාන ලක්‍ෂණ නිර්ණය කිරීම අතිශය සංකීර්ණ පරිගණක වැඩසටහනක් මගින් තීරණය කෙරේ.
ඒ අතර අද්මිරාල් රිචඩ් බවර්, නැන්සි පෙපර්, ඩෙනිස් ලිපර්ඩ්, සහ නීල් ෆියු යන සිවු දෙනා තම අපේක්‍ෂකයින් තිදෙනා පිළිබඳ සිය හැඟීම් විවෘතව කතා කිරීමේ අවස්ථාව කරා එළඹ ඇත.
“මම නම් කියන්නේ ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලී බව හොඳයි… පර්යේෂණායතනයක් වුණාම කණ්ඩායම් හැඟීම තිබිය යුතුයි… කණ්ඩායමක් ලෙස ක්‍රියා කරලයි තීරණ ගන්නත් ප්‍රතිඵල ගන්නත් ඕන… මැතිව් තරමක් පොතට බර ගීක් කෙනෙක්… බලන්න ප්‍රියමනාප වුනාට මට පේන්නෙ එහෙමයි. අනිත් එක්කෙනා.. විශ්ව… මට එයාගෙ මුහුණෙ කිසිම හැඟීමක් පේන්නෙ නැහැ… අයදුම්පත්‍රයේ මොන සුදුසුකම තිබුණත් ඒ මුහුණ නම් තනිකර හැඟීම් විරහිතයි… මට එයාව කියවන්න බැහැ..“
සැමවිටම අන් අයට පෙර කතා කරන නැන්සි පෙපර් ගේ විග්‍රහය එලෙස ය.
“නීල්…. මොකද කියන්නෙ….“
“විෂය කරුණු පැත්තෙන් නම් විශ්ව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා… ඔහුගෙ ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳ තර්කය මට තවමත් පැහැදිලි නැහැ… ඒක ඒ තරම් සංකීර්ණයි.. ඒ නිසා ඔහු මේ පර්යේෂණායතනයට සුදුසුම කෙනා.. නමුත් නැන්සි කිවුවා වගේ මුහුණෙ කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක් කොහොමද අපේ කණ්ඩායමට බඳව ගන්නෙ? ඇන්ඩ්‍රියා මිත්‍රශීලී තමයි.. නමුත් ඒ මිත්‍රශීලී භාවයම ඇයට හරහට හිටින්න පුළුවන්… මේක අතිශය රහස්‍ය පර්යේෂණයක්.. මේ රහස් ගන්න රුසියාවත් චීනයත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.. තවත් කවුරු මේ ගැන බලාගෙන ඉන්නවද දන්නෙ දෙයියො තමයි. සමාවෙන්න නැන්සි… මම ඔබ ගැන දන්නවා… නමුත් කාන්තාවන් කියන්නේ රහස් සංවිධානවල ඉතා දුර්වල අංශයක්…“
“එහෙම කියන්නෙ කොහොමද නීල්…එයා දැනටමත් NSA එකේ ඒජන්ත වරියක්… ඔබ හිතනවාද ජෙනරල් වෙලිංටන් ආවට ගියාට මිනිස්සු ගන්නවා කියලා එයා ලඟට?“
“ඇත්ත… නමුත් එතැන සිදු වන දේවලුයි මෙතැන සිදුවන දේයි තනිකරම වෙනස්… ඇන්ඩ්‍රියාට NSA එකේ ලොකු රහසක් නැහැ රකින්න… නමුත් මෙතැන එහෙම නෙවෙයි…. අපි බලමු කෝකටත්… අපිට වඩා ගොඩක් නිවැරැදිව තීරණ ගන්න කෙනෙක් ඔවුන් පරීක්‍ෂා කරනවා නෙ.“
“මැතිව්… මම හිතන්නෙ මැතිව් මෙතැනට අදාළ වෙන්නෙ ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාව ගුරුත්වාකර්ෂණයට ඈඳා කළ පරීක්‍ෂණය නිසා… නමුත් ඔහුගේ සමහර තර්ක මට පිළිගැනීමට අපහසුයි… එහෙම වුණා කියලා ඔහු අසමත් වෙන්නෙ නැහැ… ඔහුට බොහොම නිදහස් සිතුවිලි තිබෙනවා. මට හිතෙන විදියට ඔහු අපට හොඳ සම්පතක් වේවි…“
අවසන කතා කළේ ආචාර්ය ලිපර්ඩ් ය. “මම හිතන්නෙත් විශ්ව අපට හොඳ පර්යේෂකයෙක් වේවි… ඔහුගේ හැඟීම් රහිත මුහුණ නොවෙයි අපට වැදගත් වෙන්නෙ… අපට වැදගත් වෙන්නෙ මෙතැන පර්යේෂණවලට සුදුසුම පුද්ගලයා කවුද කියන එක… දැනුම අතින් පරිපූර්ණ කවුද – ඔහුගේ හෝ ඇයගේ දැනුම මෙතැනට ලබා ගන්නෙ කොහොමද කියන එක… කොහොමත් අපට විද්‍යාඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ සේල්ස් රෙප් කෙනෙකුගෙ මිත්‍රශීලීභාවය…. නමුත් අපට හසුරවාගන්න පුළුවන් කෙනෙක් නම්, අපට කරදරයක් නැති කෙනෙක් නම් මට ප්‍රශ්නයක් නැහැ…“
“ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලීභාවය වගේම ඇයගේ සුදුසුකම් මට මෙතැනදි ප්‍රශ්නයක්… ඇය සුදුසු NSA එකට… ජනරාල් වෙලිංටන්ගෙ පෞද්ගලික යොමු කිරීමක් වුණත් අපට සුදුසුම කෙනා තමයි අපට තෝරගන්න වෙන්නෙ.“
“මැතිව්ගෙ දැනුම මට ප්‍රශ්නයක් නැහැ… ඔහුගෙ ක්වොන්ටම් විද්‍යාත්මක දැනීම, ඔහු ඒවා විෂයානුබද්ධ කළ ආකාරය හරිම අපූරුයි… මම තෝරා ගන්නවනම් තෝර ගන්නෙ විශ්ව හරි මැතිව් හරි… අපි තවම කිසිම කෙනෙක් මුහුණට මුහුණ ලා කතා කළේ නැහැනෙ… අපි බලමු අපේ හරස් ප්‍රශ්නවලට ඔවුන් කොහොම උත්තර දෙයිද කියලා.“
මේ දෙදෙනාම පර්යේෂණ අංශයට තෝරා ගනීවි ද?
මැතිව්ගෙ සම්බන්ධකම් විශ්වගෙ දක්‍ෂතා අභිබවා යාවි ද?
ඔවුන්ට පැවරෙන රාජකාරි මොනවා ද?