SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 1

පූර්විකාව

මෙය සිදුවීම් පෙළක් පමණි. මා සිදු කරන්නේ ඒ සිය සිදුවීම් එක්තරා පිළිවෙලකට පෙළගැස්වීම පමණි. මෙය සත්‍ය සිදුවීම් පෙළක් ද විය හැකි නමුත්, සියයට සියයක්ම සත්‍ය නොවීමට ද පුළුවන. අතිශයෝක්තිවලින් බැහැර වූ මේ සිදුවීම් පෙළහි අවසානය කුමක් වේ දැයි තවමත් මා නො දන්නේ මේ සියල්ල තවමත් ඈ මට පවසමින් සිටින නිසාවෙනි. මෙහි සියලු චරිත සත්‍ය විය හැකි අතර ස්ථාන සහ අවස්ථා සම්බන්ධය පවා බොහෝ අවස්ථාවල සත්‍ය බව පැහැදිලිවම පැවසිය හැකි ය. ඔබට උපදේශ කිහිපයක් ලබා දීමට ඇත. කිසි විටෙක එකවරම කිසිදු සිදුවීමක්, චරිතයක් කෙරෙහි අවසාන නිගමනයකට නොපැමිණෙන්න….. පැහැදිලිවම මෙය විද්‍යාවේ සියලු අංශ සම්බන්ධ කෙරෙන, දර්ශනය, ආගම්, මෙන්ම ඒ ඒ සිදුවීම්වල අතීතය ද විමසා බැලෙන  සිදුවීම් මාලාවකි. එය වඩාත් පැහැදිළි කරනු ගනු වස් ස්ථාන, චරිත, සහ අවස්ථාවල මූලික හඳුන්වාදීමක් මෙහි ලා ගෙන හැර පා මි.

ස්ථානය :

අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනය (US Naval Research Laboratory) අංක 4555,  ඕවර් ලුක් මාවත, ගිණිකොණදිග වොෂිංටන්, ඩීසී 20375. විශේෂයෙන් අමෙරිකානු නාවික හමුදාවේ ක්‍රියාන්විත සහ වෙනත් අමෙරිකානු හමුදා අංශවල අභිවෘද්ධිය කෙරෙහි බලපාන පර්යේෂණ සිදු කෙරෙන දැඩි ආරක්‍ෂක විධිවිධාන යටතේ පවත්වාගෙන යන පර්යේෂණ මධ්‍යස්ථානයකි. පර්යේෂණායතනයට අලුතින්ම එක්වූ අංගය වන්නේ   අවම ගුරුත්වාකර් ෂණ මේසයයි. මෙය කැලිෆෝනියාවේ ක්ලෝවිස් හි රේමන්ඩ් ග්‍රැනයිට් පතලෙන් ලබා ගන්නා ලද වර්ග අඩි 450ක වපසරියක් ඇති අඩි එකහමාරක ඝනකමක් ඇති තලය මතුපිට පුරාවටම අඟල් 0.0018ක පමණ වූ සූක්‍ෂම වෙනසක් ඇති, ටොන් 37.5ක් බර ලෝකයේ විශාලතම තනි ග්‍රැනයිට් තලය වේ. මෙය අභ්‍යවකාශයේ දී අභ්‍යවකාශ යානා හැසිරෙන ආකාරය අනුරූපණය කිරීම පිණිස ඝර්ෂණය අවම වන සේ සකස් කළ සුවිශේෂී මේසයකි. මෙයින් ලැබෙන අගයය නිරවද්‍යතාවය අනුව සියයට අනූ නවයකුත් දශමස්ථාන අටකට ගණනය කළ හැකි බව සනාථ කරගෙන ඇත. නාවික පර්යේෂණ ආයතනයේ සේවය කිරීම සඳහා බොහෝ විට බඳවාගනු ලබන්නේ ඇමරිකානු පුරවැසියන් වන අතර ඔවුන් පවා දැඩි පරීක්‍ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව ඇමරිකානු පොලීසියේ අපරාධ පරීක්‍ෂණ ඒකකය වන එෆ්බීඅයි ඒජන්සිය විසින් සිදු කරන පුද්ගල විපරමකින් අනතුරුව සහ බඳවාගැනීමට පෙර සිදු කෙරෙන සුවිශේෂී වෛද්‍ය පරීක්‍ෂණවලින් ද සමත්වන අයට පමණක් මේ පර්යේෂණ අංශයේ සේවය කිරීමේ අවකාශ ලැබේ. බොහෝ විට අමෙරිකානු පුරවැසියන් නොවන පුද්ගලයින්ට මේ ආයතනය තුළට අඩියක් වත් තැබීමට නොහැකි වන අතර එසේ යෑමට නම් සුවිශේෂී අවසරයක් ලබා ගත යුතු ය.

සිය චරිතයේ කළු පැල්ලමක් ඇති කිසිවෙකු මේ ආයතනයේ ස්ථිර සේවය සඳහා නුසුදුසු වේ. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වූ පසු බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධතාවයක් තබා ගත නො හැකි වන සේ ජංගම දුරකථන සංඥා සියල්ල අවහිර කරන ජෑමිං ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර, සේවකයින් සියලුම දෙනාගේ  සම්බන්ධතා නිතිපතා විමර්ශනය කෙරේ. ගේට්ටුවේ සිට පර්යේෂණායතනයට ඇති ගමනේ දී පස් වතාවක් සිය අනන්‍යතාවය ප්‍රකාශ කළ යුතුය. අවසාන කඩඉම කටහඬ පරීණක්‍ෂයයි. එය එතරම්ම ආරක්‍ෂිත ස්ථානයක් වන්නේ ඇයි දැයි කිසිවෙකු නොදනී.  ආයතනයට බඳවා ගැනීමේ දී ම රහස්‍යභාවය සුරකින ලිපියකට අත්සන් ගැනීම සිදු වන අතර එම ගිවිසුම කඩ කෙරෙන සියලුම දෙනා ක්‍ෂණයකින් සේවයෙන් පහකොට ආරක්‍ෂක අංශ වෙත භාර කෙරෙනු ලැබේ. මේ අංශයේ පර්යේෂණ සඳහා  අවකාශ ලැබෙන්නේ බුද්ධි ඵලය (IQ) අගයය 150 ට වඩා වැඩි  බුද්ධි මට්ටමක් ඇති ඉංජිනේරුවරුන් සඳහා පමණි.

 

මැතිව් ජෝසප් සොලමන්:

මැසෙචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ ඉලෙක්ට්‍රොණික ඉංජිනේරු ආචාර්ය උපාධියක් හිමි බුද්ධි ඵලය 162ක් හිමි තරුණයෙකි. ද්‍රව අවකාශයේ අණුක හැසිරීම පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරූ හෙතෙම විශ්වවිද්‍යාලයයේ ආචාර්ය උපාධිධාරීන් අතරින් ජනප්‍රියතම උපාධිධාරියා වූවේ සිය ආචාර්ය උපාධියෙන් අනතුරුව ද්‍රව අවකාශයේ අණුක හැසිරීම සහ ඒවායේ චුම්භකත්‍ව ගුණ  අනුමාන කිරීමේ හැකියාව සහිත  පරිගණක වැඩසටහනක් ලියා ඇපල් ආයතනයට විකිණීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක්  ලබා ගැනීමත්,  ඒ මුදල සිය පෞද්ගලික පරිහරණයට නොගෙන මැසචුසෙට්ස් ප්‍රාන්තයේ දුප්පත් දරුවනට ශිෂ්‍යත්‍ව සැපයීමේ අරමුදලක් ඇරඹීමත් නිසයි. ඕනෑම අංකමය ගණනක් මනෝමයෙන් විසඳීමේ හැකියාව ඇති ඔහු කලාව, දේශපාලනය, ආගම වැනි එකිනෙකට වෙනස් ක්‍ෂෙත්‍රවල හසළ දැනුමක් ඇති පුද්ගලයෙකි. අමෙරිකානු ජනාධිපති මන්දිරයේ විශ්ලේෂකයෙකු ලෙස ලැබුණ තනතුරත්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ ආධුනික මහාචාර්යවරයෙකු ලෙස ලැබූ තනතුරත් අතේ දරාගෙන හෙතෙම නාවික පර්යේෂණ ආයතනය වැනි ස්ථානයක සේවය කිරීම සඳහා සටන් වැද සිටී.

මොලී ජේන් රියෝර් ඩන්:

මොලී ජේන් රියෝර් ඩන් මැසචුසෙට්ස් තාක්‍ෂණික සරසවියෙ ආචාර්ය උපාධිධාරිණියක්. ඇගේ ප්‍රවීණත්‍වය වන්නේ ක්වොන්ටම් ගණනය කිරීම් සහ ත්‍රිමාණ අනුරූපණ. ඇය සතුව ත්‍රිමාණ අනුරූපනවල නව මාන සොයා ගැනීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර හතරක් ඇති අතර ඇගේ තාක්‍ෂණික උපදේශකත්‍වය මත හොලිවුඩයේ නිමැවුණු චිත්‍රපට ගණන පහක්. බුද්ධි ඵලය 159කි. රහස් සංකේත සහ රහස් පණිවුඩ විසඳීමට ඇති සුවිශේෂී හැකියාව නිසාම ලත් අමෙරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සියේ (NSA) ගුප්ත සංඥා ඒකකයේ රැකියාවත්, එහි සේවයෙන් වසරකට පසු එහි ප්‍රධානියා විසින්ම පෞද්ගලිකව මේ ආයතනය වෙත යොමු කරන ලද පර්යේෂිකාවක් නිසාත්, කාන්තා පර්යේෂිකාවන්ගේ විරලත්‍වය නිසාත් ඇයට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. ඇගේ සත්‍ය තත්ත්‍වය සහ ඇයගේ කාර්යභාරය කුමක්දැයි දන්නේ ඉතාම ස්වල්ප දෙනෙකු පමණයි.

විශ්ව සමාධි සූර්ය බණ්ඩාර:

අමෙරිකාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන්ගේ දෙවන පරපුරේ තරුණයෙකි. නිහඬ චරිතයකි. බුද්ධි ඵලය 166කි. කැලිෆෝනියාවේ ස්ටැන්ෆර් ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රති-ගුරුත්වාකර් ෂණය පිළිබඳ අංශයෙන් ආචාර් ය උපාධිය හිමිකරගෙන ඇත. සියළුම විභාග වලින් සියයට සියයක් ලකුණු ලබාගැනීමත්, විශ්ව විද්‍යාලයේ බුද්ධිමත්ම ශිෂ්‍යයා ලෙස තේරී පත්වීමත් නිසා ප්‍රසිද්ධ වී ඇත. වයස අවුරුදු 16න් පසු ඔහු මුහුණ දුන් සියලුම විභාගවල ලකුණු 100%ක් ලබා ගැනීම නිසා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත. හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ නවක මහාචාර්යවරයෙක් ලෙස පත්වීමක් ලැබ ඇත. සිය ආචාර් ය උපාධි අපේක්‍ෂක කාලය තුළ පර්යේෂණ පත්‍රිකා 24ක් පළ කරමින් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ නව වාර්තාවක් තබා ඇත. ශ්‍රී ලාංකිකයෙකුගෙන් දැකිය නොහැකි අසාමාන්‍ය උසක් සහ පැහැපත් බවක් දක්නට ඇත.

 

 

 

දිගහැරුම:

අපේක්‍ෂකයින් තිදෙනා වෙන වෙනම දේශන ශාලා තුනක එකම අවස්ථාවේ සිය පර්යේෂණ පිළිබඳ විස්තර ඉදිරිපත් කරමින් සිටිති. නමුත් කිසිදු පුද්ගලයෙකු ඔවුන් ඉදිරිපිට නොමැත. වෙනත් කාමරයක සිට තිදෙනාගේම සජීවී දර්ශන එකවිට  නරඹන පුද්ගලයින් සිවු දෙනෙකි.  නාවික පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂක අද්මිරාල් රිචඩ් බවර්, සී අයි ඒ ආයතනයේ පුද්ගල චර්යා අංශයේ ප්‍රධානි නැන්සි පෙපර්, නාවික පර් යේෂණායතනයේ ප්‍රධාන පර්යේෂක ඩෙනිස් ලිපර්ඩ්, සහ ප්‍රතිගුරුත්වාකර් ෂණ පර්යේෂණ අංශයේ ප්‍රධානි නීල් ෆියු ඒ සිව් දෙනාය.

කිසිවෙකු කලබලයෙන් වසා ඇති දොරට තට්ටු කරයි.

“කවුද මේ වෙලාවෙ?”

“අද්මිරාල් තුමනි.. මම… ෆිලිප් කවුෆර්…… ප්‍රධාන වෛද්‍ය රසායනාගාරයෙන්….”

“එන්න….. ඇතුළට ෆිලිප්…. කවුද  අසමත්?”

“කවුරුවත් අසමත් නැහැ… නමුත් එක පුද්ගලයෙක්ගේ රුධිරය හරිම අසාමාන්‍යයි… රුධිර සාම්පල් ගත්තෙ මමමයි.. ඒ නිසා මට වරදින්න විදියක් ඇත්තෙම නැහැ. සියලුම පරීක්‍ෂණ තුන් වතාවක් සිදු කළා… ඒ සියලුම ප්‍රතිඵල සියයට අනූ නවයක් එකිනෙකට ගැලපෙනවා… ඒත් මේ සාම්පලයේ නම් කුමක් හෝ වැරැද්දක් තිබෙනවා.. එක්කෝ මේ පුද්ගලයා රුධිර පාරවිලයනයක් කරලා වෙනම රුධිරය ලබාගෙන, නැතිනම් විශාල අසාමාන්‍යතාවයක්… මගේ ජීවිතයේ මේ වගේ රුධිර සාම්පලයක් විශ්ලේෂණය කළ පළමු වතාව.”

“කලබල වෙන්න එපා ෆිලිප්… අසාමාන්‍යතාවය මොකක්ද කියලා කියන්න…….”

“මේ සාම්පලයෙ කිසිම දෙයක් අසාමාන්‍ය නැහැ. සීනි මට්ටම, කොලෙස්ටරෝල්, ප්‍රතිදේහ, රුධිර පට්ඨිකා ආදී සියල්ල කිසිම වරදක් නැතිව තිබෙනවා.”

“ඉතින් එහෙනම් ඒක හොඳයි නෙ…..”

“නමුත්….. මේ රුධිර සාම්පලය අළුත උපන් ළදරුවෙක්ගෙ වගේ පිරිසිදුයි….”

“ඉතින් ඒ කාගෙ රුධිර සාම්පලයද?”

“ඒක මෙන්න මෙයාගෙ සාම්පලය.”

“මොකක් ?”

“මෙයාගෙ.. ඒක වෙන්නෙ කොහොමද ?”

“ඒ කියන්නෙ හැම දෙයක්ම පිරිසිදුයි….”

“සියයට සියයක්ම….”

“තවත් වතාවක් පරීක්‍ෂා කරලා බලන්න….”

“තවත් බලන්නෙ මොනවද ? තුන් වතාවක් කළා… එකම ප්‍රතිඵලය එන්නෙ…. කිසිවක් සොයා ගන්න නැහැ…”

“අඩුම ගානෙ මාර්ග නීති කඩ කිරීමක් වත්?”

“නැහැ…”

“ආයෙම බලමු පාසල් යනකාලෙ ගත්ත වීඩියෝ සටහන්…”

“බලන්න.. මෙන්න මේ ඉන්නෙ එයා.. කිසිම කලබලයක් නැතුව නියමිත ඉලක්කයටම පන්දුව යොමු කරනවා. කිසිම වෙලාවක වරදින්නෙ නැහැ.. අල්ලගන්න පුද්ගලයා බිම දැමුවොත් මිසක්.. කිසිම වෙලාවක නීති විරෝධී අන්දමින් ක්‍රීඩා කරන්නෙවත් නැහැ..”

“මේ තියෙන්නෙ සමස්ත ඇමරිකානු ටයි-ක්වොන්ඩෝ අවසාන තරගය…. කිසිම ගණනකට නැතිව ප්‍රතිවාදියා බිම හෙලන්නෙ… දාඩිය බිංදුවක් හෙලන්නෙ නැතිව… කොහොමද මෙහෙම වෙන්නෙ… මේක ජාතික තලයේ අවසාන තරගයක්. ඔබ දන්නවා මෙය කෙතරම් තරගකාරී ද කියලා..”

“එතකොට විශ්වවිද්‍යාලයෙ කිසිම සිදුවීමක් වාර්තා වෙලත් නැද්ද? ගැටීමක්…. රණ්ඩුවක්…. මත්පැන් සම්බන්ධව වත්…”

“නැහැ.. අවම වශයෙන් මත්පැන් සම්බන්ධයෙන් වත් කිසිම දෙයක් වාර්තා වෙලා නැහැ…”

“ෆේස්බුක්  එකවුන්ට් එක?”

“කිසිම වැරැද්දක් නැහැ…”

“ඊ්මේල් ? ට්විටර් ? ලින්ක්ඩ්ඉන්?”

“කිසිම දෙයක සැක කටයුතු දෙයක් හොයා ගන්නවත් නැහැ.. ඔක්කෝම පිරිසිදුයි… වැරැදි පින්තූරයක්වත් නැහැ..”

“මේක වෙන්න බැහැ… කොහොමටවත් වෙන්න බැහැ…”

“ආයෙම ස්පයිඩර් වැඩසටහන සියලුම තොරතුරු මූලාශ්‍රවලට යවලා බලන්න.. මෙහෙම පිරිසිදු ඉතිහාසයක් තියෙන කෙනෙක් අපේ ආයතනයෙවත් හොයා ගන්න බැහැ… එක්කෝ මෙයා ලොකු හොරෙක්.. ඔක්කෝම දේවල් හොඳින් වහන්න දන්නවා… නැතිනම් මෙතන ලොකු අසාමාන්‍යතාවයක් තියෙනවා.”

“හොඳයි… අපි ආයෙත් වතාවක් බලමු…”

ස්ථානය: එෆ් බී අයි මූලස්ථානයේ පුද්ගල තොරතුරු ඒකකය

ඒජන්ත ජෝන් හැන්සන් සහ  චීන ජාතික පෙන් යංග් ට පැවරී ඇති රාජකාරිය වන්නේ අදාළ පුද්ගලයින් තිදෙනාගේ යටගියාව හාරා ඇවිස්සීම වේ… කුඩා කළ සිට මේ දක්වා තොරතුරු එක් කර ලිපි ගොණු තුනක් තැනීමට ඔවුනට ලැබී ඇති කාලය සීමිත වුවත් අන්තර් ජාලයේ මෙන්ම ඒජන්සියේ ඇති සුවිශේෂී පරිගණක වැඩසටහන් නිසා ලොව බොහෝ දෙනෙකුගේ තොරතුරු ඇසිල්ලකින් පරිගණක තිරය වෙත ලබා ගැනීමේ හැකියාව ඔවුනට ඇත. ඔවුන් සකස් කළ ස්පයිඩර් වැඩසටහන මගින් ලොව ඇති සියලුම තොරතුරු සෙවීමේ වෙබ් අඩවිවල ඇති  ජාලගත තොරතුරු ඒ ඒ වෙබ් අඩවි මාර් ගයෙන්ම පෙරාගෙන ක්‍ෂණිකව ලබාගත හැකි ආකාරයේ අති නවීනතම වැඩසටහනකි.

පසුගිය වසරේ එෆ් බී අයි වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කළ චීන විශ්වවිද්‍යාල සිසුවෙකු දැලට හසු කරගත් ඒජන්සිය, ඔහුව සිය පරිගණක ආරක්‍ෂක අංශයට බඳවා ගත්තේය. මෙවැනි දක්‍ෂතා ඇති පුද්ගලයින් සහ අති සූක්‍ෂම සොරකම් සිදු කරන පුද්ගලයින් ඒජන්සියේ සම්පත් දායකයින් ලෙස බඳවා ගැනීම එහි ප්‍රතිපත්තියකි. ඒ ඔවුන්ගේ සූක්‍ෂම බුද්ධියෙන් ප්‍රයෝජන ගැනීම සහ අනාගතයේ ඔවුන්ගෙන්ම එල්ල විය හැකි විශාල අනතුරුවලින් ඒජන්සියත් පුරවැසියනුත් බේරා ගැනීම සඳහා සිදු කෙරෙන ආරක්‍ෂක ක්‍රියාදාමයක කොටසකි. මේ තාක් කල් එහි ප්‍රතිඵල යහපත් විය. මේ පරිගණක වැඩසටහන ද ඉහත කී චීන ජාතික තරුණයාගේ නිර්මාණයකි.

පැය බාගයකින් පමණ අවශ්‍ය කරන දත්ත පරිගණක තිරය මත දිස්විය …

“කිසිම වැරැද්දක් නැහැ… මේක නම් වෙන්න බැරි දෙයක්… අපි මේක දන්වන්න ඕන… නැතිනම් අපටයි අවනම්බු…. ඒජන්ත ජෝන් අනෙකාට පැවසීය….”

“නමුත් එකම වැරැද්දක් තියෙනවා මෙතන….”

“බලන්න… රුධිර හිමෝග්ලොබීන් ප්‍රමාණය සාමාන්‍ය වැඩුනු මිනිසෙකුට වඩා වැඩියි… අන්න ඒකයි මම කිවුවෙ මේ රුධිරය අලුත උපන් දරුවෙකුගෙ රුධිරය හා සමානයි කියලා… වැඩුනු මිනිසෙකුගේ හිමෝග්ලොබීන් ප්‍රමාණය ඩෙසි ලීටරයට ග්‍රෑම්  14-18 අතර විය යුතුයි…. ඒත් මෙයාගෙ ඒ අගය 21. ඒ අගය හරියටම සමාන වෙන්නේ  අලුත උපන් දරුවෙකුට.. ඒ කියන්නෙ 17-22. මේකයි මට තිබෙන ප්‍රශ්නය…”

“ෆිලිප් හිස කසමින් නොයිවසිලිමත්ව පිළිතුරු දුන්නේය….”

“මෙහෙම වෙන්න හේතු තියෙනවද?”

“ඔව්… හේතු කිහිපයක් තිබෙනවා.. එකක් තමයි මෙයාට මොළයේ අසාමාන්‍ය ගෙඩියක් හෝ පිළිකාවක් වැනි තත්ත්‍වයක් තිබීම නිසා හිමෝග්ලොබීන් අධිකව නිෂ්පාදනය වීම… අනෙක පෙනහලුවල එම්ෆිසීමා නම් වූ තත්ත්‍වය නිසාත් හිමෝග්ලොබීන් අධිකව නිෂ්පාදනය වෙනවා…”

“නමුත් එක්ස් රේ සහ එම් ආර් අයි පරීක්‍ෂණවලින් මේ බව තහවුරු වෙන්න තිබුණා නේද ?”

“ඔව්, නමුත් … එක්ස් රේ, කැට් ස්කෑන්, සහ එම්ආර්අයි පරීක්‍ෂණ කිසිම දෙයකින් ඒ වගේ අසාමාන්‍යතාවයක් පෙන්නුම් කළේ නැහැ.”

“තවත් සාධක තිබෙනවාද?”

“ඔව්.. අපට පිළිගත හැකි ආසන්නතම සාධකය තමයි ඔහු හොඳ මළල ක්‍රීඩකයෙක්… මේ නිසා වැඩි ශක්තියක් ලැබ දෙන්න රුධිරයට එකතු කරන එරිත්‍රොපොයටින්  වැනි ඖෂධ නිසාත් රුධිරගත හිමෝග්ලොබීන් වැඩි වෙනවා…”

“අහ්… ඒක වෙන්න පුළුවන්… කරපු හැම ක්‍රීඩාවකින්ම හොඳ දක්‍ෂකම් පෙන්වලා තිබෙනවා…. ඒ විතරක් නොවෙයි.. පාසල් මට්ටමේදි මේ රුධිර මාත්‍රණයට පරීක්‍ෂා කරන්නෙ නැහැ…. මෙයා අමු හොරෙක්… ! සිය හැඟීම් ප්‍රසිද්ධියේ කිසිදා  පිටතට නොපෙන්වන  නැන්සි පෙපර් සිය ඒකාග්‍රතාවය බිඳ දමා පැවසුවාය…”

“නැහැ… එහෙම කියන්න බැහැ… එහෙම මාත්‍රණයක් කළා නම් රුධිර පරීක්‍ෂාවෙදි අනිවාර්යයෙන් අපට සොයා ගන්න පුළුවන් වෙනවා. මේ රුධිර පරීක්‍ෂාව ලෝකයේ වෙනත් පරීක්‍ෂණවලට වඩා දියුණු බව ඔබතුමිය දන්නවා නෙ… ඒක කොහොමටවත් වෙන්න බැහැ..”

“මෙහෙම වෙන්න බැරිද? මෙයා රුධිරයේදී සුළු කළෙකින් විනාශවන බෙහෙතක් මේ සඳහා පාවිච්චි කළා වෙන්න බැරිද?”

“බැහැ… මේ රුධිර සාම්පලය අති පිරිසිදුයි…අවම වශයෙන් නිකටින් ස්වල්පයක් වත් නැහැ… ඒ නිසා දුම් බොන තැනැත්තෙක් කියන්නත් අමාරුයි… පුදුමය කියන්නේ මේ සාම්පලයෙ කිසිම බැර ලෝහයක්වත් නැහැ…. සාමාන්‍යයෙන් මිනිසෙක් පාරෙ ඇවිදිනවිට ආඝ්‍රාහණය වන දුමෙන් ඇඟට ඇතුළුවන අංශූවලින් වත් මේ රුධිරය අපිරිසිදු වෙලා නැහැ..”

“එක්කෝ මේ රුධිරය තිබෙන පුද්ගලයා අති නවීන අති පිරිසිදු පරිසරයක අවුරුදු ගණනාවක් ජීවත් වන පුද්ගලයෙක් විය යුතුයි. නැත්නම් නිතර නිතර රුධිරය මාරු කරන පුද්ගලයෙක් විය යුතුයි. නමුත් මේ කරුණු දෙකම අපට ඉවත දමන්න සිදු වෙන්නෙ මෙයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්… ඒ වගේම ශරීරයේ කිසිදු සළකුණක් නැහැ එසේ රුධිරය මාරු කිරීමට එන්නත් කිරීමක් කරපු…. මේකයි මට තියෙන ප්‍රශ්නය…”

“අපට තිබෙන්නේ විකල්ප දෙකයි… මෙතෙක් වේලා නිහඬව සියල්ල අසා සිටි ප්‍රධාන පර්යේෂක ඩෙනිස් ලිපර්ඩ් සෙමෙන් කඩහඬ අවදි කළේය…”

විශ්ව කියන්නෙ කවුද? ඔහු පරීක්‍ෂණයෙන් අසමත් වේවිද? ඒජන්තයින් ඔහු ගැන මොනවා හොයා ගනීවිද? නාවික පර්යේෂණ ආයතනයේ මේ තරම් රහසිගතව සිදු කෙරෙන පර් යේෂණය කුමක්ද ?….

 

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

%d bloggers like this: