SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 12

“මොකද විශ්වට වෙලා තියෙන්නෙ?“ සුමනසේකර මහත්මිය නැවතත් නොයිවසිල්ලෙන් ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියාගෙන් විමසුවා ය.

“නීලා… පොඩ්ඩක් ඉවසන්න… ඒ මනුස්සයට විස්තර කරන්න ඉඩ දීලා….“

කවදත් නිවුනු ගති පැවතුම් ඇති සුමනසේකර මහතා කිසි දිනක කිසිදු හේතුවක් නිසා හෝ කළබල වන්නකු නොවේ.

“මේකයි සුමනසේකර මහත්මයා. අද විශ්ව රැකියා ස්ථානයෙන් පිටවෙන වෙලාවෙ බීමතින් රිය පදවාගෙන ආපු කෙනෙක් පදවපු ට්‍රක් එකක් විශ්වගේ වාහනයෙ හැපිල. ඒ මනුස්සයා නම් එතැනම මිය ගිහින්. ඒත් විශ්වට ඒ තරම් කරදරයක් නැහැ කියලයි ආරංචි… මේ වන විටත් ශල්‍යකර්මයකට භාජනය කරලයි තියෙන්නෙ.. විශ්වගේ කකුලේ දණහිස අසලින් බිඳිලා… පපුවේ අස්ථියක් බිඳීම නිසා තරමක අපහසුවක් තිබෙනවා… ඒත් අපේ හමුදා රෝහලේ විශේෂ නිරීක්‍ෂණය යටතෙයි ඔහු පසුවන්නෙ… ඒ නිසා බය වෙන්න තරම් දෙයක් නැහැ. විශ්වගෙ සේවා ස්ථානයෙ අද්මිරාල් බවර් තමයි මේ බව ඔබට දන්වන්න කිවුවෙ.. විශේෂයෙන් විශ්වගෙ පියා එක්සත් ජනපදයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සිදු කළ සේවය නිසාමත්, විශ්වගේ  සේවා ස්ථානයේ සුවිශේෂී බව නිසාමත් තමයි අප සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව ඔබට මේ දැනුම්දීම කරන්න නිවසටම පැමිණියෙ..“

“දැන් අප විශ්ව ගැන කොහොමද තොරතුරු දැනගන්නෙ? ඒ ළමයාගෙ ටෙලිෆෝන් එකවත් වැඩ කරන්නෙ නැහැ. අපට ඇමරිකාවෙ තියෙන එකම සම්බන්ධය වොෂිංටන් බෞද්ධ විහාරයෙ ස්වාමීන් වහන්සේලා පමණයි… ඒත් උන්වහන්සේලාට කරදර කරන්න අපට බැහැ…“

“බය වෙන්න එපා. අපි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඔබව සම්බන්ධ කරන්නම්… නමුත් අපි ආවෙ ඒ කාරණය දැනුම් දෙන්න පමණක්ම නොවෙයි.“

“එහෙනම්…. තවත් ප්‍රශ්නයක්ද?“

“නැහැ නැහැ… විශ්වගෙ රැකියා ස්ථානයෙන් අපට දැන ගන්නට ලැබුණ විදියට විශ්ව තරමක අසාමාන්‍ය දක්‍ෂතා ඇති කෙනෙක්. ඔහුගෙ භාරකරු විදියට ඔබට කියන්න පුළුවන්ද මේ සුවිශේෂිතාවය ඔහුට ලැබුණ අන්දම….“

“මහත්මයා… මට බොහොම කණගාටුයි… දියුණු රටක පුද්ගලයෙක් වෙලත් ඔබ සිතන අන්දම ගැන… විශ්ව කියන්නෙ අසාමාන්‍ය දක්‍ෂතා ඇති කෙනෙක් තමයි… ඒ දරුවා භාෂා හයක් පැහැදිලිව නිවැරැදිව කතා කරන පුද්ගලයෙක්.. ඒ දක්‍ෂතාවය ඔහුට ලැබිලා තිබෙන්නෙ දෙමාපියන් සමඟ රට රටවල වසර ගණනාවක් ගත කිරීම නිසා… අමතක කරන්න එපා ඔහුගෙ දෙමාපියනුත් උගත් බුද්ධිමත් දෙපළක්.. ජානවලින් වුවත් මේ බුද්ධිමත් බව පරම්පරාවෙන් පරම්පරාවට සන්නිවේදනය වෙනවා. ඒ වගේම අලුතෙන් භාෂාවක් කෙනෙක් ඉගෙන ගන්නවා කියන්නේ ඒ පුද්ගලයාගේ මොළයේ තවත් අලුත් කොටසක් වර්ධනය වෙනවා. මේ නිසා විශ්වගේ බුද්ධිය භාෂා හයක් කතා කිරීමේ දී ඉතා ඉහළ වර්ධනයක් පෙන්වනවා ඇති. ඒක කොහොමත් සාමාන්‍ය ජනගහනයෙන් සියයට පහත් දහයත් අතර පුද්ගලයින්ගේ දැකිය හැකි දෙයක්… විශ්ව අසාමාන්‍ය දරුවෙක් නොවෙයි. නමුත් ඔහුටම ආවේණික විවිධ පුරුදු තිබෙනවා… ඒත් ඒවා වුවත් අසාමාන්‍ය නැහැ.“

“සමාවෙන්න අහනවාට… ඔහු කිසියම් රෝගයක් සඳහා බෙහෙත් ගන්නවද?“

“මම දන්න තරමට නම් නැහැ.. විශ්ව කියන්නෙ තමන්ගෙ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ හොඳට සැලකිළිමත් වන දරුවෙක්… විශ්ව නිර්මාංශික වුණේ අවුරුදු 16 දි පමණ.. එදා ඉඳලා කිරි එකක්වත් බොන්නෙ නැහැ… නිතර නිතර ව්‍යායාම් කරන නිරෝගී පුද්ගලයෙක්..“

“ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැද්ද?“

“මම දන්න තරමට නම් ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැහැ… හෙම්බිරිස්සාවක් උණක් හැදුනත් ඉඟුරු වැනි සරළ බෙහෙතක් තමයි පාවිච්චි කරන්නෙ. ඇයි මෙහෙම ප්‍රශ්න කරන්නෙ? විශ්ව ගැන මොනවාහරි විශේෂ දෙයක් ඔබ අපට හංගනවද?“

“නැහැ නැහැ… අපි සාමාන්‍යයෙන් අපේ රාජ්‍ය ආයතනවල සේවය කරන පුද්ගලයන්ගේ පෞද්ගලික පසුබිම් තොරතුරු ඉතා දැඩි ලෙස පරීක්‍ෂා කර බලනවා.. මොකද කියනවා නම් විශ්ව සේවය කරන්නෙ අතිශය වැදගත් ස්ථානයක… එවැනි පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිතයත් අපට බොහොම වැදගත්… ඒ නිසයි අපි මේ පසුබිම් තොරතුරු සොයන්නෙ… අපි මේ හමුවීම යොදා ගන්න තිබුණෙ ලබන සතියෙ වුවත් අවාසනාවකට විශ්වගේ අනතුර පිළිබඳ දැනුම් දෙන්නත් අද සිදුවීම නිසා මේ අවස්ථාව ඒ තොරතුරු දැනගැනීමටත් අපට භාවිත කරන්නට සිදු වුණා.. ඔබට විශ්ව ගැන සුවිශේෂී තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ අංකයට මට කෙළින්ම කතා කරන්න. මම ඔබට සියලු විස්තර සපයන්නම්… ඔබට ඇමරිකාවට දැන්ම යන්න අවශ්‍ය නම් අපි ඒ සඳහා පහසුකම් සපයන්නම්… ඔබට වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් තිබේ නම් අපි අවශ්‍ය වීසා සියල්ල සකසා දෙන්නම්…“

“සාමාන්‍ය මිනිසුන්ට ඔබ මේ වගේ සැලකිල්ලක් දක්වන්නෙ නැහැ නේද? ඇයි මේ අපට මේ වගේ සුවිශේෂී සැලකිල්ලක්?“

“අවිශ්වාස කරන්න එපා… විශ්වගේ සේවා ස්ථානයෙන් තමයි අපට මේ උපදෙස් ලැබුණේ… ඒ අයට විශ්ව සුවිශේෂී පුද්ගලයෙක්… ඒ වගේ අයට අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා…“

“හොඳයි.. බොහොම ස්තූතියි… අපට විශ්ව බලන්නට යන්න අවශ්‍යයි… අපි තීරණයක් ගත් වහාම ඔබට දැනුම් දෙන්නම්….“

මොලී නැවතත් සෙනසුරාදා උදෑසනම රෝහලට පැමිණියා ය.

“තවමත් වෙනසක් නැද්ද ඩොක්ට?“

“නැහැ මොලී.. තවම මොළයේ සංඥා ව්‍යාකූල තත්ත්‍වයක තිබෙන්නෙ…. මේ රටාවන් දිහා බැලුවාම පෙනෙන්නෙ ඔහු කිසිවක් සිතමින් සිටින ආකාරයක් හෝ යමෙකු සමඟ කතා කරන ආකාරයක්. ඒ සටහන් සියල්ල බොහොම සාමාන්‍යයි. නමුත් තවමත් ඔහු පියවි සිහියට නොපැමිණියේ ඇයි ද කියලා කියන්න අපට බැහැ.“

“මේ අනතුර නිසා මොළයට හානියක් වෙලා නැහැ කියලා  හොඳටම විශ්වාස ද?“

“නැහැ… බය වෙන්න එපා.. අපි ලබා ගත් ස්කෑන් ඡායාරූප අනුව නම් කිසිම හානියක් වෙලා නැහැ.  අපි තව ටිකක් බලමු… කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ. මේ රෝහල ලෝකයේ හොඳම හමුදා රෝහල්වලින් එකක්.“

“මම විශ්වගෙ කාමරයට යන්න ද?“

“කමක් නැහැ… ගිහින් බලන්න… දැන් ඔහු ස්ථාවර තත්ත්‍වයට පත්වෙලයි ඉන්නෙ…. දැනෙන වෙනසක් නැහැ… නමුත් පියවි සිහියට නොපැමිණීම පිළිබඳ අපි නිතරම පරීක්‍ෂාවෙන් ඉන්නෙ….“

“ස්තුතියි..“

ඇය විශ්ව සිටි කාමරය වෙත පා නැඟුවා ය.

සියල්ල වෙනස් වී ඇත. මේ තමා බලාපොරොත්තු වූවක් නොවේ. ඇය බලාපොරොත්තු වූයේ විශ්ව හා එක්ව සිය පර්යේෂණය සිදු කිරීමත් ඉන් එහාට යමක් සිදුවනු ඇතිනම් ඒ සඳහා ඉඩක් ලබා දීම විනා මෙසේ ව්‍යාකූල තත්ත්‍වයක් නොවේ. එහෙත් සියල්ල සිදු වී හමාර ය. එන දේකට මුහුණ දෙනවා හැරෙන්නට කළ හැකි යමක් නොමැත.

ඈ පසෙක වූ පුටුවෙහි අසුන්ගෙන විශ්ව දෙස බලා සිටියා ය. විශ්වගේ සැබෑ වෙනසක් ඇය දකින්නට විය. වෙනදා තිබූ පැහැපත් පෙනුම ක්‍රමයෙන් වියැකී ගොස් ඇති සෙයක් පෙනුනි. ඒ අනතුර නිසා සිදු වී ඇති වෙනසක් ලෙස ඇයට දැනුනි. කෙතරම් තර්කානුකූල බුද්ධියක් හෝ අවස්ථාවට උචිත ලෙස හැඩ ගැසීමේ පුහුණුවක් ලබා තිබුණත් තමාට සමහර හැඟීම්බර අවස්ථාවල දී ඒ හැඟීම් දරා ගත නොහැකි බව මොලීට වැටහුණි. ඇය නියපොත්තක් සපමින් කල්පනාවට බර වූවා ය.

“මොකද සුමනෙ අපි කරන්නෙ?“ සුමනසේකර මහත්මිය ඇගේ සැමියාගෙන් ඇසුවා ය.

“මොනවා කරන්නද? අපි සුදුපුතා බලන්න යන්න ලෑස්ති වෙමු.“

“මමත් හිතුවෙ ඒකම තමයි… කෝකටත් අපි ලොකු හාමුදුරුවොන්ට කතා කරලා පිරිත් ටිකක් කියෙවුවොත් නරක ද?“

“මමත් ඒ ගැන හිතුවා… අපි කෝකටත් කියලා ලොකු හාමුදුරුවන්ට කතා කරලා බලමු.“

එදින දවසම මොලී ගත කළේ විශ්වගේ ඇඳ පාමුල ය. සිය ප්‍රධානියාගෙන් විටින් විට පැමිණෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමටත්, සිය සගයින්ගෙන් ලැබෙන කෙටි පණිවුඩවලට පිළිතුරු දීමටත්, පුරුද්දක් ලෙස සැමතැනම ගෙනයන අයි පෑඩය භාවිත කර පොතක් කියවීමටත් ඇය සිය කාලය ගත කළා ය.

සවස් වරුවේත් විශ්ව අසලම සිටි ඇය පිටත්ව යෑමට සූදානම් වෙත්දී, ඇගේ අවධානය බිඳුනේ විශ්ව සිටි කාමරය වෙත සන්සුන් ගමනින් පැමිණි වොෂිංටන් බෞද්ධ විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේලාගේ පැමිණීම නිසාවෙනි.

උන් වහන්සේලා සමඟම පැමිණියේ එම අංශය භාර වෛද්‍යවරයාත්, වොෂිංටනයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු වූ ගීතාංජන ලංකාතිලක මැතිතුමාත් ය.

“සුභ සවස්යාමයක් මහත්මිය.. මම ගීතාංජන ලංකාතිලක.. වොෂිංටනයේ තානාපති කාර්යාලයෙන්…“

“මම මොලී… මොලී රියෝර්ඩන්… විශ්වගෙ කාර්යාලයෙ විශ්ව එක්ක එකට වැඩ කරන්නෙ…“

“මොලී… අපි විශ්වට පිරිත් ටිකක් සජ්ඣායනය කරන්නයි යන්නෙ… සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්‍වයේ සිටින පුද්ගලයෙකුට අපේ ආගමේ හැටියට පිරිත් සජ්ඣායනය මගින් සෙතක් සැලසෙන බව අප පිළිගන්නවා.. විශ්වගේ භාරකරුවනුත් අපෙන් ඉල්ලා සිටියා විශ්වට පිරිත් සජ්ඣායනය කරවන හැටියට… ඒකයි මම මේ වොෂිංටන් විහාරයේ ස්වාමීන් වහන්සේලා කැටුව ආවෙ… ඔබට කැමති නම් මෙතැන රැඳී ඉන්න පුළුවන්….“

උන් වහන්සේලා පිරිත් සජ්ඣායනය පටන් ගනිත්දී මොලී පසෙක රැඳී සිටියා ය.

පිරිත් සජ්ඣායනය සිදුවන අතරතුර මොහොතකින් සියල්ල වෙනස් වන්නට විය.

අක්‍රමවත්ව තිබූ විශ්වගේ මොළයේ සංඥා ක්‍රමයෙන් කිසියම් රටාවකට අනුකූලව සැකසෙන්නට විය. විශ්වගේ හෘද ස්පන්දන වේගය සහ රටාව ක්‍රමවත් වන්නට විය. ක්‍රමයෙන් සියල්ල යථා තත්ත්‍වයට පත් විය.

 

පසෙක සිටි විශේෂඥ වෛද්‍ය වරයාට ද සිදු වන්නේ කුමක් දැයි යන්න වටහා ගත නොහැකි විය. පිරිත් සජ්ඣායනය කරමින් සිටි ස්වාමීන් වහන්සේලා මේ කිසිවක් නො දැන සිය සජ්ඣායනය පවත්වමින් උන්හ. අංශභාර ප්‍රධාන වෛද්‍යවරයා විශ්වගේ කාමරයට දිව ආවේ විශේෂඥ වෛද්‍යවරයාගේ ඇමතුම තමා බලාපොරොත්තුවූවක් නොවන නිසාමය.

“කොහොමද මෙහෙම  දෙයක් වෙන්නෙ? මෙච්චර වෙලාවක් කිසිම දෙයකට ප්‍රතිචාරයක් දක්වපු නැති කෙනෙක් මේ ආගමික වතාවත්වලට ප්‍රතිචාර දක්වන්නෙ?“ ප්‍රධාන වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයාගෙන් රහසේ විමසී ය.

පිරිත් සජ්ඣායනය කරමින් සිටි මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ වෛද්‍යවරුන් දෙපළ දෙස නෙත් කොණින් හැරී බලා හිස සැළුවේ තමා ඒ ප්‍රශ්නයට නිසි පිළිතුර දන්නා නියාවෙනි. පිරිත් සජ්ඣායනය නිම වනතුරු විශවගේ මොළයෙන් ලැබෙන සංඥා නිරීක්‍ෂණයටත් ඒ පිළිබඳ සැළකිළිමත් වීමටත් වෛද්‍යවරු දෙපළ වග බලා ගත්තේ තමන් නො දන්නා යම් දෙයක් අත්ථදස්සි හිමියන්ගෙන් ලැබිය හැකි බව ඔවුන්ට දැණුනු නිසාවෙනි.

නිතිපතා භාවනා කටයුතුවල යෙදෙන, භාවනාව පිළිබඳ හසළ බුද්ධියක් ඇති අත්ථදස්සි හිමියෝ බුදු දහම පිළිබඳ පමණක් නොව අන් ආගම් පිළිබඳව මනා අවබෝධයක් තිබූ හිමිනමකි. භාවනාව පමණක් නොව වෙනත් විෂයයන් පිළිබඳව ද ග්‍රන්ථ ගණනාවක් ලියා පළ කර ඇති උන් වහන්සේ බටහිර පවා භාවනාව පිළිබඳවත්, අභිඥාන විද්‍යාව (Noetic Science) නම් බටහිරට අලුත් වූ මිනිස් සන්තානයේ අවදි නො කළ කොටස් පිළිබඳ හැදෑරීම සහ මිනිස් චිත්ත ශක්තිය පිළිබඳ හදාරන පුද්ගලයින් අතරත් දැඩි ගෞරවයට පාත්‍ර වූ හිමිනමකි.  තමා කවුරුන් දැයි කිසි විටෙකත් නොම වදාරන උන් වහන්සේ කවු දැයි යන්න එම විෂයෙහි නියැලෙන පුද්ගලයින් මෙන්ම බොහෝ මනෝ වෛද්‍යවරු, ස්නායු වෛද්‍යවරු දැන සිටිය හ. ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ මහාචාර්යවරයෙකු වන මයිකල් ගෝල්ඩ්බර්ග් මහතා අත්ථදස්සි හිමියන් දුටු සැණින් හඳුනා ගත්තේ ය.

පිරිත් සජ්ඣායනය අවසානයේ අත්ථදස්සි හිමියන් වෙත ගිය වෛද්‍යවරු දෙදෙන තම නැණ පමණින් ගෞරවාචාර දක්වා සිටිය හ.

“ස්වාමීන් වහන්සේ වොෂිංටන්වල ඉන්නවා කියලා අපි දන්නෙ දැන්…“

“ඔව්… මම මේ දවස්වල වැඩ ඉන්නෙ වොෂිංටන් බෞද්ධ විහාරයේ…. මේ දිනවල තමයි බෞද්ධාගමානුකූලව වස් පින්කම් තිබෙන්නෙ.. ඒ නිසා මම මාස තුනක් එක දිගට වැඩ ඉන්නෙ වොෂිංටන් විහාරයේ… මට ඔබේ සාකච්ඡාව යන්තමින් ඇසුණා… මම ඒ ගැන කතා කරන්නයි සිටියෙ ඔබත් සමඟ…….. උන් වහන්සේ පවසා සිටියහ.“

“ඇත්තෙන්ම අපටත් ගැටලුවක් වුණේ ඒක තමයි… මොකද කියනවා නම් රෝගියාගේ මොළයේ සංඥා සියල්ල නිරෝගී වුවත් අසාමාන්‍ය ලෙස ක්‍රියාශීලියි. ඒ වගේම සිහිය නොමැතිව සිටින කෙනෙකුගෙන් මේ වගේ ක්‍රියාශීලී සහ නිරෝගී සංඥා ලැබෙනවා අප දුටු මුල්ම අවස්ථාව මේ… ඒ නිසාම මේ සිද්ධිය අපි දැඩිව විශ්ලේෂණය කරනවා…“

“මේ වගේ සිදුවීම් බොහොමයක් ආසියානු රටවල වාර්තා වෙලා තිබෙනවා… ඇත්තෙන්ම අභිඥාන විද්‍යාවෙත්, පෙරදිග ආගම්වලත් සොයාගෙන තිබෙන දෙයක් තමයි මිනිස් සිතුවිලි නින්දේදී පවා ක්‍රියාත්මකව තිබෙන බව… උදාහරණයක් විදියට අපි යමක් සිතමින් නින්දට ගියොත් ඒ දේ සිහිනෙන් පෙනෙන්නෙ මෙන්න මේ මානව විඥානය නින්දේදී ක්‍රියාශීලී වන නිසා. ඔබ දන්නවා ඇති සමහර විද්‍යාඥයින් ලොව මවිත කරවන නිර්මාණ සිදු කරලා තිබෙන්නෙ සිහිනෙන් දුටු දේ පදනම් කරගෙන… මේ සිදුවීමේ එතරම් විශේෂත්‍වයක් මම දකින්නෙ නැහැ. අනිත් කාරණය තමයි ඔබ දුටුව සංඥාවල ඇති වූ වෙනස… පිරිත් හරියට ගණ පිහිටුවා සජ්ඣායනය කළොත් බොහොම හොඳ ප්‍රතිඵල ලබාදෙන  දෙයක්. බුදුන් කාලයේ සිට රහතන් වහන්සේලා පිරිත් දේශනා කිරීමේ දී නියම ගණ පිහිටුවා සිදු කරලා තිබෙනවා. ඒත් දැන් සිදු වෙන්නෙ පිරිත් දමා ගැසීමක්. මේ නිසා නියම බලය ලැබෙනවා අඩුයි… මේ පිරිත්වලින් මුලින්ම සිදු වෙන්නෙ මිනිස් සිත ඒකාග්‍රතාවයකට ගෙන ඒම. ඉන්පසු ශබ්ධ රටා සහ ඒ ඒ සංඛ්‍යතවලින් රෝගියාගේ හෝ අදාළ පුද්ගලයාගේ වෙනස්වීම් සිදු වෙනවා. මේවා පරමාණුක අණුක තත්ත්‍වයක සිට සිතුවිලි වෙනස්වීම් දක්වා විශාල පරාසයක බල පැවැත්වෙනවා. මෙය සිදු වෙන්නෙ බුද්ධාගමේ පමණක් නොවෙයි. මේ සිදුවීම් වෙනස්ව සහ අඩු වැඩි වශයෙන් වෙනත් ආගම්වල යැදීම් හෝ ස්තෝත්‍ර ගායනාවලදීත් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් පල්ලියක යාඥා කිරීමේ දී බොහෝ දෙනා එක් සිතිවිල්ලක සිට ඒ ඒ යාඥාව සිදු කරනවා.. මෙන්න මේ අවස්ථාවේ දී ඒ එක් එක් පුද්ගලයාගෙන් විහිදෙන ශක්තිය ඒකරාශී වීමක් සිදු වෙනවා… එවිට ලැබෙන ප්‍රතිඵලය තනි පුද්ගලයෙකුගේ යාඥාවට වඩා බලවත්….“

“රෝගියා මේ පිරිත් සජ්ඣායනයට ප්‍රතිචාර දැක්වූවා කියල ද ඔබ වහන්සෙ හිතන්නෙ?“

මහාචාර්ය මයිකල් ගෝල්ඩ්බර්ග් විමතියෙන් මෙන් හිමියන්ගෙන් විමසුවේ ය.

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

%d bloggers like this: