SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 4

“විශ්ව සමාධි සූර්යබණ්ඩාර….”

“ඔව්…”

“වයස අවුරුදු 30 යි…”

“හරි….”

“ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ… ඔබට හාවඩ් විශ්වවිද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්….” මහාචාර්ය ලිපර්ඩ් සම්මුඛ පරීක්‍ෂණය ආරම්භ කරමින්ම විශ්වගෙන් ඇසුවේ ය.

“මේ මගේ කැමැත්ත තිබෙන පැත්ත.. හාවඩ් විශ්වවිද්‍යාලයට ගියත් මට මගේ පර්යේෂණවලට මෙතැන වගේ සම්පත් සහ උපකරණ ආදිය සොයා ගන්න අමාරු වෙයි… බලන්න ඔයාලා ලඟ තිබෙන අවම ඝර්ෂණය සහිත ප්‍රති ගුරුත්ව මේසය…. ඔයා හිතනවද මේ වගේ උපකරණයක් මට හාවඩ් විශ්වවිද්‍යාලයෙන් හොයා ගන්න ලැබෙයි කියලා…”

මහාචාර්ය ලිපර්ඩ් සහ නීල් ෆියු මුහුණට මුහුණ බලා ගත් අතරම නැන්සි සිය කටහඬ අවදි කළා ය.

“ඔයාගෙ ජීව දත්ත සටහනේ සඳහන් වෙනවා ඔයා බොහෝ ක්‍රීඩා කළ පුද්ගලයෙක් බව.. ඔයා කොහොමද බර්ක්ලි වගේ විශ්වවිද්‍යාලයක ඇති වැඩ කන්දරාවත් එක්ක මෙතරම් හොඳට විභාග සමත් වුණේ…”

“බර්ක්ලි විශ්වවිද්‍යාලය වගේ තැනක මලල ක්‍රීඩාවට තැන දෙන අය හරිම අඩුයි. ඒ වගේම මම කුඩා කාලයෙ ඉඳලම වෙලාව හොඳින් කළමණාකරණය කරගෙන හිටපු කෙනෙක්, ඒ නිසාම මට අධ්‍යාපනයට කියලා විශේෂයෙන් අමතර කාලයක් යොදවන්න අවශ්‍ය වුණේ නැහැ.”

“අපි දන්නවා ඔයාට ඉතා හොඳ මතක ශක්තියක්, යමක් එකවරක් බැලූ විට මතක තබා ගැනීමේ හැකියාවක් (Photographic Memory) තිබෙන බව… අපට කියන්න පුළුවන්ද ඔයා ඒ හැකියාව ලබා ගත්තෙ කොහොමද කියලා…”

ඔහුගේ මුහුණේ සිනා රැල්ලක් දුටු පළමු අවස්ථාව එය විය.

“ඔයා සෑහෙන්න ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් බලනවා වගෙයි…”

විශ්ව තරමක් උපහාසයෙන් පැවසීය.

“ඇමරිකානු රූපවාහිනී වැඩසටහන්වල කියැවෙන Photographic Memory කියන ප්‍රස්තූතය ඇත්තෙන්ම සත්‍යයක් නොවෙයි නැන්සි මහත්මිය. ඔයා දන්නවා ඇති CIA නිලධාරිනියක් විදියට ඔබේ ආයතනයේවත් Photographic Memory ඇති අය නැති බව. නමුත් මට හොඳ මතකයක් තිබෙනවා. එය Photographic Memory එකක් නොවෙයි. මගේ අවධානය එකතැනකට යොමු කළ විට ඒ දේවල් හොඳින් මතක තබා ගැනීමේ ශක්තියක් තිබෙනවා. එය මනස පුහුණු කිරීමෙන් කළ හැකි දෙයක්…”

“ඔයා කොහොමද හිතන්නෙ මම CIA ආයතනයෙ කියලා….”

“නැන්සි මහත්මිය, ඔයාගෙ හැසිරීමෙන් අහන ප්‍රශ්නවලින් මට අනුමාන කරන්න පුළුවන් ඔයා එවැනි ආයතනයකින් පැමිණි අයෙක් බව, ඔබේ ලඟ ඇති ප්‍රශ්නවල ක්‍ෂෙත්‍ර දැනුමක් නැහැ. ඔයා මෙතැනට ඇවිත් තිබෙන්නේ පුද්ගල චර්යාවන් නිරීක්‍ෂණයට.”

නැන්සි පෙපර්ගේ දෑස් විශ්මයෙන් ඇළලෙනු එතැන සිටි බොහෝ දෙනාට දැනුණි…

“හොඳයි විශ්ව…. ඔයා ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධියට හැදෑරුවෙ ප්‍රතිගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳව… නමුත් බොහෝ ශිෂ්‍යයෝ ආචාර්ය උපාධියට හදාරන්නෙ මෙයට වඩා වෙනස් විෂයයන්, ඇයි මේ වගේ වෙනස් විෂයයක් තෝර ගත්තෙ?”

“පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණය කිසිවිටෙක එක හා සමානව පැතිරිලා නැහැ. සමහර ස්ථානවල වැඩි ගුරුත්වයකුත්, තවත් සමහර ස්ථානවල අඩු ගුරුත්වයකුත් පවතිනවා. උදාහරණයක් වශයෙන් බහමාස් දූපත් අසළ, ඉන්දියාවේ හිමාලය කඳුවැටියේ පරිවාර කඳු සහ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට දකුණින් රූමස්සල නම් ප්‍රදේශයේ පවතින්නේ බොහොම අඩු ගුරුත්ව ක්‍ෂෙත්‍රයන්. ඒ වගේම අන්දීස් කඳු, පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයේ සමහර පෙදෙස්වල ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය බොහොම වැඩියි. මෙන්න මේ විසංකූලතා සහ තවත් ඓතිහාසික සාධක මත මම ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර පිළිබඳ හැදෑරීම තෝරා ගත්තා..”

“නමුත්, ඔයා ගුරුත්‍වය පිළිබඳ දරන ආකල්පය බොහොම වෙනස් දෙයක්….”

“ඔව්… මම ගුරුත්‍වය පිළිබඳ හිතන්නෙ එය වස්තු දෙකක් අතර වූ සම්බන්ධතාවයක් විදියට. සරල උදාහරණයක් ගත්තොත් යම් කෙනෙක් තවත් කෙනෙක් වෙතට දරන ආකර්ෂණය හෝ විකර්ෂණය ඒ දෙදෙනාගේ ජීව රසායනය අනුව වෙනස් වෙනවා; එහෙමත් නැතිනම් අණු හෝ පරමාණු දෙකක් අතර බැඳීම ඒවායේ ආරෝපණ අනුව සහ වෙනත් සාධක මත වෙනස් වෙනවා. මේ බැඳීම් වගේම විශාල වස්තූන්වල ආකර්ෂණය විකර්ෂණයත් මෙන්න මේ කුඩා අණුක-පරමාණුක සම්බන්ධතා අනුව ගණනය කරන්න පුළුවනි. ඒත් බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ ගුරුත්‍වය බලපාන්නෙ විශාල වස්තුවලට පමණක් බව, අපි පොළව අතගාලා වැලිකැටයක් ගත්තොත් එයටත් කිසියම් ගුරුත්‍වයක් තිබෙනවා.”

“ඔයාලා දන්නවානෙ ගුරුත්‍වය ගණනය කරන සරලම සමීකරණය.”

g = GM/r2

“මෙහිදී ඔයාලට පේනවා ඇති  r  අගය ගුරුත්‍වයට ලොකු බලපෑමක් කරන බව. දැන් ඔබ වැලිකැටයක් වැනි කුඩා දෙයක්  සළකා බැලුව හොත්, අන්න ඒකටත් කිසියම් අරයක් තිබෙනවා. M  කියන්නෙ එහි ස්කන්ධය, G  ගුරුත්වාකර්ෂණ නියතය… මෙන්න මෙතැනදියි බොහෝ දෙනාට වරදින්නෙ.. ඒ වගේම නොසළකන්නෙ අපට මෙන්න මේ කුඩා වස්තූන්වල ගුරුත්‍වාකර්ෂණ නියතය හදාරන්න අපහසුයි පෘථිවි ගුරුත්‍වය බලපාන නිසා. නමුත්, අපට හැකි නම් පෘථිවි ගුරුත්‍වය නොසලකා හරින්න නැතිනම් ශුන්‍ය කරන්න, අන්න ඒ අවස්ථාවෙදි අපට පුළුවනි එක් එක් වස්තුවලින් අනෙක් දේවලට ඇති ආකර්ෂණය–විකර්ෂණය ගණනය කරන්න. මගේ පර්යේෂණය වුණේ මෙන්න මේ ගුරුත්‍වය නොසලකා හැරිවිට සිදුවන අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනය. ඉතින්, ඔයාලට දැන් තේරෙනවා මම ඇයි හාවඩ් විශ්වවිද්‍යාලයට වඩා මෙතැනට කැමැත්තක් දක්වන්නෙ කියලා.”

“ඒ පිළිතුරෙන් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවු දෙනා පමණක් නොව සත්‍යය නිර්ණය කරන පොලිග්‍රාෆ් යන්ත්‍රය ක්‍රියාකරවන තාක්‍ෂණික නිලධාරියා ද සෑහීමකට පත්වනු විශ්වට දැණුනි.”

Piece of Cake!

මැතිව් නාවික පර්යේෂණ ආයතනයෙන් පිටත්වන පිටවන විටම තමන්ට කියා ගත්තේය.

33 වන මට්ටමේ මේසන්වරු ලෝකයේ සිටින්නේ අතලොස්සකි. රහස්‍යව පැවති අති බලවත් සමාජයක් වූ Free Masons නම් සමාජයට අයත් බලවත් පුද්ගලයින්ගේ ලැයිස්තුව එසේ මෙසේ එකක් නොවේ. ජෝර්ජ් වොෂිංටන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, එළිසබෙත් රැජිනගේ ස්වාමියා වන එඩින්බරෝ ආදිපාද ෆිලිප් කුමරු, වින්ස්ටන් චර්චිල් වැනි ලොව පාලනය කිරීමට සම්බන්ධ බලවතුන් ද, සුප්‍රකට කතා රචක සර් ආතර් කොනන් ඩොයිල්, ගලිවරය ලියූ ජොනතන් ස්විෆ්ට් වැනි ලේඛකයින්, ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින් වැන්නවුන් මෙන්ම හිල්ටන් හෝටල් සමූහයේ නිර්මාතෘ චාර්ල්ස් හිල්ටන්, වෙන්ඩීස් අවන්හල් සමූහයේ නිර්මාතෘ  ඩේව් තෝමස් වැනි ව්‍යාපාරික දැවැන්තයන් ද, ඉන්දියාවේ ආගමික ගුරු ස්වාමි විවේකානන්ද  ඇතුළු ලෝ වටා වූ බොහෝ බලවත් පුද්ගලයින් රැසක් සාමාජිකත්‍වය දරන ඉතා බලවත් සමාජයක් වන මෙහි සාමාජිකත්‍වය ලබා ගැනීමට ද අතිශය අපහසු කරුණකි. එසේ ලබා ගන්නා සාමාජිකත්‍වය වරින් වර සිදු කෙරෙන සමත්කිරීම් සහ පරීක්‍ෂණවලින් පසුව මට්ටමින් මට්ටම ඉහළට ගොස් අවසන උසස්ම මට්ටම වන 33 වන මට්ටමට උසස් කරනු ලැබේ. එය අතිශය උසස් ස්ථානයකි. ලොව පුරාම 33 වන මට්ටමේ මේසන්වරු සිටින්නේ අතලොස්සකි. ඒ අතරට බලවත් රාජ්‍ය නායකයින් බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් සහ සොලමන් පරම්පරාව මෙන් පාරම්පරික මේසන්වරු ද අයත් වෙති.

සිය පියාගේ සම්බන්ධතා මෙන්ම ආණ්ඩුව තුළ වූ මේසන්වරුන්ගේ බලපරාක්‍රමය මත මේ රැකියාව තමන්ට ලැබෙන බව දැන් ඔහුට ඉර හඳ සේ විශ්වාසය. තමා තරමක් උඩඟු බවක් පෙන්වුවත් එයින් තමාගේ නායකත්‍ව ගුණාංග ඉහළට ඔසවා තැබෙන බව ඔහු කල්පනා කළේ ය. කවුරු සම්මුඛ පරීක්‍ෂණයට පැමිණියත්, තමන්ට මේ අවස්ථාව ලැබෙන බව ඔහුට තේරුම් ගොස් තිබුණි.

ඇලෙක්ස් සිය වාර්තාව සම්මන්ත්‍රණ කාමරයේ සිටි සිවු දෙනා වෙත ගෙන ගොස් පසෙක වූ සුවිශාල තිරය මත දිස්වන්නට සැලැස්වීය. තම ආයතනයේ ඇති පර්යේෂණ විද්‍යාඥ තනතුර සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ගෙන් අවසන් අදියරට පැමිණි තිදෙනාගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම්වල පරිගණක විශ්ලේෂණ වෙන වෙනම සසඳා තිබුණි. ඒ අනුව පැහැදිලිවම පිළිතුරක් ලැබී තිබූ නමුත් පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවුදෙනාම එකසේ එයට කැමති වූයේ නැත….

“පරිගණක වැඩසටහන හරි වෙන්න පුළුවන්… නමුත් අපට තියෙනවා නේද කිසියම් හැඟීමක්…Gut Feeling එකක්… එතකොට ඒකට කිසිම තැනක් නැද්ද මෙතැන? නැන්සි නැවතත් සිය විරෝධතාවය පළ කළා ය….”

“නැන්සි… ඔබ දන්නවා අපි මෙතැන ගන්න හැම තීරණයක්ම තර්කානුකූලව ගත යුතුයි කියලා… හැඟීම් කියන්නෙ මිනිස්සුන්ගෙ බොහොම දුර්වල තැනක්… අපට වඩා ඔබ ඒක දන්නවා… නමුත් අපි යට වෙන්න හොඳ නැහැ සමාජ සම්බන්ධතාවලට…..”

“නමුත්, අපි මේ වාර්තාව මත පමණක් තීරණය ගන්න බැහැ නේද? FBI එකේ පසුබිම් වාර්තාව එනකල් කවුරු වුණත් ඉන්නෙ එකම තැනක… ඒක අනුව නෙ අපි අවසාන තීරණය ගන්නෙ…”

“ඇත්ත.. නමුත් මෙයා තමයි අපට දැනට හොඳටම සුදුසු… අපි දැක්කා එයාගෙ ඉදිරිපත් කිරීම, කියන්න තරම් වැරැද්දක් ඇත්තෙම නැහැ.. තරමක් මුරණ්ඩු ගතියක් පෙන්වුවත් බුද්ධිමත්, මම හිතන්නෙ අපි පරිගණක වැඩසටහන අනුව යා යුතුයි…”

“බලමු… තවත් වාර්තා එන්න තිබෙනවා නෙ…. එහෙනම් අපි ආයෙම කවද ද හමු වෙන්නෙ.. මට මේක ඉක්මනටම අවසන් කරලා මේ  පර්යේෂණය ඉක්මන් කරන්න ඕන…. කල් දාන්න බැහැ..”

සියලුම දෙනා සිය ජංගම දුරකථනවලින් සිය කාලසටහන් පරීක්‍ෂා කරන්නට වූහ.

“හලෝ……… මට පුළුවන්ද දකුණු ආසියානු බුද්ධි බලකායේ මේජර් බෙන්ජමින් වයිට් ට කතා කරන්න… මම ජෙනරාල් වෙලිංටන්… NSA එකෙන්……”

CIA මූලස්ථානයේ දුරකථන යතුරු පුවරුව ක්‍රියාකරවන මෙලිසා කොවැක්ස් සිය පරිගණකයට ජෙනරාල් වෙලිංටන්ගේ නම ඇතුළත් කළා ය.

“ජෙනරාල් වෙලිංටන් මහත්මයා, කරුණාකර ඔබේ රහස් අංකය  ඇතුළත් කරන්න….”

ජෙනරාල් වෙලිංටන් සිය දුරකථනයෙන් ඉලක්කම් කිහිපයක් ඔබා සිය අනන්‍යතාවය සහතික කළේ ය.

“ස්තුතියි… ඉන්න මම සම්බන්ධ කරන්නම්…”

අතිශය ආරක්‍ෂාකාරී මධ්‍යස්ථානවල ඉහළ නිළධාරීන්ට පිටතින් කිසිවකු ඇමතීමේ දී පිළිගැනීමේ නිලධාරිනිය හරහා යනවිට අදාළ පුද්ගලයා රහස්‍ය භාවයෙන් නිදහස් කරන ලද ඉහළ නිලධාරියෙකු නම් ඔහුගේ/ඇයගේ පෞද්ගලික රහස් අංකයක් පරිගණකයට ඇතුළු කිරීම මගින් අදාළ පුද්ගලයාට කෙලින්ම සම්බන්ධ විය හැකි වේ. එසේ නොවන කෙනෙකුගේ දුරකථන ඇමතුම බොහෝ විට පහළ නිලයක තාක්‍ෂණික නිලධාරියෙකු හරහා අදාළ පුද්ගලයා වෙත යැවෙන්නේ උසස් නිලධාරීන්ගේ අනන්‍යතාවයත් ආරක්‍ෂාවත් සහතික කිරීම පිණිස ය.

“මේජර් වයිට් කතාකරනවා….”

“මේජර්…. මම ජෙනරාල් වෙලිංටන්… NSA ප්‍රධානි…”

“ඔව් සර් මොකක්ද මගෙන් කෙරෙන්න ඕන….”

“මට ඔබෙන් තොරතුරු කිහිපයක් දැන ගන්න අවශ්‍යයි.. ඔබ නේද දකුණු ආසියානු කලාපයට අදාළ බුද්ධි අංශය භාරව ඉන්නෙ.?”

“ඔව් සර්…”

“මට එවන්න පුළුවන්ද 2006 ජුනි මස 06 වනදා ලෙබනනයේදි මියගිය එක්සත් ජාතීන්ගෙ සාම සාධක නිලධාරී සෙනරත් සූර්යබණ්ඩාර සහ ඔහුගෙ පවුල පිළිබඳ වාර්තාව… මට ඒ සිදුවීම ගැන පසුබිම් වාර්තාවක් ගන්න අවශ්‍යයි…”

“හොඳමයි ජෙනරාල් තුමනි… මම විනාඩි කිහිපයකින් එය ඔබේ ආරක්‍ෂිත විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබෙන්න සලස්වන්නම්.”

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙකු වූ සෙනරත් සූර්යබණ්ඩාර රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. ඉතා සාධාරණ සහ නීතිගරුක පුද්ගලයෙකු වූ ඔහු බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඔහුගේ නීතිමය දැනීමත් ක්‍ෂෙත්‍රයේ විශේෂඥතාවයත් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවන්ට උපදේශකත්‍වය සලසන නීති උපදේශක වරයෙකු ලෙස පත් කළ ඔහු, රටවල් කිහිපයක සේවය කළ පුද්ගලයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ගෞරවයට පාත්‍ර වූ ඔහු 2006 වසරේ ලෙබනන් යුද්ධය ඇරඹීමට දින 6 කට පෙර සිදු වූ අනතුරකින් සිය පවුලේ සාමාජිකයින් සමඟ ඝාතනය වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වූ තවත් කළු පැල්ලමක් විය. එය වැඩිදුර හෙළි නොවී යටපත් කිරීමට බලධාරීන් සමත් වුවත් ජෙනරාල් වෙලිංටන් එය දැන් හාරා අවුස්සන්නේ කුමකට දැයි බෙන්ජමින්ට සිතා ගන්නට නොහැකි විය…..

අද දිනයේ සිදු වූ සියල්ල සිය පියාට පැවසිය යුතු බව මැතිව්ට වැටහුණි. තමාට වෙන්කර තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගොස් සියළු බර බිමින් තැබූ හෙතෙම සිය ජංගම දුරකථනයෙන් පියාගේ කාර්යාල සහායිකාව ඇමතීය.

“එල්… මම මැට්…”

“කියන්න මැට්….”

“තාත්තා ඉන්නවද කාමරේ….”

“ඔව් ඉන්න මම සම්බන්ධ කරන්නම්…..”

පිය පුතු දෙපළ සම්බන්ධ කළ එලේනා දුරකථනය රඳවනයේ තැබුවා ය. මහාචාර්ය සොලමන්ගේ  සහායිකාව වන එලේනාට  මැතිව් නුහුරු පුද්ගලයෙකු නොවේ. නමුත් අද  ඔහුගේ කඩහඬ වෙනස් බව ඇයට දැණුනි. සමහරවිට ඔහු දිගු ගමනක් ගොස් ඇති නිසා අපහසුතාවයට පත්ව සිටිනවා විය යුතුය.

“ස්ටැන්ෆර්ඩ් එක දාලා මැට් මොකට වොෂිංටන් යන්න හදනවද මන්දා?” ඇය තමාටම කියාගත්තා ය.

ජනරාල් වෙලිංටන් නීතීඥ සෙනරත් සූර්යබණ්ඩාරගේ අතීතය හාරා අවුස්සා සොයා ගන්නේ කුමක්ද?

FBI ආයතනය විශ්ව ගැන සොයාගත් තොරතුරු නිසා ඔහුට කුමන ඉරණමක් අත්වේ ද?

සිය පියාගේ බලපරාක්‍රමය නිසා මැට් රැකියාව ලබා ගනීද ?

 

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

%d bloggers like this: