SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 9

“මොලී මොකාටද එන්න හදන්නෙ? ඇවිල්ලා දවස් කීපයයි ගියේ විශ්වට බැල්ම දාන්න අරගෙන වගේ…… මෙගන් සිමෝනාට පැවසූවේ අමනාපයෙනි…”

“ඔයා විශ්වට කැමති ද?

“පොඩි කැමැත්තක් තියෙනවා… මම පොඩ්ඩක් විස්තර හොයලා බැලුවා… තවම ගෑණු ළමයෙක්වත් නැහැ…”

“පිරිමි ළමයෙක් ඉන්නවද දන්නෙ නෑ…… කැලිෆෝනියාවෙ ඉඳලනෙ ආවෙ…..පිටුපසින් සිට බිල් මහ හඬින් සිනාසෙමින් කතාවට එක් වූයේ තරුණියන් දෙදෙනාම පුදුමයට පත් කරවමිනි..”

“ඔයා අනුන්ගෙ කතාවලට කට දාන්න ඕන නෑ බිල්…”

“මම දාපු කටක් නෑ… මට ඇහුණා.. ඒ විතරක් නෙවෙයි ඔයා විශ්වට බැල්ම දානවා අපි හැමෝටම තේරෙනවා….”

“ඉතිං ඔයාට මොකද? මම කැමති කෙනෙක් එක්ක යාළු වෙන්න මට පුළුවනි…”

“මම එදත් කිවුවා … අදත් කියනවා…….. ගෙරි මස් කනකොට බෙල්ලේ එල්ලගෙන කන්න එපා…. මේක මහ භයානක වැඩක්…..”

“සිමෝනා…. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි…. මම යමක් කරනවා නම් ඒක දිගටම කරන්නයි පටන් ගන්නෙ… මම හිතන්නෙ මට විශ්ව ගැලපෙනවා…. මෙගන් කිවුවෙ බොහොම බැරෑරුම්ව…”

“විශ්වට සල්ලි තියෙනවද ඔයාට බෑග් අරන් දෙන්නයි සාප්පු සවාරි එක්කන් යන්නයි? ඔයාව නඩත්තු කරන්න ඉතිං අලුතෙන් බැංකුවක් කඩන්න වෙනවා….”

“ඒක ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි… මගේ වියදම් මම බලා ගන්නම්….”

“කොහොම වුණත් මට ආරංචි හැටියට නම් විශ්වගෙ හිතේ මොලී ගැන යමක් තියෙන පාටයි… මෙගන්ට ඉක්මන් වෙන්න වෙයි… ඔන්න දැනුත් විශ්ව මොලීගෙ කාමරයට රිංගනවා මම බලාගෙන… අපි ගැන නැති විශේෂත්‍වයක් විශ්ව ගැන මොලීට තියෙන පාටයි… එහෙනං අපි යනවා…. ඕන දෙයක් කරගන්නවලා… ඕන නම් අපි කියන්නම් විශ්වට, මෙගන්ගෙ කැමැත්තක් තියෙනවා කියලා… මගේ ගාස්තුව ගෙවන්න විතරයි ඕන….”

“යනවා යන්න…. අපි ඒක බලාගන්නම්…” මෙගන් තරහින් මෙන් බිල්ව එලවා ගත්තාය.

“ඇත්තෙන්ම කොහෙද මොලී විශ්වව එක්කගෙන ගියේ?”

“මම දැක්කෙ නම් නීල්ගෙ කාමරේට ගියේ…. අලුත් ව්‍යාපෘතියක් වගේ…. කොහොමත්  අලුත් කෙනෙක් ආවම අලුතෙන් දෙයක් දෙන එක ලොක්කගෙ පුරුද්දක් නෙ….”

“වාඩිවෙන්න දෙන්නම…………”

“මම මේ දෙන්නටම එන්න කිවුවෙ මේ ව්‍යාපෘතිය ටිකක් බැරෑරුම් එකක් නිසා.. සමහරවිට ඔය දෙන්නට වෙනත් ප්‍රදේශවලට යන්නත් වේවි… මට මුලින්ම දැනගන්න ඕන මේ වගේ ව්‍යාපෘතියක් භාර ගන්න ඔය දෙන්නා කැමතිද කියලා.”

මොනවගේ ව්‍යාපෘතියක් ද ආචාර්ය ෆියු කියන්නෙ? බැරෑරුම් කියන්නෙ?

“මේකයි… හොඳට අහගන්න… අපට දැන් චන්‍ද්‍රිකා ගුවන්ගත කිරීමෙදි  තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අධික වියදම… මේ වියදම වැඩිපුරම යෙදෙන්නෙ අපේ යානා පෘථිවි ගුරුත්‍වයෙන් මිදීමට ගන්න ශක්තිය වැඩි වීම… යානා සැකසීමට යන වියදම කොහොමත් එකයි, ඒක අඩු කරන්න තියෙන්නෙ බොහොම සුළු ක්‍රම කිහිපයක් පමණයි. නමුත් අපි විශ්වාස කරනවා මේ යානා ගුවන්ගත කිරීම වෙනස් කළොත් අපට සමහරවිට ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන් කියලා. සමහරවිට අලුත් ඉන්ධන වර්ගයක් හොයා ගැනීම හෝ වෙනස් ගුවන්ගත කිරීමේ ක්‍රමයක් හෝ වෙනයම් ක්‍රමයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපෘතිය බැරෑරුම් වෙන්නේ ඔය හේතු නිසා. මේ ව්‍යාපෘතියෙ රහස්‍ය භාවය අනෙක් ඒවට වඩා වැඩියි… ඒ නිසා බොහොම පරිස්සම් වෙන්නත් ඕන…”

“ඉතිං…. මොකද කියන්නෙ? දෙන්නා මේ ව්‍යාපෘතිය කරන්න කැමතිද නැද්ද? මට හිතලා බලලා හෙට දවස ඇතුළත කියන්න…. මොකද මට ඉක්මනට මේ ගැන වචනයක් ඉහළට දෙන්න ඕන… මේක මූලිකත්‍වයෙ ඉහළම තැනක තියෙන ව්‍යාපෘතියක්… සුදුසු කෙනෙක් එනකල් හිටියෙ භාර දෙන්න… ඉහළ පාලනාධිකාරයෙන් දැනුම් දුන්නා මේ ව්‍යාපෘතියට සුදුසුම දෙදෙනා ඔබ දෙදෙනා කියලා… ඒකයි මම දෙන්නටම එකට එන්න කියලා මේක කිවුවෙ… වැඩි විස්තර අවශ්‍ය නම් මේකට කැමතිද නැද්ද කියලා කියන්න… ඒ අනුව අපි කටයුතු කරමු….”

“හොඳයි…. අපි හෙට වෙනකොට හරි උත්තරයක් දෙන්නම්….”

“දැන් යන්න පුළුවන්… සුභ සන්ධ්‍යාවක් දෙදෙනාටම….”

“සුභ සන්ධ්‍යාවක්……”

“මොකද කියන්නෙ? වැඩේ බාර ගන්නවද නැද්ද? කාමරයෙන් පිට වූ විශ්ව මොලීගෙන් ඇසුවේ ඉතා සෙමින්….”

“මට නම් හිතෙන්නෙ බාර ගන්න… ටිකක් වැදගත් වැඩක් නෙ… කොහොම වුණත් බෑ කිවුවොත් අපේ වෘත්තීමය ඉදිරිගමනට (Professional Progress) හොඳ නැති වෙන්නත් පුළුවන්… මේ හැම පර්යේෂණයක්ම 100%ක් සාර්ථක වෙන ඒවා නොවෙයිනෙ.. හරි ගියේ නැතිනම් අපට ඉතිං කරන්න දෙයක් නෑ.. කොහොමත් මේ පර්යේෂණවල සාර්ථකත්‍වය ගැන අපි කාටවත් වග කියන්න බැහැ… ඒ නිසා මම නම් බාර ගන්න කැමතියි… කොහොමත් මේක අලුත්ම දෙයක්නෙ… මට යමක් ඉගෙන ගන්න අතරෙම යමක් හොයා ගන්නත් පුළුවන්… ඉතිං අපි Win-Win situation එකක ඉන්නෙ…. මම නං කියන්නෙ ඒකයි.”

“මටත් මේකෙ ලොකු අනතුරක් දකින්න නැහැ… අනික මට නම් දන්න විෂයයක් නිසා ඒ තරම් අමාරුවක් නැහැ.. මමත් කැමතියි මේ ව්‍යාපෘතියට… අනිත් එක මේක මේ අපි දන්න ලෝකෙ තියෙන දෙයක් නෙ… අනිත් දේවල් ඔක්කොම කරන්නෙ අභ්‍යවකාශයෙ තියෙන දේවල් පොළවෙ අත්හදාබලන එකනෙ….. ඔයත් කැමති නම්, මමත් කැමති නම් අපි දෙන්න හෙට උදෙන්ම ගිහින් කියමු වැඩේට කැමතියි කියලා.. කොහොම වුණත් අලුත් ව්‍යාපෘතියකට මමත් කැමතියි… මීට ඉස්සර කට්ටිය කරලා කුණු වෙලා තිබුණ ඒවට වඩා….”

“විශ්ව ඇගේ විකසිතවන මුව දෙස යන්තමින් බලා පැවසුවේය….”

“මොකද කරන්නෙ? ආයෙම බලමුද?”

“දාලා තියන්න… පටිගත වෙන දෙයක් පටිගත වෙයිනෙ… අන්තිමට බලමු….”

“අදත් මිනිහා තනියම….”

“මිනිහගෙ ජීවිතේම තනියම නෙ ගෙවුනෙ….”

“මොනවද ඒ කරන්නෙ? කෑමක් හදනවද?”

“ඒ වගේ තමයි… කොහොමත් ඔය ආසියානු මිනිස්සු හරියට කෑම හදන්න වෙලා ගන්නවා…. අපි වගේ නෙවෙයි… උන් දවසක් කෑම හදලා පැයකින් කාලා ඉවර කරනවා. ගෙදරම කුළුබඩු ගඳයි… අපි දවසක් චීන ගෙදරකට ඇතුළු වුණ වෙලාවෙ වමනෙ යන්න ආවා… උන් කුකුළු අඬු උයලා කන්න හදනවා…. ඔන්න ඔය වගේ ජරා වැඩ….”

“අන්න මිනිහා නාන්න යනවා… අදත් බලමු අර සංසිද්ධිය වෙනවද කියලා….”

සිය ඉලක්කයට තාප සංවේදක කැමරාව මානාගෙන පටිගත කරන අතරතුර සිය අත්දැකීම් හුවමාරු කර ගනිමින් සිටි එෆ් බී අයි ඒජන්තවරු දෙදෙනා තමන් දකින්නේ කුමක් දැයි සිතාගත නොහැකිව එකිනෙකා දෙස බලාගත්වනම බලාහුන්හ….

සැමදාම කරන පිරිසිදු වීමේ පිළිවෙත ක්‍රියාත්මක කරමින් විශ්ව උණුවතුර කරාමය විවෘත කළේය…. උණු වතුරෙන් සිය සිරුරේ ශ්වේද ග්‍රන්ථි විවෘතවෙනු ඔහුට දැනුනි. සිරුර පිරිසිදු කරන සුවිශේෂ ද්‍රාවණය ඔහු සිය සිරුර පුරා තවරාගත්තේය… සිය සිරුර උණුසුම් වනු ඔහුට දැණුනි. නැවතත් ස්නානය කරන්නට පටන් ගත් ඔහු සීතල කරාමය විවෘත කළේ ය…. සිය ශ්වේද ග්‍රන්ථි ක්‍රමයෙන් වැසෙනු සහ සිරුරේ මස් සම් ඇට නහර සියල්ල උණුසුම් වන අයුරු ඔහුට දැණුනි… තමා නැවතත් ළදරුවෙකු මෙන් පිරිසිදු ය.

සැහැල්ලු ඇඳුමක් ලා ගත් ඔහු නාන කාමරයෙන් ඉවතට පැමිණියේ ය.

ඊට යාර පන්සීයක් පමණ ඈතින් වූ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සිට කිසිවෙකු තමා නිරීක්‍ෂණය කරන බව විශ්ව නොදත්තේ ය. එහෙත් කිසියම් අමුත්තක් ඔහුගේ සිතට දැනුනි. ස්නානයෙන් පසු වහාම සුපුරුදු නින්දට වැටීම වෙනුවට තවත් ටික වෙලාවක් නොනිඳා රැඳී සිටීමට ඔහු තීරණය කළේ ය.

අසළ වූ පොත් රාක්කයක් වෙත ගිය ඔහු කිසියම් පොතක් අතට ගත්තේ ය.

“කොහොමද මෙහෙම මිනිහෙක් ජීවත් වෙන්නෙ? අදත් උෂ්ණත්‍වය 103 යි”

“මෙච්චර වෙලා හොඳට හිටිය මිනිහා නාලා ඉවර වුණාම කොහොමද මෙච්චර උණුසුම් වෙන්නෙ? බලමු එදා වගේ සීතල වෙනවද කියලා….”

එෆ්බීඅයි ඒජන්තයින් දෙදෙනා කැමරාව මානාගෙන පැය බාගයක් පමණ සිටියත් ඔවුන් බලාපොරොත්තු වූ පරිදි සිය ඉලක්කය උෂ්ණත්‍ව වෙනසක් නොපෙන්වී ය.

Jeova Sanctus Unus විසින් රචිත Philosophiæ Naturalis Principia Mathematica නම් වූ ලතින් භාෂාවෙන් ලියැවුන පොත පෙරලාගත් විශ්ව අසල වූ සෝපාවේ දිගා වී පිටු පෙරළන්නට විය.

 

මේ පොත ලියා ඇත්තේ එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. දාර්ශනිකයෙක්, මහා විද්‍යාඥයෙක් මෙන්ම සුප්‍රසිද්ධ ඇල්කෙමිවරයෙක් වූ පුද්ගලයෙකි. සිය පත්‍රිකා Jeova Sanctus Unus නමින් අත්සන් කළ, ලෝකයා වෙනත් නමකින් දන්නා Isaacus Neutinuus විසිනි. සිය අධ්‍යාපනයේ ඉහළ කඩඉම ඇරඹු දා සිට අයිසැක් නිවුටන් කෙරෙහි වූ ගෞරවය දිනෙන් දින වැඩි වූ බව විශ්ව දැන සිටියේ ය. අයිසැක් නිවුටන් මහා විද්‍යාඥයෙක් යැයි කියා පමණක් සාමාන්‍ය ලෝකයා දැන සිටිය ද ඔහු සතු අසාමාන්‍ය බුද්ධිය සහ දියුණු කරන ලද සිත පිළිබඳ දැන සිටියේ අතලොස්සකි. බොහෝ දාර්ශනිකයින් සිය බුද්ධිය උපතින් රැගෙන ආවැයි ලෝකයා හැඳින්වුව ද, ඒ බොහෝ දෙනා කිසියම් හෝ ක්‍රමයකින් සිත දියුණු කරන ලද පුද්ගලයින් වේ. ඇරිස්ටෝටල්සොක්‍රටීස්පයිතගරස්ප්ලේටෝ, පරම්පරවෙන් පසු පැමිණි නොස්ට්‍රඩාමස් වැනි අනාවැකි කියන්නන්ද , ලියනාඩෝඅයිසැක් නිවුටන්බීතෝවන්,  තාගෝර්,  අයින්ස්ටයින්  මෙන්ම දැනට ජීවතුන් අතර සිටින ස්ටීවන් හෝකින් ඇතුළු ලොව බොහෝ සුප්‍රසිද්ධ විද්‍යාඥයෝ සහ දාර්ශනිකයෝ මේ ගණයට අයත් වෙති. සිත දියුණු කිරීම එක් ආගමකට සීමා වූවක් යැයි බොහෝ දෙනා සිතා සිටියත්, බුදුන් වහන්සේ මෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද සිය ජීවිතයේ එක්තරා අවධියක සිත දියුණු කිරීම උදෙසා කැප වී සිටි බව බොහෝ දෙනා නොසළකා හැර තිබේ. ඒ තම ආගම අනුන්ගේ ආගමට වඩා උසස් යැයි සිතීමේ පටු මානසිකත්‍වය ඇති මිනිසුන් පිරිසක් බවට ඔවුන් පත් වී ඇති නිසා ය. සිත දියුණු කරන්නන් අතීතය වර්තමානය මෙන්ම අනාගතය ද දකිති. අයිසැක් නිවුටන්ට ගුරුත්‍වාකර්ෂණය පිළිබඳ සිතිවිල්ල පහළ වූයේ ඇපල් ගෙඩියක් බිමට වැටෙනවා දැකීමෙන් යැයි ප්‍රවාදයේ සටහන් වුවත් නිවුටන්ගේ දියුණු කළ සිතට එවැනි හැඟීමක් පහළ වීමට ඇපල් ගෙඩියක් බිමට වැටෙන තෙක්  සිටිය යුතුද යන්න විමර්ෂණය කළ යුතු ප්‍රශ්නයකි.

නූතන විද්‍යාව නව සොයා ගැනීම්වලින් බහුල යැයි සිතා බොහෝ දෙනෙකු උදම් ඇනුවත්, ඉපැරැණි වේද ග්‍රන්ථ සහ උපනිෂද් ග්‍රන්ථවල ඇති දෑ විවරණය කිරීමේ දී නූතන විද්‍යාවෙන් විස්තර කෙරෙන හයිසන්බර්ග් මූලධර්මය (Heisenberg Uncertainty Principle) උපනිෂද් නම් හින්දු වේදික පුස්කොළපොත්වල තිබූ බව දන්නේ ලොව ඉතා ස්වල්ප දෙනෙකු පමණි. ඉපැරැණි භාරතයේ සුපතල පුස්තකයක් වූ භගවත් ගීතාවෙන් ද්විත්‍ව කල්පිතය (Dualism concept) නම් වූ මූලධර්මය විස්තර කෙරුණේ මීට වසර දෙදහසකටත් වඩා පෙර බව බොහෝ දෙනා නොදනිති. කෙටියෙන් කිවහොත් නූතන විද්‍යාව යනු වසර දෙදහසකට පෙර සිත දියුණු කළ පුද්ගලයින් විසින් ලියන ලද පුස්තකයන්හි ඇති මූලධර්ම ආශ්‍රයෙන් ගොඩ නැඟුනක් බව නූතන විද්‍යාඥයෝ පවා අමතක කර ඇත: නැතහොත් සරළවම ඔවුහු ඒ බව නොදනිති.

“සුභ උදෑසනක් විශ්ව….”

“සුභ උදෑසනක් මොලී.. කොහොමද ඔබට?”

“බොහොම හොඳයි…..  ඔබට”

“මමත් හොඳින්…… අපි දැන් යමුද”

“යමු…………….”

“දෙදෙනාම  ආචාර්ය ෆියු හමුවීමට ඔහුගේ කාමරය වෙත පා නැඟූහ….”

“සාමාන්‍යයෙන්  හමුවන මිතුරු මිතුරියන්ගෙන් “කොහොමද” කියා ඇසීම ඇමරිකානු සිරිතකි. එයට පිළිතුරු දීම හෝ නො දීම අදාළ පුද්ගලයාගේ සිරිතක් වන අතර බොහෝ විට කෙටි පිළිතුරක් ලබා දේ. මෙය වෙනත් රටවල, විශේෂයෙන් යුරෝපයේ හෝ ආසියාවේ දකින්නට නොලැබෙන සිරිතක් සේ පෙනේ.

“මොකද දෙන්නා උදෙන්ම… සුභ ආරංචියක්ද නැතිනම් එච්චර සුභ ආරංචියක් නෙවෙයි ද?”

“සුභ ආරංචියක් නීල්…. අපි දෙදෙනාම මේ වැඩේට කැමතියි…. අපි මේ ව්‍යාපෘතිය භාර ගන්නවා.”

“බොහොම සන්තෝෂයි…. මමත් බලාපොරොත්තු වුණා ඔබ දෙදෙනා මේ ව්‍යාපෘතිය භාර ගනීවි කියලා… මේක බොහොම වැදගත් ව්‍යාපෘතියක්, සමහරවිට  මේ ව්‍යාපෘතිය හරි ගියොත් මේක අමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රබල සංධිස්ථානයක් වේවි. ඉතින් එහෙනම් අපි පටන් ගනිමු….”

ආචාර්ය නීල් ෆියු  සිය පරිගණකයේ වූ වැඩසටහන පසෙක වූ පුළුල් තිර රූපවාහිනි තිරය මත දිස් වන්නට සැලැස්වීය. ඉන් පසු පර්යේෂණය විස්තර කිරීම ඇරඹීය.

විද්‍යාත්මක පර්යේෂණ ආවාට ගියාවට සිදු කරන්නක් නොවේ. පර්යේෂණවලට පැහැදිලි සැකිල්ලක් ඇති අතර සෑම පර්යේෂණයක්ම පර්යේෂණ සාරධර්මවලට (Research Ethics) යටත්ව සිදු කෙරේ. බොහෝ බටහිර රටවල පර්යේෂණ සඳහා විශාල මුදල් සම්භාරයක් යට කෙරෙන නිසාම ඒවායේ තත්ත්‍වය මෙන්ම බලාපොරොත්තු වන ප්‍රතිඵල ද උසස් වේ. මේ නිසා සිදු කරන සෑම පරීක්‍ෂණයක්ම මනා සැලසුමකින් යුක්තව බොහෝ කරුණු සළකා බලා සිදු කෙරේ.

බොහෝවිට පර්යේෂණ සිදු කරන්නේ වාලුකා යන්ත්‍රයක (Hourglass) ආකෘතියකට වේ. මේ ආකෘතිය ආරම්භ වන්නේ විශාල පර්යේෂණ ක්‍ෂෙත්‍රයක කරුණු සළකා බැලීමෙනි. එසේ ලබා ගන්නා කරුණු කෙමෙන් කෙමෙන් ලඝු කර නියමිත පර්යේෂණය සඳහා කේන්‍ද්‍ර කර ගනු ලැබේ. එයින් ලැබෙන ප්‍රතිපල විදාරණය කර එහි දත්තවලින් ලැබෙන තොරතුරු සාක්‍ච්ඡා කර නිශ්චිත නිගමනයකට එළැඹීම මගින් පර්යේෂණයේ අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගත හැකි ය.

 

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

FREE Shipping on orders over Rs.1500/= Dismiss