SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 19

දින දෙකක ඇවෑමෙන් විශ්ව ආපසු යන වෙලාව පැමිණුනි. ගීතිකා යුහුසුළුව විශ්වගේ සියලුම ඕනෑ එපාකම් සොයා බලනු මොලී හොඳින්ම දුටුවා ය. කිසියම් ඊර්ෂ්‍යාවක් සිතට දැනුණත් එය නො පෙන්වා සිය අරමුණ කරා යෑම පුරුදු පුහුණු කළ ඇය කිසිදු වෙනසක් නො දක්වා සිනාසෙමින් සිටියා ය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඇය ද විශ්වගේ කටයුතුවලට නොමසුරුව සහයෝගය දුන්නා ය. සුමනසේකර යුවල ද ඉතාම උනන්දුවෙන් සිය ඥාති පුත්‍රයා නැවතත් ඔහුගේ නවාතැනට ගෙන යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළෝ ය.

“ඉතිං…. තව සති දෙකකින් මේ පැත්තෙ ඇවිත් යන්න වෙයි….”

“තව සති දෙකක් යනකොට මට නම් ආයෙම මැරතන් එකක් දුවන්න පුළුවන් වෙයි….”

“ඒ වුණාට සුදු පුතාට මේ ලැබුණ සත්කාර ගෙදර ලැබෙන එකක් නෑ නේද මහත්තයා….” සුමනසේකර මැතිණිය තම සැමියා දෙස බලා විමසුවා ය.

“එහෙම ම කියන්න බෑනෙ.. අපි දෙන්නත් ගෙදරම ඉන්න එකේ…..”

“ඒත් ඉතිං අපි කවදා හරි ආපහු යන්න ඕන නෙ… අපි ගියාම කවුද සුදු පුතාව බලා ගන්නෙ?”

සිංහලෙන් කෙරෙන මේ සාකච්ඡාව දෙස මොලී බලා සිටියේ කිසිවක් තේරුම් ගත නොහැකි බැල්මකිනි. ඇගේ අපහසුව තේරුම් ගත් ගීතිකා මොලීට කිසිවක් පැහැදිළි කර දුන්නා ය.

“ඔව්… මටත් නිතර නිතර ඇවිත් බලන්න පුළුවන්… අපේ පර්යේෂණාගාරය තියෙන්නෙත් එතැන ඉඳලා වැඩි දුරකින් නෙවෙයිනෙ….”

අවශ්‍ය ලියකියවිලි සහ බෙහෙත්, ආම්පන්න සියල්ල සකසා අවසන සියලුම දෙනා මොලී ගේ රථයට නැඟුනේ විශ්වගේ නවාතැන බලා යෑමට ය. පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සේවය ලබා සුව වී නිවෙස් බලා යන රෝගීන් අනන්තව දැක තිබුණත් ගීතිකාට තරමක දුකක් දැනුණේ තම රටේ, තම භාෂාව කතා කරන, තමන්ට බෙහෙවින් සමීප වූ කෙනෙකු තමාගෙන් ඈත් වී යනවාක් මෙන් හැඟීමක් දැණුන නිසා වන්නට ඇත. ගත වූ කාලය තුළ දී ඒ තරමටම ඇය විශ්ව හා කුළුපගව සිටියා ය.

“මොලීට අද වැඩ නැද්ද? විශ්ව මොලීගෙන් ඇසුවේ රථය පණගන්වා මහා මාර්ගයට අවතීර්ණ වෙද්දීම ය.”

“මම අද නිවාඩුවක් දැම්මා…. මම නීල්ට කිවුවා අද ඔයා නිවසට යන දවස කියලා… නීල් මට අවසර දුන්නා අද ඔයා වෙනුවෙන් කැප කරන්න…. දැන් කොහොමත් අලුත් පර්යේෂණයේ වැඩ කටයුතු පටන් ගන්නකල් මට තරමක් විවේකීයි… ගණනය කිරීම් වුණත් සැලසුම් කළාට පස්සෙ කොම්පියුටරයෙ ඉබේම වැඩ කෙරෙනව නෙ…”

“ඉතිං කොහොම ද පර්යේෂණය?”

“ඔයාට දෙන්න කියලා නීල් මට පර්යේෂණ ලිපි ගොඩක් එකතු කරලා දුන්නා…”

“ඒක හොඳයි මටත් වැඩක් නැති එකේ ඒවා කියවලා හොඳ අදහස් ටිකක් ගන්න පුළුවනි. මම ඔයා ගෙනැත් දුන් ලිපි ටිකත් කියෙව්වා… තව සති දෙකකින් අපට ආයෙම වැඩ පටන් ගන්න පුළුවන් වේවි…”

ඒ අතරතුර ඔවුහු විශ්වගේ නවාතැන වෙත ළඟා වී තිබුණි.

විශ්ව සහ පිරිස ගවනර්ස් කෝනර් නිවාස සංකීර්ණයේ හත්වන තට්ටුවට සෝපානයෙන් යනවිට තම නිවස ඉදිරිපිට දැක පුරුදු දෙදෙනෙකු සිටිනු ඔහු දුටුවේ ය. කවදා හෝ දැක පුරුදු බව දැණුනත් කොහේ දී දැයි විශ්වට නිනවුවක් නැත. එහෙත් මොලී ඔවුන් දෙදෙනා දෙස බලා මඳ සිනාවක් පානු විශ්ව දුටුවේ ය. කෙසේ වුවත් අසල්වැසියෝ එකිනෙකා වෙත සිනහා පෑම සාමාන්‍ය දෙයක් නිසා විශ්ව ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නො කළේ ය.

නිවසට පැමිණි විශ්වට කිසියම් සැහැල්ලුවක් දැනුණේ එය තමාට හුරුපුරුදු තැනක් වූ නිසා ය. රෝහල මෙන්ම පුනරුත්ථාපන මධ්‍යස්ථානය ද තමන්ට නුහුරු තැන් නිසා ඒ කිසිවක ඔහුට නිදහස් බවක් නොදැනෙන්නට ඇත. ඔහු සෙමෙන් ගොස් සෝපාවේ වාඩි වී අවට නරඹන්නට විය.

“මොනවද මේ පැළ ජාතිය? මල් පැළ ද නැතිනම් එළවළු පැළ ද? මොලී විශ්වගෙන් ඇසුවේ විශ්වගේ නවාතැනේ බැල්කනිය දෙස නෙත් යොමාගෙන ය.

“ආ… ඕකට කියන්නෙ Milk Thistle කියලා… මේක බොහොම හොඳ ඖෂධීය ගුණයක් තියෙන පැලෑටියක්. ඇඟේ තියෙන විෂ ඔක්කෝම ඉවත් කරනවා. විශ්ව කිසි ගණනකට නො ගෙන පැවසුවේ ය.

“මේක මේ රටේ තියෙනවද? මම නම් කවදාවත් දැකලා නැහැ..”

“මේක මට යාළුවෙකුගෙන් ලැබුණ ඇට කිහිපයකින් පැළ කරගත් ගස්…. හරි අමාරුයි වගා කරගන්න… මේ රටේ වැවෙන දෙයක් නෙවෙයි…..”

“ඉතිං… ඔයාට ඇයි විෂ ඉවත් කරගන්න ඕන ඇඟේ? විශේෂ විෂක් කියලා දෙයක් ඇතුළු වෙන්නෙ නෑ නෙ?”

“මොලී…. මොලී…. ඔයා දන්නෙ නැති කොච්චර දේවල් වෙනවද ලෝකෙ…. මම මේක පාවිච්චි කරන්නෙ සෑහෙන කාලෙක ඉඳලා… විශේෂ විෂක් ඇඟට ආවෙ නැතත්, අපේ ඇඟේ ක්‍රියාකාරීත්‍වය හොඳින් සිදු වෙන්න වගේම නීරෝගි බව පවත්වාගෙන යන්නත් මේ වගේ පොඩි පොඩි දේවල් උපකාරී වෙනවා..”

“ආ පුතා… මම තේ එකක් හදාගෙන ආවා….” සුමනසේකර මහත්මිය ඔවුන් දෙදෙනා අතරට පැමිණීම නිසා සිදු වූ කතා බහට නැවතුම් තිතක් තබන්නට මොලීට සිදු විය.

“කාලෙකින් හොඳ තේ එකක් බිව්වෙ… ඉස්පිරිතාලෙ හොඳ තේ එකක්වත් නැහැනෙ..”

ඒ සංවාදය එසේ සිදු වන අතරේ ඊට නුදුරු නිවසක ඒ සියල්ල පටිගත වන බව එතැන සිටි බොහෝ දෙනෙකු දැන සිටියේ නැත.

“තේ පානයෙන් අනතුරුව මොලී ආපසු යෑමට සූදානම් විය.

“මට අද හරිම සංතෝෂයි විශ්ව… ඔයා නැවතත් පරණ පුරුදු තත්ත්‍වයට ටික ටික පැමිණීම ගැන මට හරිම සංතෝෂයි… මම බලාගෙන ඉන්නෙ ආයෙම ඔයා කවද ද පර්යේෂණාගාරයට එන්නෙ කියලා…”

“මටත් දැන් නම් හරිම අමාරුයි පර්යේෂණාගාරයට යන්නෙ නැතුව ඉන්න… කොහොම වුණත් මට කරන්න තියෙන ව්‍යායාම ටික කරලා ඉක්මනටම කකුල හොඳ කරගන්න ඕන… සති දෙකකින් ආයෙම ඉස්පිරිතාලෙට ගියාම දැනගන්න පුළුවනි මට වැඩට යන්න පුළුවන්ද කියලා… මේ දෙන්නටත් වැඩි කල් මගේ වැඩ කර කර ඉන්න බැහැනෙ… තව ටික දවසකින් යන්න ඕන නෙ.. ඒ නිසා ඉක්මනින්ම මට හොඳ වෙන්න ඕන..”

“බය වෙන්න එපා විශ්ව…. ඔයාගෙ අමාරුම කාලය ගෙවුණා… ඔයාට සිහිය එන්නෙ නැතිව තියෙනකොට මම විඳපු දුක දන්නෙ මම විතරයි… මම හිටියෙ හරිම බයකින්…. ඒත්….. ඒත් දැන් නම් මම ඉන්නෙ බොහොම සතුටින්…. මොලී පැවසුවෙ බොහොම ආදරෙන් බව විශ්වටත්, ඒ සංවාදය අසා සිටි සුමනසේකර මහතාටත් නො දැනුනා නෙවෙයි….”

“එහෙනම්, මම ගිහින් එන්නම්…… සුභ රාත්‍රියක් හැම දෙනාටම….”

“සුභ රාත්‍රියක් මොලී,… පරිස්සමින් ගිහින් එන්න… කට්ටිය ඔක්කෝම මතක් කළා කියන්න…..”

“සුදු පුතා, මම මේ පුතාගෙන් අහන්නමයි හිටියෙ…..”

මොලී එතැනින් පිට වී සුළු වෙලාවකින් සුමනසේකර මහතා සිය බැරෑරුම් කටහඬ අවදි කළේ ය. විශ්ව කියවන්න ගත් පර්යේෂණ ලිපිය පසෙකින් තබා සිය මාමාට සවන් යොමු කළේ ය.

“මොනවා ගැන ද ලොකු මාමා?”

“මොලී ගැන…. පුතා ගැන ඒ දරුවා සෑහෙන්න කරදර වෙනවා…. මට පේනවා ඒ දරුවගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පුතා ගැන….”

“මටත් ඒක පේනවා ලොකු මාමා…. නමුත්….”

“මොකද නමුත් කිවුවෙ? පුතාගෙත් අකැමැත්තක් මට නම් පේන්න නැහැ…..”

“සුමනසේකර මහත්මියත් කතාවට හවුල් වුණේ තවත් තේ කෝප්පයක් පානය කරන ගමන්….”

“නමුත් කිවුවෙ මේකයි… මට තවමත් මොලී ගැන එහෙම හැඟීමක් නැහැ… එයා මට තවමත් යාළුවෙක් විතරයි… නමුත් මටත් දැනෙනවා ඒක යාළුකමට වඩා ලඟ බැඳීමක් කියලා… නමුත් ඊට වඩා දෙයක් නැහැ..”

“සුදු පුතාට වෙනත් යමක් තියෙනව ද කියන්න? අර දොස්තර නෝනත් සෑහෙන්න යාළු වුණා නේද? එයා නම් ලංකාවෙ කෙනෙක්…”

ඇය සිය සිතැඟි නොවලහා පැවසුවා ය.

“මම දන්නවා ලොකු නැන්දා එන්නෙ ඔතැනට කියලා…. මම එයා එක්ක ගොඩක් යාළු වුණා තමයි… නමුත් එයාගෙ කතාව බොහොම වෙනස් කතාවක්…. මම හිතන්නෙ නැහැ එයා ආයෙම කිසිම බැඳීමක් ඇතිකර ගනී කියලා…..”

“ඒ මොකද?”

“එයා බඳින්න එන්ගේජ් වෙලා හිටපු ඇමරිකානු යුධ හමුදාවෙ හිටපු එයාගෙ පෙම්වතා ඉරාකයෙදි මිය ගිහින්…. එදා ඉඳලා එයා ජීවිතේම කැප කරන්නෙ යුද්ධයෙන් තුවාල වෙලා අසරණ වුණ සොල්දාදුවොන්ගෙ ජීවිත නැවත හරිගස්සන්න…. එයාගෙ මුළු ජීවිත කතාවම මට දවසක් කිවුවා… මම කවදාවත් හිතන්නෙ නැහැ එයා එයාගෙ හිත වෙනස් කරගනී කියලා… මම දන්නවා මම කොච්චර තනි වෙලා හිටියද කියලා… එයාටත් එයාගෙ කියලා කවුරුවත් නැහැ…. එයා ඇමරිකන් ජාතිකයෙක් එක්ක විවාහ වෙන්න යනවා කියලා එයාගෙ පවුලෙන් එයාව අයින් කරලා…. මට කිවුවෙ එහෙමයි…. කොහොම වුණත් මට ඒ ගැන බලාපොරොත්තුවකුත් නැහැ… කොටින්ම මට තවත් බැඳීමක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ… ඒක බොහොම කරදර වැඩක්නෙ….”

“පුතා…. මම දන්නවා ඔයා එන්න හදන්නෙ කොතැනට ද කියලා… නමුත්, හැමදාම ඔහොම ඉන්න බැහැනෙ… ඔයාට කියලා යන කලදවසක් තියෙන්න ඕන… ඒ විතරක් නෙවෙයි.. ඔයාගෙ පරම්පරාගත දේපල ඉඩකඩම්වලට යන කලදවසක් තියෙන්නත් ඕන… අපියි කියලා හැමදාම ජීවත් වෙන්නෙත් නැහැ… ඔයාගෙ ජීවිතයට මේ වුණ කරදරේ ගැන හිතනකොට අපට හරිම බයයි… කවුද දන්නෙ ඔයාට මොනවගේ දේවල් වේද කියලා ඉස්සරහට… මට තවමත් සැකයි මස්සිනාට වුණ දේ ගැන… දැන් මේක… කවුද දන්නෙ මේවා පස්සෙ කවුරුම හරි ඉන්නවද කියලා …..” සුමනසේකර මහතා තමන්ගෙ හිතේ හංගාගෙන හිටි බොහෝ දේ පවසා හිත සැහැල්ලු කර ගත්තේ ය.

“මාමා දන්නවනෙ…. මට ඕවයෙ බැඳීමක් නැහැ කියලා…. මම කියන්නෙ නම් කවදා හරි ඕවා පන්සලකට හරි නැතිබැරි කෙනෙකුට හරි දෙන්න කියලා….. ඕවා එකතු කර ගන්න තරමට ප්‍රශ්න වැඩියි….”

“මට තේරෙනවා පුතා… ඒ වුණාට ඒවා එහෙම ම කරන්න බැහැනෙ.. ඔයා තවමත් හොඳ අනාගතයක් තියෙන දරුවෙක්… දැන් එපා වුනාට පස්සෙ ඕන වෙන වෙලාවල් තියෙනවා… අපි ඉන්න කල් ඕවා අපට බලා කියාගන්න පුළුවන්… ඒ ඔක්කොම නිරවුල්ව පුතාගෙ නමට තියෙන ඉඩම්…. ආගම දහමට නැඹුරු වෙන එක එකදෙයක්.. නමුත් තමන්ට හිමි දේවල  අයිතිය ඒ විදියට තියා ගන්න ඕන… ඒක තන්හාව නෙවෙයි.. තමන්ගෙ අයිතියක්….”

“ඕන එකක් ලොකු මාමා… තවම මම නම් ඔය ප්‍රශ්න දෙක ගැනම පැහැදිලි තීරණයක් අරගෙන නැහැ….”

“අන්න එනවා…. ගිහින් අල්ලගන්න…..” පරිගණක තිරයෙන් දෑස් මෑත් නො කරම ජේසන් සිය සගයාට පැවසුවේ ය.

“ඉන්න මම කෙටි පණිවුඩයක් යවන්නම්….”

“කෙටි පණිවුඩ යවලා වැඩක් නෑ… ගිහින් අල්ලගෙනම එනවා…. ඔය විදියට ගියොත් මේ වැඩේ කරගන්න බැරි වෙනවා….”

“හරි…..”

ඇය ඒ ගොඩනැඟිල්ලේ සිට තට්ටු දෙකක් බැස්සා පමණි…. පිටුපසින් දුව ආ එෆ්බීඅයි ඒජන්ත මාක් පිස්ට්නර් ඇය අසළටම ගොස් කතා කළා ය.

“ජෙනී…. අපට පොඩ්ඩක් කතා කරන්න ඕන……..”

“මොනවා ගැන ද? ඇගේ හඬේ තිබුණෙ නොරිස්සුමක්….”

“අර හාදයා ගැන….”

“මොනවා කතා කරන්නද? ඔයාලා දකින්න ඇතිනෙ ගෙදර සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම…..”

“දැක්කා තමයි… දැක්ක නිසා තමයි කතා කරන්න ඕන… අපිට තේරෙන්නෙ නැහැ මොකද්ද මෙතන සිද්ධ වෙන්නෙ කියලා….”

“මොනවා සිද්ධ වෙන්නද? දැන් එයා පුනරුත්ථාපනය වෙනවා… තව සති දෙකකින් හොඳටම හොඳ වේවි… තවමත් මොකද්ද වෙන්නෙ කියලා මටවත් තෝරා බේරා ගන්න බැහැ… කලබල වුණොත් අපට ගොඩක් දේවල් නැති වෙයි…. අපි හෙමින් තමයි මේ වගේ ඉලක්කයකට ලං වෙන්න ඕන… දැනට මම හොයා ගත් තොරතුරුවලට අනුව නම් මෙයා අනතුරුදායක පුද්ගලයෙක් නෙවෙයි.. නමුත් මෙයාගෙන් ලැබෙන තොරුතුරු වෙනත් දේවලට යොදා ගන්න පුළුවන් වේවි… ආරක්‍ෂාව අතින් නම් මෙයා පූස් පැටියෙක් වගේ….”

“ඇත්තද? අපි දැක්කා හොර පූසිගෙ මූණෙ තිබුණ බැල්ම….. මොනවා කළත් කමක් නෑ… අපේ මූලික අරමුණ අමතක කරන්න එපා….”

“ඒ ගැන බය වෙන්න එපා…. මම ජෙනරාල්ටත් කතා කළා ඒ ගැන……”

“ඔයා කොහොමද ජෙනරාල්ට ලං වුණේ කවද ද?”

“ඒවා වැඩක් නෑ…. මට ජෙනරාල් දවසක් හම්බ වුණා… ඒ වෙලාවෙ තමයි මම කිවුවෙ මගේ අරමුණ වෙනස් වෙලා නැහැ කියලා.. ඔයා දැනගන්න ඕන… ඔයාට වඩා මේ සම්බන්ධයෙන් මට ලොකු පුහුණුවක් තියෙන බව……”

“හරි හරි…. ඔයාට හොඳට කට්ටිය අන්දන්න පුළුවන් නෙ…. අපි නොදන්නවයෑ ඔයාගෙ හැටි…..”

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

FREE Shipping orders over Rs.1500/= Dismiss