
පිටස්තරයා 7
“කොහොමද වොෂිංටන් නගරය ඔබට? ”
ආයතනය වටා රැගෙන යන අතරතුර දී ස්ටෙෆනී විශ්වගෙන් විමසුවා ය.
“නරකම නෑ… මම මීට ඉස්සෙල්ලත් මෙහාට ඇවිත් තිබෙනවා… උසස් පාසලේ ඉන්න කාලෙ ඉස්කෝලෙ විනෝද චාරිකාවකට එක්කගෙන ආවා… ඊට පස්සෙ සම්මුඛ පරීක්ෂණයටත් ආවානෙ…. නමුත් ඒ කාලෙ ඉඳලා දැන් වෙනකොට නම් සෑහෙන වෙනස් වෙලා… ඒත් පැරැණි ගතිය නම් එහෙමමයි. ”
“ඇවිදින්න ගියේ නැද්ද කොහෙවත්…..”
“තවම නෑ.. මම තවම මගේ අපාට්මන්ට් එක අස් කරනවා…. බඩු ටික ආවෙ දැනට දවස් දෙකකට විතර ඉස්සර… ඒ ඔක්කොම අස්පස් කරලා පිළිවෙලකට තියන්න ටික දවසක් යනවා…”
ඇය කෙතරම් දොඩමළු වුවත්, කැලිෆෝනියා කෙල්ලන්ට වඩා ආචාරශීලී ගතියක් ඇගෙන් පිළිබිඹු වන බව විශ්වට හැඟුණි.
෴
“මොනවද ළමයි දෙන්නා හොයා ගත්තෙ? ජනරාල් වෙලිංටන්ගේ සුපුරුදු උපහාසාත්මක ස්වරය අභිමුව ඒජන්ත මාක් සහ ජේසන් දෙදෙනාට පොළව පලාගෙන යන්නට සිතුනි….”
“මෙච්චර කරලත් මූ අපට කතා කරන හැටි……”
තමා ඒ ටික කියුවා නම් සමහර විට කොහේ නතර වේ දැයි තමාටවත් හිතාගත නොහැකි වනු බව මාක් ට සිතුනි.
“අපි එයාගෙ තාප ඡායාරූපයත් විශ්ලේෂණය කරලයි ආවෙ…. ජනරාල්තුමනි, අපි ඉස්සරවෙලා මේ වීඩියෝ එක බලලා ඉඳිමු ද? ”
පරිගණක තිරය දෙස බලා සිටින ජනරාල් වෙලිංටන්ගේ දෑස් ක්‍රම ක්‍රමයෙන් විශාල වනු ඒජන්තවරු දෙදෙනාටම පෙණුනි. දෙදෙනාගේම මුහුණුවල සිනා රැල්ලක් පහළ වූ නමුත් ජනරාල්ගේ හඬින් ඒ සියල්ල සැණෙකින් මැකී ගියේ ය.
“මේක කොහොම ද මෙහෙම වෙන්නෙ කියලා මට විස්තර කරනව ද කවුරුහරි…”
“තාප ඡායාරූප දැකලා තිබුණත් මේ වගේ ක්ෂණික වෙනස්වීමක් පෙන්වන රූපයක් දැක්කෙ අදමයි… මිනිහෙක් මැරුණත් ඇඟේ උෂ්ණත්වය මෙච්චර ඉක්මනට පහළ වැටෙන්නෙ නෑ… පැය ගණනාවක් යනකල්…. කොහොම ද මෙහෙම වෙන්නෙ?
“ඇත්තෙන්ම ජනරාල් තුමනි අපටත් ඒක ලොකු ප්‍රශ්නයක් වුණා… අපි දෙන්නටම තේරුම් ගන්න බැරි වුණා මේකෙ මොකද වෙන්නෙ කියලා. ඒක නිසාම තමයි අපි ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ජෝසප් මන්සන් ගෙන් මේ ඡායාරූපයට අදාළ විශ්ලේෂණය කර ගත්තෙ..”
“ඔහුට අනුව මේක සිද්ධ වෙන්න පුළුවන් එක විදියක් වන්නෙ මේ පුද්ගලයා නාන කාමරයේ දී අධික උණු ජලය ස්නානය කිරීමෙන්. ඒ නිසා තමයි මේ සම සහ සම අවට පමණක් අධික උෂ්ණත්වයක් පෙන්නුම් කරන්නෙ…. ඒ වගේම මෙයා නාලා අවසන් වෙලා බොහොම ඉක්මනින් නින්දට ගියා… අන්න ඒ අවස්ථාවෙදි ශරීර උෂ්ණත්වය නැවතත් සමතුලිතතාවයට පැමිණෙද්දි තරමක් අඩු වෙලා නැවත සාමාන්‍ය තත්ත්වයට එන්න ඇති…
“ඉතිං කෝ ඒ කොටස? මෙතැන තියෙන්නෙ ෆැරන්හයිට් 80කට පහළ බහිනවා විතරයි…”
“ඇත්තෙන්ම ජනරාල් තුමනි…”
“තමුසෙලට මේ වගේ වැඩක්වත් හරියට ඉවර කර ගන්න බැරි ද? කවදද FBI එකෙන් හරියට යමක් කරවගන්න පුළුවන්? තමුසෙලා දෙන්නා මේ මිනිහා නිදා ගන්නකං වීඩියෝ කරලා ආවා… ඒ වෙලාවෙ හිතන්න මොළයක් තිබුණෙ නැද්ද මේ උෂ්ණත්වය අඩු වෙච්ච මිනිහට වෙන්නෙ මොකද්ද කියලා…”
“තමන් නැවත වතාවක් පැරණි ලේබලයම නළලේ ගසා ගත් බව දෙදෙනාටම වැටහුන නමුත් තරහින් ගුගුරන ජනරාල් වෙලිංටන්ට තවත් වචනයක් හෝ පැවසීම තමන්ටම වල කපා ගැනීමක් වන බව හොඳින්ම දන්නා දෙදෙනාම ජනරාල්ට ඇති තරම් කෑ ගසන්නට ඉඩ දී නිහඬව සිටියහ. ”
෴
සේවයට ගිය මුල් දින කිහිපයේ විශ්වට තිබුණේ නව රසායනාගාරයේ පෙර සිදු කර තිබූ පර්යේෂණවලට අදාළ නිබන්ධන සහ පර්යේෂණ පත්‍රිකා කියවා අවබෝධයක් ලබා ගැනීමට ය. බොහෝ දෑ තමන්ට හුරු පුරුදුව ඇති පර්යේෂණ නිසාත්, කියවූ බොහෝ දේ නිසි ලෙස මතක තබා ගැනීමේ හැකියාවක් තිබූ නිසාත් පළමු සතිය තුළ රසායනාගාරයේ සිදු කර තිබූ පර්යේෂණ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට විශ්වට හැකියාවක් ලැබුණි.
පර්යේෂණාගාරයේ සංයුතිය ගැහැනු දෙදෙනකු සහ පිරිමි හතර දෙනෙකු විය. සියලුම දෙනාට තම තමන්ගේ ව්‍යාපෘති ලබා දී තිබූ අතර තිදෙනා බැගින් වූ උප කණ්ඩායම් දෙකක් ද තනා තිබුණි. සෑම සතියකම බදාදා සවස තුනට පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී තම තමන්ගේ පර්යේෂණවල ප්‍රගතිය කණ්ඩායම හමුවේ ඉදිරිපත් කළ යුතුව තිබුණි. මේ හමුවට ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් සහ ආචාර්ය නීල් ෆියු යන දෙදෙනා ද අනිවාර්යයෙන්ම සහභාගී වෙති. මේ නිසා සුළු වැරැද්දක් හෝ නොකර සියලු ම කරුණු ඉතා තර්කාණුකූලව සහ පිළිවෙලකට ඉදිරිපත් කිරීමට සියලුම දෙනා වග බලාගෙන තිබුණි. එසේ වුවත්, අධික බුද්ධි මට්ටමක් ඇති මේ කාණ්ඩය සමඟ යමක් තර්ක කර ජය ගැනීම සිංහ කූඩුවකට රිංගා පණපිටින් ආපසු පැමිණීමක් මෙන් ඉතා අපහසු දෙයක් විය…
෴
“මොකද මේ කවදාවත් නැතුව බාර් එකක හමු වෙන්න යොදා ගත්තෙ? ”
අගනුවර ඇති අති සුඛෝපභෝගී සහ අතිශය පෞද්ගලික – සුවිශේෂී පැලැන්තියක් පමණක්ම සාමාජිකත්වය දරන සෙනෙටර්ස් ක්ලබ් සමාජ ශාලාවේ කොණක වූ මේසය මත, තමා බොමින් සිටි ඉස්තරම්ම විස්කි වීදුරුව තබමින් අද්මිරාල් බවර් සිය මිතුරු ජෙනරාල් වෙලිංටන්ගෙන් විමසුවේ ය.
“කාලෙකින් ඉතිං අපි හමු වුනෙත් නැහැනෙ… ටෙලිෆෝන් එකෙන් කතා කරනවා ඇරෙන්න.. එක්කෝ ධවල මන්දිරයෙදි හමු වෙනවා, නැත්නම් ආරක්ෂක මණ්ඩලයෙදි හමු වෙනවා, ඒ ඇරෙන්න ඉතිං අපට කෝ විවේකයක්….”
“චාලි…. මම උඹව හොඳට දන්නවා මිත්‍රයා… මම උඹව දන්නෙ වෙස්ට් පොයින්ට් එකේ එකට පුහුණු වෙන කාලෙ ඉඳලා…. උඹට මාව තම්බන්න බෑ…. කමක් නෑ… බොහොම ස්තූතියි විස්කි එකට…. මොකද වෙන්නෙ? ආයෙම ධවල මන්දිරයෙ කචල් එකක්ද? ”
බිල් ක්ලින්ටන් පාලන සමයේ මොනිකා ලෙවින්ස්කි සමඟ වූ සම්බන්ධතාවය ප්‍රසිද්ධියට පත්වීම නිසා වොෂිංටනයේ රහස් සුරකින ඉහළ පැලැන්තියේ දඩ බල්ලන් වන ජෙනරාල් වෙලිංටන්, සීඅයිඒ සංවිධානයේ අධ්‍යක්ෂක, එෆ්බීඅයි සංවිධානයේ ප්‍රධානියා මෙන්ම නාවික පර්යේෂණ ආයතනයේ ප්‍රධානී අද්මිරාල් බවර් ද නිරතුරු සිටින්නේ දැඩි අවධානයෙනි. බොහෝවිට එවැනි හෝඩුවා සම්බන්ධව දුරකථනයෙන් හෝ කතා නො කරන්නේ තමන්ගේ ද දුරකථන සංවාදවලට සවන් දෙන්නන් කොහේ සිටී දැයි නිනවුවක් කිසිවෙකුටත් නොමැති නිසා ය. එසේම රාජ්‍ය රහස් සුරැකීමට දිවිහිමියෙන් බැඳී සිටින මොවුහු, කිසිදු හේතුවක් නිසා ඒ බැඳීම කඩ කිරීමට මැලි වෙති. එසේ වුවත් දැන හෝ නො දැන පවත්වන අයථා සම්බන්ධතා නිසා සිය තනතුරු අහිමි වූ උසස් පුද්ගලයින් දෑතේ ඇඟිලි ගණනට වඩා වැඩි බව දන්නෝ දනිති. මේ නිසාම පවත්වන රහස් සාකච්ඡා මෙන්ම අන් පුද්ගලයින්ගේ සම්බන්ධතා හෝ රහස් පිළිබඳ සාකච්ඡා කිරීමේ දී තාක්ෂණික මාධ්‍ය අවම කිරීමට මේ තත්ත්වයේ සිටින සියල්ලෝම වග බලා ගනිති.
“එහෙම එකක් නම් ඉතිං බැරියැ… මේක එච්චර සීරියස් දෙයක් නෙවෙයි… නමුත් රික්ටත් අදාළ නිසා තමයි මම මේකට ටිකක් අවධානය යොමු කළේ….”
“ඒ මොකද්ද ඒ…”
මතකද අර මට විස්තර හොයන්න කියලා බාර දීපු කොලු ගැටයා….
“ඔව්… දැන් මිනිහා අපේ රසායනාගාරයෙ වැඩත් කරනවා… හොඳ මොළයක් තියෙන පාටයි… වැඩත් නරකම නැහැ.. මට නම් වැරැද්දක් කියන්න බැහැ මිනිහා ගැන…”
“ඉතින් මමත් විස්තර හෙව්වා…. ඒජන්ට්ලා දෙන්නෙකුත් දාලා පොඩි තොරතුරු ටිකක් හොයා ගත්තා…..”
“ඉතිං ඉතිං…. මොනවද? වැදගත් යමක් තියෙනවද? ”
“තියෙනවා තියෙනවා… ඒක නිසාමයි මම ඔබව හමුවෙන්න යොදා ගත්තෙ ”
෴
“අපි දවල්ට කෑමට එලියට යමුද? ”
මෙගන් විශ්වගෙන් ඇසුවේ සියල්ලන්ම ඉදිරිපිට දී….
“යමු… ඔක්කොම යනවනේ…… හැමදාම ගෙදරින්ම ගෙනත් කාලා මටත් ඇතිවෙලා…..”
මෙගන්ගේ මුහුණ තරමක් අඳුරු වෙද්දී අනෙකුත් තරුණයින් ද හිස සැලුවේ තමන් ද විශ්වගේ ආරාධනය අනුමත කරන බව කියා පාමිනි…
පර්යේෂණාගාරයේ සය දෙනාම වොෂිංටනයේ වර්මොන්ට් මාවතේ පිහිටි ලින්කන් ආපන ශාලාව වෙත ගමන් කළේ කාර් දෙකකිනි. තරමක් මිල අධික බීඑම්ඩබ්ලිව් රථයකට හිමිකම් කියන මෙගන් ෂුල්ට්ස් ඉහළ මධ්‍යම පාන්තික පවුලකට අයත් තරුණියකි. දෙමාපියන් ගණකාධිකාරීවරුන් වන ඇයගේ සහෝදරයින් දෙදෙනාම බැංකු නිලධාරීන් ය. මේ බීඑම්ඩබ්ලිව් රථය ඇයගේ විසිපස්වන උපන් දිනයට සිය පවුලෙන් ලැබුණු ත්‍යාගයකි. තිදෙනෙකු සහෝදර විද්‍යාඥ මයිකල්ගේ වාහනයට ගොඩ වෙද්දී විශ්වත් සිමෝනාත් මෙගන්ගේ වාහනයට නැගුන හ.
“ඔයා කොහේද නැවතිලා ඉන්නෙ? ”
“ගවනර්ස් කෝනර් එපාට්මන්ට්ස්වල….”
“එතැන ටිකක් ගණන් නේද? ඉදිරිපස අසුන්ගෙන සිටි විශ්ව දෙස හැරී බලමින් මෙගන් ඇසුවා ය….”
“ඔව්…. ටිකක් ගණන්… නමුත් බොහොම නිස්කලංකයි… පාරෙන් තරමක් ඈත තියෙන නිසා බොහොම සාමකාමියි….”
“පිටුපස අසුන්ගෙන සිටි සිමෝනා ද මේ සංවාදයට ඇහුම්කන් දීගෙන සිටියා ය…. මෙගන් විශ්වගෙන් අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරන බව ඇයට ද තේරුම් ගොස් තිබුණි… විශ්ව වැනි කඩවසම් තරුණයෙකු හට සිත ඇදී නොයන තනිකඩ තරුණියක් වේ දැයි ඇය ද සිතුවාය.. උසට සරිලන දේහ විලාශය මෙන්ම ඔහුගේ ගාම්භීර ගමන් විලාසයත්, තැන්පත් කතා විලාසයත්, ඒ සැම එකතු වූ සන්සුන් බවත් ඕනෑම තරුණියක් වශී කරවන බව ඇය ද දැන සිටියා ය. අන් සියලු තරුණියන් මෙන්ම තමන්ගේ පෙම්වතා මේ තරුණයා සමඟ සසඳන්නට සිමෝනා ද උත්සාහ කළා ය. බොහෝ සංවාද අවසන ඔවුහු ලින්කන් ආපන ශාලාව වෙත ලඟා වී සිටියහ. ”
“ආයුබෝවන්… මගේ නම මෙලනි ජොන්සන්… අද මමයි ඔබට සේවා සපයන්නෙ… මුලින්ම ඔබ බොන්න කැමති මොනවද? ආචාරශීලී වේටර්වරිය සියල්ලන්ගෙන්ම විමසුවා. ”
“බොහෝ දෙනා මෙනු පෙරලාගෙන බොන්නට යමක් සොයද්දී විශ්ව ලෙමන් යුෂ සහ ජලය පමණක් ඇණවුම් කළා.. ”
“ආහාර ගන්නා අතරතුර බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ කණ්ඩායමට එක් වූ අලුත් සාමාජිකයා වෙතයි. ඔහුගේ කතා විලාසය මෙන්ම ආහාර තෝරා ගැනීම ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. ”
“ඔබ හැමදාම කන්නෙ සලාදයක් පමණයි….”
“මම නිර්මාංශකයෙක්…. ඒ නිසා කිසිම සත්ත්ව ආහාරයක් ගන්නෙ නැහැ. ”
“අඩුම ගානෙ කිරි, චීස් වගේ දෙයක්වත්…”
“නැහැ…. ඒ නිසාම තමයි මම සලාදයට කිසිවක් එක් කරගන්නෙ නැත්තෙ….”
“ඒ ඔයා බුද්ධාගමේ නිසා ද? නැතිනම් ඔයාගෙම තෝරා ගැනීම ද? ”
“දෙකම…. මම බුද්ධාගමේ නිසාමත් මම මාංශ ආහාර ගන්නෙ නැහැ…. ඒ වගේම මාංශ ආහාරවල ඇති බොහෝ දේවල් අපේ ශරීර සමඟ පෑහෙන්නෙ නැහැ… ඒ නිසා අමතර දෙයක් මගේ ඇඟට දාගන්න මම කැමති නැති නිසාත් මාංශ ආහාරවලින් වැළකිලයි ඉන්නෙ…”
“ඉතින්, ඔයාට ශක්තිය ලැබෙන්නෙ කොහොමද? ”
“අලි ලොකු වෙලා තියෙන්නෙ මස් කාල ද මෙගන්….. ඩැනියෙල් විහිළුවක් කළේ ය…”
“මම උසස් පාසල් යන කාලෙ ඉඳලම නිර්මාංශයි…. දැන් ඒක පුරුද්දකට ගිහින්…. මස් ගෑවුන යමක් තිබුණත් කන්න බැහැ… නමුත් ඒක ඇඟට බොහොම සනීපයි… අවශ්‍ය ශක්තිය ශාක ආහා වලින් අපට ඕනවටත් වඩා ලැබෙනවා. මිනිස්සු මස් කන්න බොරු හේතු හදාගෙන මස් කෑවත්, අපේ ශරීර පරිණාමය වෙලා තියෙන්නෙ සත්ත්ව ප්‍රෝටීන ජීර්ණය වෙන්න නොවෙයි. මේ නිසාම අපේ ඇඟට ඇතුළු වන සත්ත්ව ප්‍රෝටීන හැකි ඉක්මනින් ශරීරයෙන් බැහැර කරන්නයි අපේ ඇඟ උත්සාහ කරන්නෙ. හරියටම රුධිරයට ඇතුළු වුණු ආගන්තුක ද්‍රව්‍යයකට විරුද්ධව ප්‍රතිදේහ ක්‍රියා කරනවා වගේ… මේ නිසා අපි මාංශ ආහාර ගන්න හැම අවස්ථාවකම අපේ ශරීරයට අපි හානියක් කරන්නෙ. මේ හේතුව නිසාම අපේ ඇඟ ඇතුලේ විවිධාකාර අහිතකර රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වෙනවා. ඒ වගේම මේ මාංශ ආහාර නිසා අපේ ඇඟ ඇතුළත මුක්ත කාණ්ඩ (Free Radicals) නිපදවෙනවා. මේවා නිසා අපේ ශරීරය ඇතුළත ඔක්සිකාරක ආතතියක් (Oxidative stress) ගොඩනැංවෙනවා. ඒ නිසා සෛල වියපත් වීම වැඩි වෙනවා, පිළිකා වැනි දේ සෑදීමේ ප්‍රවණතාව වැඩි වෙනවා, පසුකාලීනව ඇල්ශයිමර්ස් වගේ රෝගවලට පවා මූලික වෙන්නෙ මෙන්න මේ දේවල්. ”
“හරි… දැන් මේ දේශනයෙන් පස්සෙ කී දෙනෙක් නිර්මාංශ වෙනවද? මම දන්නවා කාන්තාවො දෙන්නා නම් නිර්මාංශ වෙනවා කියලා.. මට නම් මස් නොකා බෑ…. ඒ නිසා විශ්ව, ඔයා මොනවා කිවුවත් මම මගේ ස්ටේක් එක කන එක නවත්වන්නෙ නම් නෑ… සමාවෙන්න මචං (Sorry dude)…. ” කට හැකර බිල් කටේ මස් කෑල්ලක් පුරවාගෙන මේසයේ එහා කොණේ සිට සැමට ඇසෙන්නට කියවන්නට විය.