SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 20

ඉන් පසුව එළැඹුන සතිය පුරාවටම විශ්ව සිය පාදය සවිමත් කර ගැනීමේ ව්‍යායාම්වල නිරත වුණා. ක්‍රම ක්‍රමයෙන් මානසික ඒකාග්‍රතාවය තීවෘ කර ගැනීමටත් සිය සිරුරේ පරිපූර්ණතාවය කරා ලඟා කර ගැනීමටත් ඔහු වෙහෙසුණා. කිහිප වතාවක් මොලී පැමිණ ඔහුගේ සැපදුක් සොයා බැලුවත්, විශේෂ යමක් සිදු වූයේ නැහැ. සති කිහිපයක්ම ඇමරිකාවේ ගත කළ සුමනසේකර යුවල නැවතත් ශ්‍රී ලංකාව බලා යා යුතු බවට සිතා බැලුවා. විශ්වගේ පාදයත් සෑහෙන තරමක සුවයක් ලබා ඇති නිසාත්, ඔහුට බොහෝ දේ තනිවම කරගත හැකිව තිබූ නිසාත්, ඔවුන් දැන් ලංකාව බලා යා යුතු යැයි  සැම දෙනාටම දැනුණා. ඒ අතර දිනක මොලී පැමිණියේ තවත් අලුත්ම ආරංචියක් රැගෙන.

“විශ්වගෙ කාර් එකට මොකද කරන්නෙ?” මොලී ඇසුවෙ යමක් හිතේ තබාගෙන.

“මට රක්‍ෂණ ආයතනයෙන් කතා කරලා කිවුවා කාර් එක ආයෙම හදන්න බෑ කියලා..”

“ඔයාට අලුත් කාර් එකක් ලැබෙන්නයි යන්නෙ..”

“ඒක නම් හොඳයි. කොහොමද ඒක ඔයා දන්නෙ?”

“මම නීල් එක්ක කතා කළා…. නීල් මගෙන් විස්තර ඇහුවා… මම පොලීසියට කතා කරලා ඒ අයගෙන් විස්තර අරගෙන නීල් එක්ක කතා කරලා රක්‍ෂණ සමාගමට කතා කළා… කාර් එක නැවත ගොඩ ගන්න බැරි අන්දමට විනාශ වෙලා ඉවරයි. ඒ නිසාම නීල් රක්‍ෂණ සමාගමට කතා කරලා බැලුවා අලුතින් කාර් එකක් ගන්න පුළුවන් වේවි ද කියලා. ඒ අය කිසි ප්‍රශ්නයක් නැතිව කාර් එකක් දෙන්න සූදානම්… ඔයාට තියෙන්නෙ මාත් එක්ක ගිහින් ලිය කියවිලි සහතික කරලා කාර් එක ගේන එක විතරයි…. මට ඔයා කැමති දවසක් කියන්න… මම ඔයාව එක්කරගෙන යන්නම්..”

“බොහොම ස්තූතියි මොලී… මම හිත හිතා හිටියෙ කාර් එකට මොනවා කරන්නද කියලා…. කොහොමද අලුතෙන් කාර් එකක් ගන්න පුළුවන් වෙන්නෙ? මගේ කාර් එක ටිකක් පරණයි නෙ….”

“ඔයා දන්නවනෙ විශ්ව, නීල්ට තියෙන සම්බන්ධතා…. හැරත්, ඔයා වැඩ කරන්නෙ නාවික පර්යේෂණ ආයතනයෙ කියන එක අමතක කරන්න එපා…. ඔයා ගැන ඒ අය සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.”

“මොලී, ලොකු මාමලා තව දවස් දෙකකින් ආපහු ලංකාවට යන්නයි හදන්නෙ…. ඊට ඉස්සරවෙලා අපි ආයෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහින් මගේ ප්‍රගතිය බලාගෙන එන්න ඕන… මටත් දැන්  මෙහෙම ගෙදරටම වෙලා ඉඳලා ඇති වෙලා තියෙන්නෙ… ඔයාට පුළුවන්ද හෙට හවසට මාව එහේට එක්කරගෙන යන්න? පුළුවන් නම් ලොකු උදව්වක්.” විශ්ව බොහොම සෙමෙන් ඇසුවේ ඔහුට කාගෙන්වත් උදවු ඉල්ලලා පුරුද්දක් නැති නිසා.

“අයියෝ ඕක මොකද්ද විශ්ව? ඔයාට ඕක උදව්වක් නෙවෙයි… මම දැන්මම නීල් ට පණිවුඩයක් යවන්නම් නිවාඩු ඉල්ලලා… අපි හෙට පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහින් ඒකත් කරගෙන කාර් එකේ වැඩෙත් බලාගෙනම එමු…. එතකොට ඉතිං වැඩ දෙකම එක දවසකින් ඉවර කරගන්න පුළුවන් නෙ…. අපි හෙට යනකොට මේ දෙන්නත් අපි එක්ක එනවද? මොලී ඇසුවෙ පසෙක රූපවාහිනිය නරඹමින් සිටි සුමනසේකර යුවල පෙන්වමින්…”

“ඔව්… ඒ දෙන්නට ගීතිකා හමු වෙලා ස්තුති කරන්න ඕනලු… ලංකාවෙ උදවිය නෙ… කොහොමත් අපේ අය එහෙම තමයි.. සුළු උදව්වක් කළත් ඒ අයට කෘතගුණ සලකන්න අමතක කරන්නෙ නැහැ…”

පුනරුත්ථාපනය වන අතරතුරේම මොලී ගෙනැවිත් තිබූ පර්යේෂණ පත්‍රිකා සියල්ලම හොඳින් අධ්‍යයනය කළ විශ්ව සිය පර්යේෂණය පිළිබඳ හොඳ දැනුමක් මෙන්ම සැලසුම් රාශියක් සකසා තිබුණා. එය මොලීට නොකිව්වත්, ඇගේ සිතැඟි දැනගැනීමේ අටියෙන් විශ්ව පර්යේෂණාගාරය පිළිබඳ ප්‍රශ්න කළා.

“ඉතිං… කොහොමද පර්යේෂණාගාරය? මම දැන් මාසයක්ම ගියේ නැති නිසා ආයෙම ඔක්කෝම අලුතෙන් පටන් ගන්න වෙයි වගේ….”

“නැහැ නැහැ…. කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ…. හැමෝම කතා කරන්නෙ නම් විශ්වට සිදුවුණ දේ ගැන. කට්ටිය ඔයාව බලන්න එන්න ඕන කියලා සැලසුම් කළත්, ඔයාට සනීප වෙන්න ඉඩ දෙන්න ඕන නිසාම එයාලව එන එක මම වැඩිය උනන්දු කළේ නැහැ. කොහොමත් තව ටික දවසකින් ඔයා වැඩට යන නිසා ඒ අයට එච්චරම අවශ්‍යතාවයක් නැති ගානයි. මම මේ දවස්වල සැලසුම් කරන්නෙ අපි දෙන්නට භාර දීපු පර්යේෂණය ගැන…. ගොඩක් වෙලාවට ත්‍රිමාණ පරිගණක වැඩසටහන් විශ්ලේෂණය කරන එක තමයි කරන්නෙ… ඒ ගැන මට නම් සෑහෙන ඉගෙන ගන්න තියෙනවා… ඔයා මම එවපු පර්යේෂණ පත්‍රිකා ටික බැලුවද?”

“ඔව්… මේ දවස්වල ඉතිං කළේ ඒකම තමයි… මට අලුත් අදහස් ටිකකුත් ආවා… අපි ආයෙම පර්යේෂණාගාරයට ගියාම ඕවා කතා කරමු.. දැන් පර්යේෂණාගාරයෙ කට්ටිය කොහොමද?”

“ඔක්කොම හොඳින් ඉන්නවා…. මෙගන් නම් මාත් එක්ක එච්චර හොඳ හිතක් නැහැ… මම දන්නෙ නැහැ ඒ ඇයි කියලා… නමුත් මම ඔයාට සමීප වෙලා ඉන්නවට එයා වැඩිය කැමති නැති බව තමයි කට්ටිය කියන්නෙ……”

“ගෑණු ළමයි කොහොමත් ඉරිසියයි නෙ… නේද?” විශ්ව තරමක් උස් හඬින් සිනාසෙමින් පැවසුවේ ය.

“මෙගන් ටිකක් කොහොමත් අමුතුයි නෙ…….. එයා හිතන් ඉන්නෙ ලෝකෙ එයා වටේ කැරකෙනවා කියලනෙ…. ඉතිං හැම දේකම මූලිකත්‍වයයි, හැමෝගෙමඅවධානයයි එයාට නැති වුණාම තරහ යනවා…..”

“ඔන්න ඕක තමයි මොලී මම ගෑණු ළමයි ගැන වැඩි අවධානයක් තිබුණෙ නැත්තෙ…. මට ඔය ප්‍රශ්න විසඳනවට වඩා දැනට ලබන මානසික නිදහස රත්තරං වටිනවා…. බැඳීම් අඩු කරගන්න තරමට මනස සන්සුන්….”

“එහෙම කියලා බැහැනෙ… අපි සමාජයක එකිනෙකාට බැඳිලයි ඉන්නෙ… ඔයාට පුළුවන්ද තනියම ජීවිතය ගෙනියන්න? බැහැනෙ… දැන් මේ වෙලාවෙ වුණත් ඔයාට කී දෙනෙක්ගෙ උදව් ඕන ද? මම නැති වුණත් මේ මාමා-නැන්දා දෙන්නා, ඔයාගෙ යාළුවො.. ඒ ඔක්කොම ඔයාගෙ ජීවිතයට බැඳිලා තියෙන්නෙ.. ඔයාට ඒ බැඳුම් නැති කරගන්න නම් කවුරුවත් නැති පලාතක තනියම ජීවත් වෙන්න වෙනවා වනචාරියෙක් වගේ… මම හිතන විදියට මිනිස්සු විතරක් නොවෙයි, සතුන්, ගහකොළ පවා හැම දේකටම බැඳිලයි ඉන්නෙ.. ඒ නිසා තමයි මේ පද්ධතිය සමබරව තියෙන්නෙ.. මේ සම්බන්ධතා නැති වුණ දවසට මේ සියල්ල බිඳ වැටෙනවා.. මම දන්නවා ඔයා මීට වඩා මේ කාරණා ගැන දන්න බව… නමුත් මට හිතා ගන්න බැහැ ඇයි ඔයා එහෙම කිවුවෙ කියලා…. හැමදාම තනිවෙලා ජීවත් වෙලා බැහැ විශ්ව…. ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනා… එතැනදි බැඳීම් ඇතිවෙනවා – නැතිවෙනවා.. මට ඔයාට මේ ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නැති බවත් මම දන්නවා……”

විශ්ව කිසිත් නොකියා අසා සිටියා පමණි.

“රිචර්ඩ්…… මට නම් තේරෙන හැටියට මේ අපි දුවන්නෙ කිසිම තේරුමක් නැති දෙයක් පස්සෙ….” ජෙනරාල් වෙලිංටන් සිය මිතුරා සමඟ දුරකථන සංවාදය අරඹමින් පැවසුවේ එතරම් සතුටකින් නොවෙයි.

“මම හිතන්නෙත් අපි මේ වෙනුවෙන් වැය කරන සල්ලියි කාලයයි වෙනත් දේකට යොදවන්න පුළුවන්. කොහොම වුණත් තව ටික කාලයක් බලමු… මිනිහා තව සතියකින් විතර වැඩට ඒවි. ඒ අතරේ අපෙන් කෙරෙන්න ඕන වැඩ ටික කරමු…”

“ඔව්. මම දැනටමත් ඒක අර දෙන්නට භාර දීලයි තියෙන්නෙ… ඒ දෙන්නා ඉතිරි වැඩ ටික බලා ගනීවි… තව සති දෙක තුනක් ඇතුළත අපි මේ ගැන තීරණයක් ගන්න ඕන…”

“කොහොමද දැන් කකුල? කියපු විදියටම ව්‍යායාම් කළා කියලා හිතනවා…..” පසුදින සිය ප්‍රගතිය සළකා බැලීමට පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිය විගස ගීතිකා සිනාසෙමින් ම කතා බහ ආරම්භ කළා.

“කකුල නම් දැන් සෑහෙන්න හොඳයි… ඇත්තටම මට දැනගන්න ඕන මට කවද ද වැඩට යන්න පුළුවන් වෙන්නෙ කියන එක තමයි….”

“හරි අපි බලමු කකුල කොහොමද කියලා… දැන් ඔයාට ලොකු පරීක්‍ෂණ කිහිපයකට මුහුණ දෙන්න වෙනවා… මම හිතන්නෙ ඔයාට ඒක අමාරු වෙන එකක් නැහැ කියලයි…. දැන් ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්න… ඊට පස්සෙ අපි බලමු කොච්චර කාලෙකින් ඔයාට වැඩට යන්න පුළුවන් වෙයිද කියලා….” ගීතිකා නැවතත් පැවසුවා ය.

“ඉතිං මේ දෙන්නා ලඟදිම ලංකාවට යනවද?” විශ්ව ඇඳුම් මාරුකර ගැනීමට  ගිය අතරේ සුමනසේකර යුවල වෙත හැරුණු ගීතිකා විමසුවා ය.

“ඔව් ඩොක්ට.. අපි මේ කියලා යන්නත් එක්කයි ආවෙ. ඩොක්ට අපේ පුතාට කරපු උදව් නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ…”

“අයියෝ සුළු දෙයක් මිසිස් සුමනසේකර, මේ අපි කරන්නෙ රාජකාරිය.. මම මේ ලංකාවෙ කෙනෙකුට මෙහේදි ප්‍රතිකාර කළ පළවෙනි අවස්ථාව.. සාමාන්‍යයෙන් ලංකාවෙ අය ඇමරිකානු හමුදාවෙ සේවය කරනවා අඩුයි නෙ. කොහොමත් විශ්ව කියන්නෙ බොහොම අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්, ඒ වගේම ඉක්මනින්ම සුව වුණා… සමහරවිට ලබන සතියෙ ඉඳලාම වැඩටත් යන්න පුළුවන් වේවි. ඇවිදින හැටියට නම් කිසිම වෙනසක් පේන්න නැහැ.. බොහොම හොඳට ව්‍යායාම කරලා තියෙනවා වගේ…”

“ඔව් එයා සෑහෙන මහන්සි වුණා ඉක්මනින්ම හොඳ කරගන්න… මොලීත් ඇවිත් නිතර නිතර ඇවිදින්න එක්කන් ගියානෙ….”

“ආ… ඒක නම් බොහොම හොඳයි… ඇඟට වගේම හිතටත් සහනයක් දැනෙනවා නම් තමයි ඉක්මනටම ලෙඩ හොඳ වෙන්නෙ…. නේද මොලී..”  ගීතිකා මොලීගෙන් ඇසුවේ මෙතෙක් වෙලා නිහඬවම සවන් දීගෙන සිටි මොලීවත් සාකච්ඡාවට සම්බන්ධ කර ගන්නා අරමුණින්.

“ඔව් ගීතිකා, මම බොහෝ වෙලාවට විශ්ව එක්ක ඇවිදින්න ගියා… කිසිම වෙලාවක මැසිවිල්ලක් නැතිව හොඳට ව්‍යායාම් කළා… මමත් හිතන්නෙ අද හොඳ ප්‍රගතියක් තියෙන්න ඕන කියලයි.”

“මම නම් හිතන්නෙ මට හෙට මැරතන් එකක් දුවන්නත් පුළුවන් වේවි කියලයි…..” විශ්ව එසේ කියාගෙන ඔවුන් සිටින තැනට පැමිණියා.

“හරි එහෙනම් ඔයාලා ඔතැන ඉන්න, මම විශ්ව එක්ක ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියලා බලාගෙන එන්නම්…” එසේ කියා ගීතිකා විශ්ව ද සමගින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තුළට ගියා ය.

“විශ්ව මොකද දැන් හිතෙන්නෙ?” ගීතිකා විශ්වගේ මුහුණට එබී බලමින් ඇසුවෙ පුනරුත්ථාපනයෙන් පසු ඔහුගෙ සිතිවිලි කෙසේ වෙනස් වෙලාදැයි දැන ගැනීමේ අටියෙන්.

“හොඳයි, ඒත් මගේ ක්‍රියාකාරීත්‍වය සියයට සියයක්ම ආපසු ලැබිලා නැහැ. මම හිතන්නේ ඊලඟ සති කිහිපය තුළ මට හොඳ ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වේවි කියලා. මම අද සවස ඉඳලා නැවතත් එළිමහන් ව්‍යායාම පටන් ගන්නයි ඉන්නෙ… මම අහන්න හිටියේ ගීතිකාගෙන් ඒක දැන්මම පටන් ගත්තට කමක් නැද්ද කියලා?”

“කමක් නෑ විශ්ව. නමුත් කකුලට එකපාරටම වැඩිය බර දෙන්න එපා. තවමත් හරිහැටි සුව වෙලා නැහැනෙ. හයියෙන් ඇවිද්දට කමක් නෑ… තවම දුවන්න කරන්න යන්න එපා. මොනවා වුණත් දාලා තියෙන ටයිටේනියම් කොටස් අපේ ඇඟත් එක්ක පෑහෙන්නෙ නෑනෙ… ඒකට සෑහෙන කලක් යනවා.”

“කොහොමත් ඔයාට සති දෙකකට වතාවක් මෙහාට එන්න වෙනවා පුනරුත්ථාපනයේ ප්‍රගතිය බලන්න. මම ඔයාට ව්‍යායාම කාලසටහනක් දෙනවා. ඒකට අනුව කළා නම් අතුරු ආබාධ ඇති වෙන්නෙත් නෑ,..”

“යමු… ඉතිරි පරීක්‍ෂණ ටික ඉවර කරන්න…”

 

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *