SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 5

තමා නැවතී සිටි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගිය විශ්වට සැහැල්ලුවක් දැණුනි. තමා ජීවිතයේ ඉතා වැදගත් කඩ ඉමක් පසු කළා සේ හැඟුණි. හැකි තරම් හොඳින් සිය සම්මුඛ පරීක්‍ෂණයට මුහුණ දුන් බව ඔහු දනී. දුක් වෙන්නට හේතුවක් නැත. සියල්ල හොඳින් සිදු වේවි.

අතරමග හෝටලයකින් මිල දී ගත් තමා කැමති පරිදි සකසා ගත් සලාදය සෙමෙන් අනුභව කරන අතරේ අද දවසේ සිදු වූ සිදුවීම් එකිනෙක ඔහු මෙනෙහි කරන්නට විය. ඔවුන් නො ඇසූ එකම ප්‍රශ්නය ගැන නැවත නැවතත් ඔහුට මතක් විය. තමා ඉතාමත් වැදගත් වචනයක් ඔවුන් ඉදිරිපිට දමාගැසුවත් ඔවුන් එය අල්ලා නො ගත් හැටි ඔහු මෙනෙහි කරන්නට විය. ‘මිනිස්සු කොයි තරම් දේවල් මඟහරිනවද? සෑම දේම සිතූ ආකාරයෙන්ම සිද්ධ වුණා.’

ඔහු නාන කාමරයට වැද සිය ඇඳුම් එකිනෙක උණා දමා වතුර මල යට සිටගත්තේ ය. සිය සිරුර පිරිසිදු කිරීම ඇරඹිය යුතු ය. සිය සිරුරට උණුසුම් ජලය වැටෙන විට අමුතුම ප්‍රබෝධයක් ඔහුට දැණුනි. විනාඩි කිහිපයක් උණුසුම් ජල දහරාව යට සිටි ඔහු සිය සිරුර  පිරිසිදු කිරීමේ සුවිශේෂ ද්‍රාවණය සිරුර පුරා ආලේප කළේ ය. උණුසුම් ජලයෙන් විවර වූ සිය සිරුරේ  සම මතුපිට වූ සිදුරු ඒ ද්‍රාවණය සිරුරට ඇදගන්නා බව හැමදාම මෙන් අද ද ඔහුට දැණුනි. නැවතත් වතුරමල යටට ගිය ඔහු අතිශය සීතල ජලයෙන් සිය සිරුර නැහැවෙන්නට ඉඩ හැරී ය. සිය සිරුර පිරිසිදු කරන ද්‍රාවණය සිරුරට කිඳා බස්සවමින් විවෘත ව තිබූ සියලු සිදුරු ක්‍ෂණයකින් වැසී යනු ඔහුට දැණුනි. නාන කාමරයෙන් ඉවතට ආ ඔහුට සිය සිරුර ගිණියම් වනු දැණුනි. වසර දහහතරක් පුරා සෑම දිනකම දැනෙන ඒ උණුසුම දැන් ඔහුට හොඳින් පුරුදු ය.

තමා ළදරුවකු සේ පිරිසිදු බව ඔහුට දැණුනි.

හෙට තමා නැවත යා යුතු ය. ඔහු දිගු නින්දකට සූදානම් ව ඇඳට පැන්නේ ය.

“ඒක මහ අසාමාන්‍ය උෂ්ණත්‍වයක්……. සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් දැකිය නොහැකි අන්දමේ තාපයක් පිටවුණේ…..”

“කොච්චරක්ද?”

“ෆැරන්හයිට් 10ක් දැක්වුවා කැමරාවෙ… මිනිහට උණ ගැණිල ද දන්නෙ නෑ අද වෙච්ච වැඩවලට…..”

“103 ක් කියන්නෙ සෑහෙන්න වැඩියිනෙ…. කමක් නැහැ… අපි බලමු මිනිහා මොකද කරන්නෙ කියලා….. දිගටම පටිගත කරන්න…. ඉහළින් ලැබුන අණ ඒකනෙ…”

ඉන්පසු ඔහුගේ තාප සංඥාව තද රතු පැහැයෙන් අසාමාන්‍ය නිල් පැහැයකට කෙමෙන් හැරෙනු, ඈත ගොඩනැගිල්ලක සිට අධෝරක්ත කැමරාවක ආධාරයෙන් පටිගත කරමින් සිටි FBI නිලධාරියාගේ කැමරාවේ සටහන් විය.

“මැරුණද? ”

“කෝ බලන්න? කිසි හැලහොල්මනක් නැහැ….. උෂ්ණත්‍වයත් අසාමාන්‍ය ලෙස අඩු වුණා….”

“නමුත් මැරුණත් මෙච්චර ඉක්මනට සීතල වෙන්න බැහැ නේද? ”

“ඔව්… ඒක හරිම අසාමාන්‍යයි…”

“කමක් නෑ… ආපු වැඩ ටික කර ගත්තා නෙ… දැන් යමු.. වැඩි වැඩ කරන්න ගියොත් අපටමයි කරදරේ….”

සිදු වූ සිදුවීමෙන් වික්‍ෂිප්ත වූ FBI නිලධාරීන් දෙදෙනා සිය කාර්යය සපුරාගෙන යන්නට විය.

“බොහොම ස්තූතියි ඔබ සැමට ම අදම මේ කටයුත්ත අවසන් කරන්න එකඟ වීම ගැන.” අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට ස්තුති කරමින් හමුව ඇරඹීය.

“මට අවශ්‍ය සියලු ම දත්ත ලැබිල තිබෙන්නෙ… මේක අපට ඉක්මනට අවසාන කරන්න පුළුවනි.”

“මුලින්ම අපි පළමු අපේක්‍ෂකයා ගනිමු.”

“පෞරුෂත්‍වය 70 % යි: ඉදිරිපත් කිරීම 89 % යි: දැනුම 90% යි: ……………………………………”

“නමුත්  විෂය පරාසය තරමක් පටුයි….  ඒක අපිත් දුටුවා සම්මුඛ පරීක්‍ෂණයෙදි…….”

“පසුබිම් විස්තර කිසි ප්‍රශ්නයක් නැහැ….. සාමාන්‍යයි…”

“නමුත් ඔහුට ඇති සම්බන්ධතා සමහරවිට ඉදිරියේ දී අපට ගැටලුවක් වේද කියන ප්‍රශ්නය මට තිබෙනවා…. ඒ හැරෙන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ…..”

“අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට තවත් විස්තර රාශියක් ඉදිරිපත් කරමින් පළමු අපේක්‍ෂකයාගේ සුදුසුකම් සවිස්තරාත්මකව ඉදිරිපත් කර…………………. නමුත් අපි අනිත් දෙදෙනා ගැනත් බලන්න ඕන….”

“දෙවන අපේක්‍ෂකයාගෙ පෞරුෂත්‍වය 76% යි: ඉදිරිපත් කිරීම 84% යි: දැනුම 80% යි: ……………………………………”

“මම නම් ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ….. කොහොමද අනිත් එක්කෙනා… කාලය කා දමන්නට අකමැතිවාක් මෙන් නැන්සි ඉක්මන් කළා ය…”

“නමුත් අනිත් එක්කෙනා තමයි ප්‍රශ්නෙ…..”

ගුවන් යානය තුළට ගොඩ වූ විශ්ව සුපුරුදු පරිදි දෙනෙත් පියා ගත්තේ ය…. කුඩා කළ සිටම ඔහු ගුවන් ගමන් අප්‍රිය කළ පුද්ගලයෙකි. සිය පියාගේ රැකියාවත් සමඟ රටින් රටට මාරු වීම සිය ජීවිතයේ අප්‍රසන්න අත්දැකීමකි… සෑම වසරකට වරක් හෝ දෙවසරකට සැරයක් කොහේ හෝ රටකට යෑමට සිදුවිය. ගුවන් තොටුපලවල සහ ගුවන් ගමන් ඔහුට ඒ තරමටම අප්‍රිය වූවේ ඒ නිසාවෙනි…. සිය පියා පරණ පුරුදු නීතීඥ රැකියාව කරගෙන ලංකාවේ සිටියා නම් තවමත් ඔහු ජීවතුන් අතර සිටිනු ඇතැයි විශ්ව අනන්තවත් කල්පනා කළේ ය. තමාටත් තම සොයුරියටත් හොඳ අනාගතයක් සලසනු පිණිස සිය පියාට ලැබුණ තානාපති තනතුර මෙවන් ඉරණමක් අත් කර දේ යැයි විශ්ව සිහිනෙකිනුදු නොසිතුවේ ය. අවසන තමා මෙලොව ඉතිරි කර සියල්ලන් තමාගෙන් සමුගත් අයුරු විශ්වට කිසි විටක අමතක කළ නොහැකි විය.

ඒ 2006 මැයි 15 වන දින සිය පවුල අවසාන වරට දකින දිනය යැයි විශ්වට කිසිදිනෙක නොසිතින. 2006 මැදපෙරදිග ඇති වන උණුසුම් තත්ත්‍වය සමනය කරනු වස් එක්සත් ජාතීන්ගේ සාම තානාපති සෙනරත් සූර්යබණ්ඩාර මහතා ලෙබනනයේ සාම තානාපති වශයෙන් පත් කර යවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට නීතිමය උපදෙස් ලබා දෙනු පිණිසත් ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ රජය අතර සාකච්ඡා සඳහා පහසුකම් සලසන්නෙකුත් ලෙසිනි. සිය පියා තත්ත්‍වය සමනය වූ පසුව තම  මවත්, සොහොයුරියත් ගෙන්වා ගත්තේ ඒ තරම් අන්තරායක් ප්‍රදේශයේ නොදුටු නිසාය. නැගණියට ලොව පුරා සංචාරය කිරීමේ ආශාව නිසාමත් ඇගේ පාසල් නිවාඩුව ඇරඹීම නිසාත් ඇයත් මවත් දෙදෙනාම පියා වෙත ගියේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල නිවාසවල සති කිහිපයක් කල් ගත කර ආපසු එනු පිණිස ය. සුප්‍රසිද්ධ ගෝලාන් කඳුකර පෙදෙස් බලා නැවත එන ගමනේ දී සිදු වූ අනපේක්‍ෂිත ප්‍රහාරයකින්   ඔවුන් සියලු ම දෙනා මිය යෑම ඔහුට කිසිසේත් දරාගත නොහැක්කක් විය.  එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැරිය නොහැකි පාඩුවක් වූවා පමණක් නොව එය මහා අපහසුවකට ද ලක් කළේ ය. ඉන් පසුව කිසිදු පහසුකම් සලසන්නෙකු විසින් පවුලේ සාමාජිකයින් අර්බුධ පවතින රටට රැගෙන නොයා යුතු බවට ද නව නීතියක් පැණවින. තමාද ඒ ගමනට සහභාගී වූයේ නම් තමන්ට මෙසේ තනිවන්නට සිදු නොවන බව ඔහු සෑම විටම කල්පනා කළේ ය.

විශ්ව නාවික පර්යේෂණ ආයතනයේ සම්මුඛ පරීක්‍ෂණයට ගොස් දින කිහිපයක් ගත විය.

උදාසන අවදි වූ වහාම ඊමේල් කිසිවක් ලැබී ඇත්දැයි පරීක්‍ෂා කිරීම රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට ගිය කාගේත් සිරිතකි. එපමණක් නොව වෘත්තියක නියැලෙන කාගේ වුවත් සිරිතකි.

මේ…. එයින් දෙදෙනකු ලැබූ ලිපියයි.

“හිතවත් ……………………………….,

පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේ දී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යෑමට අසමත් වූ බව කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමු. ඒ අනුව ඔබ ඒ පරීක්‍ෂණයෙන් අසමත් වී ඇති බැවින් අප ආයතනයේ ඔබ අයැදුම් කළ රැකියාවට ඔබ බඳවා නො ගන්නා බව කණගාටුවෙන් දැනුම් දීමට කැමැත්තෙමු. ඔබේ අනාගත කටයුතු සාර්ථක වේවායි පතමු.

ස්තූතියි.

ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්

ප්‍රධාන පර්යේෂක,

නාවික පර්යේෂණ ආයතනය”

නාවික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ තනතුර

හිතවත්  ආචාර්ය විශ්ව සමාධි සූර්යබණ්ඩාර වෙත,

පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේ දී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව, ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යෑමට සමත් වූ බැවින් අප ආයතනයේ ආධුනික විද්‍යාඥ තනතුර සඳහා ඔබව බඳවා ගන්නා බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි. ඔබ මේ රැකියාව භාර ගන්නේ ද නැති ද යන්න දින තුනක් ඇතුළත මා හට ඊ මේල් පණිවුඩයකින් දන්වන්නට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.  ඔබේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටිමි.

ස්තූතියි.

ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්

ප්‍රධාන පර්යේෂක,

නාවික පර්යේෂණ ආයතනය

ඊ මේල් පණිවුඩය කියවූ විශ්ව සතුටින් දෑත් ඉහළට ඔසවා ජයග්‍රහණය පළ කරන ආකාරයක් දැක්වී ය. මේ තමා බලාපොරොත්තු වූ ඉලක්කයයි. මේ රැකියාව භාර ගන්නවාද නැද්ද යන්නෙහි කිසිදු අඩමානයක් තමන්ට නැති බව ඔහු දනී. එහෙත්, මේ ලිපියට වහාම පිළිතුරක් දීම තමන්ට මේ රැකියාව හැර වෙනකක් නැති බවක් දිස් වන බව පෙන්වන්නක් මෙන් ඔහුට හැඟුණි. සාමාන්‍යයෙන් දින තුනක් කල් දෙන්නේ දැනට රැකියාවක් කරන්නේ නම් රැකියාව කරන ස්ථානයට දැන්වීමට සහ එයින් අවසර ලබා ගැනීමට, වෙනත් රැකියා අවස්ථා ලැබී ඇත්නම් ඒ පිළිබඳ සිතීමට සහ ඒ ඒ ස්ථාන සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීමට යන කාරණා සඳහා ය.

විශ්ව වහාම හාවඩ් විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට යැවීම සඳහා ඊ මේල් ලිපියකට  අකුරු අමුණන්නට  විය.

පසුගිය අවුරුදු හයක් තමා තනිවම ගෙවූ ජීවිතයේ අරමුණ කරා තමා පැමිණ ඇති බව විශ්ව ට පසක් විය. තමා අවුරුදු තිහක් ගෙවූ ජීවිතය, සිය දෙමාපියන් තමා වෙත තබා තිබූ බලාපොරොත්තු, සිය ගුරුදේවයා තමන්ගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීම කරා තමන් ලං වන බව ඔහුට තේරුම් යමින් තිබුණි.

දවසම ඔහු ගත කළේ අදාළ කටයුතු සැලසුම් කිරීම සඳහා ය. ලිපියට අනුව සති දෙකකින් වොෂිංටනය වෙත  යා යුතුය. සති දෙකකින් වසන්නට නිවසක් සොයා ගැනීම තරමක ප්‍රශ්නයක් විය හැකි ය. තමා සිටින තැන අඩුව පිරවීමට වෙනකෙකු සොයා ගත යුතු ය. නැතහොත් දෙමසක කුලිය නිකරුණේ ගෙවිය යුතු ය. කළ යුතු දෑ බොහෝ ය. බලාපොරොත්තු බොහොමයකි.

බොහෝ දෑ අවසන් කර, බොහෝ වෙහෙස වී නවාතැනට පැමිණි විශ්ව සුදුරුදු පරිදි ස්නානය කර පිරිසිදු විය. වෙනත් හැමදාකම සෙනසුරාදාට ගන්නා දුරකථන ඇමතුම අද බ්‍රහස්පතින්දාවක ලබා ගැනීම පිළිබඳ ඇය පුදුම වනු ඇත. එහෙත් ඇයට මෙය දැන්විය යුතුම ය. බොහෝ කලක සිට දෙමාපියන් නැති ඔහුට දෙමාපියන් වූයේ ඒ දෙපළ ය. සුමනසේකර මහත්මිය අවේලාවේ නාද වන දුරකථනය ගැන කුතුහලයෙන් යුතුව ගොස් රිසීවරය එසවූවා ය.

“හලෝ……”

“ලොකු නැන්දේ….”

“හලෝ සමාධි පුතා…. මොකද අප්පේ මේ අවේලාවෙ? ”

“මම හිතුවා ඔහොම අහයි කියලා… ආරංචියක් කියන්නයි කතා කළේ….”

“අපිත් මේ මඟ බලාගෙන හිටියෙ සුභ ආරංචිය අහන්න…. ගිය වැඩේ හරි ගියා නේද? ”

“ඔව් නැන්දෙ…. අද තමයි ආරංචිය ආවෙ… නැන්දට තමයි ඉස්සෙල්ලම පණිවුඩේ කිවුවෙ…. වෙන කවුද ඉතින් මට ඉන්නෙ මේක කියන්න නැන්දයි මාමයි ඇරෙන්න? තව සති දෙකකින් වැඩ බාර ගන්න තියෙනවා… දැන් ඉතින් ඒවට ලෑස්ති වෙනවා… මේ ඔක්කොම ආපහු දීලා යන්න ඕන නෙ… අලුතෙන් Apartment එකක් ගන්නත් ඕන… ඒවා බලන්නත් තියෙනවා. කෝ ලොකු මාමා? ”

“මාමා නම් මේ වෙලාවෙ එළවළු පාත්තියෙ… මම පණිවුඩේ කියන්නම්….. මාමා කිවුවා ඔයාට ගිය වැඩේ හරි යන්න ඕන කියලා…”

“නැන්දයි මාමයි සනීපෙන් ඉන්නවනේ…”

“ඔව් පුතා… අපට කිසි කරදරයක් නෑ… අපි පුරුදු විදියට සැනසීමෙන් ජීවත් වෙනවා…. පුතාගෙ බෙහෙත් කොහොම ද?”

“ප්‍රශ්නයක් නෑ නැන්දෙ… මට චීන කඩයක් හම්බ වුණා… ඒකෙ තියෙනවා මට ඕන කරන ඔක්කොම දේවල්…  වොෂිංටන් ගියාම ඒ පලාතෙන් හොඳ කඩයක් හොයා ගන්න ඕන… කඩේ අයිතිකාරයා දන්නවා ඇති හොඳ තැන්… හොඳයි එහෙනම්… ලොකු නැන්දේ…. මම පස්සෙ කතා කරන්නම්…”

“හොඳයි පුතා… තෙරුවන් සරණයි…”

“තෙරුවන් සරණයි දෙන්නටම…”

“බෙහෙත්? ”

“ඔව්… බෙහෙත්… Medicine….” එෆ්බීඅයි ඒජන්තවරුන් දෙදෙනාට ඒ දුරකථන වාර්තාව පරිවර්තනය  කර දුන් පරිවර්තකයා පැහැදිළි කළේය.

“ඒ වුණත් මෙයාගෙ රුධිර වාර්තාවෙ කිසිම බෙහෙතක් ගැන වාර්තා වුණේ නැහැනෙ….”

“අන්න එතැන තමයි ප්‍රශ්නෙ…. මෙයා කිසියම් රෝගයකට බෙහෙතක් ගන්නවා… අන්න ඒ බෙහෙත නිසා ලේවල වෙනසක් සිදු වෙනවා ඇති… ඒකම නිසා තමයි ලේවල හිමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි වෙන්න ඇත්තෙ… නමුත් ඒ බෙහෙත බටහිර බෙහෙතක් නොවෙයි… එයා කිවුවෙ චීන කඩේකින් ගන්නවා කියලා…. සමහර විට චීන බෙහෙතක් වෙන්න පුළුවනි….”

“ඒත්… බෙහෙතක් ගන්නවා නම් ඒ බව රුධිර වාර්තාවෙ සඳහන් විය යුතුව තිබුණා නේද? ”

“සමහර වෙලාවට පෙරදිග බෙහෙත් ගනිද්දි එහෙම ආගන්තුක රසායනික ද්‍රව්‍ය ඇඟට ඇතුළු වන්නෙ නැහැ.. සියල්ලම ශාකවල ඇති රසායන ද්‍රව්‍ය… මේ නිසා පරීක්‍ෂණවලදි අහු නොවන්න පුළුවනි….”

“ඔව්… ඒක තමයි… කෝකටත් අපි මේ ගැන අදාළ තැන්වලට දැනුම් දිය යුතුයි…. දැන්ම මේ සංවාදයේ පරිවර්තනයක් ආචාර්ය ලිපර්ඩ්ට, අද්මිරාල් බවර්ට වගේම වෛද්‍ය රසායනාගාරයේ ආචාර්ය ෆිලිප් කවුෆර්ටත් යවන්න…. මේ ගැන ඒ අය දැනගත යුතුයි.. ”

විශ්වගේ නවාතැනට සැතපුම් තුන් දහසකට එහා තවත් කිහිප දෙනෙක් ඒ දුරකථන සංවාදයට සවන් දෙමින් සිටි බව මේ දෙදෙනාම නො දැන සිටි කරුණක් විය.

 

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

FREE Shipping on orders over Rs.1500/= Dismiss