SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 3

“ඔබ ඇන්ඩ්‍රියා ජීන් සමර්ස්…”

“ඔව්…”

“වයස තිස් දෙකයි.”

“ඔව්….”

“විවාහකද?”

“නැහැ….”

“ඇයි ඔබ බර්ක්ලි විශ්වවිද්‍යාලයේම පශ්චාත් උපාධි පර්යේෂණයට යොමු වුණේ? ඔබ වැනි කෙනෙකුට ආචාර්ය උපාධියෙන් පසු වෙනත් ඕනම තැනකට යන්න පුළුවන් කම තිබුණා නෙ.”

“ඇත්තෙන්ම මගේ පර්යේෂණයේ තවත් වැදගත් අංගයක් නිම වෙලා තිබුණෙ නැහැ මම ආචාර්ය උපාධිය නිම කරන විට. ඒ නිසා මම උපාධියෙන් පසුවත් එතැනම සේවය කළා.”

“එය ඔබේ වෘත්තීය ජීවිතයට දැඩි පහරක් බව ඔබ දැන සිටියෙ නැද්ද?”

“මම එය දැන සිටියා.. නමුත් ඔබ සිතනවද අපරාධකරුවන්ගේ මුහුණෙ හැඟීම් අනුව ඔවුන් ඉදිරියේ දී යමක් කරයිද කියලා සොයන්න පුළුවන් පරිගණක වැඩ සටහනක් හදපු මා වගේ කෙනෙක්ගේ වෘත්තීය ජීවිතය මේ වගේ සුළු දේකින් අවසාන වෙයි කියලා?” ඇය පෙරළා ප්‍රශ්න කළා ය.

“මෙයා නම් බොහොම තියුණු තර්ක බුද්ධියක් ඇති කෙනෙක්….” නැන්සි එසේ සිතමින් සිය කඩදාසි ගොන්නේ යමක් සටහන් කර ගත්තාය.

“ඔබේ විශේෂඥතාවය තිබෙන්නේ පරිගණක වැඩසටහන් පිළිබඳව…. නමුත් මෙතැන සිදු වන්නේ තනිකරම ඉංජිනේරු අංශයේ, අණුක සහ පරමාණුක මට්ටමේ ගණනය කිරීම් සහ පරිගණක වැඩසටහන් ලිවීම සහ අත්හදා බැලීම… ඔබ හිතනවාද මෙතැන ඔබට සුදුසුම තැන කියලා?”

මෙතෙක් වෙලා නිහඬව සිටි ආචාර්ය ලිපර්ඩ් ඒ ප්‍රශ්නය යොමු කළේ  ඇගේ නෙත් දෙස කෙළින්ම බලාගෙන….

“ඇත්තෙන්ම මම හිතනවා  මම මෙතැනට සුදුසුයි කියලා.. මා ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ මගේ පරිගණක වැඩසටහනට වුවත් මගේ  විශේෂඥතාවය තිබෙන්නේ රොබෝටික්ස්… රොබෝවරුන් තැනීම… ඔබ දන්නවා රොබෝවරු තැනීම කියන්නෙ කෙතරම් අපහසු කටයුත්තක්ද කියා… පරිගණක වැඩසටහන් පමණක් නොවෙයි ඔවුන් සජීවීකරණය සඳහා අපට ඉංජිනේරු විද්‍යාවේ බොහෝ දේ කරන්න සිදු වෙනවා. යාන්ත්‍රික විද්‍යාව, ද්‍රව්‍ය හැසිරීම සහ ඒවායේ ගුණ, නැනෝතාක්‍ෂණය, ජීව විද්‍යාව, මානව ව්‍යුහ විද්‍යාව ආදී සියලු අංශවල එකතුවක් මේ විෂයය. ඒ වගේම ගුරුත්‍වය පිළිබඳ මනා දැනීමක් නොමැතිව රොබෝවරයෙකුට ජීවය දෙන්න අපහසුයි…”

ඇගේ ඇස්වල කළු ඉංගිරියා විශාල වනු ලිපර්ඩ් ට හොඳින්ම පෙණුනි. ඇයට පිටුපසින් සිටි තාක්‍ෂණික නිලධාරියාගේ දකුණතේ මහපටැඟිල්ල පහළට යොමුවනු සියළුම දෙනා හොඳින් දුටුවෝය.

තවත් ප්‍රශ්න කිහිපයකට අනතුරුව…………..

“හොඳයි…. අපි ඔබට දන්වන්නම් අපේ තීරණය තව දින දෙකකින්… ඒ අතරතුර ඔබ සැළකිළිමත් විය යුතුයි ඔබ අද උදෑසන අත්සන් කළ ලිපිය පිළිබඳව… එය කඩ කළහොත් මේ රැකියාවත්, දැනට ඔබ කරන රැකියාවත් අහිමි වෙන්න පුළුවන්. සුභ දවසක්…”

“ස්තූතියි… මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබ හැමටම ස්තූති වෙනවා..”

සී අයි ඒ ආයතනය, එෆ් බී අයි ආයතනය, ජාතික ආරක්‍ෂක ඒජන්සිය නාවික පර්යේෂණ ආයතනය, පෙන්ටගනය වැනි ස්ථානවල අවසාන සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙත්නේ දැඩි ආතතියක් ගෙන දෙන තත්ත්‍ව මධ්‍යයේ දී ය.  එය යන්ත්‍රාණුසාරයෙන් සිදු කරන්නේ එම කාර්යය මානව සබඳතාවයකින් තොරව අදාළ ප්‍රතිඵල ඉහළ නිරවද්‍යතාවයකින් තබා ගත යුතු නිසා ය. මේ සඳහා භාවිත කරන යන්ත්‍රය Polygraph යන්ත්‍රය යනුවෙන් හඳුන්වයි. එයින් අදළ පුද්ගලයා පවසන්නේ සත්‍යයක්ද නැද්ද යන්න එවේලේම පෙන්වා දෙයි. පළමුව අපේක්‍ෂකයාගේ සිරුරෙහි පපුව වටා වයරයක් ඇද එය ඉලෙක්ට්‍රෝඩයකට සම්බන්ධ යන්ත්‍රයකට සවි කරන අතර ඇඟිලිතුඩු, බෙල්ලේ, සහ හිසේ ඇසට ඉහළින් වූ මර්මස්ථානයේ කුඩා ඉලෙක්ට්‍රෝඩ සවි කර ඒවා ද අදාළ යන්ත්‍රයට සවි කෙරේ. මෙය කිසිවෙකු බොරු කියන්නේදැයි සොයා ගැනීමේ මූලිකම පරීක්‍ෂණයයි. බොරුවක් කියනවිට කළු ඉංගිරියාවෙහි ප්‍රමාණය වෙනස් වුවත්, පළපුරුදු බොරුකාරයෙකුට එය නොවෙනස්ව පවත්වා ගැනීම ද අපහසු නොවේ. නමුත් බොරුවක් දැන දැනම කියනවිට වෙනස්වන හෘද ස්පන්දන වේගය, මොළයේ ස්නායු තන්තු අතර ඇතිවන විද්‍යුත් අසමතුලිතතාවයන් සහ මොළයට රුධිරය ගමන් කිරීමේ විශමතාවයන් නිසා ශරීරයේ ඇතිවන ඉතා සූක්‍ෂම විද්‍යුත් ආරෝපණ වෙනසත්, ශරීරය මතුපිට වෙනස්වන ආරෝපණ වෙනසත්, ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණයෙහි වෙනසත් ගණන් බැලූ විට ඒ පුද්ගලයා කියන්නේ බොරුවක්ද ඇත්තක්ද යන්න සොයා ගැනීම ඉතා පහසු කාර්යයක් වී ඇත. මුලින්ම අපේක්‍ෂකයා විසින් නිසැකවම ඇත්ත පිළිතුරු ලබාදෙන ප්‍රශ්න යොමු කිරීම මගින් යන්ත්‍රයේ නිරවද්‍යතාවය සහතික කර ගනී. ඉන්පසු සිය ඉලක්ක ප්‍රශ්න යොමු කිරීම මගින් අදාළ කරුණ වෙත ඒ පුද්ගලයා කොටු කරගෙන අවශ්‍ය දේ දැනගත හැකිය. කෙසේ වුවත් මෙම යන්ත්‍රය සාමාන්‍යයෙන් පොලිස් ස්ථානවල සහ අපරාධ පරීක්‍ෂණවල භාවිත වන ඔව්/නැහැ පිළිතුරු ලබාදෙන පොලිග්‍රාෆ් යන්ත්‍රයකට වඩා දියුණු යන්ත්‍රයකි. මේ නිසා තම අපේක්‍ෂකයාගේ දීර්ඝ පිළිතුරක ඇති නිරවද්‍යතාවය සහ අවංකභාවය ඉතා කදිමට නිර්ණය කිරීමට අදාළ බලධාරීන්ට හැකි වේ.

“මේක වෙන්න පුළුවන් කොහොමද?”

ජනරාල් වෙලිංටන් තමාට ලැබුණු වාර්තාව තෙවන වරටත් කියවා අවසානයේ සිය තට්ට හිස අතගාමින් කල්පනා කළේය….. කවදාවත් කිසිම කෙනෙකුගෙ පසුබිම් වාර්තාවක් මේ තරම් පිරිසිදුව නො ලැබුණ බව තමාට විශ්වාසය. අවම වශයෙන් රටේ ජනාධිපතිවරුන්ගේ පවා සොයාගත හැකි පැහැදිළි වැරැදි තිබිය දී අවම වශයෙන් මාර්ගනීති කඩ කිරීමක් වත් සිය දත්ත සටහනේ නොමැති මේ තරුණයා ගැන Blood Hound නොහොත් ජනරාල් වෙලිංටන්ට හට ගත්තේ මහත් සැකයකි.. වහාම සිය සහායිකාවට ඇමතූ ඔහු සිය කණ්ඩායමේ සිටින දක්‍ෂතම දත්ත හාරන්නන් දෙදෙනා සිය කාර්යාලයට එවන්නැයි අණ කළේය.

“බිල්….. මයික්….. මට කියන්න පුළුවන් ද කෙනෙක්ගෙ පසුබිම් දත්ත සටහනක් මේ තරම් පිරිසිදු වෙන්න පුළුවන් කොහොමද කියලා.” කාලය නාස්ති කිරීමට අකමැති ජනරාල් වෙලිංටන් කෙළින්ම සිය අවශ්‍යතාවය ඔවුන් හමුවේ ගෙනහැර දැක්වීය.

“මේක වෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නෙ. එක්කෝ මේ පුද්ගලයා ඇත්තෙන්ම පිරිසිදු පසුබිමක් තිබෙන පුද්ගලයෙක් වෙන්න ඕන. නැතිනම් ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකා දමලා අලුත්ම අනන්‍යතාවයක් ලබා ගන්න ඕන…” “නමුත් මේ වාර්තා පිළිබඳ බැලුවාම දෙවැන්න අපට බැහැර කරන්න සිදු වෙනවා. මේ බලන්න ඔහු එක්සත් ජනපදයට ඇවිත් තිබෙන්නෙ වයස 13 දි. එතැන් පටන් සියළුම වාර්තා මෙතැන තිබෙනවා… ඒ විතරක් නොවෙයි වීඩියෝ දර්ශනත් සමඟ අනන්‍යතාවය සඟවපු පුද්ගලයෙක් කවදාවත් මෙහෙම ප්‍රසිද්ධියේ හැසිරෙන්නෙ නැහැ. ඒ වගේම අපට පැහැදිලිවම පේනවා මොහු දක්‍ෂ පුද්ගලයෙක් කියලා… ඔහුගෙ ක්‍රීඩා විලාශයෙන්ම පේනවා ඒ බව.. එපමණක් නොවෙයි අපි ඔහුගෙ දෙමාපියන්ගෙ අතීතයත් හාරා අවුස්සා බැලුවා… ඒවයින් වත් පෙනෙන්නෙ නැහැ ඔහු කිසිම වැරැද්දක් කර ඇති බව.. ඔවුන් සියලුම දෙනා බොහොම නීතිගරුකව සිටි පවුලක්.. ඒ වගේම ඔහුගෙ පියා ….”

“මම දන්නවා…. මම විතරක් නොවෙයි මුළු ලෝකයම දන්නවා.”

“එහෙනම් ඔබ කියන්නෙ දැන් මේ තරුණයා පිරිසිදු අතීතයක් ඇති කෙනෙක් කියලා?”

“ඔව්…. ජනරාල් තුමනි….”

“මෙයාට පෙම්වතියක් ඉන්නවද? ඉඳලා තියෙනවද?”

“දන්න ආකාරයට නම් කිසිම සම්බන්ධතාවයක් තිබිලා නැහැ… නමුත් යාළුවො නම් බොහොමයක් ඉන්නවා… Facebook එකේ පමණක් යාළුවො 666ක් සිටිනවා… දැනට අවුරුදු ගණනක ඉඳලම මේ සංඛ්‍යාව වෙනස් වෙලා නැහැ.. එක්කෝ කවුරුහරි එකතු වෙන්නට පෙර කිසිවෙකු ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. ඔහු අංක 666  දැඩි ලෙස අනුගමනය කරන කෙනෙක්…”

“666 යක්‍ෂයාගේ අංකය….. ඔය තියෙන්නෙ පොටක් පෑදිලා…”

“දැන්මම සොයන්න 666 ට මෙයාගෙ ඇති වෙනත් සම්බන්ධතා මොනවද කියලා…. සමහරවිට මෙයා යක්‍ෂයාගේ කල්ලියේ කෙනෙක් වෙන්න ඇති… මේ වගේ සාන්ත දාන්ත අය තමයි අපට ලොකු කරදරයක් වෙන්නෙ… දැන්මම දෙන්නා ගිහින් මට පැයක් ඇතුළත මේ සම්බන්ධය හොයලා ගෙනැත් දෙන්න ඕන…. ඒ වගේම පුළුවන්  නම් මෙයාගෙ ගමන් බිමන් ගැන සැටලයිට් දර්ශන, මාර්ග කැමරා දර්ශන තියෙන ඒවා අරගෙන එන්න… මුහුණ හඳුනා ගැනීමේ (Face Recognition) වැඩසටහනකින් මෙයාගෙ තියෙන සියළුම ෆොටෝ, වීඩියෝ ආදිය සොයා ගන්න…. මෙයා සමහර විට අපට අහු නොවෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්…. ඒ වගේම Facebook එකේ දාපු ප්‍රතිචාර තියෙනවා නම් සහ ඒකෙ විවිධ කණ්ඩායමවලට ඇතුළත් වෙලා තියෙනවා නම් ඒ හැම එකකම විස්තර මට ඕන… මේක ඉහළම වැදගත්කමක් ඇති (High Priority) වැඩක් විදියට මතක තියාගන්න…”

“හොඳමයි ජෙනරාල් තුමනි..”

666: යක්‍ෂයාගේ අංකය (Devil’s number/Number of the Beast)

අංක ගණන් කිරීමේදී පළමු අංක 36 හි එකතුව 666 කි. (1+2+3+4+……….+34+35+36 = 666) මේ නිසා ත්‍රිකෝණාකාර අංකයක් ලෙස සළකනු ලැබේ.  666 දක්වා වූ ප්‍රථමක සංඛ්‍යා ගණන 121 කි. 121 හි මූලය 11 කි. 0-36 දක්වා ඇති ප්‍රථමක සංඛ්‍යා ගණන ද 11 කි. එසේම 666 අධි අංකයකි. (abundant number) – එනම් අංක න්‍යායට අනුව කිසියම් අංකයක් බෙදෙන අංක සංඛ්‍යාවෙහි එකතුව එම අංකයට වඩා වැඩි නම් එය අධි අංකයක් යැයි සළකනු ලැබේ. පළමු අධි අංකය 12 ය (1,2,3,4,6 යන සංඛ්‍යාවලින් 12 බෙදේ – එහි එකතුව 16කි). එසේම 666 පුනරාවර්තී  අංකයකි(11,22,444, 666). රෝම ඉලක්කම්වල 666 යනු 1000ට අඩු අවස්ථාවකදී සියළුම අංක සළකුණු දැකිය හැකි එකම අංකයයි, DCLXVI, (D=500, C=100, L=50, X=10, V=5, I=1). යුදෙව් ආගමට අනුව ලෝකය මැවීම සහ පරිපූර්ණ කිරීමට අදාළ අංකය 6 වේ (දින 6 කින් ලෝකය මැවීමත් 6 දිශාවකට පරිපූර්ණ කිරීමත් ඇතුළුව)

ක්‍රිස්තියානි ආගමේ නව තෙස්තමේන්තුවේ 13 වන පරිච්ඡේදයේ අංක 666 ට වැරැදි චිත්‍රයක් මවාපෑම නිසාම බොහෝ බටහිර ජාතීන් අතර 666 සාතන්ගේ අංකය ලෙසින් වැරැදි වැටහීමක් ඇති කරගෙන තිබේ. එසේම අනාගමිකවාදීන් (Anarchists) ද අංක 666 ට විවිධාකාර අර්ථකතන දීමත් එංගලන්තයේ ආතර් රජු අනාගමිකවාදියෙකු විසින් ඝාතනය කිරිම යන කරුණු නිසාත්, මාධ්‍ය මගින් සහ විවිධ කල්ලි මගින් 666 සිය පෞද්ගලික අවශ්‍යතාවයන් අනුව අපරණය කිරීමත් යන කරුණු නිසා අංක 666 යක්‍ෂයාගේ අංකය ලෙස බටහිර ජාතීන් අතර ප්‍රසිද්ධ ය… ජෙනරාල් වෙලිංටන් බුද්ධි අංශය භාර ඉහළ නිලධාරියෙකු වුවත් සිය බුද්ධිය අභිබවා සිය ආගමත් විශ්වාසයත් ඉදිරියට පැනීම නිසා ඔහු ද එය යක්‍ෂයාගේ අංකය ලෙස පිළිගැනීම විමතියට කරුණක් නොවේ.

“මොනවද මේ මනුස්සයා කරන්නෙ…. ?”

වීඩියෝ පටය දෙස බලා සිටි සියලුම දෙනාට වූ පැනය වූයේ එයයි….

ඔහු දෑස් පියාගෙන නින්දකට පත්වී ඇත්තාක් මෙන් නිසොල්මන් වී සිටී…… තමන් පැමිණ සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මිලියන තුන්සිය තිහක ජනතාවගෙන් කිහිප දෙනෙකුට පමණක් හිමිවන අවස්ථාවක් ලබා ගැනීමට බව අමතක වී ඇතිවාක් සේ ඔහු නිද්‍රාවට වැටී ඇත.

මැතිව්…. ඇයි ඔබ ස්ටැන්ෆර්ඩ් වැනි කීර්තිමත් විශ්වවිද්‍යාලයක මහාචාර්ය තනතුරක් අතහැරලා මේ වගේ තැනක රැකියාවක් බලාපොරොත්තු වෙන්නෙ ?

“ඔහුගේ මුහුණේ සිනාරැල්ලක් ඇඳුනි…”

“ඔබ දන්නවා මහාචාර්ය තනතුරක වගකීමකට වඩා මට මේ වගේ තැනක විශාල කාර්ය භාරයක් කරන්න පුළුවන් බව…. හැරත්, මට ඒ මහාචාර්ය තනතුර ලැබුණෙ මගේ සුදුසුකම්වලටම වඩා මගේ පවුල් පසුබිමට…. මගේ පියාගෙ සුදුසුකම් නිසා මමත් ඔහු වගේම විශ්වවිද්‍යාලයට කීර්තියක් අත්කරදේවි කියා ඔවුන් හිතන්න ඇති.”

“ඔබ හිතනවද ඔබේ පියාගෙ තනතුරු සහ සම්බන්ධතා මේ ස්ථානයේ සේවයට බාධාවක් වේවි කියා..”

“නැහැ… මගේ පියා ඉන්නෙ කැලිෆෝනියාවෙ.. ඒ වගේම ඔහුගෙ විෂය ක්‍ෂෙත්‍රය මෙයට කිසිම අදාළතාවයක් නැහැ… ඔහු රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්…. ඒ වගේම ඔහුගෙ තනතුරු මෙයට අදාළ වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෙ නැහැ… නමුත් ඔහුගේ සම්බන්ධතා මගේ මහාචාර්ය පදවියට නම් බලපාන්න ඉඩ තිබෙනවා.”

“මැතිව්… ඔබ දන්නවා ඔහු තිස්තුන්වන මට්ටමේ මේසන්වරයෙක් (33rd Degree Free Mason) බව…”

“මම විතරක් නොවෙයි… මේ මුළු ලෝකයම දන්නවා…. ඔහු එය හංගන කෙනෙක් නොවෙයි… ඔබ නොදන්නවාට සොලමන් පරම්පරාවම මේසන්වරුන්… අමතක කරන්න එපා අපේ පරම්පරාව පැවත එන්නෙ සොලමන් රාජ පරම්පරාවෙන් කියලා….”

මැතිව් පෙරළා පිළිතුරු දුන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අන්දමටය….

“ඒත්, මට හිතාගන්න බැරි ඇයි ඔබලා මේ මගේ අතිශය පෞද්ගලික කාරණා මෙතැනට ඇදලා ගන්නෙ කියලා.. මම මෙතැනට ආවෙ ඒ සම්බන්ධකම් නිසා නොවෙයි.. මගේ සුදුසුකම් අනුව… ඔබ හිතනවා නම් මම මෙතැනට නුසුදුසුයි කියලා ඔබට තිබුණා අපි හැමෝගෙම කාලය නාස්ති නොකර මෙය මුලදිම නවත්වන්න..”

ඉහළම සුදුසුකම් ඇති, කේවල් කළ නොහැකි ලෙස අදාළ තනතුරට සුදුසු අපේක්‍ෂකයින් සමහරවිට සිය පෞරුෂත්‍වය විදහාලනු වස් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය ඉදිරිපිට පාරම් බෑවත්, මැතිව් සොලමන් එසේ මෙසේ පුද්ගලයෙකු නොවන බව ඔහුව පරීක්‍ෂණයට භාජනය කරන සිවු දෙනාම හොඳින්ම දැන සිටි කරුණකි. මැතිව් සොලමන්ගේ පියා කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය එඩ්වඩ් සොලමන් වේ. සොලමන් පරම්පරාව පැවත එන්නේ ක්‍රිස්තු පූර්ව 970-931 දක්වා ජෙරුසෙලමේ රජකම් කළ සොලමන් රාජ පරම්පරාවෙන් යැයි විශ්වාසයක් පවතී. ජෙරුසලමේ පළමු පල්ලිය තැනුවේ සොලමන් රජතුමා විසින්ම ඇඳි සැලසුමකට අනුව යැයි පුරාවෘතවල සඳහන්වේ. කළෙක ඉතා රහසිගත සමාජයක් වූ නමුත් දැන් දැන් ප්‍රසිද්ධියේම හැසිරෙන Free Mason වරුන් හා සොලමන් පරම්පරාව  අතර වූ සම්බන්ධය සමහරු බැහැර කරතත්, සොලමන් පරම්පරාව සිය  මුතුන්මිත්තන්ගේ රාජකීය තේජස මෙන්ම රාජකීය රුධිරය පිළිබඳ තවමත් ආඩම්බර වෙමින්  එය රැකගනිමින් ඉදිරියට ගමන් කරති.

“මැතිව්… මතක තියාගන්න ඔබ ඇවිත් තිබෙන්නේ සම්මුඛ පරීක්‍ෂණයකට මිසක් පුවත්පත් සාකච්ඡාවකට නොවෙයි…. අද්මිරාල් රිචඩ් බවර්ගේ කටහඬ දැඩි විය….”

“666……………. මේක මෙයාගෙ ජීවිතයට බොහොම සමීප අංකයක් වෙලා තියෙන්නෙ ඇයි කියලා දැනුයි තේරෙන්නෙ… මටත් අමතක වුණ හැටි…ඒත්… මෙච්චර සංයමයක් තියෙන කෙනෙක් ඇයි මේ වගේ සිදුවීමකදි මෙච්චර හැඟීම්බර වෙන්නෙ? මිනිහා රාජකාරියෙදිත් මේ වගේ වුණොත් අපට මෙයා සුදුස්සෙක් වෙයිද?”

සිය පරිගණක මොනිටරය දෙස බලාගෙන ජෙනරාල් වෙලිංටන් තනිවම කල්පනා කරන්නට පටන් ගත්තේය…

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

%d bloggers like this: