
පිටස්තරයා 13
“සත්තකින්ම….ඔබමයි කිවුවෙ පිරිත් කියන්නට පෙර තිබුණ මොළයේ සංඥා සටහන් පිරිත් කියනවිට ක්‍රමාණුකූල වුණා කියලා. එහෙනම් අපට පිළිගන්නට වෙනවා මේ පිරිත් සජ්ඣායනය නිසා තමයි මේ වෙනස සිදු වුණේ කියලා…”
“දැන් බලන්න ඒ සංඥා සටහන් පෙර පරිදිම ක්‍රමාණුකූල ද නැතිනම් වෙනස් ද කියලා.. එයින්ම ඔබට තහවුරු කරගන්නට පුළුවන් මම කියන සංසිද්ධිය.”
විශ්වගේ ඇඳ අසල සවි කර තිබූ මොළයේ සංඥා සටහන් යන්ත්‍රයේ සටහන් වූයේ පෙර පරිදිම අක්‍රමවත් සටහනකි… අත්ථදස්සි හිමියෝ නැවතත් වෛද්‍යවරුන් දෙදෙනා වෙත හැරුණි.
“අපට මේක පර්යේෂණ කරන්න වෙලාවක් නොවෙයි. ඒත් ඔබට මේ ගැන වැඩිදුර දැනගැනීමට කැමති නම් පන්සලට එන්න. මම ඔබට සවිස්තරාත්මකව කියා දෙන්නම්… ඒත් අභිඥාන විද්‍යාව කියන්නෙ බොහෝ දෙනෙකු හිතන්නවත් පෙළඹෙන්නෙ නැති දෙයක්. බුදුන් වහන්සේගේ කාළයටත් පෙර විසූ විවිධ සෘෂිවරු මේ අභිඥාන විද්‍යාව බොහෝ සේ ප්‍රගුණ කරලා තිබුණා. මේ නිසාම ඔවුන්ට විවිධාකාර මාර්ගඵල ලැබීමට පවා හැකියාව තිබූ බව විවිධ වේද ග්‍රන්ථවල සඳහන්. අපේ මේ නවීන විද්‍යාව දියුණුයි කියා අපි උදම් ඇනුවට, ඇත්තෙන්ම ඒ කාලයේ තිබූ දැනුමට ලංවන්නට වත් අපට තවම හැකියාවක් නැහැ. ඒ කාලෙ මේ වගේ උපකරණ නොමැතිවයි ඒ සෘෂිවරු දැන් විද්‍යාවෙන් කියැවෙන සංකල්ප වසර දහස් ගණනකට පෙර ඉදිරිපත් කළේ…”
වෛද්‍යවරු දෙදෙනා නිරුත්තරව අත්ථදස්සි හිමියන් වෙත අවධානය යොමු කරගෙන අසා සිටින්නට විය.
“සමහරවිට මේ දරුවා කිසියම් අවස්ථාවක සිර වෙලා සිටිනවද කියලත් මට හිතෙනවා… ඒ වගේ අවස්ථාවල සිටින උදවියත් මේ වගේම බොහොම අවධියෙන්, නමුත් පියවි සිහියෙන් තොරව සිටිනවා… මනෝ වෛද්‍යවරයෙක් ලෙස ඔබ හොඳින්ම දන්නවා නේ මෝහනය වුණ පුද්ගලයෝ ගැන… මට හිතෙන විදියට මේ දරුවත් ඒ මෝහනය වුණ අවධියක සිටිනව ද කියලා මට සැකයි… කොහොම වුණත් අපි තව සවස් කිහිපයකම මේ විදියට පිරිත් සජ්ඣායනය කරන්න එන්නම්. අපට වැදගත් වෙන්නේ මේ දරුවා නැවතත් යථා තත්ත්‍වයට ගෙන ඒම මිසක්, මොන ක්‍රමයෙන් යථා තත්ත්‍වයට ගෙන එනවද කියන එක නො වෙයි නෙ… ඒ නිසා අපි මේ අංශ දෙකෙන්ම ප්‍රතිකාර කරමු ද කියන යෝජනාව ඔබතුමාට ගෙන එන්න කැමතියි…”
“කිසිම ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්ස… මමත් ඒකට එකඟයි… අපි නැවතත් මේ ප්‍රතිකාරය හෙට සවස කරමු… මම ඉඩකඩ සලස්වා දෙන්නම්…”
“බොහොම හොඳයි දොස්තර මහත්මයා… අපි ගොහින් එන්නම්… හෙට හමුවෙමු…”
එතෙක් වේලා පසෙක අසුන්ගෙන මේ සියලු සංවාදවලට නිහඬව ඇහුම්කන් දුන් විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා සහ තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විශ්වගේ කාමරයෙන් පිටව ගියහ.
ඒ අතරතුර මොලී හා සංවාදයේ යෙදුනු ලංකාතිලක මහතා විශ්වගේ තොරතුරු රැසක් මොලී හා හුවමාරු කරගත්තේ ය. ඒ අනුව විශ්වගේ ලොකු මාමා සහ නැන්දා ඉක්මනින්ම විශ්ව බැලීමට එන බව මොලී දැනගත්තා ය.
නික්ම යෑමට ප්‍රථම තවත් වතාවක් විශ්ව බැලීමට ඇය විශ්වගේ කාමරයට පියමැන්නා ය.
ඇය පිටුපසින් කිසිවෙකු සිටින බව ඇයට වැටහුනි. පිටුපස නො හැරී ඉදිරිපස වූ වීදුරුවෙන් ඇගේ පිටුපස සිටින්නේ කවුදැයි ඈ තීක්‍ෂණව බැලුවා ය.
දැක හුරුපුරුදු තරුණයින් දෙදෙනකු තමා පිටුපස විශ්වගේ කාමරයට පැමිණ ඇතිබව ඇය දුටුවා ය.
෴
“මොකද ජෙනී කිසි කතාවක් නැතුව.”
“මොනවා කතා කරන්නද? බලනවා තමුසෙලා කරපු වැඩේ….. මේ මනුස්සයා ඉන්න තත්ත්‍වය! මොකද ලොක්කා කියන්නෙ?”
“මොනවා කියන්නද? දැන් ඉතිං කරන්න තියෙන්නෙ ඩැමේජ් කන්ට්‍රෝල් තමයි….. හොඳ වෙලාවට අපි පොලීසියට කතා කරලා අපේ මිනිහව නිදහස් කළා….මාධ්‍යවලට කිවුවෙ එතැනම මැරිලා කියලා. මොනවා වුණත් මිනිහා ඇවිත් තියෙන වේගෙ හොඳටම වැඩියි… අනිත් එක තමයි මෙයා ට්‍රක් එක එනවා දැකලා අනිත් ලේන් එකට කාර් එක අරගෙන… ඒ නිසා තමයි හරහට හැපිලා තියෙන්නෙ…. නැතිනම් වැඩිය හානියක් නැහැ…”
“දැන් කාර් එකට කොහොමද”
“කාර් එක ගන්න දෙයක් නැහැ… ඒක රක්‍ෂණ සමාගමට කියලා අලුතෙන් එකක් ගන්නයි වෙන්නෙ….. ඒත් කවුද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා… අපි ප්ලෑන් කළේ මෙච්චර ලොකු දෙයක් කරන්න නෙමෙයිනෙ…”
“මොනවා කළත් කමක් නෑ… මුලින්ම අපි බලන්න ඕන මෙයාව ගොඩ ගන්න… මේ වැඩේ හරි නො ගියොත් අපි තුන්දෙනාම ගස්…. මම නම් කීයටවත් බලාපොරොත්තු වුණේ නැහැ මේ වගේ බරපතල දෙයක්… අපි මීට වඩා සූක්‍ෂම වෙන්න තිබුණා කියලා මට හිතෙනවා. මම යනවා… මට වැඩ ගොඩක් තියෙනවා.. කෝකටත් පරිස්සමින්… කරන දෙයක් කාටවත් ඇඟවෙන්නෙ නැතිවෙන්න කරන්න…. ඇය නොරිස්සුම් සහගත හැඟීමෙන්, එසේම කිසියම් දුකකින් ඔවුන් දෙදෙනාගෙන් වෙන්ව ගියා ය.”
෴
එදින රාත්‍රියේ වොෂිංටන් බෞද්ධ විහාරයේ දුරකථනය නාද වෙන්නට විය.
“ලොකු හාමුදුරුවනේ…….. මේ මම සුමනසේකර කතා කරන්නෙ……..”
“ආ සුමනසේකර මහත්මයා….. අපි අද ගිහින් විශ්වට පිරිත් ටිකක් කියලයි ආවෙ…. අපි බලාපොරොත්තු වුණේ තුන් දවසක්ම පිරිත් කියන්නයි…”
“අනේ කොයිතරම් හොඳයි ද ලොකු හාමුදුරුවනේ….. කොහොමද අපේ දරුවට?”
“සුමනසේකර මහත්මයා කිසි දේකට බය වෙන්න ඕන නැහැ….. විශ්ව ඉන්නෙ ඇමරිකාවෙ හොඳම හමුදා රෝහල්වලින් එකක… එතැන හොඳම පහසුකම් තියෙන්නෙ… ඒ අය ඕනවටත් වඩා හොඳින් එයාව බලා ගන්නවා.. හැරත්, තානාපති කාර්යාලයෙනුත් ලොකු සැලකිල්ලක් තියෙනවා විශ්ව ගැන… සූර්යබණ්ඩාර මහත්මයා ඉතිං තානාපතිතුමාගෙ හොඳ යාළුවෙක් නෙ… ඒ නිසා ඒ පැත්තෙනුත් ලොකු උදව් තියෙනවා… කිසිම අඩුවක් වෙන්නෙ නැහැ…. බය වෙන්න එපා……. දැන් කවද ද සුමනසේකර මහත්මයා මේ පැත්තෙ එන්නෙ?”
“අපි හෙටම එන්නයි හිතන් ඉන්නෙ ලොකු හාමුදුරුවනේ…. ඒ ගැන කතා කරගන්න තමයි මේ කතා කළේ…”
“ආ.. බොහොම හොඳයි… බොහොම හොඳයි.. අපි මෙහෙන් කෙරෙන්න ඕන සියලුම දේ කරන්නම්… හෙට පැවැත්වෙන වස් පිංකමේදිත් අපි විශ්ව මතක් කරලා ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා…”
“අනේ බොහොම පිං ලොකු හාමුදුරුවනේ…..”
෴
“ආ….. මේ එන්නෙ………. අපි හිතුවෙ එන එකක් නැහැ කියලා…. කොහොමද විශ්වට දැන්”
“තවම සිහිය නැහැ…… හවස පන්සලේ හාමුදුරුවරු ඇවිත් පිරිත් කිවුවා…. එතකොට නම් පොඩි වෙනසක් තිබුණා… නමුත් ආයෙම පරණ තත්ත්‍වයටම පත් වුණා….”
“ඒ කොහොමද එහෙම වෙන්නෙ?”
“මමත් කියන්න දන්නෙ නැහැ… ඩොක්ටර්ස්ලටත් ඒක ප්‍රශ්නයක් වුණා… මම දැක්කා ඒ දෙන්නම කවුදෝ හාමුදුරු කෙනෙක් එක්ක ගොඩක් වෙලා කතා කරනවා… මේක මම හිතන විදියට නම් බොහොම බරපතල තත්ත්‍වයක්… විශ්වට ලොකු අමාරුවකුත් නැහැ. මොළයේ සංඥා සියල්ල නිරෝගීයි… නමුත් සිහිය එන්නෙ නැහැ… කෝකටත් මම හෙටත් යනවා බලන්න….”
“අපිත් එන්නම් බලන්න යන්න… කොහොම වුණත් මිනිහා හරිම හොඳයි… කාටවත් කරදරයක් නැති තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්.. දැන් එයත් අපේම කෙනෙක් නෙ….”
“මම හිතන්නෙ නැහැ හැමෝටම එයාව බලන්න යන්න පුළුවන් කියලා… කෝකටත් අද්මිරාල් බවර්ට කතා කරලා ඔයාලගෙ නමත් ලැයිස්තුවට ඇතුළත් කරන්න… ඒක හමුදා රෝහලක් නිසා ආරක්‍ෂාව තදයි….”
“ඇයි මෙච්චර ඉස්පිරිතාල තියෙත්දි එයාව දුර තියෙන හමුදා රෝහලටම ඇතුළත් කළේ? එයා හමුදාවට අයිති කෙනෙක් නෙවෙයි නෙ..”
“මම හිතන්නෙ නම් ඒක අද්මිරාල්ට තියෙන සම්බන්ධය නිසා වෙන්න ඇති… මොකද, අනතුර වුණ වෙලාවෙම තමයි අද්මිරාල්ට පණිවුඩය ගිහින් තියෙන්නෙ… ආරක්‍ෂක නිලධාරීන් තමයි මුලින්ම පණිවුඩය දීලා තියෙන්නෙ… අද්මිරාල් වෙන්න ඇති හමුදා රෝහලට ගෙනයන්න කියලා කියන්න ඇත්තෙ…”
“කොයි තරම් කාලයක් යයි ද මිනිහට සිහිය එන්න? පව්… ඇවිල්ලා සති දෙක-තුනයි ගියේ… ජීවිතේ පටන් ගත්තා විතරයි…”
“මටත් තියෙන දුක ඒකයි…. කොහොම වුණත් ඉක්මනට සිහිය ඒවි කියලා හිතනවා… අපි බලමු…තවම දවසක් වත් ගියේ නැහැනෙ…”
“කොහොමද ඔච්චර හානියක් වෙලා තියෙන්නෙ? විශ්වගෙ කාර් එක ඉවරෙටම ඉවර වෙන්න?”
“ආරංචියෙ හැටියට නම් බීමත් රියදුරෙක් ලොකු ට්‍රක් එකක් පදවගෙන ඇවිත් තමයි හැපිලා තියෙන්නෙ… ඒ රියැදුරා නම් එතැනම මිය ගිහින් කියලයි පොලීසියෙන් කිවුවෙ… හදිසි ආපදා සේවකයෝ එයාගෙ මළසිරුර අරගෙන ගිහින් තිබෙනවා.. මම දන්නෙත් එච්චරයි… අවසන මොලී පැවසුවා ය…”
෴
“මම නම් හිතන්නෙ මේක පිරිත් නිසා සිදු වූවක් නෙවෙයි….”
“එහෙනම්….”
“මම මේ ගැන සොයා බැලුවා… මේ රටාව තිබෙන්නේ මොළයේ ශංඛක කණ්ඩිකාවෙ අසාමාන්‍යතාවයක්…”
“ඒත්, ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියන්නට පෙර තිබුණෙ නැත්තෙ? ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියලා අවසාන වුණාට පස්සෙ යථා තත්ත්‍වයට පත් වුණේ? එහෙම අසාමාන්‍යතාවයක් තිබුණා නම් මුල ඉඳලම ඒ අසාමාන්‍යතාවය තිබෙන්න ඕන නේද? පිරිත් කියන අවස්ථාවෙ හැරෙන්න මේ අසාමාන්‍යතාවය නැවතත් දකින්න තිබුණ ද?”
“නැහැ… පිරිත් කියන අවස්ථාවෙ විතරයි මේ මොළයේ සංඥා මන්දගාමී වීම සිදු වුණේ… අනිත් කිසිම අවස්ථාවක මේ සංඥා මන්දාගාමී වුණේ නැහැ. ඇත්තෙන්ම සාමාන්‍ය නිරෝගී කෙනෙකුටත් වඩා වැඩියෙන් ඒ සංඥා ක්‍රියාත්මක වෙනවා. මට පෙනෙන්නෙ නම් ඔහුගේ මොළය මේ අවස්ථාවෙදි අධිකව පණිවුඩ හුවමාරුවක යෙදෙනවා වගේ…”
ශංඛක ඛණ්ඩිකාව මොළයේ ප්‍රධාන ඛණ්ඩිකාවන් හතරෙන් එකකි. ශංඛක කණ්ඩිකාව ප්‍රධාන වශයෙන් සංවේදන දැනීම, වාචික සංවේදන, භාෂාව සහ ශබ්ධ සංජානනය සහ මතකය සම්බන්ධ ක්‍රියා සඳහා ප්‍රධාන වේ. මධ්‍යම ශංඛක ඛණ්ඩිකාවේ පිහිටි ව්‍යුහවලින් දීර්ඝකාලීන මතකය පිළිබඳ සංනිවේදනයන් සිදු කරනු ලබයි. විශේෂයෙන් මොළයේ මූලය, හයිපොතැලමස සහ අවට ව්‍යුහවලින් මතකයන් ඇතිකිරීම, කරුණු තහවුරු කිරීම වැනි මතකය සම්බන්ධ කරුණු කාරණා රාශියක් පාලනය කරනු ලබයි. මේ නිසා සිහිසුන් වූ රෝගියෙකුගේ ශංඛක ඛණ්ඩිකාවේ ක්‍රියාකාරීත්‍වය ඉතාම වැදගත් සාධකයක් ලෙස වෛද්‍යවරුන් විසින් සැළකේ.
෴
“කොහොමද ඩොක්ට දැන් විශ්වට?”
“මොලී පසුදින සවස විශ්වගේ සුවදුක් බැලීමට පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයා හමු වීමට ගොස් විමසුවා ය.”
“තවමත් සිහිය ඇවිල්ලා නම් නැහැ… ඒත් සියලුම අවයව දැන් නිසි පරිදි ක්‍රියාත්මකයි… ඒක හොඳ ලකුණක්… අපි හිතනවා ඉක්මනින්ම සිහිය එයි කියලා… මේ වගේ රෝගීන් අනන්තවත් ඉන්නවා මොලී… බය වෙන්න එපා…. සමහරු දවස් දෙක තුනකින් සිහිය එනවා… එහෙම නොවුණොත් අපි ස්නායුවලට පොඩි විද්‍යුත් කම්පනයක් දීලා බලනවා… මේකත් හරියට කෙටි පරිපථයක් (Short circuit) වගේ දෙයක් වෙන්න පුළුවනි. අපට බයක් නැත්තෙ මේ අනතුරේ දී මොළයට කිසිම හානියක් නොවී පැවතුන නිසා… සමහරවිට අනතුර සිදු වන වෙලාවෙ ගැස්සීමෙ දි බෙල්ල සහ මොළය අතර සුශුම්නාව ඇට්ලස් කශේරුකාව මගින් තෙරපීමකට ලක් වුණා ද කියන සාධකයත් අපි සලකා බලනවා.. අද එයාව තවත් පරීක්‍ෂණයකට භාජනය කළා.. ඒකෙ ප්‍රතිඵල අද සවස වන විට ලැබෙයි.. ඒ අනුව අපි බලනවා එහෙම දෙයක් වෙලා ද කියලා.”
ඒ සංවාදය සිදුවන අතරතුර මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය සඳහා වැඩම කළ හ.
අත්ථදස්සි හිමියන්ට පිරිත් සජ්ඣායනය කිරීමට ඉඩ පහසුකම් සලසා දී මොලී කාමරයේ පසෙකට වූ අතර වෛද්‍යවරයා පිටව ගියේ ය.
පෙරදා සිදු වූ සුවිශේෂී සංසිද්ධිය මතක තිබූ නිසාම පිරිත් සජ්ඣායනයට පෙර සිටම විශ්වගේ මොළයේ සංඥා සටහන දෙස මොලී බලා සිටියා ය. අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය පටන් ගෙන මඳ වේලාවකින් පෙර පරිදිම විශ්වගේ මොළයේ සංඥා සියල්ල ඉතා සුළු විචලනයන් සහිත රේඛා බවට පත් වන්නට විය. මොලීට සිය දෙනෙත් අදහාගත නොහැකි විය. දෙවරක් එකම සංසිද්ධිය එකම සේ සිදු වන්නේ නම් එය අහම්බයක් විය නොහැකි බව ඇයට වැටහුණි. අත්ථදස්සි හිමියන්ගේ මුවඟට මඳ සිනාවක් නැඟුනි. තමා ඊයේ දිනයේ අනුමාන කළ දෑ සත්‍ය බව හිමියන්ට වැටහුණි.
කෙමන් විශ්වගේ වම් අත සෙලවෙන්නට විය. මොලී වහා නැගිට විශ්ව දෙස යෑමට සැරසුණත්, අත්ථදස්සි හිමියන් විසින් ඇයව නවත්වාලනු ලැබී ය. උන් වහන්සේ දිගින් දිගටම පිරිත් සජ්ඣායනයේ නිරත වෙන්නට විය. විශ්ව සිය වමත සෙමෙන් සෙමෙන් උදරය දක්වාම ගෙන ආවේ ය. මොලී මවිතයෙන් මෙන්ම සතුටින් ඒ දෙස බලා සිටියා ය. ඇගේ සිතේ මෙන්ම මුහුණේ ද බලාපොරොත්තුවේ සේයාවක් ඇඳෙන්නට විය.
පිරිත් සජ්ඣායනය නිම වනතුරු වෙනත් සැළකිය යුතු කිසිවක් සිදු නොවී ය. ඒ සියල්ල අවසන අත්ථදස්සි හිමියෝ හුනස්නෙන් නැගී සිට විශ්වගේ හිස අතගා කාමරයෙන් ඉවතට වැඩි සේක. මොලී ද එතුමන් පිටුපස කාමරයෙන් පිටතට පැමිණියා ය.
එකෙණෙහිම වාට්ටුව භාර වෛද්‍යවරයා ද විශ්වගේ කාමරය වෙත පැමිණියේය.
“කවුද මේ ලෙඩාගෙ අත තිබූ තැනින් වෙනස් කළේ.? මේ වගේ කෙනකුගේ එහෙම වෙනසක් කරන එක අවදානම් වෙන්න පුළුවනි.”
“කලබල වෙන්න එපා දොස්තර මහත්මයා… විශ්වම තමයි අත සෙලවූවෙ… මම ඊයෙ කිවුවා වගේම පිරිතෙන් කිසියම් ගුණයක් මේ දරුවට ලැබෙනවා.”
“ඇත්ත ඩොක්ට…. හාමුදුරුවෝ පිරිත් කියද්දි තමයි විශ්ව අත අරගෙන උඩින් තියාගත්තෙ… මටත් හරිම පුදුමයි… කොහොමද මෙහෙම වුණේ කියලා….”
“පුදුම වෙන්න දෙයක් නැහැ දොස්තර මහත්මයා… අපි පිළිගන්න ඕන හැම දේම විද්‍යාවෙන්ම විසඳන්න බැරි බව… සමහරු හිතන් ඉන්නවා විද්‍යාවෙන් සියල්ල වෙනස් කරන්න පුළුවන් කියල, තවත් සමහරු හිතන් ඉන්නවා ආගමෙන් විතරක් හැම දේම කරන්න පුළුවන් කියලා… ඒත්, මේ දෙපාර්ශවයම අමතක කරපු දෙයක් තමයි බොහෝ ආගම්වල විද්‍යාත්මක සත්‍යය ගැබ් වෙලා තියෙන බවත්, විද්‍යාව ආගමට සම්බන්ධ බවත්… මෙන්න මේ දෙක එකට අත්වැල් බැඳගෙන නො යන තාක් කල් මිනිසාගේ ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන්න බැහැ.. මිනිසාට ආගමත් විද්‍යාවත් යන දෙකම තිබිය යුතුයි… එපමණක් නොවෙයි, මේ ලෝකයේ තිබෙන ආගම් සියල්ල කුමන ආකාරයකින් හෝ එකිනෙකට බැඳී පවතිනවා. ඉතින්, අපි තව දුරටත් වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම පිරිත් සජ්ඣායනයත් කරගෙන යමු… මම ඊයෙ කිවුවා වගේම, අපේ මූළික අරමුණ රෝගියාව ඉක්මනින්ම යථා තත්ත්‍වයට ගෙන ඒම.. අපි ඒ දේ කරන්න හැකි හැම දේම කරමු… මම නොකිවුවත් නැතත් ඔබ අදම ඔබේ ප්‍රධානීන්ව දැනුවත් කරයි මේ සිදුවීම ගැන…. ඔවුන්ට අවශ්‍ය නම් මගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් හෝ තොරතුරු ලබා ගන්න කිසි විටෙක මැලි වෙන්න එපා මාව අමතන්න… මම මේ දරුවා වෙනුවෙන් කළ හැකි යමක් තියෙනවා නම් ඒ දේ කරනවා.. ඔබ නො දන්නවාට මේ දරුවා බොහොම වටිනා පුද්ගලයෙක්…”
“හොඳමයි ස්වාමීන් වහන්ස, අපට අවශ්‍ය වුණොත් අපි ඔබ වහන්සේව සම්බන්ධ කර ගන්නම්… ඇත්තෙන්ම විශ්ව සුව කර ගන්න ඔබ වහන්සෙ පමණක් නො වෙයි නාවික පර්යේෂණ ආයතනයෙ ප්‍රධානියා ඇතුළු බොහොමයක් දෙනා හැකි සෑම උත්සාහයක්ම දරනවා. ඒ නිසාමයි විශ්ව මේ රෝහලට ඇතුළත් කළේ.. වෙනත් රෝගියෙකු නම් සාමාන්‍යයෙන් මෙතරම් පහසුකම් ඇති හමුදා රෝහලට ඇතුළත් කෙරෙන්නෙ නැහැ… වෛද්‍යවරයා කරුණු පැහැදිළි කළේ ය….”