
පිටස්තරයා 6
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් මහතාණෙනි,
ඔබ විසින් පිරිණමා ඇති අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තනතුර සඳහා යෝජනාව මම ඉතා ගෞරවයෙන් මෙන්ම සතුටින් භාර ගනිමි. ඒ අනුව ඔබ ආයතනයේ කොන්දේසිවලට එකඟව මගේ සේවය නාවික පර්යේෂණ ආයතනයටත් අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවටත් ලබා දීමට මම එක සිතින් කැමැත්ත දක්වන බව මෙයින් දැනුම් දෙමි. මේ සම්බන්ධයෙන් ඔබතුමාට තවදුරටත් දැනගැනීමට අවශ්‍ය කරුණක් වේ නම් කරුණාකර මා සම්බන්ධ කරගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ගෞරවයෙන්,
විශ්ව සමාධි සූර්යබණ්ඩාර.
දින දෙකක් පුරා සිය දෛනික කටයුතු මෙන්ම සති දෙකකින් පසු ගත කරන්නට යන නව ජීවිතයේ වැඩ කටයුතු වෙනුවෙන් විශ්ව වෙහෙසෙන අතර තවත් කණ්ඩායමක් ද ඔහුගේ කටයුතු සහ දුරකථන මෙන්ම අනෙකුත් සම්බන්ධතා පිළිබඳ වෙනදාටත් වඩා විමර්ෂණශීලීව කටයුතු කරන බව විශ්ව නොදැන සිටියා නොවේ.
සතියක ඇවෑමෙන් ඔහු පැලෝ ඇල්ටෝ (Palo Alto) නගරයට සමු දී වොෂිංටනය බලා සැතපුම් 3000ක ගමන තනිවම ඇරඹීය…… මේ නගරයේ ඔහුට අත් හැර යා නො හැකි කිසිවක් නො වීය… තමන් සියලු බැඳීම්වලින් නිදහස් බව තේරුණේ අද ඊයේ නො වන බව විශ්ව දැන සිටියේ ය… 2006 වසරේ සිටම ඔහු සිය කටයුතු කර ගත්තේ තනිවම ය. සිය දෙමාපියන් සහ සොයුරිය තමා හැරදා ගිය දින පටන් ඔහුගේ ජීවිතය තනිව ගෙවෙන්නක් විය. මිතුරු මිතුරියන් කොපමණ ඔහු වටා සිටිය ද, ඔහුගේ පිහිටට සිටින්නේ ඔහු සහ සැතපුම් දස දහස් ගණනක් ඈත ලංකාවේ වෙසෙන ලොකු මාමා සහ ලොකු නැන්දා පමණි. ඔහුට තිබූ එකම බැඳීම එපමණකි.
විශ්වගේ මවගේ ලොකු අයියා වූ සුමනසේකර මහතා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. විශ්‍රාම ගැනීමෙන් පසු සිය නිවසේ කටයුතු, සමාජසේවා කටයුතු මෙන්ම සිය අධ්‍යාත්මික ජීවිතයද පිළිවෙලකට ගොඩ නඟාගෙන, සියල්ලන්ටම යහමඟ පෙන්වමින් ආදර්ශමත් ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. නිතර බණ භාවනා කරන ඔහු සහ සුමනසේකර මැතිණිය අධ්‍යාත්මිකව අනෙක් පුද්ගලයන්ට වඩා සහ සමහර භික්‍ෂූන් වහන්සේලාට පවා බොහෝ ඉදිරියෙන් සිටි යුවලකි. විශ්ව පිළිබඳ නිතර සොයාබැලූ ඒ දෙපළ නිබඳව ම ඔහුට අවවාද අනුශාසනා දෙමින් සිය පවුලේ ඉතිරිව ඇති එකම අනාගත පුරුක යහපත් පුරවැසියෙකු මෙන්ම සාර්ථක පුරුවැසියෙකු ද කිරීමට වෙහෙස මහන්සි වූහ. ආගමිකව එක් ආගමකට කොටු නොවූ මේ දෙපළ නොයෙක් ආගම් පිළිබඳ විවෘත මනසකින් හදාරමින් ඒ ලද දැනුම් සම්භාරය අන් සියල්ලන් සමඟම බෙදා හදා ගනිමින් ජීවත් වූහ. සුමනසේකර මහතා සතු වූ ධර්ම ඥාණය කෙටි කාලීන නොවී ය. ඉපැරණි වේද ග්‍රන්ථ පවා පරිශීලනය කරන සුමනසේකර මහතා හමු වී බුද්ධාගමේ විවිධාකාර ගැඹුරු මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන ඒ අවට වැඩ සිටින ධර්මධර භික්‍ෂූන් වහන්සේලා ම එයට සාක්‍ෂි සපයති.
තමන්ගේ ලොකු මාමා ලෙස පමණක් නොව සිය ජීවිතය යහමඟ ගෙන යෑමට මඟ පෙන්වන මේ යුවල පිළිබඳ විශ්වගේ සිත තුළ ජනිත වූයේ ද සිය දෙමාපියන්ට පමණකම ගෞරවයකි – ආදරයකි. සතියකට වරක් නොවරදවාම ඔවුන්ගේ දුකසැප බැලීමත්, සිය විස්තර නොවලහා ඔවුන්ට දැන්වීමත් විශ්වගේ ජීවිතයේ අංගයක් වූයේ, තනිකම සිය ජීවිතය වෙලාගත් දා පටන් ය… ඒ එකුදු මිනිත්තුවක් හෝ අපතේ නොගිය බව විශ්වට හොඳටම සහතික ය. ඒ විශ්වාසය සැමදා පවතිනු ඇති බව ඔහු හොඳින්ම දැන සිටියේය….
“ඔබේ නම?“
“විශ්ව සමාධි සූර්යබණ්ඩාර.“
“තනතුර ?“
“පර්යේෂණ විද්‍යාඥ – ප්‍රතිගුරුත්වාකර්ෂණ රසායනාගාරය“
“මිනිත්තුවක් ඉන්න“
පළමු ගේට්ටුවේ සිටි ආරක්‍ෂක භටයා විශ්වගේ රියදුරු බලපත ගෙන ඉලෙක්ට්‍රොණික පුවරුවක් හරහා ගෙන ගියේය.
“මේ කැමරාව දිහා බලන්න….“
සැණෙකින් විශ්වගේ රූපය රැගත් තාවකාලික හැඳුනුම්පතක් පරිගණකයෙන් සැකසුනි. එය පැළඳගත් විශ්වට මානව සම්පත් කළමණාකරණ ඒකකය වෙත යෑම සඳහා සවිස්තරාත්මක රූපසටහනක් සහිත සිතියමක් ලැබුණි.
කිසිම අවස්ථාවක මාර්ගයෙන් බැහැර වෙන්න එපා. එහෙම වුණොත් ඒ ඔබ මේ ආයතනයේ ගත කරන අවසාන මිනිත්තු කිහිපය වෙන්න පුළුවන්. ආරක්‍ෂක භටයාගේ උපදෙස් සමඟම විශ්ව උදෑසන නවය වන විට තමන් යා යුතුව තිබූ පළමුවැනි ස්ථානය වූ මානව සම්පත් කළමණාකරණ ඒකකය වෙත පා නැඟුවේය. ඒ මඟ අතරතුර සෑම තැනම ඔහු දුටුවේ නවීන අවිගත් ආරක්‍ෂක භටයින් ඉතා පරීක්‍ෂාවෙන් ඔබ මොබ ගමන් කරන ආකාරයයි. නැවතත් මානව සම්පත් කළමණාකරණ ඒකකයට ඇතුළු වන විට ද විශ්වට සියලු විස්තර ලබා දීමට සිදු විය.
විශ්ව පැමිණෙන තෙක් එතැන බලා සිටියේ සිය කටයුතු පෙළ ගැස්වීම සඳහා ආයතනයෙන් පත් කර තිබූ ස්ටෙෆනී ෆිලිප්ස් මෙනවියයි. සුදු ජාතික තරුණියක් වූ ඇය ඉතා ප්‍රියමනාප ලෙස හැඳ පැළඳ සිටියා ය. මානව සම්පත් කළමණාකරණ ඒකකය තුළ සෑම සැප පහසුකමක්ම තිබුණි. උදෑසන ආහාර වේලක් වුව ද කැමති ආකාරයට පිළියෙල කරගත හැකිවන අන්දමට අවශ්‍ය දෑ සකසා තිබුණි. තේ–කෝපි හෝ දොඩම් යුෂ ද, බිත්තර – බේකන් වැනි ආහාර මෙන්ම නිර්මාංශ ආහාර වර්ග ද අවශ්‍ය ලෙස තෝරාගත හැකි ලෙස තිබුණි.
“සුභ උදෑසනක්… මම ස්ටෙෆනී ෆිලිප්ස්. ඔබේ දවස කොහොමද?“
“සුභ උදෑසනක් මම විශ්ව සූර්යබණ්ඩාර, මම සුවෙන් – ස්තූතියි ස්ටෙෆනි.. ඔබට කොහොමද?“
“හොඳයි. ස්තූතියි..“
“මම තමයි අද දවසෙ ඔබේ කටයුතු භාරව ඉන්නෙ… ඔබ කැමති උදෑසන ආහාරය අරගෙන කතා කරන්නද? නැතිනම් අපි පසුව යමක් කරමු ද?“
“ස්තූතියි. මම උදෑසන ආහාරය අරගෙනයි ආවෙ. මම පසුව යමක් ගන්නම්.“
“හොඳයි, එහෙනම් අපි ඔබව නාවික පර්යේෂණ ආයතනයට අනුයුක්ත කිරීමේ කටයුතු පටන් ගනිමු. මුලින්ම මට ඔබගේ සියලු සහතිකවල මුල් පිටපත් අවශ්‍ය වෙනවා. අපි මේ සියල්ල අපේ මානව සම්පත් ඒකකයෙ තබා ගන්නවා, නමුත් ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මේවා ආපසු ලබා ගත හැකියි. ඔබ මේ ආයතනයෙන් අස්වන දිනයේ දී මේ සියල්ල ඔබට ආපසු ලැබෙනවා.“
“ඊලඟට අපට අවශ්‍ය ඔබේ හදිසි අවස්ථා දැනුම් දීමේ විස්තර, මේ විස්තර ලබා ගන්නෙ හදිසියකදි දැනුම් දීමට.“
“ඇත්තෙන්ම මා ගැන දැනුම් දෙන්න කවුරුවත් මේ රටේ නම් නැහැ. මගේ සියළුම නෑදෑයන් ඉන්නෙ ශ්‍රී ලංකාවෙ. ඒ විස්තර නම් දෙන්න පුළුවනි.“
“අඩුම ගානෙ විශ්වාසවන්ත යාළුවෙක්වත් නැද්ද?“
“නැහැ… මගේ දෙමාපියන් මිය ගියාට පස්සෙ මා හැදුනෙ වැඩුනෙ තනිවම… ඔබගේ අවශ්‍යතාවයට මේ අංක සහ ලිපිනය තබා ගන්න.“ විශ්ව සිය ලොකුමාමා සහ ලොකු නැන්දාගේ නම්ගම් කොළයක සටහන්කර ඇයට ලබා දුන්නේය.
“ඈ මේ තරම් කඩවසම් කොල්ලෙකුට කෙල්ලෙක්වත් නැද්ද ? සිතමින් ඔහු ඒ තොරතුරු ලියන අතරතුර ඔහු දෙස මඳ වේලාවක් බලා සිටියා ය.“
“ඊලඟට මෙන්න මේ කොන්ත්‍රාත්තුවට අත්සන් කරන්න… “
“මේ තියෙන්නෙ ඔබ මේ ආයතනයෙ රැකියාව භාර ගන්නවා කියා.“
“මේ තියෙන්නෙ ආයතනයේ දත්තවල රහස්‍ය භාවය සුරකින බවට අත්සන් කරන ලිපිය.“
“ඊලඟට මේ තියෙන්නෙ ඔබේ අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ දැනුවත් කිරීමේ ලිපිය… “
“මේ සියල්ලට අත්සන් කළා ම, ඒ ලිපිවල පිටපත් මම ඔබට ලබා දෙන්නම්.. ඊට පස්සෙ අපි ආයතනය වටා රවුමක් යා යුතුයි. එතැනදි ඔබට නිත්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම, ඔබේ ඩී එන් ඒ සාම්පල සහ ජෛවී හැඳුනුම්පත් සාම්පල ලබා දීමත් සිදු වෙනවා.“
“ඇය සියල්ල ඉතාම පැහැදිලිව නිරවුල්ව විශ්වට කියා දුන්නා. සියල්ල එක පාරින්ම මතක තබාගත හැකි විශ්වට ඒ කිසිවක් අනුගමනය කිරීම අපහසු වූයේ නැහැ.“
සියල්ල අවසන විශ්ව ඇයත් සමඟ ආයතනය වටා ගොස් ආයතනයේ වටපිටාව සහ අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීමට යෑමට නැගී සිටියා.
෴
“තවමත් හිතනවද කොහොමද මේ සිදුවීම වුණේ කියලා?“
තමා රූපගත කළ අධෝරක්ත කැමරා දර්ශනය දෙස බලා සිටි ඒජන්තවරයාගෙන් අනෙකා විමසී ය.
“මට තවම හිතාගන්න බැරි විනාඩි කිහිපයක් ඇතුළත මිනිහෙක්ගේ ශරීර උෂ්ණත්‍වය මේ තරම් වෙනසකට භාජනය වෙන්න පුළුවන් ද කියලා. මෙයා නාන කාමරයෙන් එළියට එනවිට ශරීර උෂ්ණත්‍වය ෆැරන්හයිට් 103ක් විදියට සටහන් වුණා. නමුත් නින්දට වැටිලා විනාඩි කිහිපයක් ඇතුලත එය 80 කට බහින්නෙ කොහොම ද? ඒ විතරක් නොවෙයි එච්චර බැහැලා මෙයා ජීවත් වෙලා ඉන්නෙ කොහොමද ? මේවා හිතන්න ඕන ප්‍රශ්න නොවෙයිද මාක්?“
එෆ්බීඅයි ඒජන්ත ජේසන් බ්‍රවුන් අනෙකාගෙන් ප්‍රශ්න කළේ දැඩි කණස්සල්ලෙනි. සම්මුඛ පරීක්‍ෂණය අවසානයේ මේ සුවිශේෂ පුද්ගලයාගේ හැසිරීම් රටාව අධ්‍යයනය කිරීමට ජාතික ආරක්‍ෂක ඒජන්සියේ ප්‍රධානි ජෙනරාල් වෙලිංටන්ගේ විශේෂ ඉල්ලීම පරිදි යෙදවූ එෆ් බී අයි ඒජන්තවරු දෙදෙනා තමන් පටිගත කළ අධෝරක්ත කැමරා දර්ශන විශ්ලේෂණය කරමින් සිටියහ. ජාතික ආරක්‍ෂක ඒජන්සිය එෆ්බීඅයි ආයතනය හඳුන්වන්නේ අසමත් ළදරුවන්ගේ ආයතනය (Failed Babies’ Institute) ලෙසිනි. ඒ බොහෝ අවස්ථාවල ඔවුන්ගේ පරීක්‍ෂණවල අවසාන නිගමනය ලබා ගැනීම සඳහා ජාතික ආරක්‍ෂක ඒජන්සියේ සහාය ලබා ගැනීම නිසා ය. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළත සැලසුම් කෙරෙන බොහෝ නීති විරෝධී කටයුතු මෙන්ම ත්‍රස්ත ප්‍රහාර සැලසුම් ද නිතිපතා හසු වන්නේ ජාතික ආරක්‍ෂක ඒජන්සියේ දැලටය. එෆ්බීඅයි ආයතනය සිය විමර්ශන කටයුතු නිම කරන විට අදාළ පුද්ගලයින් දැලට හසුකරගෙන කිසිවෙකුටත් නොදන්වා අතුරුදහන් කිරීමටත්, ග්වොන්ටනාබේ සිර කඳවුරේ අඳුරු කුටි තුළ ප්‍රශ්න කිරීමට සහ නිසි ක්‍රියාමාර්ග ගැනීමත් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ සහ සී අයි ඒ ආයතනයේ ඒජන්තවරුන් විසින් සිදු කර හමාර ය. දැන් දැන් බොහෝ විට එෆ්බීඅයි ආයතනය සිදු කරන්නේ වංචා විමර්ශනය සහ ළමා අපචාර සිදු කරන්නන්, දරුණු මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා යෑම වැනි දෙකයි පණහේ වැඩ බව ජනරාල් වෙලිංටන් දිනක් එළි පිටම ධවල මන්දිරයේ පැවති සාදයක දී පවසා තිබුණි. මේ නිසා එෆ්බීඅයි ආයතනය විසින් ජාතික ආරක්‍ෂක ඒජන්සිය මඟින් දෙනු ලබන කොන්ත්‍රාත්තු ඉටු කිරීම අවම ප්‍රමුඛත්‍වයක් දී තිබූ කටයුත්තක් විය. කෙසේ වුවත් මේ සුවිශේෂි කටයුත්ත ජාතික ආරක්‍ෂාවට වැදගත් වන්නක් යැයි ජනරාල් වෙලිංටන් විසින්ම පවසා තිබූ නිසා එෆ්බීඅයි ඒජන්තවරු නොපැකිලව මේ සඳහා ඉදිරිපත් වූහ. එහෙත් දැන් ඔවුනට ඇති ප්‍රශ්නය වන්නේ සිය දත්ත තේරුම් ගැනීම සහ සිය පාරිභෝගිකයා වන ජෙනරාල් වෙලිංටන්ට ඉදිරිපත් කිරීමයි. උකුසු ඇස් ඇති, හිවලෙකු මෙන් කපටි, තීක්‍ෂණ බුද්ධියක් ඇති ජෙනරාල් වෙලිංටන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සූදානම් කරගෙන නොගිය හොත්, නැවතත් එෆ්බීඅයි ඒකකය අසමත් ළදරුවන්ගේ ආයතනයක් බවට ජෙනරාල් සහතික කරන බව ඒජන්ත මාක් පිස්ට්නර් සහ ජේසන් බ්‍රවුන් යන දෙදෙනාම දැන සිටියහ. ඔවුන් කෙතරම් දක්‍ෂ ඒජන්තවරු වුවද, මේ සංසිද්ධිය පැහැදිලි කිරීමට ඔවුන් දන්නා විද්‍යාව හෝ වෙන යම් දැනුමකට නොහැකි විය.
“ඔබ හිතන්නෙ මේ සංසිද්ධිය මොන වගේ දෙයක් වෙන්න පුළුවන් කියලද? මහාචාර්ය තුමනි….“
“මම දන්න ජීව රසායන විද්‍යාව අනුව නම් මෙය අසාමාන්‍ය වෙනස්වීමක්… සාමාන්‍යයෙන් ෆැරන්හයිට් අංශක 103ක ශරීර උෂ්ණත්‍වයක් ඇති කෙනෙක් නිරෝගීව සිටින්න බැහැ.. එය සාමාන්‍ය උණ ගතියටත් වඩා වැඩි උෂ්ණත්‍වයක්, නමුත්…. මේ දර්ශනය විශලේෂණය කිරීමේ දී ඔබට පෙනෙන්න නැතුව ඇති මේ උෂ්ණත්‍ව වෙනස සිදු වන්නෙ ශරීර පෘෂ්ඨයේ පමණයි… ඒ කියන්නෙ සම මතුපිට සහ සමට යටින් විශාල උෂ්ණත්‍ව වෙනසක් සිදු වෙනවා. මේ බලන්න මේ දර්ශනයෙ ඔබට පැහැදිලිව පෙනෙනවා ඇඟ අභ්‍යන්තරය සාමාන්‍ය ශරීර උෂ්ණත්‍වයටයි තිබෙන්නෙ… නමුත් ශරීර උෂ්ණත්‍වය පහළ යෑමේ දි සිදු වන්නෙ මුළු ශරීරයෙම උෂ්ණත්‍වය පහළ යෑම… සමහරවිට මේ පුද්ගලයා නාන කාමරයේ දී අධික උණු ජලය ස්නානය කරන්න ඇති… ඔබ දන්නවා සාමාන්‍ය උණු ජල කරාමයක උෂ්ණත්‍වය අංශක 110 ත් 120 ත් අතර තිබෙන බව… ඒ නිසා මේ සංසිද්ධිය පැහැදිලි කරන්න පුළුවන් එකම ආකාරය මට තේරෙන විදියට නම් අධික උණු ජලය ස්නානය කිරීම නිසා ශරීරයේ සම ආසන්නයේ අධික උෂ්ණත්‍ව වැඩි වීමක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම ටික වේලාවකින් ශරීර උෂ්ණත්‍වය සමතුලිත වීමේ දී නැවතත් පහළට ගොස් සාමාන්‍ය උෂ්ණත්‍වයට පත් වන්නට ඇති… ඔබ කරපු එක වැරැද්දක් නම් මේ පටිගත කිරීම ශරීර උෂ්ණත්‍වය පහළ ගොස් ඇති අවස්ථාවේ දී නතර කිරීමයි…. ඔබ දිගටම පටිගත කළා නම් සමහරවිට ශරීර උෂ්ණත්‍වය නැවතත් සාමාන්‍ය තත්ත්‍වයට පත්වනු ඔබට දැකබලා ගන්නට තිබුණා….
මේක අසාමාන්‍ය තත්ත්‍වයක් නොවෙයි….. සමහර මිනිසුන්ට අසාමාන්‍ය උෂ්ණත්‍ව දරාගැනීමේ හැකියාව තිබෙනවා වගේම සමහරු අධික උෂ්ණ ශරීර ඇති අය.. ඔබ අහලා ඇති ස්වයං දහනයට පත් වෙච්ච මිනිස්සු ගැන… කිසිම බාහිර දහන සාධකයක් නොමැතිව ඉබේම ශරීරය ගිනි අරගෙන අළුගොඩක් පමණක් ඉතිරි කරලා මිය යන මිනිස්සු ගැන…. ඒ මිනිස්සු ඉන්නේ එක් අන්තයක… මම කියන්නෙ නැහැ මේ පුද්ගලයා එහෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා.. නමුත් මේ පුද්ගලයාටත් ඒ වගේ අසාමාන්‍ය උෂ්ණත්‍වයන් දරාගෙන ඉන්න පුළුවන් කෙනෙක්… මේ ගැන කියන්න පුළුවන් මෙච්චරයි…“
එෆ්බීඅයි ආයතනයට සම්පත් දායකයින් ලෙසින් විවිධාකාර ක්‍ෂෙත්‍රවල විශිෂ්ඨයින් අනුයුක්ත කර ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. අතිශය රහස්‍ය කටයුත්තක් වන මෙයට දේශපාලනය, විද්‍යාව, කලාව, ඉංජිනේරු ක්‍ෂෙත්‍රය වැනි විවිධාකාර අංශවල මහාචාර්යවරු දායක කර ගනිති. එෆ්බීඅයි ඒජන්තවරුන් ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මානව ව්‍යුහ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝසප් මන්සන් වෙත පැමිණියේද සිය පටිගත කිරීමේ දී සිදු වූ අසාමාන්‍ය සංසිද්ධිය නිරාකරණය කර ගැනීම සඳහා ය.
තමන්ට ලැබුණ පිළිතුරෙන් සෑහීමකට පත් වූ ඒජන්තයින් දෙදෙනා නැවත සිය කාර්යාලයට පැමිණියේ හිසෙහි වූ බර සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන ය.