SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 16

“මේ වාර්තාව නම් සෑහෙන සංකීර්ණයි…..”

“ඒ මොකද එහෙම කියන්නෙ…. ඔයාම නෙ කිවුවෙ මේ වාර්තාව පැහැදිලි කරලා දෙන එක සුළු දෙයක් කියලා.”

“මම කිවුවා තමයි… ඒ වුණාට මේක හිතුවට වඩා සංකීර්ණයි… මේකෙ සංඝඨක කිහිපයක් මම වෙන් කරලා හඳුනා ගත්තා… නමුත්, මේකෙ සමහර වෙලාවට එකම සංඝඨකය විවිධ ප්‍රමාණවලින් එක් එක් තෙල් වර්ගයේ තිබෙන්න පුළුවන්. මේ නිසා එක් එක් තෙල් වර්ගයට ආවේණික සංඝඨකවලින් තෙල් වර්ගය හඳුනා ගන්නවා විනා ඒවායේ ප්‍රතිශතයෙන් නම් කොහොමටවත් හඳුනාගන්න බැහැ.. උදාහරණයක් වශයෙන් පයිනීන් කියන සංඝඨකය අඩංගු වෙන්නෙ ටර්පන්ටයින් කියන තෙල් වර්ගයෙ.. ඒ නිසා අපට පුළුවනි මේ මිශ්‍රණයේ ටර්පන්ටයින් තිබෙන බව සහතික කරන්න.. සින්ජිබරීන් තියෙන්නෙ ඉඟුරුවල.. ඒ නිසා ඉඟුරුත් මේ මිශ්‍රණයේ අන්තර්ගතයි. එපමණක් නොවෙයි මස්ටර්ඩ් (අබ) පවා මේ මිශ්‍රණයේ තියෙනවා… මම කිසිම අවස්ථාවක දැකලා නැහැ මේ වගේ සංකීර්ණ මිශ්‍රණයක්.”

“සයන්ටිස්ට් රාහුල් ගුප්තා… ඔබ කියන්නෙ ඔබටත් මේ මිශ්‍රණයේ තියෙන සංඝඨක වෙන් වෙන්ව හඳුනා ගන්න බැහැ කියලද?”

“ඔව්…. මට සමහරක් සංඝඨක හඳුනාගත්තත් සියල්ල හඳුනාගන්න අමාරුයි.. නමුත්, මේ සොයා ගත් දේවලින් මට නිගමනය කරන්න පුළුවන් මේ මිශ්‍රණය යොදාගෙන තිබෙන්නෙ කිසියම් පිරිසිදුකාරකයක් විදියට බව.”

“ඒ වගේම ඔබ ගෙන ආපු පැළය අපි පරීක්‍ෂාවට ලක් කළා… ඒ පැළය කුඩා කාලයේ කුමක් ද කියා හඳුනාගන්න අමාරු වුණත්, එය Sylibum වර්ගයක් වන Milk Thistle නම් පැළෑටිය බවට හඳුනාගත්තා. එය සාමාන්‍යයෙන් ඇමරිකානු මහාද්වීපයේ වැඩෙන පැලෑටියක් නො වෙයි. ඒත් එය ඇට මගින් පැළ කරගන්න පුළුවනි. එය වැඩෙන්නෙ මධ්‍යධරණී ප්‍රදේශ, උතුරු අප්‍රිකාවෙ සහ මැදපෙරදිග ප්‍රදේශ ආශ්‍රිතව. මේ පැළෑටිය අධික ඖෂධීය වටිනාකමක් තිබෙන පැළෑටියක්.”

“මොකද්ද ඒකෙ ඖෂධීය වටිනාකම?”

“මේක විෂහරණ පැළෑටියක් විදියට පුරාණ කාළයේ සිටම භාවිත කරලා තිබෙනවා. මේ පැළෑටියේ ඇති සිලිමරින් කියන සංයෝගයේ ගුණ පිළිබඳ ඉතා දිගු කාලයක සිට පර්යේෂණ කෙරිලා තිබෙනවා. ඒ අනුව අක්මාවේ සිදුවන රුධිර පිරිපහදුවේ දී ශරීරයේ ඇති සියලුම විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක් ඇති බව සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ ඖෂධ වැනි දේවල ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය නිස්සාරණය කර ශරීරයෙන් ඉවත් කිරීම මගින් අක්මාවේ කාර්යක්‍ෂමතාවය වැඩි කරනවා. අක්මාව නිරෝගීව තබා ගන්නවා. මේ නිසා රුධිරය ඉතාමත් පිරිසිදු තත්ත්‍වයක පවත්වාගෙන යෑමට මේ පැලෑටිය භාවිතයට ගන්න කෙනෙකුට හැකි වෙනවා. මේ සංසිද්ධිය අද ඊයෙ සොයාගත්  දෙයක් නොවෙයි. ඈත අතීතයේ රෝම සහ ග්‍රීක ජාතිකයන් පවා මේ පැලෑටිය සහ ඇට විෂහරණය හඳහා යොදාගෙන ඇති බව සඳහන්… ඒ නිසා මම හිතන්නෙත් මේ පුද්ගලයා තමන්ගෙ ශරීරයේ ඇති විෂද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය ඉවත් කරගන්න මේ පැළෑටියෙ නිස්සාරකයක් හෝ ඇටවලින් ලබා ගත් කුඩක් භාවිත කරන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම පෙරදිග වෛද්‍ය විද්‍යාවෙදි සමහර වෙලාවට පිළිකා ප්‍රතිකාර සඳහාත් මේ පැලෑටිය යොදා ගන්නවා කියලා වාර්තා වෙනවා.”

රාහුල් ගුප්තා විසින් එෆ්බීඅයි ඒජන්තවරු දෙදෙනාට එම පැලෑටිය පිළිබඳ දිගු විස්තරයක් ගෙන හැර පෑවේ ය.

“ආ…. ඒක තමයි මෙයාගෙ රුධිර පරීක්‍ෂාවෙදි කිසිම දෙයක් අපට අහු වුණේ නැත්තෙ… රුධිර වාර්තාවෙ අඩංගු වෙන්නෙ බොහොම පිරිසිදු රුධිරය ඇති පුද්ගලයෙක් කියලයි..” සියල්ල අවසන ජේසන් කටහඬ අවදි කළේ ය.

“සමහරවිට මෙයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ බව සඟවන්න මේක පාවිච්චි කළා වෙන්න බැරිද?” ඒ මයික්.

“එහෙම වෙන්නත් පුළුවන්. ඒත් දැන් ආයෙම රුධිර පරීක්‍ෂාවක් නො කෙරෙන නිසා ඇයි දැනුත් ඒවා පාවිච්චි කරන්නෙ?” රාහුල්ගෙ තර්කයත් වැදගත්.

“අපට මේ දේ දැනගන්න කරන්න පුළුවන් එකම දෙයයි. මෙයාගෙ අනතුර වුණ වෙලාවෙ ලබාගත් රුධිර සාම්පලය විශ්ලේෂණය කරලා බැලුවොත් මෙයා මත්ද්‍රව්‍ය භාවිත කරනව ද කියලා හොයා ගන්න පුළුවනි. අපි ඔහුගෙ නිවස පරීක්‍ෂා කළ වෙලාවෙ නම් අපට කිසිම මත්ද්‍රව්‍යයක් හෝ සිරින්ජයක්වත් හමු වුණේ නැහැ. ඒ නිසා මත්ද්‍රව්‍ය ගන්නවාද කියන සැකය ඒ තරම් තහවුරු වෙන්නෙ නැහැ.”

“කෝකටත් අපි වෛද්‍ය වාර්තාව අරගෙනම බලමු….. සයන්ටිස්ට් රාහුල් ගුප්තා…. බොහොම ස්තූතියි ඔබේ විශේෂඥතාවය මේ කාර්යයට ලබා දුන්නාට…. අපේ වාර්තාවෙ ඔබ ගැන විශේෂ සඳහනක් කරනවාමයි මේ සිද්ධියට උපකාර කළාට….“

සතියක් ගත වෙද්දී විශ්ව කෙමෙන් කෙමෙන් සුවය ලබන්නට විය. හදිසි සත්කාර ඒකකයෙන් ඉවතට ගනු ලැබූ විශ්වට ආදර සත්කාර ද නොඅඩුව ලැබුණි… සිය මාමණ්ඩිය සහ ලොකු නැන්දාගෙන් මෙන්ම මොලී ද නිතිපතා පැමිණ විශ්වගේ සැප දුක් සොයා බැලීම නිසා විශ්ව ඉක්මනින්ම සුවය ලැබුවේ ය. විශ්වට සිහිය ආ පසු පිරිත් සජ්ඣායනය කිරීම නතර වුවත්, අත්ථදස්සි හිමියෝ ද විටින් විට රෝහලට පැමිණ විශ්ව හා බොහෝ දේ සාකච්ඡා කරනු පෙණුනි. මේ අතර විශ්වගේ පාදය යථා තත්ත්‍වයට ගෙන ඒම පිණිස කායික ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය බවට සහ මානසික ප්‍රතිකාර අවශ්‍ය බවට වෛද්‍යවරුන් විසින් නියම කිරීම  නිසා විශ්ව හමුදා රෝහලේ පුනරුත්ථාපන අංශය වෙත මාරු කර යැවීමට ද සූදානමක් තිබුණි.

“මොලී… ඔයා විශ්වගෙ පෙම්වතිය ද?” දිනක් මොලී සමඟ කතා බහේ නියැලී හුන් සුමනසේකර මහතා එක්වරම මොලීගෙන් විමසී ය.

“නැහැ… ඇයි එහෙම ඇහුවෙ?”

“නැහැ… මම නිකමටයි ඇහුවෙ… මෙච්චර කාලයක් විශ්ව අසනීප වෙලා ඉඳිත්දි දිගටම විශ්ව බලන්න, එයාගෙ ගැන නිතරම හොයා බලන්න වැඩියෙන්ම ආවෙ ඔයා විතරයි… මෙච්චර කාලයකට විශ්වට ගෑණු ළමයෙක් කියලා ලං වෙලා හරි හිටියෙ ඔයා විතරයි… ඒකයි මම ඇහුවෙ… වෙන කාරණයක් නිසා නොවෙයි… සුමනසේකර මහතා සන්සුන්ව උත්තර දුන්නේය…”

“මම විශ්වගෙ පෙම්වතිය නො වෙයි… ඒත් අනතුර සිදු වෙන්න පෙර  සතියක පමණ වෙලේ ඉඳලා අපි දෙන්නා එකටමයි වැඩ කළේ.. ඒ නිසා ගොඩක් මිතුරු වුණා…”

“ඇත්තම කියනවා නම් ඔයා විශ්ව බලන්න එනවට මගේ එච්චර කැමැත්තක් මුලින් තිබුණෙ නැහැ.. නමුත් මට තේරුම් ගියා ඔයා විශ්ව ගැන සෑහෙන වද වෙනවා කියලා… මොලී… විශ්ව කියන්නෙ අපට බොහොම සුවිශේෂ දරුවෙක්… විශ්ව අපි හැමෝටම සම්පතක්. විශ්වගෙ පවුලෙ අය අකාලයේ මිය ගියත්, විශ්වගෙ තාත්තා නිතරම මට කිවුවෙ ඒ අය නැති කාලෙක විශ්ව හොඳින් බලාගන්න කියලා… මට හිතෙන විදියට විශ්වගෙ තාත්තා දැනගෙන හිටියා එයාගෙ ජීවිතය කෙටියි කියලා… විශ්වට අවුරුදු 16 වෙනකොටම තමයි විශ්වගෙ තාත්තා විශ්වට එයාගෙ සේසතම ලියලා දුන්නෙ. නංගිටත් අයිතියක් තියලා. ඒත් ඒ හැමෝම විශ්ව දාලා ගියා… දැන් එයාට ඉන්නෙ අපි විතරයි. අපි විශ්ව අපේම දරුවෙක් වගේ බලාගන්නෙ ඒ නිසයි… මම බලාපොරොත්තු වෙනවා ඔයාගෙ හිතේ විශ්ව ගැන අදහසක් තිබෙනවා නම් ඒක ස්ථිර අදහසක් වේවි කියලා… මොකද විශ්ව කියන්නෙ මේ ලෝකෙ තනි වුණ දරුවෙක්… අපි නැති කාලෙක විශ්වට කවුරුවත් නැහැ… අන්න ඒ නිසා අපි බොහොම කල්පනාකාරී වෙනවා විශ්වගෙ අනාගතය ගැන…”

“මම දන්නවා මිස්ටර් සුමනසේකර, විශ්ව කියන්නෙ වෙනත් අයට වඩා බොහොම වෙනස් විදියට හිතන කෙනෙක් කියලා මම දන්නවා.. ඒ වගේම හරිම හොඳ කෙනෙක්. මාත් සමඟ සතියකටත් වඩා එකට වැඩ කරද්දි මට තේරුණ දෙයක් තමයි එයා කිසිම අසංවර ගතියක් නැති බොහොම තැන්පත් කෙනෙක් කියන දේ… මම දන්නෙ නැහැ විශ්ව මට මොන විදියකට සළකනව ද කියන එක… ඒත් මම කියන්න ඕන මම විශ්වට බොහොම කැමතියි.. අපි ගැන අපේ අනාගතය  ඉදිරියේ දී විසඳයි…”

ඒ කතා බහ අවසන් වූයේ වාට්ටුව භාර වෛද්‍යවරයා තවත් වෛද්‍යවරියක් සමඟ සුමනසේකර මහතා සහ මොලී කතාකරමින් හුන් තැනට පැමිණීම නිසාවෙනි.

“මිස්ටර් සුමනසේකර, මේ ඉන්නේ අපේ රෝහලේ පුනරුත්ථාපන අංශයේ වෛද්‍යවරියක්. ඔබත් විශ්වත්  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිසා අපි තීරණය කළා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙක්ම විශ්වගේ පුනරුත්ථාපන කටයුතු සඳහා යොදවන්න. ඒක මානසිකවත් විශ්වට සහ ඔබ සියලු දෙනාට පහසුවක් වෙන නිසාම.. ඊට අමතරව මේ ඉන්න වෛද්‍ය ගීතිකා ගුණසේකර මානසික වෛද්‍ය විද්‍යාවත් ප්‍රගුණ කළ අයෙක්, ඒ නිසා විශ්වගේ මානසික පුනරුත්ථාපනයත් කායික පුනරුත්ථාපනයත් යන දෙකම එකතැනින් සිදු කර ගන්න පුළුවනි. අපි හෙට විශ්වව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගෙනයනවා… ඉන් පසුව නම් මේ වගේ නිතර ඔහුව බලන්න එන්න බැරි වේවි. මොකද දවස පුරාවටම තරමක දැඩි පුනරුත්ථාපනයක් කෙරෙන නිසා ඒ සියල්ල ක්‍රමාණුකූලව සිදු විය යුතුයි. දවසකට එක වතාවක් පමණක් ඥාතීන් බලන්න අවසර ලැබෙනවා. ඔහුගේ මානසික පුනරුත්ථාපනයට අදාළ අභ්‍යාස කෙරෙන නිසා බාහිර මානසික හේතූන් අවම කරන්න අප කටයුතු කර තිබෙනවා. ඒ නිසා ඔබ පුනරුත්ථාපන වෛද්‍ය කාර්යමණ්ඩලය නියම කරන වෙලාවක් ඇතළත පමණක් පැමිණිය යුතුයි.”

“හොඳමයි ඩොක්ට, කොහොමත් මට දවල් වෙලාවෙ නම් වැඩිය එන්න ලැබෙන්නෙ නැහැ… මට බොහෝ විට එන්න ලැබෙන්නෙ සේවය අවසානයේ සවස පහ පසු වුණාට පස්සෙයි…”  මොලී සිය කණස්සල්ල මුසු හැඟීම් වෛද්‍යවරයා වෙත හැරපෑවා ය.

“මට තේරෙනවා මොලී… ඒත්, මට මේ සැලසුම් වෙනස් කරන්න බැහැ.. මොකද මේ වෛද්‍යවරු ඒ ඒ රෝගියාට නිසි සැලසුම් සකස් කරලා තිබෙන නිසා… ඔබට පුළුවන් දවස් කිහිපයකට වතාවක් ඇවිත් විශ්ව බලලා යන්න..”

“ඔව් මොලී .. අපි එහෙම කරමු… අපිත් තව සති කිහිපයක් මෙහේ ඉන්න නිසා විශ්වගේ පුනරුත්ථාපන කටයුතු ඉක්මනින් කර ගනිමු.. හොඳ වුණාට පස්සෙ අපි එයාව ගෙදර එක්කරගෙන ගිහින් ඉතිරිය බලමු…” සුමනසේකර මහතා ද වෛද්‍යවරයාගේ අදහසට එකඟත්වය පළ කළේය.

මෙතෙක් වෙලා නිහඬව සිටි වෛද්‍ය ගුණසේකර මෙනෙවිය සිය කටහඬ අවදි කළා ය.

විශ්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතළත් කර සතියක් ගත වූ නමුත් මොලීට විශ්ව බැලීමට යෑමට හැකි වූයේ බදාදා දිනයක දී පමණි. පර්යේෂණාගාරයේ අධික රාජකාරි කන්දරාවත්, විශ්ව සමඟ ඇරඹීමට සැලසුම්කරගෙන තිබූ පර්යේෂණයේ මූලික කටයුතු තනිවම කරගෙන යෑමට සිදු වීම නිසාත් මොලීට ඉහටත් උඩින් රාජකාරි පැවරී තිබිණ. විශ්ව ප්‍රකෘති තත්ත්‍වයට පැමිණීම නිසා පර්යේෂණාගාරයේ සියල්ලන්ම තරමක සතුටින් පසු වූහ. ආචාර්ය නීල් ෆියු මෙන්ම ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් ද පැමිණ මොලීගෙන් විශ්ව ගැන තොරතුරු විමසීම නිසා මෙගන් පසු වූයේ තරමක අමනාපයෙනි.

“මොකද මේ දවස්වල විශ්ව බලන්න කවුරුවත් ගියේ නැත්තෙ? වෙනදා හැමදාම ගිය කට්ටියට යන්න එපා වෙලාද? දහවල් කෑම වෙලාවේ කෑම කාමරයේ දී මෙගන් උපහාසයට මෙන් ඇසුවා ය.”

“මේ දවස්වල විශ්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ නවත්වලා ඉන්නෙ. එයාගෙ කකුල ශක්තිමත් කරන ව්‍යායාම ආදිය කරවනවා.. සමහරවිට තවත් සතියකින් විතර ගෙදර යන්න පුළුවන් වේවි. එයා ගෙදර එක්කගෙන ගියාම තමයි ඉතින් වැඩිපුර උදව් ඕන වෙන්නෙ.. දැන් නම් ඉතිං හැම දේටම උදවුවට කට්ටිය ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ…” මොලී සැමට ඇසෙන්නට පැවසුවා ය.

ඒ සමඟම මොලීගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබීමෙන් ඇය තරමක් චකිතයකට පත් විය.

“මට පොඩ්ඩක් එළියට යන්න වෙලා තිබෙනවා… මම ගිහින් එන්නම්….”

“මොකද්ද හදිස්සිය…. බිල් එසේ ඇසුවේ ඔහුගේ පෞද්ගලික ක්‍රියාකලාපය කුමක් වුවත් අනුන්ට උදවු කිරීමට නිතරම සැදී පැහැදී සිටින නිසා ය.”

“නැහැ බිල්.. ප්‍රශ්නයක් නෙවෙයි. මගේ මාමා කෙනක් වොෂිංටන්වලට ඇවිත්, මාව බලන්න ඕන කියලා එන්න කියලා තියෙන්නෙ… මම ඉක්මනට ගිහින් එන්නම්…”

මොලී ඉක්මනින්ම සිය රථයට නැගී, නගරයේ අති සුඛෝපභෝගී ආපන ශාලාවක් වන සෙනෙටර්ස් ක්ලබ් බලා රිය ධාවනය කළා ය.

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

FREE Shipping on orders over Rs.1500/= Dismiss